Friday, February 19, 2010

මුල් පිටුවෙන් දේශපාලන ලිපි විසිවීම - 1

සිංහල බ්ලොග් කියවනයේ තිබෙන දේශපාලන ලිපි වෙනම ශීර්ෂයක් යටතේ පෙලගස්වන්නට තීරනය කොට තිබෙන අතර එසේ පෙල ගැස්වූ “දේශපාලනික” අඩවි අතර රාමචන්ද්‍රගේ අඩවිය නැත!
සින්ඩිකේටරයේ පරිපාලකයන් ගන්නා තීරනයකට හිසි නැවීම ආචාරධාර්මිකව අප කල යුතු කාර්යයක් වන අතර කෙසේ වුවත් එම තීරනය පිලිබද විවේචනාත්මක අදහසක් දැක්වීමට එම ආචාරධාර්මික බැදීම බාධාවක් කරගත යුතු නැති යැයි හගින නිසා මෙම කෙටි සටහන පල වේ.

දේශපාලනය එහි පලල් තේරුමකින් තේරුම් ගන්නේ නැතිව චන්දය,පාර්ලිමේන්තුව,එස් එෆ්,මහින්ද චින්තනය කියන ඉතාම සරල තේරුමින් මුලින්ම සලකා බලමු.
සමාජයක මිනිසුන් විවිධ වන අතර ඒ අයගේ රුචිකත්වයන්ද විවිධය.මේ බහුවිධිත්වය කිසි අයෙක්ට බැහැර කිරීමට නොහැක.මේ නිසා විවිධ විෂයන් ගැන විවිධ අය විවිධ ආකාරවලට උනන්දු වේ.තාක්ෂනික දේවලට ප්‍රිය කරන අය,ආගමික කරුනු ගැන ප්‍රිය කරන අය වගේම දේශපාලනය ගැන උනන්දු වන අයද මේ අනුව සමාජයක සිටී.එසේම දේශපාලන අදහස් පිලිබද වැඩිපුර ලිවීමට උනන්දු වන බ්ලොග්කරුවන්ද සිටී.
මෙවැනි සන්දර්භයක තාක්ෂනය,ආගම,පුද්ගලික දේවල් වැනි විවිධ විෂයන් අතරින් “දේශපාලනය” විතරක් මුල් පිටුවෙන් වෙන් කිරීමට තීරනය කිරීමේ පදනම කුමක්ද?

මේ සදහා ඉදිරිපත් වූ “බලන අයට අප්පිරියා වෙනවා” කියන විත්තිවාචකය ඉතාම දුර්වල හා අතාර්කික විත්තිවාචකයක් බව අපේ හැගීමයි.
“අප්පිරියා වීම”ට පොදු ( වාස්තවික ) අර්ථ නිරූපනයක් දෙන්න පුලුවන්ද?
අප්පිරියා වීම ආත්මීයයි.පුද්ගලයාගෙන් පුද්ගලයාට සාපේක්ෂයි.
කෙනෙක් දේශපාලන ලිපි නිසා බ්ලොග් අවකාශය අප්පිරියා වන බව කියනවා නම් තවකෙක්ට වින්ඩෝස් හෝ පවර් පොයින්ට් හෝ බෝල් පොයින්ට් ගැන ලියැවෙන තාක්ෂනික ලිපි නිසා සින්ඩියට ඒම අප්පිරියා බව කීමට පුලුවන.
කෙනෙක් දැන් ඒ විදිහට තාක්ෂනික ලිපි නිසා සින්ඩිය අප්පිරියා වන බව කිවහොත් තාක්ෂනික ලිපිත් මුල්පිටුවෙන් ඉවත් කිරීමට පියවර ගන්නවාද?
කෙනෙක් දේශපාලනය නිසා සින්ඩිය අවලස්සන වන බව කියන විට තවෙකෙක්ට එක එක්කෙනාගේ ඩයරියේ තිබෙන බල්ලට කෑම දීම,හන්තානට ට්‍රිප් එකක් යාම වගේ පුද්ගලික දේවල් නිසා සින්ඩිය අවලස්සන වන බව කිව හැක.එසේම දේශපාලන ලිපි නිසා සින්ඩිය අවලස්සන වන බව එකෙක් කියද්දි සින්ඩිය ලස්සන වෙන්නේ දේශපාලන ලිපි නිසා යැයි වෙනකෙක්ට කීමට හැක.
මින් පැහැදිලි වනුයේ ලස්සන වීම අවලස්සන වීම,ප්‍රිය වීම අප්පිරියා වීම අතිශය පුද්ගලික දෙයක් වන බවත් ඒ ගැන පොදු නිර්නායකයක් නිර්මානය කිරීම අතාර්කික බවත්ය.

ඒ නිසා වඩාත්ම හොද හා වඩාත්ම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය වන්නේ කවර මාතෘකාවකින් ලියැවෙන ලිපියකට වුව සාධාරන ලෙස සින්ඩිය තුල ඉඩක් ලබා දීමය.කියවන අය තම නැන පමනින් තෝරා ගත යුතු මාතෘකාව තෝරා ගෙන ලිපිය කියවනු ඇත.
බ්ලොග් කිහිපයක් වෙන් කර ඒවා දේශපාලනික ලෙස ලේබල් කොට මුල් පිටුවෙන් ඉවත් කිරීම අසාධාරන හා අනුචිත එකක් මෙන්ම ප්‍රජාතන්ත්‍ර විරෝධී එකක් වෙන්නේ ඒ පදනම මතයි.

ඒ නිසා අපේ ඉල්ලීම් සරලය.
තාක්ෂනය ගැන කියවන්නට කැමති අය තාක්ෂනය ගැන කියවපල්ලා!
ආගම ගැන සාහිත්‍යය ගැන කියවන්නට කැමති අය ඒ ගැන කියවපල්ලා!
දේශපාලනය ගැන කියවන්නට කැමති අය ඒ ගැන කියවපල්ලා!
මේ හැම මාතෘකාවකටම විශේෂයක් නැතිව මුල් පිටුවේ ඉඩක් දීපල්ලා!

එක් විෂයක් පමනක් රකිමින් අනිත් විෂයක් හෙලා නොදකිනු!
බ්ලොග් අවකාශයේ බහුවිධිත්වයට ගරු කරනු!

3 comments:

  1. මේ තීරණය ගැන මගේ ප්‍රතිචාරය Taboo Subjects බ්ලොග් එකේ හා වෙන තැන් කිහිපයක සටහන් කොට ඇති නිසා නැවත පුනරුච්චාරණය නොකරමි.

    ඊට එකතු කළ යුතු දෙයක් සේ පෙනෙන්නේ සිංහල බ්ලොග් කියවනයෙහි ඇඩ්මින්ලා අදේශපානික වීම හැරුණු විට දේශපාලනය ගැන හෝ තාක්ෂණයෙන් බැහැර කිසිම කාරණාවක් ගැන ඔවුන්ට අන්දෝ සංසාරයක දැනීමක්ද නැති වගය.

    100%ක් දේශපාලනික රාමචන්ද්‍රගේ අඩවිය හැරුණු විට සිංහල බ්ලොග් අවකාශයේ සිටින එකම දේශපාලනික නියෝජිතයාගේ අඩවියද (මෙම්බර් ඩොට් කොම්) ඔවුන්ට අනුව තවම අදේශපාලනිකය! තවකකු ජාතක කතා ශෛලියෙන් දේශපාලනය කතා කිරීමද ඔවුන්ට තවම අවිෂයය. "සුදන්ත සාදු" තමන් භික්ෂුවකව සිටියදී අත්දැකීම් ලිවීම 'ආගමික' කටයුත්තකි. කොහොමද ටිකිරි මොළේ?

    මේවා සිහි ගන්වන්නේ "කථා සරිත් සාගරය" භූගෝලය යටතේ වර්ගීකරණය කළ පියදාස සිරිසේනයන්ගේ "විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය" ආගමික යටතේ වර්ගීකරණය කළ කාලයක ලේක් හවුසියෙහි සේවය කළාය කියන සුදුසුකමක් නැති පුස්තකාලාධිපතිතුමාය!

    ReplyDelete
  2. සින්ඩිය ලස්සන කරන්න නම් මල් ටිකක් වැව්වොත් මොකද? එහෙම නැත්නම් වෙසක් එකට තොරණක වගේ ලයිට් ටිකක් දාමුද?

    සින්ඩිය නෝන්ඩි වෙන්න යනවද? නැත්නම් සින්ඩිය අපිට කින්ඩිය දානවද?

    ලංකාවේ අය දේශපාලන ලිපි වලට අකමැති නම් පත්තර හා ටීවී, රේඩියෝ ඔක්කොම වහලා දාන්න වෙනවා. හේතුව මේ සියල්ලෙහිම ජනප්‍රියතම වැඩසටහන් වන්නේ දේශපාලන වැඩසටහන්ය.

    සින්ඩිය තුල දේශපාලන ලිපි නිසා අනෙක් ලිපි වලට අසාධාරණයක් වන්නේ නම් සිදු කල යුතු වන්නේ "පය බරවායට පිටිකර බෙහෙත් බදින්නා සේ" විසදුම් ඉදිරිපත් කිරීම නොවන බව අවධාරණය කරමි.

    ReplyDelete
  3. සම්පූර්ණ ඇත්ත. මට මේකට එක්කහු කරන්න දෙයක් නැති තරම්

    ReplyDelete