Friday, January 15, 2010

රාජපක්ෂ පාලනය - EXPIRED!


ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික "සමාජවාදී" ජනරජයේ පස්වන විධායක ජනාධිපතිවරනයට තව ඇත්තේ සතියකට ආසන්න කාලයක් පමනයි.හවසට වැඩ ඇරිලා ඇවිල්ලා මුහුන කට හෝදගෙන රූපවාහිනිය ඉදිරිපිට වාඩි වී රාත්‍රී ආහාරය සමග ගන්නා අතුරු පසක් විදිහට දේශපාලනය සලකන සරල භාවිතාව වෙනුවට හැදෑරිය යුතු විෂයක් වශයෙන් දේශපාලනය ගන්න අයට වටිනා පාඩම් කිහිපයක් පසුගිය මාස කිහිපයක දේශපාලන චලනයන් විසින් ලබා දී තිබෙනවා.
ඉන් වැදගත්ම පාඩම දේශපාලනයේ ගතිකත්වය පිලිබද පාඩමයි.

මාස කිහිපයකට පෙර කොටි සංවිධානය මිලිටරිමය ලෙස පරාජය කිරීම සමග මහින්ද රාජපක්ෂ පාලනය එහි පැවැත්මේ උපරිම ලක්ෂ්‍යයට සේන්දු වෙනවා.එම ජයග්‍රහනය සමග මහින්ද රාජපක්ෂ අනබිබවනීය නායකයෙක් ලෙස ප්‍රතිරූපගත කෙරෙන අතර "ඔබතුමා වසර තිහක් මේ රටේ රජතුමා විය යුතු"යැයි පැවසෙන්නේ මහනායක හාමුදුරුවන්ගේ මුවෙන්.

2009 මැයි මස 19 වෙනිදා දක්වා රාජපක්ෂ ආන්ඩුවේ දේශපාලන ව්‍යාපෘතිය බවට පත්වී තිබුනේ එක්තරා අන්දමක ජාතිකවාදී ව්‍යාපෘතියක්.මේ ජාතිකවාදී ව්‍යාපෘතිය (මීට මාස කිහිපයකට පෙර මෙම බ්ලොග් අඩවිය තුලම පෙන්වා දුන් ලෙස) ප්‍රබුද්ධ ලාංකීය ජාතිකවාදී ව්‍යාපෘතියක් වෙනවා වෙනුවට ගොඩනැගිලා තිබුනේ සිංහලවාදී හා නොගැඹුරු ව්‍යාපාතියක් විදිහටයි.මේ ව්‍යාපෘතිය සමාජයේ අභ්‍යන්තර ප්‍රශ්න වලට ආමන්ත්‍රනය කරන විදිහට ඇතුලට නැඹුරු වීමක් හා සිංහල නොවන ජනකොටස් එකතු කරගන්නා ආකාරයට පිටට නෙරා යාමක් සිදුවිය යුතු බවටත් අදහස් පලවුනා.කොහොම වුනත් ඒ විදිහේ වෙනසක් රාජපක්ෂ පාලනයේ ව්‍යාපෘතිය තුල සිදුනොවුනු අතර 2009 මැයි මස 19 වන දාට පසුවත් දිගටම ක්‍රියාත්මක වුනේ රාජපක්ෂගේ පැරනි ව්‍යාපෘතියමයි.

කොටි සංවිධානයේ පරාජය විසින් ලංකාවේ දේශපාලනයේ විශාල සන්දර්භමය වෙනසක් ඇතිකලා.සිවිල් යුද්ධය විසින් යටපත් කොට තිබුනු විවිධ ප්‍රශ්න සමාජය ඉදිරියේ මතුවෙන්නට පටන් ගත් අතර සිවිල් යුද්ධයේ ප්‍රතිඵල විදිහට පැන නැගුන අවතැන් වූවන්ගේ ප්‍රශ්නය වැනි මානුෂීය ගැටලු රාශියකුත් සමාජය තුල පැන නැගුනා.
කොටින්ම යුද්ධකාලීන ලාංකීය දේශපාලන සන්දර්භය හා පශ්චාත් යුදකාලීන ලාංකීය දේශපාලන සන්දර්භය එකක් නෙමෙයි දෙකක්.
මේ විදිහට අලුතින් නිර්මානය වුනු දේශපාලන සන්දර්භය විසින් සියලු දේශපාලන බලවේගයන්ගෙන් ඉල්ලා සිටියේ ඇත්ත වශයෙන්ම අලුත් තත්වයන්ට ගැලපෙන අලුත් දේශපාලන භාවිතාවක්.අලුත් දේශපාලන භාෂාවක්.
උදාහරනයක් විදිහට යුද්ධය නිසා යටපත් කරලා තිබුන රජයේ සේවකයන්ගේ වැටුප් ප්‍රශ්නය උඩට එනකොට ඒ සදහා සංවේදි වෙනවා වෙනුවට පැරනි විදිහට කුමන්ත්‍රන කතා කියමින් ඒවා යටගැහීම මේ අලුත් තත්වයට ගැලපෙන්නේ නැහැ.සහල් මිල පිලිබද කාලාන්තරයක් තිස්සේ තිබෙන ප්‍රශ්නය පසුගිය කාලයේ හිස ඔසවනු අපි දුටුවා.මේ ප්‍රශ්නයේ ඇත්ත හේතුව ලංකාවේ කෘෂි ආර්ථිකයේ බෙදාහැරීමේ යාන්ත්‍රනය හා නිෂ්පාදනය සම්බන්ධ ව්‍යුහාත්මක ප්‍රශ්නයක්.මේ ප්‍රශ්නයට ආමන්ත්‍රනය කරනවා වෙනුවට රාජපක්ෂ ආන්ඩුව මේ ප්‍රශ්නය විග්‍රහ කලේ "ආන්ඩුව අපහසුතාවයට පත්කරන විජාතික කුමන්ත්‍රනයක්" විදිහටයි.
යුද්ධයට පසු සමාජයට ඇවැසිව තිබූ ප්‍රජාතන්ත්‍රවාදය සහ ජීවත් වීමේ නිදහස තහවුරු කිරීමේ භාවිතාවක් ආන්ඩුව වෙතින් පෙනුනේ නැහැ.යුද්ධයෙන් මාස ගනනක් ගතවුනු පසුවත් වීදි දිග අවි අමෝරා ගත් සොල්දාදුවන් සහ චෙක් පොයින්ට් දකින්නට ලැබෙන්නේ එහි ප්‍රතිඵලයක් විදිහට.හදිසි නීතිය හා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත වැනි මර්ධනකාරී අනපනත් තවමත් වලංගුව පවතින්නේ එහි ප්‍රතිඵලයක් විදිහට.

අලුත් දේශපාලන පරිසරයට ගැලපෙන නව භාවිතාවක් හදාගැනීමට ආන්ඩුව අසමත් වීමත් දිගින් දිගටම තමන්ගේ පැරනි නොගැඹුරු ජාතිකවාදී වචන උච්චාරනය කිරීමේත් ප්‍රතිඵලයක් විදිහට වේගයෙන් ආන්ඩුව ගමන් කලේ අධිපතිවාදී ආඥාදායකත්වයක් වෙතටයි.සමාජයේ අභ්‍යන්තර ප්‍රශ්න ගැන කතාකරන විදිහට ඇතුලට නොනැමී හුදු සටන් පාඨවලට සීමා වුන නොගැඹුරු ජාතිකවාදයන් නොවැලැක්විය හැකි විදිහට ආඥාදායකත්වයන් වෙත නැඹුරු වෙන බවට ලෝක ඉතිහාසයේ අපමන උදාහරන හමුවෙනවා.
විශේෂයෙන්ම අප්‍රිකානු රටවල් ගනනාවක මෑතකාලීන ඉතිහාසයන් මේ සම්බන්ධ පරමාදර්ශී ( ideal) නියැදීන් ලෙස ගත හැකියි.
නිදසුනක් විදිහට සිම්බාබ්වේහි මුගාබේ ගතහොත් සුදු යටත්විජිතවාදයට විරුද්ධව සටන් කිරීමේදී ඔහු අතින් වර නැගුනු ජාතිකවාදය සමාජය යම් අරමුනකට එකතු කිරීමේදී විශාල වැඩකොටසක් ඉටු කරනු ලැබුවා.
කෙසේ නමුත් යටත්විජිතවාදය කියන තර්ජනය ඉවත්වුනු පසුවත් මුගාබේ සිය පැරනි ව්‍යාපෘතියම දිගටම පවත්වාගෙන ගිය අතර සමාජයේ අභ්‍යන්තර ප්‍රශ්න වලට සංවේදී වුනු යාන්ත්‍රනයක් නිර්මානය කර ගැනීමට උත්සාහයක් සිදුවුනේ නැහැ.රටට නිදහස දුන් වීර නායකයා ලෙස මුගාබේව වර නැගුනු අතර මුගාබේට එරෙහි සෑම ක්‍රියාවක්ම රටේ අසහාය නායකයාට ද්‍රෝහී වෙන,එනයින් රටට ද්‍රෝහී වෙන ක්‍රියාවක් විදිහට හංවඩු ගැසුනා.පාලකයා වටේ සුපිරි නිලධාරී හා දේශපාලන තන්ත්‍රයක් ගොඩනැගුනු අතර මේ දේශපාලන තන්ත්‍රයේ සුඛ විහරනය ආරක්ෂා කෙරෙන තිරයක් බවට ජාතිකවාදී ව්‍යාපාතිය පත් වුනා.අවසාන ප්‍රතිඵලය වුනේ ප්‍රජාතන්ත්‍රවාදය අහිමි,සමාජ අර්බුද වලින් බැටකන ජනතාවක් බවට සාමාන්‍ය සමාජයේ ජනයා පත්වීමත් ඔවුන්ගේ දුක් මතින් වැජඹෙන පීඩකයන් සමූහයක් බවට සිම්බාබ්වේ පාලකයන් තහවුරු කරන දෘෂ්ටිවාදයක් බවටත් සිම්බාබ්වේ ජාතිකවාදය පත්වීමයි.

මහින්ද රාජපක්ෂ පාලනය වේගයෙන් ගමන් කරමින් තිබුනේ/තිබෙන්නේ එබදු ඒකාධිපති අන්තයක් කරා බව පැහැදිලියි.සුපිරි ඥාති හා නිලධර හවුලක් වටේ රාජ්‍ය බලය සංකේන්ද්‍රනය වීම,සමාජ ප්‍රශ්න ගැන කතාකරන වෘත්තිය සමිති නායකයන් කුමන්ත්‍රනකාරයන් විදිහට හංවඩු ගැසීම,මානව හිමිකම් ක්‍රියාධරයන්ට තර්ජන එල්ල විම,මානව හිමිකම් යනු "බටහිර දෙයක්" ලෙස ලේබල් කොට බැහැර කිරීම - මේ හැම දේකින්ම පැහැදිලි වෙන්නේ රාජපක්ෂ ආන්ඩුව ගමන් කරමින් තිබෙන අධිකාරිවාදී ආඥාදායක දිශානතියයි.වෙනෙකක් තබා අවුරුදු 30 ක් රජවිය යුතු යැයි මාස කිහිපයකට පෙර ආශිර්වාද කල මහානායක හිමියන් මේ වනවිට විරුද්ධ වාදීන්ට හිරිහැර කිරීම නවතන ලෙස ඉල්ලා ජනාධිපතිට ලියුම් ලියන තත්වයක් උද්ගත වී තිබෙනවා.
අලුත් දේශපාලන තත්වයන් විසින් ඉල්ලා සිටින අලුත් ප්‍රවේශයක් නොමැති වීම නිසා අවසානයේ මුගාබේ පන්නයේ ඒකාධිපතියෙක් වනවා හැර මහින්ද රාජපක්ෂට වෙන විකල්පයක් ඉතිරි වී නැහැ.

දැන් සමාජය ඉදිරියේ තිබෙන මූලිකම අභියෝගය නම් පබා වැනි දේශපාලනකිව ඉතාම නොවැදගත් කෙනෙකුටත් කතා කිරීමේ අයිතිය බැහැර කරන,ජාතිකවාදය සිය මජර පැවැත්ම සාධාරනීකරනය කරගැනීම සදහා ගනිකා වාත්තියේ යොදවන ආඥාදායක පාලනය නැමැති විලංගුව පුපුරවා දැමීමයි.
අලුත් තත්වයන්ට අනුරූපීව අලුත් වීමට නොහැකි නිසා රාජපක්ෂ පාලනය යල්පැන ගිය පාලනයක් බවට පත්ව තිබෙන බව පැහැදිලියි.
යල් පිනූ දේ ඉවතලමින් ඉදිරියට යාමට සමාජයකට හැකි විය යුතුයි.දේශපාලනයේ පලමු පාඩම නම් දේශපාලනය යනු ස්ථිතික වූවක් නොව ගතික හා නිරත්නර චලනයේ යෙදෙන එකක් බවයි.සමාජය හැමවෙලාවකම නිදහස පතා චලනයේ යෙදෙන බවට ප්‍රගතිය පිලිබද මිනිස් ඉතිහාසය අපට පෙන්වා දෙනවා.
නිදහස සොයා චලනය වන වර්තමාන ලාංකීය දේශපාලනය ඊට අඩ තබන රාජපක්ෂ පාලනය නැමැති විලංගුව පුපුරුවා දැමීම මේ අනුව නුදුරු අනාගතයේදී දකින්නට ලැබෙන අනිවාර්යයක්.
එය මේ ජනාධිපතිවරනයේදී සිදු නොවුවහොත් ඉනික්බිතව එලඹෙන ඊලග වසර දෙක තුන තුල අනිවාර්යයෙන්ම සිදු වේ යැයි උපකල්පනය කල හැකියි.
මේ අවස්ථාවන් දෙකෙහි වෙනස වන්නේ ජනාධිපතිවරනයේදී එය සිදුවුවහොත් එය අත්‍යන්තයෙන්ම සාමකාමී බල හුවමාරුවක් වීමයි.
ජනාධිපතිවරනයට පසු එය සිදු කිරීමට ගියහොත් එම ජයග්‍රහනය ලබාගැනීමට පිලිපිනයේ මාකෝස්ට එරෙහි නැගිටීම බදු "ඇග රිදෙන වන්දියක්" ගෙවීමට සමාජයට සිදු වනු ඇති.


එම නිසා
ජීවත් වුනත්
මිය ගියත්
මම වාසනාවන්ත මැස්සෙක්මි
- ඇට මැස්සා


7 comments:

  1. EXPIRED???. I don't think so.
    ඔබගේ දෘෂ්ඨියට අනුව අප වැනි "සිංහල ජාතිවාදීන්" තවමත් ලංකාවේ සිටී.

    wait & watch!!!

    ReplyDelete
  2. අඅන්න රාජිත උන්නැහෙ 13+ ලු. මල කෙලියයි නෙ නිලන්ත.

    ReplyDelete
  3. නිලන්තලාට
    තේරෙයි හැබැයි කල්යයි....

    ReplyDelete
  4. We need a strong analysis on the prospective results. I am waiting for more posts during the coming week.

    Ajith P. Perera
    Provincial Councillor – Western Province
    Chief Organiser UNP, Bandaragama
    Bandaragama.wordpress.com

    ReplyDelete
  5. @Ajith P. Perera බණ්ඩාරගම SF දිනවන්න අජිත් අන්කල් මේ ඔන්ලයින් කෑගහන්නේ නැතුව..

    ඔයාල වගේ අයව අයින් කරනන් ඕන ඡන්දෙන් පැරදුනොත්..

    ReplyDelete
  6. nice post rama,

    I agree with your idea. How ever 26th is the last day of this pracident. we need change.

    ReplyDelete
  7. This comment has been removed by the author.

    ReplyDelete