Wednesday, January 27, 2010

ජනාධිපතිවරනය අවසානය.නමුත් හැමදේම අවසානද?


question - What is your message for the Tamil speaking people?
president Rajapaksha- For those who speak Tamil ..(I say..) , now I too speak Tamil.
So there is no problem at all.

- Lakbima news 2010.01.25


මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරනයෙන් විශාල වැඩි චන්ද සංඛ්‍යාවක් සහිතව ජයග්‍රහනය කොට තිබේ.57%ට ආසන්න මෙම ප්‍රතිශතය දෙවැනි වන්නේ චන්ද්‍රිකා බන්ඩාරනායක 94 දී ලබාගත් ජයග්‍රහනයට පමනි.කවරෙක් කැමති වුවත් අකමැති වුවත් බහුතරයක් ජනයා රාජපක්ෂ රෙජිමය අනුමත කොට තිබෙන බව ප්‍රතිඵල විසින් හෙලිදරවු කරන යථාර්තයයි.
විය යුතු පරිදිම රතිඤ්ඥා හඩවල් අවට ගිගුම් දීම ආරම්භ වී ඇති අතර ආන්ඩුවේ මැති ඇමතිවරුන් ජය සැමරුම් කතා කීම ජයටම සිදුවෙමින් පවතී.රාජපක්ෂ පාලනය වෙනුවෙන් පෙනී සිටි බ්ලොග්කරුවන් ප්‍රීති සිනා නගමින් සතුටු වන අතර විවිධ ස්ථාවර මත සිටිමින් එය විවේචනය කල බ්ලොග්කරුවන් කලකිරුනු හා මන්දෝත්සාහී වූ බ්ලොග් සටහන් පලකරමින් සිටියි.මහා සමාජයේ ආන්ඩු පාක්ෂිකයන් විපක්ෂයේ අයට කොචොක් කරමින් සිටියි.විපක්ෂයේ ඇතැමුන් අන්තිම මොහොතේ හෝ මැතිවරන කොමසාරිස් ප්‍රතිඵල අවලංගු කරනු ඇත යන විශ්වාසයෙන් විවිධ කටකතා ආදිය ගැන පවා අවදියෙන් කෙසේ හෝ අස්වැසිල්ලක් ලබාගැනීමේ ආසාවෙන් පසුවූහ.
මේ ආකාරයට සෑම අතින්ම පෙනෙන්නට තිබෙන සංඛ්‍යා ලේඛනය.සිනා හඩවල්ය.කදුලුය.සුසුම්ය.

ලංකාව "ප්‍රජාතන්ත්‍රවාදී" රටකි.කවර හෝ අඩු ලුහුඩුකම් මධ්‍යයේ ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදයේ විවිධ ලක්ෂන ලංකාව තුල ආරක්ෂා වී තිබුන අතර දකුනු ආසියාව තුල මේ නිසා එම අර්ථයෙන් ලංකාව කැපී පෙනෙන රටක් වී පැවතින.
කෙසේ වෙතත් ඉතිහාසයේ - විශේෂයෙන් 80 දශකයෙන් පසු රට තුල විශාල හැල හැප්පීම් සිදු වීමේ ප්‍රතිඵලයක් විදිහට මෙම අවම ප්‍රජාතාන්ත්‍රික ලක්ෂන යට යාම ආරම්භ විය.තනි පුද්ගලයෙක් අත අසීමිත බලයක් ගොනු කරන විධායක ජනාධිපති ධූරය මීට බලපෑ ප්‍රබල හේතුවක් වූ අතර ප්‍රජාතාන්ත්‍රික අයිතීන් අහෝසි කෙරෙන මර්ධන නීති වන හදිසි නීතිය වැනි අන පනත් පැනවීමට අවශ්‍ය පසුබිම රට තුල තිබුනු යුදමය වාතාවරනය විසින් සම්පාදනය කොට දුන්නේය.

කෙසේ වුවද ප්‍රජාතන්ත්‍රවාදී හැසිරීම් වලට කොහොමත් අහිතිකර ලෙස තිබුනු ලංකාවේ දේශපාලන පරිසරය තවත් නරක අතට හැරෙන්නට ගන්නේ 2005න් පසුවය.
"තව වසර 70ක් මෙරට පාලනය කරන්නේ රාජපක්ෂවරුන්" යැයි චමල් රාජපක්ෂ කලා යැයි කියන ප්‍රකාශය 2005 න් පසු ඇති වූ ගුනාත්මක වෙනස හකුලුවා දක්වයි.
ප්‍රජාතන්ත්‍රවාදී ආයතන සතු විය යුතු තැන පවුලක නාමය හරහා විස්ථාපනය කර දමන ලද අතර 77 න් පසු මේ තරම් උත්සන්න පවුල්වාදයක් ලංකාව අත් දුටුවේම නැත.17 වෙනි සංශෝධනය වැනි රටේ මූලික නීති වලට පයින් ගසා හිතුවක්කාර ලෙස පාලනය ගෙන යාමට 2005 න් පසු පාලකයන් කටයුතු කල අතර මේ සදහා ඔවුන් ලද කදිම ආවරනය වූයේ යුද ජය පිලිබද කීර්ති රාවයයි.2010 හදිසි ජනාධිපතිරවනයක් කඩ පාත් වන්නේ ව්‍යවස්ථානුකූල ඒකාධිපතිත්වයක් කරා වර්තමාන පාලකයා යන ගමනේ එක් සංධිස්ථානයක් ලෙසය.

යුදමය පරිසරයක් තුල හකුලා දැමූ ප්‍රජාතාන්ත්‍රික අවකාශය දිගටම හකුලා තබනවාද යන්න මේ මොහොතේ සමාජය ඉදිරියේ තිබෙන ප්‍රධානම ප්‍රශ්නයකි.
2010 ජනාධිපතිවරනයේදී පාර්ශවයන් කදවුරු බෙදුනේ ඇත්තටම මේ පදනම මතය.එක් පාර්ශවයක් විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීම 17 වෙනි සංශෝධනය හා මාධ්‍ය නිදහස වැනි ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිසංස්කරනයන් යෝජනා කල අතර අනෙත් පාර්ශවය 17 වෙනි සංශෝධනය අනවශ්‍ය එකක් බවත්,විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීමේ යෝජනාව බටහිර කුමන්ත්‍රනයක් බවත්,අසංවර මාධ්‍ය "මෙල්ල" කල යුතු බවත් පවසමින් සටන තුල කටයුතු කලේය.
අවසානයේ සංඛ්‍යාත්මක ජය ලබා ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරනයන් අනවශ්‍ය බව තර්ක කල පාලක කන්ඩායමයි.
මේ කාරනා උඩ කල්පනා කරන විට චන්දය දිනා තිබෙන පාර්ශවයට පශ්චාත් යුද සමාජයකට අත්‍යවශ්‍යව පවතින ප්‍රජාතාන්ත්‍රික වෙනස්කම් වලට අවම වශයෙන් හෝ යොමුවීමේ කිසිදු සූදානමක් නොමැති බව උපකල්පනය කිරීම සාධාරනය.
( මිනිස්සුන්ට ප්‍රජාතන්ත්‍රවාදයක් ඕනෙ නැහැ ඕනෙ කරන්නෙ කන්න අදින්න යැයි අදහසක් රජයේ ඇමතිවරුන් මීට පෙර මතුකොට ඇත.බදුල්ලේ රැස්වීමක කතා කල නිමල් සිරිපාල ඇමති කීවේ " තමුන්නාන්සෙලාට විධායක ජනාධිපතිකම 17 වෙනි සංශෝධනෙන් වැඩක් තියෙනවද?තමුන්නාන්සෙලාට ඕනෙ සංවර්ධනය" යන්නයි.
බාල ඖෂධ ගෙන්වීමේ ප්‍රතිඵලයක් ලෙස රෝගීන් තිදෙනෙක් මිය ගොස් තිබියදීත්,තමන්ගේ වගකීම් නිසි ලෙස ඉටු නොකර තිබියදීත් මහජන මුදලින් පඩි ගන්නත්,එසේ පඩි ගනිමින් සැප විදින අතරේ "තමුන්නාන්සෙලාට ප්‍රජාතන්ත්‍රවාදයක් මොකටද" යැයි ලොකු ටෝක් දීමටත් නිමල් සිරිපාල වැනි ඇමතිලාට ඉඩ ලැබී තිබෙන්නේම ප්‍රජාතන්ත්‍රවාදයක් රටේ නැති නිසාය.ප්‍රජාතන්ත්‍රවාදයට - පුරවැසියාගේ හඩට - සමාජයේ ඉඩක් තිබේ නම් දේශපාලකයන් හා නිලධාරින් කිහිප දෙනෙක් කෝලම් නටන මඩුවක් වෙනවාට වඩා විධිමත් එකක් ලෙස සමාජය පවතිනු ඇත.)

ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරන වලට අමතරව පශ්චාත් යුදකාලීන සමාජයක් විදිහට අත්‍යවශ්‍ය අනිත් සාධකය නම් වාර්ගික ආතතීන් සමනය කරන යම්කිසි ප්‍රවේශයකි.
යුද කාලය තුල සමාජය වාර්ගික වශයෙන් දරුනු ලෙස ධ්‍රැවීකරනය වූ අතර සත්‍යය නම් දෙමල ජනයාට මේ මොහොතේදීත් පවතින රාජ්‍යය "තමන්ගේ" රාජ්‍යයක් ලෙස නොහැගෙන බවයි.
සුලු වාර්ගික ජනතාව දිනා ගන්නා,ඔවුන්ව දේශපාලන සමාජ ජීවිතයේ මහා ප්‍රවාහය තුලට අවශෝෂනය කරගන්නා,ජනවාර්ගික කොටස් අතර ඇති බිය සැක අවිශ්වාසය සංසිදුවාලන ප්‍රවේශයක් මේ මොහොතේ මේ සමාජයට අත්‍යවශයය.

නමුත් අවාසනාවකට මෙන් මෙම චන්දයේ ප්‍රතිඵලයත්,රාජපක්ෂ පාලනයේ හැසිරීමත් පෙන්නුම් කරන්නේ මොනවාද?
උතුරු නැගෙනහිර සෑම ආසනයක්ම මහින්ද රාජපක්ෂ විශාල චන්ද සංඛ්‍යාවකින් පරාජය වී තිබෙන අතර රාජපක්ෂට සුලුතර වාර්ගික කොටස් වල කිසිදු විශ්වාසයක් නොමැති බව මින් මනාව සනාථ වී තිබේ.මේ අවිශ්වාසය නිකම් ඇතිවූවක් නොවේ.මේ අවිශ්වාසය ඇති වුනේ රාජපක්ෂගේම හැසිරීම හරහාය.
අ) අවතැන් ජනයාහට සැලකූ අන්තිම පහත් ආකාරය
ආ)සන්නද්ධ කන්ඩායම් පෝෂනය කරමින් රජය උතුරු නැගෙනහිර ගෙන යන ක්‍රියා කලාපය
ඇ)යුද්ධයෙන් පසුව පවා දෙමල සමාජයේ මානුෂික ගැටලු ( අධි ආරක්ෂිත කලාප ප්‍රශ්නය,දෙමල සැකකරුවන් පිලිබද ප්‍රශ්නය ) කෙරේ ආන්ඩුව දැක්වූ අසංවේදී ආකල්පය
ඈ)තම වරදාන වලට නොනැමෙන මධ්‍යස්ථ දෙමල නායකයන් පවා කොටි ලෙස වර්ග කරමින් ගෙන ගිය බැහැර කිරිම් වාදී ආකල්පය ආදිය විසින් රාජපක්ෂ දෙමල සමාජයෙන් ඈත් කරන ලදී.
සිංහල දෙමල කොටස් අතර සමගිය කෙසේ වෙතත් මැතිවරන සමයේ වාර්ගික සැකය අවුලමින් රාජපක්ෂ රජය ක්‍රියා කල ආකාරය අන්තිම අගතිගාමී බවට සැකයක් නැත.ජාතික අපේක්ෂකයන් අතරින් කෙනෙක්ට සහය දීමට දෙමල සන්ධානය ගත් සාධනීය තීරනය සාදරයෙන් පිලිගන්නවා වෙනුවට ඔවුන් ගැන සැක උපදවමින්,සිංහල ජනයාගේ හැගීම් කුපිත කරවමින්,අධි ආරක්ෂිත කලාප ආදිය පිලිබද ඔවුනගේ මානුෂීය ඉල්ලීම් ගැන ඉතා පහත් ලෙස දකුනේ සමාජය තුල කුකුසක්,තරහවක් මතුකරවමින් රාජපක්ෂ ආන්ඩුව ක්‍රියා කල ආකාරයෙන් වාර්ගික සංහිදියාව ඇතිකිරීම සදහා මේ ආන්ඩුවට ඇති "කැපවීම" පිලිබද "හොද අවබෝධයක්" ඕනෑම කෙනෙක්ට ලබා ගත හැක.

පශ්චාත් යුද තත්වය විසින් මේ රටේ දේශපාලනයේ අලුත් වීමක් ඉල්ලා සිටී.ප්‍රජාතන්ත්‍රවාදය හා වාර්ගික සංහිදියාව ඒ "අලුත් වීම" තුල අනිවාර්යයෙන් පැවතිය යුතු අවශ්‍යතාවයන්ය.
ඒ අලුත් වීම ලබා දීමට රාජපක්ෂ ආන්ඩුවට හැකිද?
පෙනෙන්නට තිබෙන සියලු සාධක විසින් පෙන්නුම කරන්නේ පරන භාෂාවම,පරන ක්‍රියාකාරිත්වයම ගෙනයනවා මිස අලුත් තත්වය විසින් ඉල්ලන අලුත් වීම සදහා සූදානමක් රාජපක්ෂ ආන්ඩුවට නැති බවයි.
ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට ඒකාධිපතිත්වයත්,වාර්ගික සංහිදියාවේ මාවත වෙනුවට වාර්ගික සැකය මත පදනම්ව දේශපාලන බලය ඩැහැ ගැනීමේ මාවතත් රාජපක්ෂ දේශපාලනය විසින් නියෝජනය කරයි.රාජපක්ෂ පාලනය Expired යැයි අපි මැතිවරනයට සතියකට පෙර ලීවෙමු.
දේශපාලනිකව එය මේ මොහොතටත් වලංගුය.නව දේශපාලන පරිසරයට අනුව වෙනස් වීමට රාජපක්ෂට නොහැකි වීම විසින් දේශපාලනිකව මේ සමාජයට ඉදිරියේදී වාතයක් වන්නට නියමිත,යල් පිනූ අධිකාරියක් බවට ඔහුගේ පාලනය පත්ව තිබේ.මැතිවරනයෙන් ලද සංඛ්‍යාත්මක ජය හරහා මේ කාරනය යටපත් කල නොහැකි අතර ඇත්ත වශයෙන්ම මේ ජයග්‍රහනය සංඛ්‍යාත්මක ජයග්‍රහනයක් වූවාට ගුනාත්මක පරාජයකි!

රාජපක්ෂ ඉදිරියේ රට දියුනු කරතැයි සිතන්නන්ට,ඇමති මන්ඩලය 20ට බස්සවා,මර්වින්ව පන්නලා,දූෂනය අතු ගා දමා,රට එක කොඩියක් යටතේ හැටට හැටේ නග්ගලා ගනිතැයි මේ මොහොතේ සිහින දකින සද්ගුනවන්තයින්ට අපි බාධා නොකරමු.සිහින හරිම චමත්කාරයි.රජවරු කුමාරවරු ගැන දකින හීන වැඩියෙන් චමත්කාරයි.
ඒත් අපි දන්නා තරමට නම් උපෙක්ෂා ස්වර්නමාලිගේ විරුද්ධ අදහසවත් දරා ගත නොහැකි මනෝභාවයක් සහිත අයෙක්ට රටට ලබා දිය හැකි ප්‍රජාතන්ත්‍රවාදයක් නැත.
ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරන වලින් තොරව ස්ථාපිත කල හැකි යහපාලනයක් නැත.
යහපාලනයක් නොමැතිව තුරන් කල හැකි දූෂනයක් නැත.
තමන් ටෙලිප්‍රොම්ප්ටරයෙන් දෙමල කතා කරන නිසා දෙමල ජනතාවට "ප්‍රශ්නයක් නැතැයි" සිතා ඉන්නා පාලනයකින් ගොඩනැගෙන වාර්ගික සංහිදියාවක්ද නැති අතර පත්තු වන රතිඥ්ඥා ,බුබුලු දමන ජයපැන්,ඇමතිවරුනගේ පඩි වදන් ආදී මතුපිට සැරසිලි පිසදා බැලූ විට අමුවෙන්ම පෙනෙන්නට තිබෙන ඇත්ත පින්තූරය එය මිස අනෙකක් නොවේ.

15 comments:

  1. අතිශයින් ම හොඳ ලිපියක්. මා ලියූ ලිපියට ඔබේ ලිපිය සඳහා සම්බන්ධයක් තැබුවෙමි. ස්තූති යි යාථාර්ථයට නැවත අවදි කළා ට!

    ReplyDelete
  2. ඇත්ත ඇති සැටියෙන් දක්වන ලිපියක්. සමාජය මේ කාරණා පිළිබඳව දැනුවත් කළ යුතුයි.

    ReplyDelete
  3. good post,after the disaster
    keep moving

    ReplyDelete
  4. ජනාදිපති තුමා අපට ඔහුගේ ප්‍රජාචOචවාදය ලබාදේවි

    ReplyDelete
  5. අ) අවතැන් ජනයාහට සැලකූ අන්තිම පහත් ආකාරය

    OYA WAKYA THAVA PODDAK PAHADILI KARALA DAANNA PULUVANDA

    ReplyDelete
  6. @ gama
    ඒ අය චන්දය දී ඇති විදිහෙන් ඒ වාක්‍යය ගැන අදහසක් ඇති කර ගත හැක.අවතැන් කදවුරු බාහිරට විවෘත නොකර පවත්වාගෙන ගිය ආකාරය දන්නෝ දනිති.

    ReplyDelete
  7. @ Ramachandra, "දන්නෝ දනිති" අනෙ අයියෙ දන්නෙ නැති හින්ද අහන්නෙ, කියල දෙන්නකො.

    ReplyDelete
  8. rama,

    ඔබේ ලිපි වල පළවන අදහස් සම්බන්ධයෙන් මා සතුව පවතින්නේ කොන්දේසි විරහත එකඟතාවයකි. එ් අප දෙදෙනා දකින ආකාරයේ පොදු බවක් නිසා යැයි සිතමි. මම ඔබට ආරාධනා කරන්නේ හැකි සෑම අවස්ථාවකම උද්ගත වන තත්වයන් පිළිබඳව ඔබේ අදහස් ලියා ඔබ අප නියෝජනය කරන මතවාදයේ ශක්තිමත්භාවයට උරදෙන්න කියලයි.

    ReplyDelete
  9. @ හෂාන්

    අනිවාර්යයෙන්ම.අපි කාට කාටත් වැඩි වැඩියෙන් කතා කරන්න වෙන කාලයක් ඉදිරියේදී එන බව හැගෙනවා.මේ වෙලාවෙදී නිහඩ වෙන එක අපි කරගන්න අසාධාරනයක්

    ReplyDelete
  10. රාමා. එපා වෙලා හිටියෙ. ඒත් ආපහු විශ්වාසයක් හිතේ නැගගෙන එනව මේ වගෙ පෝස්ට් වලට පින්සිද්ධ වෙන්න.ඇත්ත, දේශපාලන මතයක් චන්ද ප්‍රථිපලයක් නිසා නතර වෙන්න ඕනෙ නැහැ. ස්තූතියි.

    ReplyDelete
  11. මේක තමා ධනේශ්වර රාජ්‍ය යන්ත්‍රයේ හැටි .මම අපේ දේශප්‍රේමි ජනතාවට ආරාධනය කරනවා තව වසර 6 ක් ආතල් ගන්න කියලා!!!!
    අහෝ දේශප්‍රේමි වැඩිහිටි ලමා සමාජය

    ReplyDelete
  12. බොහෝ අය මේ මෙහොතේ දකිමින් ඉන්නා සොඳුරු සිහින වලට දැන්ම බාධා කල යුතු නැත. සිහිනය කෙලවර ඛේදවාචකය යනු දැන් අනිවාර්්‍යයකි.
    ඇත්තම කිවහොත්, එක්තරා නරුම ආශ්වාදයක් ද සහිතව මම මහින්ද ජයග්‍රහණය කරනු බලා සිටියෙමි. ලිඳට වැටුනු මේ සමාජය ගොඩට ආ යුත්තේද ඒ ලිං කටින්මය. එහෙත් ඒ වෙනුවෙන් කෙවන් වූ වන්දියක් ගෙවන්නට සිදු වේ දැයි කීමට තවමත් කල් වැඩිය.

    නිමල් සිරිපාල වැනි දේශපාලන පිසාචයන් ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය කුමකටදැයි අසන්නේත්, නොඑක් රාජ්‍ය ආයතනයන් ගුවන් විදුලි සුභ පැතුම් හරහා 'ඔබයි අපේ සැමදා ජනපති' යනුවෙන් ප්‍රශස්ති ගැයෙන්නේත් අහඹු ලෙස නොවිය හැකිය.

    ප්‍රජාතන්ත්‍රවාදය යනු කුමක්දැයි සරල හැඟීමක් පවා නැති ජනකායකට ඔවුන්ටම ගැලපෙන නායකයා ලැබී ඇත.

    නිහඩතාවයට තිත තැබිය යුතු කාලය එළැඹෙමින් පවති. එහෙත් එය අඳුරු කාල පරිච්ඡේදයක් වන බවට නම් නිසැකය.

    ReplyDelete
  13. ඔබ තුන් කල් දැක එදා ලියා තැබූ මෙම ලිපිය එදාට වඩා වටින්නේ අදටයි ! අප අද එම අඳුරු යුගය අත් දකිමින් සිටිමු.

    ReplyDelete