
"අයුක්තිය යථාර්තය වූ විටෙක යුක්තිය වූ කලී සටන් වැදීමයි"
පසුගිය දිනෙක ඉන්දීය අගමැති මන් මෝහන් සිං ඉන්දියාව මුහුන දෙන විශාලතම අභ්‍යන්තර තර්ජනය (internal threat)වශයෙන් එරට ව්‍යාප්ත වෙමින් තිබෙන මාඕවාදී කැරැල්ල නම් කලා.මෙය "විශාලතම අභ්‍යන්තර තර්ජනය" වශයෙන් පිලිගැනීමෙන් කාශ්මීර අර්බුදය තරම්ම තර්ජනාත්මක සාධකයක් බවට ඉන්දියාවේ මාඕවාදී ගරිල්ලන් පත්ව තිබෙන බව ඒ අනුව ඉන්දීය මධ්‍යම රජය නිල වශයෙන් පිලිගෙන තිබෙනවා.
"නැක්සලයිට් කැරැල්ල" ලෙස පොදු ව්‍යවහාරයේදී හදුන්වන ඉන්දියාවේ මාඕවාදී ගරිල්ලා යුද්ධය සමහර විට ඉදිරි වසර කිහිපය තුල කලාපයේම දේශපාලන සිතියම වෙනස් කිරීමට තුඩු දෙන ව්‍යාපාරයක් වීමේ ලක්ෂන පෙන්වනවා.ඉන්දියාවේ ප්‍රාන්ත 20 ක දිස්ත්‍රික්ක 220ක් වැසී යන ලෙස මාඕවාදී සන්නද්ධ ක්‍රියාකාරකම් ව්‍යාප්ත වී තිබෙන අතර එය භූගෝලීය වශයෙන් සමස්ත ඉන්දියාවේ 40%ක පමන භූමි ප්‍රදේශයක් ආවරනය කරනවා.ඉන්දීය රජයේ පාලනයෙන් ගිලිහී ගරිල්ලා හමුදා විසින් පාලනය කරන භූමි ප්‍රමානය වර්ග කිලෝ මීටර 92 000 ක් වශයෙන් සැලකෙනවා.ආන්ද්‍රා ප්‍රදේශ් ඇතුලු නැගෙනහිර ඉන්දීය කලාපයේ තදින් මෙම අරගලය පැතිර යමින් පවතින අතර එහි බරපතලකම මන් මෝහන් සිංගේ මුලින් දැක්වූ ප්රකාශයෙන්ම වටහා ගත හැකියි.
දකුනු ආසියාවේ මෑතකාලීනව මෙසේ තදින් අවධානයට ලක්වූ අනෙත් සන්නද්ධ අරගලය වූයේ නේපාලයේ මාඕවාදී සටන්කරුවන්ගේ නැගිටීමයි.වසර කිහිපයකට පෙර නිකම්ම නිකම් "ත්රස්තවාදීන්" පිරිසක් වශයෙන් මාධ්‍ය විසින් හැදින්වු නේපාල සටන්කරුවන් කෙතරම් ශක්තිමත් වූවාද යත් නේපාලයේ තිබුන පාලනය පෙරලා දමා ආන්ඩු බලය ලබාගැනීමටත් සමත් වුනා.මේ වනවිට ආන්ඩුවෙන් ඉවත්ව කටයුතු කලත් නේපාලයේ ශක්තිමත්ම තනි කන්ඩායම වශයෙන් සැලකෙන්නේ එරට මාඕවාදී ව්‍යාපාරයයි.
නේපාලයේ සිදුවු මෙම නැගිටීම එක්ක ඉන්දියාවේ ප්‍රාන්ත පුරා ඇවිලී යන ගරිල්ලා සටන ගත්විට මාඕවාදී සටන් ව්‍යාපාර කලාපය තුල විශාල වර්ධනයක් අත්කරගෙන සිටින අන්දම පැහැදිලිව නිරීක්ෂනය කරන්න පුලුවන්.
වැඩි කල් යන්න පෙර අමෙරිකාවටත් තර්ජනයක් වන රටක් බවට පත්වෙනවා යැයි පාරම් බාන ඉන්දියාව තුල මෙවැනි දැවැන්ත පුපුරායෑමක් ඇතිවුනේ කොහොමද?කලාපයේ බලවතා ලෙස අසල්වාසීන්ටත් ආධාර බෙදන රටක හා ලෝකයේ හතරවෙනියට විශාල හමුදාව සිටින රටක මධ්‍යම රජය සසල කරවන මෙවැනි අරගලයක් පැන නැංගේ කෙසේද?
මේ කාරනය ගැන සාකච්ඡා කිරීමේදී මාඕවාදී ව්‍යාපාරයේ සංයුතිය ගැන කතාකිරීම වැදගත් වෙනවා.
මාඕවාදී ගරිල්ලා යුද්ධයට සම්බන්ධ වී සිටින්නේ ඉන්දියාවේ ප්‍රත්‍යන්ත ප්‍රදේශවල ග්‍රාමීය දිලිදු ජන කොටස්.විශේෂයෙන්ම එම ජනකොටස් අතර සිටින තරුන පිරිස් මෙම යුද්ධයේ පුපුරන සුලු න්‍යෂ්ඨිය වශයෙන් ක්‍රියා කරනවා.වනගත වෙමින්,කැලෑ වල ඉතාම දුෂ්කර තත්වයන් යටතේ සන්නද්ධ සටන් පුරුදු වන මෙම සටන්කාමී තරුන පිරිස් ඉන්දීය මධ්‍යම රජයට වගේම ප්‍රාන්ත රජයන්ට විවෘතව අභියෝග කරමින් මුලු ලෝකයේම අවධානය තමන් වෙත යොමුකරගනිමින් සිටිනවා.
ඒ වගේම ඉන්දියාවේ ප්‍රාන්තවල ජීවත් වන ගෝත්‍රික ජනයා අතර විශාල පිලිගැනීමක් මෙම ව්‍යාපාරයට ලැබී තිබෙන ආකාරය නිරික්ෂනය කරන්න පුලුවන්.සංවර්ධනයේ පුලුටකුදු නොදුටු,ඉන්දීය පොලිසි වල තාඩන පීඩන වලින් හෙම්බත්ව සිටින මෙම ගෝත්‍රික ස්වදේශීය කොටස් මාඕවාදී අරගලයේ සක්‍රීය කොටස්කරුවන් විදිහට වැඩකරනවා.
කලාපයේ බලවතා බවට පත්ව සිටින ඉන්දියාව ඇත්ත වශයෙන්ම බාහිර වශයෙන් පිම්බුනත් අභ්‍යන්තර වශයෙන් එහි සමාජය බොහොම අසමතුලිත සමාජයක්.සාමාන්‍යයෙන් ඉන්දියාව තුල ලෝක දෙකක් තිබෙන බව පිලිගැනෙනවා.ඒ විශාල කටවුට් හා බිල්බෝඩ් වල සිනාසෙන සිනමා තාරකාවන්ගේ හා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ලෝකය සහ ඒ කටවුට් යට හිගාකන,හාමතේ මියයන දිලින්දන්ගේ ලෝකයයි.
"ඉන්දියාව" කියල අපි හදුනගන්නේ සිනමා තාරකාවන් රගන,දිලිසෙන කටවුට් ලෝකය මිස ඒ යට පොලොව මත තිබෙන ඇත්ත භූමිය නෙමෙයි.
රනිල් වික්‍රමසිංහගේ regaining sri lanka වැඩපිලිවෙලට සමාන්තරව ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂ ආන්ඩුව ක්‍රියාත්මක කලේ shining india යනුවෙන් වැඩසටහනක්.ලංකාවට 1977 දී ආ "විවෘත ආර්ථිකය" යන වැරදි නමින් හදුන්වන ලිබරල්වාදී වෙලදපොල ආර්ථික ප්‍රවේශය ඉන්දියාවේ නිල ආර්ථික ප්‍රවේශය බවට පත්වුනේ 1991 දී.රිගේනින් ශ්‍රී ලංකා වගේම ෂයිනින් ඉන්ඩියාත් ඒ ලිබරල් ආර්ථිකය ඉදිරියට ගෙන ගිය ව්‍යාපෘති වූ අතර දැන් ලංකාවේ අපි වවමු රට නගමු යනුවෙන් රැවටිලි සහගත නමකින් පරන ලිබරල් වෙලදපොල ව්‍යාපෘතිය දිගටම පවතින අතර සිය "ජාතිකවාදී" අනන්‍යතාවය හගවන ජටාව බැදි මන්මෝහන් සිං අගමැතිගේ වත්මන් ඉන්දීය පාලනය පරන බීජේපී ව්‍යාපෘතියම වෙනස් ස්වරූපයකින් ඉදිරියට ඇදගෙන යමින් තිබෙනවා.මේ අනුව ගත්තම ලංකාවෙයි ඉන්දියාවෙයි සමානකම් සිත්ගන්නා සුලුයි!
ලිබරල්වාදී ධනේශ්වර වෙලදපොල ආර්ථිකයේ ලක්ෂනය සම්පත් සංකේන්ද්‍රනය වීමයි.
ඒ කියන්නේ ආර්ථිකයේ මොනතරම් දැවැන්ත ප්රමානාත්මක පිබිදීමක් ඇතිවුනත් ඒ පිබිදීම එක්තරා පංතියක් හා සමාජ කොටස් කිහිපයක් අත සීමා වෙනවා.සමාජයේ පතුලට ඒ පිබිදීම ගලාගෙන යන්නෙ නැහැ.ටාටා බිර්ලා වැනි මහා ප්රකෝටිපතියන් ඉන්දියාවේ බිහිවෙලා තියෙන අතර නාගරික මධ්‍යම පංතික කොටස් කිහිපයක් වෙතද අඩු වැඩි වශයෙන් "ඉන්දීය පිබිදීමේ" ප්රතිලාභ ගිහින් තිබෙනවා.
මෙහි ප්‍රතිඵලය කුමක්ද?
ප්‍රතිඵලය වන්නේ සමාජ පිරමීඩයේ ඉහල ස්ථරයන් දෙක තුන සෞභාග්‍යයෙන් ධනයෙන් හා යස ඉසුරින් ආඩ්‍ය වීම හා සමාජ පිරමීඩයේ පහල කොටස් ඉහල බලාගෙන හිගමන් යදින තත්වයට පත්වීමයි.ඉන්දියාවේ එක ලෝකයක සුරපුරයකුත් අති විශාල බහුතරය ජීවත් වන අනිත් ලෝකයේ අවීචි මහා නරකාදියකුත් නිර්මානය වෙලා තියෙන්නෙ ඒ හින්දා.
(මේ ලක්ෂනයම ලංකාවේත් දකින්න පුලුවන්.ලංකාවේ මුලු නිෂ්පාදනයේ 50% බස්නාහිර පලාතේ රැදෙන විට ඌවට ගලන ප්‍රමානය 5% ඉක්මවන්නෙ නැහැ.ජනගහනයේ ධනවත්ම 20% ජාතික ආදායමේ හරි අඩකටත් වැඩි ප්‍රමානයක් භුක්ති විදින විට දුප්පත්ම 10%ට ලැබෙන්නෙ ජාතික ආදායමේ 1% ක අගයක් පමනයි.නමුත් ඉන්දියාවේ තරම් උග්‍ර තත්වයක් මෙහි ඇතිනොවෙන්න අඩු පාඩු මැද වුනත් පවත්වාගෙන ඇවිත් තිබෙන සුබසාධන සේවා හේතුවෙලා තියෙනවා.සටහන ඉන්දියාව ගැන නිසා ඒ ගැන වැඩිදුරටත් මෙහිලා කතාකෙරෙන්නේ නැහැ.)
කෙසේ වෙතත් මාඕවාදී ගරිල්ලා යුද්ධයේ ස්වරූපයෙන් මේ නිසා පුපුරා ගොස් තිබෙන්නේ ඉන්දියාව වසාගත් අසමානතාවය ගැන සමාජයේ පහල පාංතික ජනතාව අතර තිබෙන අප්රසාදයයි.විරෝධයයි.
ඉන්දියාවේ ගම්බද ප්‍රදේශවල තවමත් ශේෂ වී තිබෙන කුල පීඩනය මෙම සටන් රැල්ලට ඉන්ධන සපයන සාධකයක් වෙලා තියෙනවා.සාමාන්‍යයෙන් කුල බෙදීම වගේ වැඩවසම් ලක්ෂන අහෝසි කරල දැමීම ධනවාදය විසින් කරන කාර්යයක් විදිහටයි සැලකෙන්නේ.නමුත් දශක ගනනාවක් ගෙවුනු පසුවත් ගම්බද වැඩවසම්වාදය ඉක්මවීමට ඉන්දියාවේ ධනවාදයට නොහැකි වෙලා තියෙන නිසා මාඕවාදී ව්ප්ලවකාරීන් එම ප්රජාතන්ත්රවාදී කාර්යයත් තමන්ගේ සටනෙහි කාර්යයක් විදිහට භාරගෙන තිබෙනවා.
තමන්ගේ ප්‍රශ්න වල හේතුව හොයාගන්න බැරි වුන විට බොහෝවිට පීඩාවට පත්වූ පිරිස් කරන්නෙ අදේශපාලනිකව තමන්ගෙම වර්ගයේ එකිනෙකා මරාගෙන අසහනය පිටකරගැනීම.
එහෙමත් නැතිනම් ආගම්වාදීව හෝ ගෝත්රවාදීව සංවිධානය වෙලා වෙනත් වර්ගයක් මත "පීඩනයේ හේතුව" ආරෝපනය කොට වෙනත් ජන කොටසක් අනෙකා බවට පත්කර ගැනීම.පත්කරගෙන වර්ගවාදීව මරා ගැනීම.ලංකාවේ දෙමල නැගිටීම,ඉන්දියාවේම විවිධ ජාතිකත්වයන් අතරින් පැන නැගුන (සික් කැරැල්ල) වැනි අරගල නිරීක්ෂනය කලාම මේ ලක්ෂනය දකින්න පුලුවන්.
නමුත් දිස්ත්‍රික්ක 220 පුරා විවිධ ජාතික කොටස් ගෝත්‍ර ඒකාබද්ධ කරමින් පැතිර යන ඉන්දියාවේ මාඕවාදී නැගිටීම මේ හැම එකකින්ම වෙනස් වෙන්නේ එය ප්රශ්නයේ "දේශපාලනිකය" ග්රහනය කරගෙන සිටින නිසා.
තමන්ගේ විදවීම් වල හේතුව ඉන්දියාවේ අසාධාරන සමාජ දේශපාලන ක්‍රමය යැයි නිවැරදිව වටහාගෙන සිටින මෙම සටන්කරුවන් සිය සටනේ අරමුන ලිබරල් ධනවාදී ක්‍රමය පෙරලා දැමීම යැයි ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර සිටිනවා.
කෙසේ වෙතත් 1967 බෙංගාලයේ නක්සල්බාරි ගම්මානයෙන් හටගත් මාඕවාදී සටන, බිදවැටීම් පරාජයන් වරද්දා ගැනීම් හා පාවාදීම් ගනනාවක අත්දැකීම් හරහා 2009 වන විට "විප්ලවය" කලාපයේ දේශපාලන සිතියමේ මගහැරිය නොහැකි සංසිද්ධියක් වශයෙන් ඉදිරියට ගෙනැවිත් තිබෙන බව පැහැදිලියි.


