Wednesday, April 29, 2009

මැයි 01 දොරකඩ සිට....


ධනයෙහි උල්පත ශ්‍රමයයි.
මිනිසා අනෙකුත් සත්ව වර්ගයාගෙන් තීරනාත්මකව වෙනස් කරන ලද්දේද ශිෂ්‍ටාචාරයේ ගාමක බලවේගය බවට පත්වූයේද මිනිස් ශ්‍රමයයි.දහඩිය සහ බුද්ධිය විසින් ඉතිහාසය ගොඩනගන ලදී.මානව සංස්කෘතිය නිර්මානය කරන ලදී.
අද්‍යතන ජීවිතයෙහි බලය වූ කලී -අනෙකුත් සියලු විසිතුරු දවටන ඉවතලා බැලූ කල- ශ්‍රමය මිස අනෙකක් නොවේ.
කම්හලෙක මැසිම කරකවන දෑත්,යතුරු පුවරුවක වේගයෙන් ගැටෙන ඇගිලි ස්පර්ශය,දිවා රෑ පුරා රසායනාගාර තුල වෙහෙසෙන දෑස් හා මස්තිෂ්ක සෛල-ධනය හා සෞභාග්‍යය නිර්මානය කිරීමේ පදනම මේ සියල්ලෙහි ඓක්‍යය මිස අන් කවරක්ද?

ඉතිහාසය නිර්මානය කල ශ්‍රමය එසේ වුවද ඉතිහාසය පුරා පාගා දමා තිබුනි.එසේ නැතිනම් සමාජ දේශපාලන ජිවිතයේ කේන්ද්‍රයෙන් ඉවතට පිටවහල් කර දමා තිබුනි.
දුට්ටගාමිනී 'රජු' විසින් රුවන්මැලි සෑය කෙරෙන ලදී යනුවෙන් ඉතිහාස ග්‍රන්ථ වල ලියැවී ඇත.සෑය ගොඩනැගුමට වෙහෙසුනු දෑත්වල හිමිකරුවන් පිලිබද අකුරකුදු එසේ නමුදු සටහන් වී නැත.ටජ්මහල ගොඩනැගුවේ සාජහන් "රජු"ය.චීන මහා ප්‍රාකාරය තව කවුරු හෝ රජෙකුගේ නිමැවුමකි.පිරමීඩ ඉදිකලෝ-ඒත් රජවරුය.කුමාරවරුය.මේවා වෙනුවෙන් සැබැවින්ම වෙහෙසුනු/නිදි වැරුනු/කරගැට මතුවුනු දෙඅත් හිමි හුදී ජනයා අමතක කොට දමා තිබෙන අතර ඔවුහු හුදෙක් මෙහෙකරුවෝ පමනක් වූහ.
වැඩ කරන ජනයා-සමාජයේ තීරන ගැනීමේ බලය ඔවුනගෙන් සැමදාම වෙන් වූ එකක් ලෙස පැවතින.පුරාන රෝමයේ වහලාගේ සිට වර්තමාන ලංකාවේ කය මනස වෙහෙසා වැඩකරන ශ්‍රමිකයා දක්වා සියලු දෙනා දක්වා ඇති සමාන ලක්ෂනය එයයි.බලය සෑම සමාජයකදීම/සමාජ ක්‍රමයකදීම පොදු සමාජයෙන් වෙන්ව උස්ව වැජඹෙන චූල සමාජයක,වරප්‍රසාද ලත් බමුනු කුලයක,පංතියක පරවේනි උරුමයක් විය.
එය අදද එසේමැ වී පවතී.
රාජ්‍ය බලය වරප්‍රසාද ලත් සුපිරි පංතියක් අත රැදී ඇත.එම සුපිරි පංතිය‍ වෙනුවෙන් පේවුන රූකඩයන් නහුතයක් අතරින් රූකඩයන් 225ක් වසර පහකට වරක් රුපියල් පහලොවට පින් බත් ගිලීම උදෙසා පාර්ලිමේන්තුව නමැති කතා සාප්පුවට යැවීමේ "බලය"පමනක් සමාජයට ලබාදි ඇත.මෙම වංචනික ක්‍රියාවලිය "ජනතා පරමාධිපත්‍යය" යන මහාප්‍රාන නාමයෙන් හදුන්වනු ලැබේ.කවර රූකඩයා දියවන්නාවේදී ගරු බුහුමන් ලැබුවත් ලාෆ් ගෑස් මුදලාලි වර්ගයේ ගසා කන්නෝ/මූල්‍ය ධනපතීහු ආන්ඩුව හා විපක්ෂය අතර ඇද ඇති කඹයේ නටති.එහි යෙහෙන් වැජඹෙති.
මැයි පලමු වැනිදා ගැන අප කතා කරන්නට යොමු වනුයේ මෙම සන්දර්භය යටතේය.
මැයි දිනය යනු කුමක්ද?
මැයි දිනය යනු ශ්‍රමයේ දිනයයි.වැඩකරන මිනිසාගේ දිනයයි.සමාජයෙහි කේන්ද්‍රයෙන්, දේශපාලන බලයෙන් ඉවතට පලවා හරින ලද එසේ වුවද ජාතික ධනය බිහිකරන,සමාජ ධනයේ හා බලයේ සැබෑ උරුමකරුවන් විය යුත්තන් වෙනුවෙන් වෙන්වුනු දිනයයි.
හෙට දවස පිලිබද අපේක්ෂා අහිමි කරවනු ලැබ මහ මග අයාලේ යන විරක්ෂාවට ලක්වුන තරුනයාගේ,වතුකරයේ ලැයිම් කාමර තුල සිරවී ගිලී ගිය දෑස් සහිතව දවසරින මැදිවියේ කම්කරුවාගේ,කුලියට ජීවිත කාලයම කඹුරන විශ්‍රාම වැටුපකුදු නොමැතිව දිරා යන ස්ත්‍රියගේ,දිනෙන් දින කප්පාදු කෙරෙන ප්‍රතිපාදන යටතේ අඩු පහසුකම් මධ්‍යයේ සිප් සතර හදාරන ශිෂ්‍යයාගේ-කොටින්ම කිවහොත් පවතින සමාජ ක්‍රමය විසින් පීඩනයට අවමානයට හා සූරාකෑමට ලක්කොට ඇති සියලු පීඩිතයන් උදෙසා වෙන් වූ දිනයක් වේද එය වූ කලී මැයි දිනයයි.
‍මේ අනුව මැයි දිනය අපට දෙන්නේ ශ්‍රමිකයා විසින් -පැය අටක වැඩ දිනය වැනි- දිනාගත් දේ ගැන සැමරීමක් පිලිබද පනිවිඩයක් පමනක් නොවෙයි.එය දිනා ගත යුතු එහෙත් දිනා ගෙන නැති තීරනාත්මක යමක් පිලිබද පනිවුඩයක් ගෙන එයි.
ඒ තීරනාත්මක "යම" යනු අනෙකක් නොව බලයයි.
බලය රහිතව පීඩිතයාට පීඩනය අහෝසි කල නොහැක.
මැයි දිනයෙහි වර්නය රතු වී තිබෙනුයේ ඇයිද යන්න බොහෝ අය දන්නේදැයි නොදනිමු.රත වූ කලී විරෝධයෙහි වර්නයයි.අරගලයෙහි සහ යුක්තියෙහි වර්නයයි.

එජාපය මෙවර මැයි දිනය සමරන්නේ නැති අතර ඒ වෙනුවට ආගමික වතාවත් වල යෙදී එලොවට සරිලන සේ පිනක් දහමක් කොට බන පදයක් ඇසීමට එම පක්ෂය තීන්දු කොට තිබේ.අතීතයේ සිය දාසයන් වලව්වට කැන්දා විශේෂ දවසකට හිනා මූනක් සමග පිලිකන්නේ වාඩි වී බුදින්නට යමක් දීමේ වැඩවසම් සිරිත සිහිපත් කරමින් ජනාධිපති උතුමානෝ රජවාසලෙහි නාඩගමක් නැටීමට මෙවර සූදානම්ව සිටින බව පුවත් පත් වාර්තා කොට තිබුනි.ප්‍රභාකරන්ගේ දුවගේ විභාග සහතික වැනි සංදර්ශන පෙන්වා ලිස්සා යා නොහැකි තරමට පවතින සිස්ටම් එක දෙදරා ගොස් ඇත.ඉනුදු නොනැවත ඉදිරි මාස කිහිපය තුල වඩාත් දරුනු ලෙස එය අර්බුදයට යාමට නියමිතය.ඒ නිසා නාඩගම් නැටිමට හුරු වීම දැන් සිටම එතුමාගේ නුවනට හුරුය.ලංගම වැඩ වර්ජනය ලෙස පසුගිය දිනෙක පුපුරා ගියේ මෝදුවෙමින් තිබෙන අසහනයයි.ජූලි 10 වර්ජනය යටපත් කලා සේ සමාජ විරෝධය මතුවටද යටපත් කිරීම එතරම්ම සනීපදායක වැඩක් නොවනු ඇත.

කෙසේ වෙතත් ප්‍රධාන පක්ෂ දෙකෙහි නායකයෝ වීදියෙන්/මහ පොලොවෙන් ඉවත්ව මාලිගා,පන්සල්වල රැදී මැයි දිනය "සැමරීමට" පටන් ගැනීම ඉතාම හොද දෙයකි.මන්ද පවතින අයුක්තිසහගත දේශපාලන සමාජ ක්‍රමය රැකීමට සිටින මෙවැන්නන්ට එම අයුක්තියටමැ ගොදුරු වූවන්ගේ දිනය සැමරීමට සදාචාරාත්මක අයිතියක් නැති බැවිනි.
කෙසේ වුවද තවද මැයි දිනෙක දොරකඩක සිට-අවධාරනය කල යුත්තේ මෙයයි.
ඉතිහාසය නැවත ලිවිය යුතුය.එය ලියනු වස් පන්හිද අතට ගත යුත්තේ ඉතිහාසය පුරා රැවටීමට භාජනය කරන ලද කය මනස වෙහෙසන්නාය.පීඩිතයාය.


" ස්වකීය අදහස් හා අරමුනු සැගවීම කොමියුනිස්ට්වාදීහු පිලිකෙව් කරති.දැනට පවතින සමාජ තත්වයන් අතරමැද සමාදානයක් රහිතව බිද හෙලීමෙන් පමනක් සිය අරමුනු සපුරා ගත හැකි බව ඔවුහු ප්‍රසිද්ධියේම පවසති.නැගී එන විප්ලව මාලාවක් හමුවේ පාලක පංතීහු බියෙන් වෙවුලත්වා!
ස්වකීය දෑත දෙපය බැදි යදම් හැර පීඩිතයන්ට නැති වීමට දෙයක් නොමැත.නමුත් ඔවුනට දිනා ගැනීමට ලෝකයක් ඇත "

- කොමියුනිස්ට් ප්‍රකාශනය - මාක්ස් / එංගල්ස් -

(සටහනෙහි ඡායාරූපය - ලන්ඩන් නගරයෙහි පැවැති මැයි දින සැමරුමකදී ගන්නා ලද්දකි)

Thursday, April 23, 2009

පක්ෂ දේශපාලනය අතහැර සමගිවීම - දිනෙන් දින වයස්ගත වන රොමෑන්ටික් සිහිනය


සියලු සිංහලයන් පක්ෂ භේද අත් හැර එක්සත් විය යුතු බවට වූ බ්ලොග් සටහනක් පසුගිය දිනෙක දකින්නට ලැබුනා.60 දශකයෙහි පමන පලවූ මීට ටික කලකට පෙර මා ඇස ගැටුනු සගරාවකත් පක්ෂ භේද අතැර සියල්ලන් එකතු විය යුතු බවට වන සදහනක් පැවතියා මතකයි.දේශපාලන පක්ෂ භේද ඉවතලා එකතු වීම-මේ පැතුම මේ අනුව අවරුදු හැට හැත්තෑවක් පමන පරන එහෙත් ඉටු නොවුන පැතුමක් බවයි පෙනෙන්නට තිබෙන්නේ.අදත් මේ ප්‍රාර්ථනය (හොද චේතනාවෙන් හෝ එසේ නොවන චේතනාවෙන්)විවිධ පිරිස් විසින් සිදු කෙරෙනු දැක ගත හැකි අතර එසේවුවද එය ඉ‍ටුවන බවක් පෙනෙන්නට නැහැ.
ඇත්තටම එය ඉටු නොවන්නේ මන්ද?
ඊට දිය හැකි සරලම පිලිතුර නම් එය කවදාවත් ඉටුකරගත හැකි වර්ගයේ ප්‍රාර්ථනාවක් නොවන නිසා එය ඉටු නොවන බවයි.

දේශපාලන පක්ෂ භේද "අත්හැරීම" ගැන කතා කිරීමට පෙර දේශපාලන පක්ෂ භේද යනුවෙන් දෙයක් ජනිත වූයේ ඇයිද යන්න තේරුම් කර ගැනීම වැදගත්.මෙහිදී අපට ප්‍රතිවිරෝධතා(contradictions) නමැති සංකල්පය අවශ්‍ය වෙනවා.
යම් ප්‍රපංචයක් ගත්තම අපිට ඒ තුල විවිධ ප්‍රතිරෝධතා දකින්න පුලුවන්.සමාජය කියන ප්‍රපංචය ගත්විට එයත් එහෙමයි.එය ගොඩනැගිලා තියෙන්නෙ ප්‍රතිවිරෝධතා සමූහයක ඓක්‍යයක් ලෙසින්.
සමාජයක හරස් කඩක් සලකන විට ජාතිකත්ව කන්ඩායම් අතර ප්‍රතිරෝධතා පවතිනු දැකිය හැකියි.ආගමික කොටස් අතර විසංවාදයන් පවතිනවා.ඒ වගේම සමාජ පංතීන් අතර ප්‍රතිඝතාවයන් තිබෙනවා.ඒ කියන්නේ එකිනෙක‍ට පරස්පර විදිහට හිතන/වැඩකරන එකිනෙකට පරස්පර අභිලාෂයන් සහිත විවිධ විශාල කොටස් ගනනාවක ඒකාබද්ධ සමස්තය තමයි සමාජය.මෙම ප්‍රතිරෝධයන් මූලික/මූලික නොවන,සතුරු/සතුරු නොවන,බාහිර අභ්‍යන්තර වගේ අනු කොටස් වලට විභේදනය කල හැකි අතර කෙසේ නමුත් ප්‍රතිවිරුද්ධතා පද්ධතියක් ලෙසින් සමාජයක් නිර්මානය වන බව පැහැදිලියි.
එසේ නම් ‍දේශපාලන ස්වරූපී සංවිධාන බිහිවන්නේ කොහොමද?දේශපාලනයෙහි හරය යනු බලය.දේශපාලන ස්වරූපී සංවිධාන පැන නැගෙන්නේ අර පරස්පර උවමනා සහිත සමාජ කන්ඩායම් අතර බලය වෙනුවෙන් ඇති වන නොවැලැක්විය හැකි සටන පදනම් කොට ගෙනයි.
මේ සමග අතුරු ප්‍රශ්නයක් එනවා.අර සදහන් කල සියලු ප්‍රතිවිරෝධයන් එක හා සමාන බරක් සහිත ඒවාද?පැටලුනු නූල් බෝලයක් ලෙස මේ සියල්ලම බැලූ බැල්මට එක‍ට වෙලීයි තිබෙන්නේ.
youtube හි කොටි සංවිධානයට අදාල වීඩියෝ පට වලට යට ප්‍රතිචාර තීරයන්හිදී සිංහල හා දෙමල අය උනුනට අසැබි වචනෙන් බැන ගන්නවා.දකුනේ හාම්පුතුන් දවසේ වැඩමුරය වැඩි කල යුතු බවට ආයෝජන මන්ඩලයට යෝජනා කරන අතර වෘත්තිය සමිති ඊට විරුද්ධ සටනකට සූදානමින් සිටිනවා.අම්පිටියේ මුස්ලිම් බැතිමතුන් ප්‍රමානය ඉහල ගොස් තිබෙන අතර මුස්ලිම් බැතිමතුන් පල්ලියක් සාදනු ඇතැයි යන භිතියෙන් බෞද්ධ සංවිධානයක් උද‍්ඝෝෂනයක යෙදෙන්නට සූදානම් වෙනවා.
ජාති ආගම් පංති කුල මල පරස්පරතා එකට පැටලී තිබුනා යැයි පෙනුනත් මේ සියල්ල අතර මූලික වන්නේ කවරක්ද යන්න ගැන විමසුමක යෙදීම නොකල හැක්කක් නොවෙයි.
සියලු ප්‍රතිවිරෝධයන් අතර අතිශය ප්‍රධාන,අනෙකුත් ප්‍රතිරෝධයන්ගේද ස්වරූපය පවා නිශ්චය කිරීමේ තීරක බලය සහිත ප්‍රතිවිරෝධය කවරේද?
මේ ප්‍රශ්නයට උත්තර ගන්න නම් සමාජය නමැති සංවිධානයේ ස්වභාවය ගැන සාකච්ඡාවකට යා යුතුයි.
සාහිත්‍ය කලාව ගැන සංවාද කිරීම,ක්‍රිකට් ගැසීම,විශ්ව විද්‍යාලයට යාම-මෙවැනි ඕනෑම දෙයක් කිරීමට පෙර මිනිසා විසින් සිය මූලික අවශ්‍යතා වන ආහාර පාන වාසස්ථාන ඇදුම් පැලදුම් වැනි දේවල් සපුරා ගත යුතුයි.ද්‍රව්‍යමය නිෂ්පාදනය,හුවමාරුව හා පරිභෝජනය-මේ අනුව ඕනෑම සමාජයක කේන්ද්‍රීය ලක්ෂ්‍යය බවට පත්වෙනවා.නිෂ්පාදනය හුවමාරුව හා පරිභෝජනයට තනි නමක් දෙනවා නම් ඒ වූ කලී ආර්ථිකයයි.ඉතාම නූතන සමාජය ගත්තත් ආදිකල්පික පුරාන ගෝත්‍රික සමාජය ගත්තත් මේ හැම සමාජයක්ම සංවිධානය වෙලා තියෙන්නෙ ආර්ථික ජිවිතය කියන කේන්දූය වටා කවාකාර විදිහට.ආර්ථිකයෙහි/නිෂ්පාදන ර‍ටාවෙහි සිදුවන තීරනාත්මක වෙනසක් මේ අනුව මුලු මහත් සමාජයේම ස්වභාවය කනපිට හරවන තරම් වෙනසක් බවට පත්වීම සිදුවෙනවා.
(1833 සිට වැඩවසම් ආර්ථික සබදතා වෙලද ධනවාදී සබදතා වලින් විස්ථාපනය කිරීම ආරම්භ වීමත් එක්ක ලංකාවේ ජන ජීවිතය,දේශපාලනය,සංස්කෘතිය වගේ දේවල තීරනාත්මක වෙනසක් සිදුවූ අන්දම සලකා බලන්න)
මේ අනුව කවර හෝ සමාජයක වඩාත් තීරක විචල්‍ය වන ආර්ථිකය නමැති සාධකය සමග වෙලී පවතින ප්‍රතිවිරෝධයක් පවතිනවා.ඒ වූ කලී සමාජයේ පංතීන් අතර තිබෙන වෙනස/ප්‍රතිරෝධය.
මේ විරෝධය අතිශය ගැඹුරුයි.අතිශය ප්‍රබලයි.
මේක අපි තරමක් සරල නිදසුනකින් පැහැදිලි කර ගනිමු.
ලිහිල් මූල්‍ය නිති අධීක්ෂනයක් යටතේ ලලිත් කොතලාවල මහතා තමන්ගේ වැඩ කටයුතු කරගෙන ගියා.මූල්‍ය නීති ලිහිල් වෙන තරමට ඒ මහත්තයා ආසයි.මොකද වැඩි වැඩියෙන් විවිධ ක්‍රම හරහා ඉහල ආදායම් වෙත ඔහුට යා හැක්කේ ඒ තුලින් වන නිසා.නමුත් තමන් වෙහෙස මහන්සි ව උපයා අමාරුවෙන් ඉතිරි කරගන්නා මුදල ලලිත් කොතලාවලගේ මූල්‍ය ආයතනවල යොදවන සාමාන්‍ය මිනිසාට වඩා හිතකර කුමක්ද?ශක්තිමත් අධීක්ෂනයක් සහිත මූල්‍ය නීති ආවරනයක් ඔහුට වඩා හිතකර වෙනවා.
කොතලාවලගේ(පංතියෙහි)අවශ්‍යතා සහ එම පංතියට බාහිර සමාජ කොටස්වල අවශ්‍යතා මේ අනුව අන්‍යොන්‍ය වශයෙන් පරස්පර වෙලා.
ගාමන්ට් එකක් දුවවන ප්‍රාග්ධන හිමියා වඩා අඩු වැටුප් තලයක් ලබාදී සිය ලාභය තරකරගැනීම ගැන සිහින මවන අතර ප්‍රාග්ධනයෙහි ලාබ අඩු කිරීම මගින් සිය වේතන වැඩිකරගැනීම වැඩ කරන කාන්තාවට වඩා හිතකරයි.ඒ කියන්නේ අභිලාෂයන් පරස්පරයි.
සමාජ පංති අතර පවතින පරස්පර අභිලාෂයන් විසින් නොවැලැක්විය හැකි ලෙස මේ අභිලාෂයන් අතර ගැටුමක් ඇති කරනවා.යම් කිසි පංතියක් විසින් සමාජය තුල ගොඩනගා ගනු ලබන බලයට සමානුපාතිකව එම පංතියෙහි අභිලාෂයන් වඩා ස්ථාවර කෙරෙනවා.මේ විදිහට සිය බලය ගොඩනගා ගනු වස් එක් එක් පංතින් යොදාගනු ලබන උපකරනය කුමක්ද?
ඒ උපාංගය තමයි අපි "දේශපාලන පක්ෂයක්" ලෙසින් හදුනා ගනු ලබන්නේ.
තමන් "සියලු රටවැසි ජනයා"නියෝජනය කරන බවට කෙතරම් කයිවාරු ගැහුවත් සෑම පක්ෂයක්ම සැම විටම නිශ්චිත සමාජ පංතියක/පංතියක කොටසක අභිලාෂයන් නියෝජනය කරමිනුයි ගොඩනැගෙන්නේ.පක්ෂයක පංති ස්වභාවය තේරුම් ගැනීමට නම් මතුපිට ආටෝප දවටන විනිවිද ගැඹුරට යන්න වෙනවා.නිදසුනක් ලෙස එජාපයට චන්දය දෙන කම්කරුවන් සිය දහස් ගනනින් ඉන්නවා.එසේ වූ පමනින් එය කම්කරුවන්ගේ පක්ෂයක් වෙන්නෙ නැහැ.දෙන ලද පක්ෂයෙහි ආර්ථික දේශපාලන ප්‍රතිපත්තිය,එම ප්‍රතිපත්තිය මූලික වශයෙන් සේවය කරන‍්නේ කුමන සමාජ ස්ථරය වෙනුවෙන්ද යන්නයි මෙහිදී තීරනාත්මක වනුයේ.
කුප්පියාවත්තේ සාගරගේ ඉදල හොරොව්පොතානේ සියදෝරිස් දක්වා සියලු දෙනා බුලත් කොලයට/අලියට කතිරෙ ගැහුවට අදාල පක්ෂ වල තීරන ගනු ලබන්නේ ඔවුන් නොවෙයි වෙනම බලගතු පංතියකි යන්න හොදට ‍සොයා බැලූ විට දැකගත හැකියි.
සිය පංතියෙහි බලය පවත්වා ගෙන යාම වෙනුවෙන් මෙම පක්ෂ ක්‍රියාත්මක වෙනවා.
වර්තමාන සමාජයෙහි බලය සහිත පංතිය වන ධනේශ්වර පංතියෙහි පක්ෂ මෙ අනුව මේ මොහොතෙහි ශක්තිමත්ව පවතින අතර එම පංතියට පිටස්තරව විවිධ පංතින් හා සමාජ ස්ථරයන් අතුරින් විවිධ පක්ෂ පැන නැගිමත් දැක ගත හැකියි.සිය පංතිය තුලම කන්ඩායම් අතර ඇති ප්‍රතිවිරෝධයන් නිසා ධනේශ්වර පක්ෂ උනුන් සමගත්,පංති හා පංති අතර ඇති ප්‍රතිවිරුද්ධතාවය නිසා ධනේශ්වර පක්ෂ එසේ නොවන පක්ෂ සමගත් අඛන්ඩ සටනක වෙලී සිටිනු දැක ගත හැකියි.
(අධිපති පංතියෙහි බලය තීරනාත්මක විදිහට පිටස්තර පංතියක් අතින් අභියෝගයට ලක්වෙන අවස්ථාවකදී නම් අධිපති පංතියෙහි විවිධ පක්ෂ භේද අමතක කර සම්මුතීන් වෙත ගමන් කිරීම සිදුවිය හැකියි.දෙවන ලෝක යුද්ධයට පසු කාලය තුල ඊනියා කොමියුනිස්ට් විරෝධී පනත් ගෙන එමින් වාමාංශික කොටස් මර්ධනය කිරීමට අමෙරිකාවේ ඩිමොක්‍රටික් හා රිපබ්ලිකන් යන දෙපාර්ශවයම ලෝභ නැතිව ඒකාබද්ධ වුනා.ලංකාවේ පීඩිත තරුන කොටස් අතින් 1971දී රාජ්‍ය බලය තර්ජනයට ලක්වන විට විපක්ෂයෙහි සිටි එජාපය හා ආන්ඩුව ඊට මුහුන දෙනු වස් එක පෙලට පෙලගැසුනා.කෙසේ වුනත් සාමාන්‍ය තත්වයන් තුලදී නම් මෙම පක්ෂ මතුපිට තලයේදී උනුන් සමග පරස්පරතාවයන් සහිත භාවිතයක නියැලී සිටිනු දැකිය හැකියි)
තරමක පැරනි නිදසුනකට ගියහොත් 1917 මැද භාගය වනවිට රුසියානු සමාජය තුල පැවැති දේශපාලන පක්ෂ වල භූමිකාව දේශපාලන පක්ෂ වල පංතිමය ස්වභාවය පිලිබද විමසුමකදී යොදා ගත හැකි සාම්පලයක්.එහිදී ව්‍යවස්ථාදායක ප්‍රජාතාන්ත්‍රික පක්ෂය(කැඩේට් පක්ෂය)වැන්නක් රුසියානු ලිබරල් මතධාරී ධනේශ්වරය නියෝජනය කල අතර ධනපති පංතියට පිටින් බොල්ෂෙවික් පක්ෂය හා සමාජවාදි විප්ලවවාදී පක්ෂය ආදී පක්ෂ කම්කරු කොටස් හා ගොවීන් අතරින් පැන නැගී පැවතුනා.කැඩේට් පක්ෂය ධනේශ්වර එකක් ලෙස හැදින්වුනේ ඊට ධනේශ්වර නොවන අය සහය නොදුන් නිසා නොවෙයි.එහි ප්‍රතිපත්තිය සැකසී තිබුනේ ධනේශ්වරයේ අභිලාෂයන්ගේ පදනම මත වුන නිසා.අනෙත් අතට බොල්ෂෙවික් පක්ෂය වැඩකරන ජනයාගේ පක්ෂයකි යන්නෙන් වැඩකරන සියලු දෙනාම ඊට සහය දැක්වූවා යන්න අදහස් වෙන්නෙත් නැහැ.එම පක්ෂයෙහි වැඩපිලිවෙලෙහි හරය පැවතියේ වැඩකරන පංතියෙහි අභිවෘද්ධිය නමැති පදනමෙහි.

ඉතින් බොහෝ අය ප්‍රාර්ථනා කරන විදිහට ලාංකිකයන්ට,යටත් පිරිසෙයින් සිංහල අයට හෝ පක්ෂ භේද අත්හැර එක්සත් විය නොහැක්කේ ඇයි?එසේ විය නොහැක්කේ සමාජය සමගි කල නොහැකි ආකාරයට පංතිවලට බෙදී තිබෙන නිසා සහ ඒ පංතින්ගේ අරමුනු එකිනෙක ගැටෙමින් හැපෙමින් පවතින නිසා.දේශපාලන පක්ෂ වූ කලී මෙම විසංවාදී අරගලයන්හි ප්‍රතිඵලයක් ලෙස පැන නැගෙන සංවිධාන ව්‍යුහයන්.
සිංහල සමාජය තුලම ලාෆ් ගෑස් මුදලාලි මහතා(සහ එවැනි අනිත් අය)ගේ අපේක්ෂාවන් සමග කුප්පියාවත්තේ සාගරගේ යහපත ගැටෙනවා.සිය ආධිපත්‍යය පවත්වා ගනු වස් අදාල මුදලාලි මහත්වරුන්ට සංවිධාන ගත වී සාගරලාව ගොනාට අන්දන්නට සිදුවන අතර මේ බව වටහා ගනු ලබන සාගරගේ පංතියෙහි පුරෝගාමී කොටස් පෙරලා පක්ෂ,වෘත්තිය සංගම් හා සංවිධාන ලෙස සන්විධාන ගත වෙනවා.

බලය සදහා වූ අරගලයේදී නිර්ධනීන්ට සංවිධානය හැර වෙනත් අවියක් නැත
- වී.අයි.ලෙනින්

පංතින් අතර ප්‍රතිඝතාවයට අමතරව වෙනත් ප්‍රතිවිරුද්ධතාවයන් මිනිස් සමාජය තුල යට කී පරිදිම දැකගත හැකියි.මේ අනුව විවිධ ජාතිකත්ව හා ආගමික සටන් පාඨ සහිතවද දේශපාලන සංවිධාන බිහිවන ආකාරය නිරීක්ෂනය කරන්න පුලුවන්.කෙසේ නමුත් එවැනි සංවිධාන පවා පංති බෙදීමේ බලපෑමෙන් වියුක්ත ඒවා නොවේ.
නිදසුනක් ලෙස තමිල්නාඩුවේ ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් වැනි පක්ෂයක් ගතහොත් ඒවා දෙමල අනන්‍යතාවය අවධාරනය කරමින් ගොඩනැගෙන පක්ෂ වන අතරම පංතිමය වශයෙන් ඔවුන් ඉදිරියට දමනුයේ දෙමල ධනපති පංතියේ අභිලාෂයන්.ලංකාවේ TULF වැන්නක් ගත්තත් ඒවා හුදෙක් දෙමල පක්ෂ පමනක් නොවේ.ඒවා දෙමල "ධනපති" පක්ෂ ලෙස හදුනාගැනීමයි වඩා නිවැරදි වනුයේ.කොටි සංවිධානය,හෙල උරුමය-මෙවැනි දේශපාලන ව්‍යාපාර බිහිවීමෙහිලා ජාතිකත්වයන් අතර පරස්පරතා හේතු වී තිබෙන අතරමැ එම ව්‍යාපාර වල අරටුව පංතිමය ස්වභාවයක් සහිත වෙනවා.
සියලු දෙනා පක්ෂ අත්හැර එකතු වීම යනු කවදාවත් ඉටු නොවන වර්ගයේ ප්‍රාර්ථනයකැයි පැවසෙන්නේ මේ පදනම මත.මිනිස් කන්ඩායම් පංතිවලට බෙදී යන ආකාරයට සමාජය සංවිධානය වී පවතින තුරු,පංති අතර ගැටුමත්,එකිනෙකා සමග ගැටෙන දේශපාලන සංවිධාන වල බිහිවීමත් නියතයක් ලෙස පවතිනු ඇති.

Monday, April 13, 2009

දිවයින කර්තෘතුමනි-ලැජ්ජයි!

ලංකාවේ මේ ‍මොහොතේ ගොඩනැගෙමින් පවතින්නේ ඒකාධිපතිත්වයක් යැයි නොපෙනෙන ඒකාධිපත්‍යයකි.ආඥාදායකත්වයක් යැයි නොපෙනෙන ආඥාදායකත්වයකි.නිරපේක්ෂ අධිකාරියක් යැයි නොගැනෙන නිරපේක්ෂ අධිකාරියකි.
ප්‍රජාතන්ත්‍රවාදය සහ ඒකාධිපතිවාදය අන්‍යොන්‍ය වශයෙන් ප්‍රතිපක්ෂයන් ලෙස සාමාන්‍යයෙන් පිලිගැනේ.ප්‍රජාතන්ත්‍රවාදයේ කැඩපත ලෙස මාධ්‍ය නිදහස හා නිදහස් මාධ්‍ය පැවැත්ම ද සලකනු ලැබේ.බැලූ බැල්මට ලංකාවේ නිදහස් මාධ්‍යයක පැවැත්ම පවතිනු ඇතැයි හැගේ.විද්‍යුත් මාධ්‍ය ගතහොත් රජයේ මාධ්‍ය ඇත්තේ දෙක තුනකි.සිලුමින පුවත් පත හැර ඉරිදා පලවන අන් සියලු සිංහල පුවත් පත් පුද්ගලික අංශයෙන් පල කරනු ලැබේ.ඒවාට අදාල වාරන නීති පෙනෙන්නට නැත.එක්තරා කාලයක පැවතුනාක් මෙන් "බලධාරියා විසින් කපා හරින ලදී" වැනි ලේබල්ද පුවත් පත් වල දකින්නට නොලැබේ.
මේවා මතුපිටින් දකින කෙනෙක් අහෝ ලංකාවේ තිබෙන මාධ්‍ය නිදහස!යැයි උදම් අනනු ඇත.ඒ ගැන වර්නනා කරනු ඇත.
දෘශ්‍යමානය තුල යථාර්තය පවතී නම් අමුතුවෙන් විද්‍යාවක් අවශ්‍ය නොවේ.යතාර්ථය දකිනු වස් මතුපිට දෘශ්‍යමානය විනිවිද යා යුතුය.

අපට අනුව මේ ගොඩනැගෙමින් පවතින වකවානුව මාධ්‍ය අරභයා රාජ්‍ය බලය උපරිම වශයෙන් මුදාහැරෙන වකවානුවකි.මෙහිදී විවෘත තර්ජනය හා මර්ධන නීති පැනවීම් අවසන් විකල්පය ලෙස තබාගෙන සිටිනා අතර ඉන් ඔබ්බෙහි වන විවිධ උපක්‍රම යෙදීම් රාජ්‍ය අධිකාරිය මාධ්‍ය මත පවත්වාගෙන යාමෙහිලා යොදා ගැනේ.මේ නිසා විවෘත තර්ජනය පමනක් මාධ්‍ය නිදහස හා සම්බන්ධ කොට සිතන අය මේ සන්දර්භය තුල අර්බුදයට යන අතර ඔවුන් මාධ්‍ය නිදහසක් පවතී යැයි කියද්දී මහ පොලොවේ සිදුවෙම්න් පවතින්නේ ඔවුන් පරිකල්පනය කරන දෙයට හාත්පසින්ම වෙනස් දෙයකි.
මෙසේ මාධ්‍ය හීලෑකරනයට යොදා ගන්නා "වෙනත්"ක්‍රමවේද මොනවාද?
පුවත්පත් හිමිකරුවන් වෙනුවෙන් රජමැදුරේ තේ පැන් සංග්‍රහ පැවැත්වීමද?මාධ්‍යවේදීන් වෙනුවෙන් ඇමැති නිවාස වල මධුපානෝත්සව සංවිධානයද?තමන්ට අවනත නොවන අයට(කීත් නොයාර්) මැර කල්ලි යොදා පහර දීමද?නාදුනන පිරිස් ලවා ඔවුන් ඝාතනය කිරීමද?(ලසන්ත වික්‍රමතුංග).එවැන්නන් හදිසි නීතිය යටතේ ජාතික ආරක්ෂාවේ නාමයෙන් සිරගත කිරීමද?(තිස්සනායගම්).ආරක්ෂක අමාත්‍යංශයට ඔවුන් ගෙන්වා
ස්වකීය නිල බලය හරහා ඔවුනට තර්ජනය කිරීමද?(සනත් බාලසූරිය)
අපට මෙම "වෙනත්"ක්‍රම මොනවාද යන්නට වඩා වැදගත් වන්නේ එවැනි ක්‍රම හරහා රාජ්‍යය විසින් කොටුවක් ඇද තිබේ සහ එම කොටුවේ සීමාව නොඉක්මවන ලෙස මාධ්‍ය හීලෑකොටගෙන ඇත යන්නයි.
පසුගිය දිනෙක සිදුවූ ජවිපෙ ක්‍රියාකාරිකයෙක් වන නන්දන බාලගේ මහතාගේ ඝාතනය සහ ඒ අභිමුව ලංකාවේ ඊනියා සිංහල ජාතික පුවත් පත් රගදැක්වූ භූමිකාව ඇසුරෙන් මෙය තේරුම් කිරීමට මෙම සටහනින් වෑයම් කෙරේ.
අප්‍රේල් 6 දින උදෑසන නන්දන බාලගේ මහ මගදී වෙඩි තබා මරා දැමුනි.මෙහිදී වැදගත් වන්නේ ඔහු ජවිපෙට සම්බන්ධ අයෙක්ද වෙන පක්ෂයකට අයත් අයෙක්ද යන්න නොවේ.ඔහු ප්‍රජාත්නත්‍රවාදී පරාසය තුල සාමකාමී ලෙස තමන් කැමති දේශපාලනයෙහි යෙදී සිටි අයෙකි යන්න පමනි.මෙම ඝාතනයට සම්බන්ධ බවට රජයට සම්බන්ධ පාර්ශවයක් වන ජාතික නිදහස් පෙරමුනට චෝදනා එල්ල වුන අතර එහි මන්ත්‍රීවරයෙක්ට අයත්
වාහනයක් මෙම සිද්ධියට සම්බන්ධ යැයි හදුනා ගනු ලැබ පොලිස් අත්අඩංගුවටද ගැනිනි.නමුත් සිදුවූයේ එය පමනි.ඉන් ඔබ්බෙහි මේ අරභයා කිසිදු පියවරක් මේ දක්වා ගෙන නොමැත.අඩුම තරමින් සිද්ධියට සම්බන්ධ වාහනයේ අයිතිකරු වන මන්ත්‍රීවරයාගෙන් තබා එහි රියැදුරාගෙන් ප්‍රකාශයක් තරම් වත් පොලිසිය විසින් ලබාගෙන නැත.
මීට පෙර සිදුවූ මෙවැනි දේශපාලන ස්වරූපී සාහසික ක්‍රියාවන් හා මෙම සිදුවීම අතර පැහැදිලි වෙනසක් ඇත.ලසන්ත වික්‍රමතුංග ඝාතනය,කීත් නොයාර් සිද්දිය වැනි සිදුවීම වලදී සිදුවීමට සම්බන්ධ කවුද යන්න අවිනිශ්ච්තව පැවතිනි.ඒවාට අදාල ඇසින් දුටු සාක්ෂි නොතිබීම සිද්දිය යට ගැසීමෙහිලා පැහැදිලි ආධාරයකයක් බවට පත්වුනි.නමුත් බාලගේ ඝාතනයෙහි ඝාතකයන් පමනක් නොව එයට අදාල අතුරු සාක්ෂි ලෙස ඝාතනයට
යොදා ගන්නා ලද වාහනය වැනි දේද පැහැදිලිවම පෙනෙන්නට තිබේ.දැන් ප්‍රභාකරන් ඉන්නා තැනත් දන්නවා යැයි උදම් අනන,එවැනි දක්ෂතාවයක් පවතී යැයි සැලකෙන ලංකාවේ ආරක්ෂක අංශයනට මෙම සිදුවීමට අදාල සැකකරුවන් ‍සොයාගත නොහැකි වී තිබෙන්නේ ඇයි?
මෙම ඝාතකයන්ට ලැබෙන රාජ්‍ය ආවරනය සහ රැකවරනය තේරුම් ගැනීමට එම කරුන පමනක් වුව ප්‍රමානවත්ය.මෙය අන්තිම බරපතල කාරනයකි.සාමාන්‍යයෙන් පුරවැසියෙක්ට විරුද්ධ අපරාධයක් සිදු කෙරුනු විට ශිෂ්ට සමාජයක එම පුරවැසියා‍ට යාමට තිබෙන්නේ නීතිය ඉදිරියටය.නිතිය ක්‍රියාත්මක කරනුයේ රාජ්‍යයයි.දැන් රාජ්‍යයම මැදිහත්වී නීති කඩන විට,මිනී මරන විට සහ මිනීමරුවන්ට ‍දේශපාලන
අනුග්‍රහය/රැකවරනය සපයන විට යුක්ති ගරුක පුරවැසියා සතුව ඇති විකල්පය කුමක්ද?ඔහු කුමක් කල යුතුද?

ඉතාම පිලිකුල් සහගත දෙය නම් රාජ්‍යයේ මේ බලහත්කාරය අභිමුව මාධ්‍ය විසින් දක්වන ජුගුප්සාජනක නිහැඩියාවයි.මෙම සිදුවීමට අදාල සතියේ
ඉරිදා දින "ජාතික"පුවත් පත්වල මෙම දේශපාලන ඝාතනය අඩු වැඩි වශයෙන් සාකච්ඡා කොට තිබුනි.සිලුමින පුවත් පත මෙහිදී මෙම සටහන තුල සලකා නොබැලේ.මන්ද ඉන් අපට සිදුවීම අරභයා සාධාරන විග්‍රහයක් බලාපොරොත්තු වීම තේරුමක් නැති දෙයක් වන හෙයිනි.සිද්දිය සම්බන්ධ විසතරාත්මක පැහැදිලි කිරීමක යෙදී තිබුනේ ලංකා හා රාවය යන පුවත් පත් දෙක පමනි.මින් ලංකා පුවත් පත දේශපාලන හිතෛශිවන්තකම මත අදාල විග්‍රහය සිදුකරන ලදී යැයි සිතිය හැක.ඒ හැර රාවයේ මේ පිලිබද ගවේෂනාත්මක ලිපියක් පලවි තිබුනි.
මෙම විකල්ප පුවත් පත් හැර ජාතික යැයි සැලකෙන පුවත්පත් ගත් කල අඩුම තරමින් සැලකිය යුතු විග්‍රහයක් අන්තර්ගත වූයේ ලක්බිම පුවත්පතේ පමනි.ලංකාදීප හා රිවිර යන පුවත් පත් සිද්දියේ සැර බාල කොට එය මනුශ්‍ය ඝාතනයක් පිලිබද අවිහිංසාවාදී ට්‍රැජඩියක් බවට පත්කිරීමට උත්සාහ කොට තිබුනි.මීට සම්බන්ද ජාතික නිදහස් පෙරමුනේ මන්ත්‍රීවරයා හෝ එම පාර්ශවයේ අදාලත්වය ගැන වචනයක් හෝ අදාල විශේෂාංග ලිපි වල නොතිබුනු අතර නන්දන බාලගේගේ පාසල් කාලයේ කරපු කියපු දේවල් වැනි බාහිර දේවල් කිහිපයකට සීමා වීමට එම ලිපිවල කතුවරුන් වග බලාගෙන තිබුනි.
සිංහල බෞද්ධ පුවත්පතක් යැයි තමන්ව හදුන්වාගන්නා දිවයින පුවත්පත අඩුම තරමින් මෙම සිදුවීම ගැන වෙනම ලිපියක් හෝ පල කොට තිබුනේ නැත.ඒ වෙනුවට සිදුවීම පිලිබද චෝදනා ලද පියසිරි විජේනායක මන්ත්‍රීවරයාගේ සම්මුඛ සාකච්ඡාවක් ඒකපාර්ශවිකව පලකොට තිබුනි.කොටින්ම පැමිනිල්ල නැතිව විත්තියෙන් විතරක් නඩුව අසා වාර්තා කොට තිබුනි.(විජේනායක දිවයිනට දුන් සාකච්ඡාව හා ලක්බිමට දි තිබූ සාකච්ඡාව තුල ඔහු සදහන් කරන කාරනා පරස්පර විරෝධීය.ඒ බව වෙනම පෙන්වා දිය හැකි අතර එම පරස්පර විරෝධයම සිද්දියට ඔහුගේ ඇති අදාලත්වය ගැන ඉගියකි)
දිනපතා දිවයින පුවත්පතක මේ අරභයා පලවූ කතු වැකියක් මීට පෙර වෙනත් බ්ලොග් අඩවියක පලවී තිබුනි.රාජ්‍ය බලය හා වරප්‍රසාද අභිමුව මාධ්‍යවේදියෙක්ට නිවට විය හැකි උපරිමය පෙන්වන්නක් වැනිය එම කතුවැකිය.
http://kasapabbatha.blogspot.com/2009/04/blog-post_07.html
(අදාල බ්ලොග්කරු මෙම සබැදිය දැක්වීම පිලිබද විරුද්ධ නොවනු ඇතැයි සිතමු)
මෙම කතුවැකිය කරුනු කිහිපයක් සදහන් කරයි.
1.මීට පෙර මෙවැනි දේවල් ජවිපෙ විසින් සිදුකොට තිබේ,ඊට අදාලව හේ 80 දශකයේ උදාහරනයක් දක්වයි.කතුවරයාගේ අරමුන කොහේවත් නැති උදාහරනයකින් බාලගේගේ දේශපාලන ඝාතනයෙහි සැර බාල කොට පෙන්වීම බව තේරුම් ගැනීම දුෂ්කර නැත.
2.ජවිපෙ හා ජානිපෙ මහ මග මරාගැනීම ගැන ඉක්බිති හේ කනගාටුව පල කරයි.මෙම සිදුවීමේදී "මරාගැනීමක්"සිදු ව නැත.සිදු වී ඇත්තේ රාජ්‍යය විසින් ලබාදුන් වාහන,ආයුද හා බලය යොදාගෙන රාජ්‍යයේ රැකවරනය සහිතව රාජ්‍යයට සම්බන්ධ කන්ඩායමක් විසින් දේශපාලන විරුද්ධවාදියකේ අමු අමුවේ මරා දැමීමකි.රාජ්‍යයේ එම ප්‍රචන්ඩ හැසිරීම කන්ඩායම් දෙකක "මරාගැනීමක්"දක්වා තනුක කිරීමට දරන උත්සාහය සිදුවීමේ දේශපාලන හරය බොද කර දැමීමට දරන වෑයමකි.
3.විජේනායක මන්ත්‍රීවරයා මෙම සිද්දිය ඔප්පු කලහොත් දේශපාලනයෙන් ඉවත් වන බවට පවසා ඇති බවත් ඔහු දේශපාලනයෙන් ඉවත්වීම මහත් "පාඩුවක්"වන නිසා නඩුව ඉල්ලා අස්කරගන්නා ලෙස තමන් ඉල්ලා සිටින බවත් කතුවරයා ඉක්බිතිව කියයි!මේ වූ කලී විශිෂ්ට ජනමාධ්‍ය භාවිතයකි.මෙවැනි කතුවරුන් චිරාත් කාලයක් යෙහෙන් වැජඹේවා!අපරාධයක් සිදුවූ විට,නිරායුද පුරවැසියෙක් දේශපාලන හේතු මත ඝාතනය කල විට එම ඝාතකයන් අත්අඩංගුවට ගත යුතු යැයි ඉල්ලනු වෙනුවට(සාමාන්‍යයෙන් පුවත් පත් කලාවේදියෙක් කල යුතු යැයි ශිෂ්ට සමාජයක අපේක්ෂා කෙරෙන්නේ එයයි)මෙ කතුවරයා නඩුව අස්කර ගත යුතු යැයි ඉල්ලයි.ඒ අපරාධයට චෝදනා ලැබූ පුද්ගලයා දේශපාලනයෙන් ඉවත් වේ යැයි යන කනගාටුව නිසාය!
4.අවසාන‍යේ යුද්දය දිනූ ජනාධිපතිවරයෙක්ට නොකල හැකි දෙයක් නැත යැයි කියන කතුවරයා මේ ගැන සාදාරනය ඉටු කිරීමට එතුමාට හැකි බවටද විශ්වාසය පල කරයි.
හැබැයි ඒ නොකල හැකි දෙයක් නොමැති ජනාධිපතිවරයා මීර පෙර සිදු වූ වික්‍රමතුංග ඝාතනයේ සිට වෙනත් දුසිම් ගනන් මෙවැනි සිදුවීම වලදී රග පෑ කැරැට්ටුව ගැන වචනයක් නොකීමට හේ ප්‍රවේශම් වේ.

විත්තියේ සිටිය යුතු අය විනිශ්චයකරුගේ ආසනය අරා සිටින සන්දර්භයක් තුල යුක්තිය යනු විහිලුවක් පමනි.අප අද මුහුන දී සිටින්නේ එම යතාර්ථයටයි.විශේෂයෙන් සාධාරනය වෙනුවෙන් පෙනී සිටිය යුතු මාධ්‍යවේදීන් රජවරුන්ගේ පා ලෙවකන නිවටයින්ගේ තත්වයට රූපාන්තරනය වී පවතින පසුබිමක් අතිශය ඛේදජනකය.
තමන් ඇද දී තිබෙන කොටුවේ සීමාව තුල ඉතා ආසාවෙන් ලැග ඉන්නා මෙවැනි මාධ්‍යකරුවන් සිටින රටක අමුතුවෙන් මර්ධන නීති රැගෙන ඒමේ අවශ්‍යතාවයක් පාලකයන්ට පවතීද?

Thursday, April 2, 2009

ගොලු හදවත රජය හා IMF

ගොලු හදවත කියන්නෙ සිංහල සාහිත්‍යය ඉතිහාසයේ බිහිවුන ඉතාම ජනප්‍රිය ආදර කතා අතරින් එකක්.සිංහල පතක් පොතක් කියවන කිසිම අයෙකුට ගොලු හදවත මග හැරීම කියන්නෙ සිදු වෙන්න බොහොම අඩු සම්භාවිතාවක් සහිත සිදුවීමක්.
ඔබ මෙය කියවා දැන් වසර කීයක් ගතවී ඇත්දැයි ඔබට සිතෙයි.සමහරවිට එය අවුරුදු දහහතර පහලොව වගේ ඈත කාලයක් වෙන්න පුලුවන්.කෙතරම් කාලයක් ගතවී තිබුනත් ගොලු හදවත ගැන මතකය මදක් නැවත ආවර්ජනය කරගන්න කියල ප්‍රථමයෙන්ම ඉල්ලීමක් කරන්න කැමතියි.
නවකතාව මුල් කොටසේදී සුගත් දම්මි පිලිබද දැවැන්ත ආකර්ෂනයක් ඇති කර ගන්නා අයුරු එහිදී ඔබගේ සිහියට නැගෙනු ඇති.දම්මිගේ ගෙදර යන්නත් ඔහුට අවස්ථාවක් ලැබෙන අතර මේ නිසා ඔහු සිටින්නේ දමයන්ති පිලිබද උත්කර්ෂයක් සහිතව.
මෙසේ අමන්දානන්දයේ උපරිම කූඨයේ පසුවන ඔහුට ඉතුරුව තිබුනේ නිල වශයෙන් දමයන්තිගෙන් කැමැත්ත ලබා ගැනීම විතරයි.
අහන්න විතරයි මට තියෙන්නෙ කියන මානසිකත්වය සහිතව සිටි සුගත් අන්තිමේදී එක්තරා මොහොතක ඒ පැනය දමයන්තිට යොමුකරනවා.එවිට සිදු වෙන්නේ කුමක්ද?
අනේ සුගත් ඔයාව හම්බෙන්නත් කලින් ඉදල මම වෙන කෙනෙක්ට ආදරය කරනවා කියල දම්මිගෙන් පිලිතුර ලැබෙනවා.
දැන් සුගත්ට මොකද වෙන්නේ?හරියට කාරනා ‍සොයා ‍නොබලා සාදාගත් සිහින මාලිගාව අකුනු සැරයකින් දෙදරා යනවා.ප්‍රේමයේ උපරිම ස්ථානයේ සිටි සුගත් අගාධයේ පතුලටම වැටෙනවා විතරක් නෙමෙයි,බීමතට ඇබ්බැහි වුන කාලකන්නියෙකු බවට ඔහු රූපාන්තරනය වෙනවා.අහිංසක ආදරයකින් මන්මත් වී සිටි තරුනයා බේබද්දෙක් බවට පත් වීමට ගතවුනේ කෙතරම් සුලු මොහොතක්ද?ඒ මොහොත කෙතරම් තීරනාත්මකද?ඒ මොහොත සිහිනයේ සහ යථාර්තයේ සීමාව වෙන් කරන කඩඉම වැනියි.සුඛාන්තයේ සහ ඛේදවාචකයේ පරතරය ලකුනු කරන මායිම වැනියි.

මේ විශාල පෙරවදන සදහන් කලේ ගොලු හදවත ගැන විචාරයක් කරන්න නම් නෙමෙයි.ඒ නිසා ගොලු හදවත පිලිබද කියවන්න හිතාගෙන ආ අය window එක වහල වෙන බ්ලොග් එකකට යන්න.දේශපාලනය ගැන කතාකරන්න කැමති අය නතර වෙන්න.
ලාංකීය දේශපාලනයේ මේ එලඹෙමින් පවතින මොහොත වූ කලී කවරක්ද?මෙය වූ කලී අපට ගොලු හදවතෙහිදී මුන ගැසුනු බෙදුම් රේඛාව හමුවන මොහොතයි.එනම් ආන්ඩුව නමැති සුරතල් පෙම්වතිය/සිහින කුමරිය ලංකාවේ සමාජය නැමැති පෙම්වතාට බැහැ කියන මොහොතයි.මට වෙන පෙම්වතෙක් ඉන්නවා කියන මොහොතයි.
වර්තමාන ආන්ඩුව එනම් රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආන්ඩුව බලයට ඒම සහ වෙනත් මෑතකාලින ආන්ඩු බලයට ඒම අතර වෙනසක් තියෙනවා.මෙම ආන්ඩුව සහ මෙම ආන්ඩුව සමග සන්ධානගතව සිටි පිරිස් විසින් විශාල මතවාදීමය ආවරනයක් ඊට මුල සිටම ලබාදෙනු ලැබුවා.එම ආවරනය ජාතිකවාදී ආවරනයක්.දැන් ඇමතිවරුන් රූපවාහිනී සංවාද වලදී නිතරම පුනරුච්චාරනය කරන දේවල් කිහිපයක් තියෙනවා.එනම් අපේ අතිගරු ජනාධිපතිතුමා රටේ සුවද හදුනනවා,එතුමා ‍රනිල් වගේ රටේ සම්පත් වෙන කාටවත් දෙන්නෙ නැහැ,ජාතික ආර්ථිකය ගොඩනගනවා,ඒකීය රාජ්‍යය රකිනවා-මේ නැවත නැවත පුනරුච්චාරනය වෙන සූත්‍රයන් තුල අන්තර්ගතවී ඇති වචන.
1977 සිට පැවති සියලු ආන්ඩු කොන්දේසි විරහිතව පිලිගන්නා ලද පෞද්ගලිකකරනය ඇතුලු නව ලිබරල්වාදී සංකල්ප තමන් ප්‍රතික්ෂේප කරන බව රාජපක්ෂ ආන්ඩුව නොබියව පැවසුවා.මේ "අභීත" ප්‍රකාශය ඉදිරියේ ආනන්දයෙන් පිනා ගිය වාසුදේව නානායක්කාර වැනි වාමාංශිකයින් ජනාධිපතිතුමාව ආදරයෙන් වැලද ගත්තා පමනක් නෙමෙයි ඔහුගේ "අධිරාජ්‍ය විරෝධී"ගමනට උපදෙස් දෙනු වස් උපදේශක පට්ටමකටත් කර ගැසුවා.
මේ අනුව ආන්ඩුව විසින් සමාජය ඉදිරියේ මවන ලද්දේ අතිශය මනස්කාන්ත සිහිනයක්.මෙතෙක් කල් පැවති සම්පත් වෙන්දේසි කරන,බහුජාතික සමාගම් වලට රට විකුනන,පුද්ගලිකකරනය කරන ආන්ඩු වෙනුවට අමුතුම ආකාරයේ ආන්ඩුවක් බිහිවි තිබෙන බවක් සමාජයට හැගෙන්නට වුනා.ගෝලීය ධනවාදයේ බලපෑම් අභිමුව දන නොනමන ආන්ඩුවක්.ඉනුදු නොනැවත ඊට අභියෝග කරන ආන්ඩුවක්.මේ සිහිනය කෙතරම් දුර ගියාද කියනවා නම් රූපවාහිනි සංවාදයකට ආ සංස්ථා සභාපතිවරයෙක් රාජපක්ෂ මහතා ෆිදෙල් කැස්ත්‍රෝගේ චාවේස්ගේ ගොඩට දා ඔහු ඊටත් වඩා සූක්ෂම නායකයෙකි ආදි ලෙස වාග් හරඹයකත් යෙදුනා.
ආත්ම ගනනක් පතමින් සිටි වර්ගයේ අති පාරිශුද්ධ/යහපත් තරුනියක් එක පාරට මහපාරෙදි හමුවුනාම ප්‍රීතියෙන් මඤ්ඤං වෙන තරුනයෙක් වගෙයි.සමාජය වහ වහා ආන්ඩුව සමග ප්‍රේමයෙන් වෙලෙන්නට වුනා.ඕනෑම ප්‍රේමයකදී මෙන්ම මෙහිදිත් පෙම්වතා ශෘංගාරයෙන් පිරි පරිකල්පිතයකට ඇතුලු වුන අතර ඒ නිසාම යතාර්තය තුල මහ පොලොවේ සිදුවුන සිදුවීම් කිහිපයක් ඔහුගේ අවධානයෙන් මග හැරුනා.එම සිදුවිම් දැක්කත් ප්‍රේමයේ උත්කර්ෂය නිසාම ඒවා වැඩිය ගනන් නොගෙන සිටින්නට සමාජය යොමුවුනා.
මේ සිදුවීම් අතරින් කිහිපයක් මෙසේ සටහන් කර ගනිමු.
අති විශේෂ ගැසට් පත්‍රයකින් කොටින්ගෙන් "මුදාගත්"නැගෙනහිර පලාතේ වර්ග කිමි ගනනාවක භූමි ප්‍රදේශයක් විශේෂ ආර්ථික කලාපයක් ලෙස නම් කොට ඉන්දියාවට පවරා දෙනු ලැබුවා.එය කරන විට නැගෙනහිර යුද ගැටුම් වලින් අනාථ වූ අදාල ප්‍ර‍දේශයේ පුරවැසියන් විශාල පිරිසක් යලි පදිංචි කොට තිබුනේත් නැහැ.
නමුත් සමාජයට එය එතරම් ගනනක් වුනේ නැහැ.
10ට 1ක අතිශය අවාසිදායක හුවමාරු අනුපාතයකට යටත්ව මන්නාරම් ද්‍රෝනියේ තෙල් ගවේෂනයට අදාල ගිවිසුමකට ආන්ඩුව ඉන්දීය සමාගමක් සමග ඇතුලු වෙනවා.රනිල් වික්‍රමසිංහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ අක්කර 65 000ක් නෝර්වේ සමාගමකට පවරා දීමට දරන ලද උත්සාහය භූමිය විකුනාදමන ද්‍රෝහී ක්‍රියාවක් ලෙස හගින ලද සමාජයට මෙම ගිවිසුම තරමක් "හිත රිදෙන "එකක් වුනත් ප්‍රේමයේ නාමයෙන් එයත් අමතක කොට දැමුනා.
පුල්මුඩේ ඛනිජ නිධිය විකුනා දැමුනා
ඛනිජ වැලි සංස්ථාව පුද්ගලිකකරනයට අවශ්‍ය පියවර ගැනුනා
රාජ්‍ය ආයතන පුද්ගලිකකරනය කිරීමේ අවශ්‍යතාවය මහ බැංකු වාර්තාව තුලින් දිගටම අවදාරනය කෙරෙන්නට වුනා.රජයේ ආර්ථික දැක්ම පිලිබද හරස්කඩක් වැනියි බැංකු වාර්තාව.පෞද්ගලිකකරනයේ වැදගත්කම රාජපක්ෂ ආන්ඩුවේ දස අවුරුදු දැක්ම නැමැති ලියවිල්ල තුල මතු කොට තිබුනා.සමාජය බැංකු වාර්තාව නොකියවන නිසාත් වන්නි සටන හා කීර්ති වර්නකුලසූරියගේ ආරක්ෂක සටහන විතරක් කියවන්නට පුරුදු වී සිටි නිසාත් මේ කාරනා දෙස ඔවුන්ගේ දෘෂ්ටිය යොමුවුනේ නැහැ.
විදුලි බල ක්ෂේත්‍රයට අදාල රාජ්‍ය අයිතිය අත්හැරීම අරමුනු කරගත් පනත පාර්ලිමේන්තුවේ සම්මත වෙන්නෙ මේ අතර.මේ පනත යනු 2002 යලි පුබුදමු ශ්‍රී ලංකා වැඩසටහන යටතේ එවකට රජය ඉදිරිපත් කල පනත මිස අනෙකක් නෙමෙයි.
ආයෝජන මන්ඩල‍යේ වානිජ ව්‍යාපෘතියක් ලෙස මාලඹේ පුද්ගලික විශ්ව විද්‍යාලයක් ඇරඹීමට ඉක්බිති අවසර ලැබෙනවා.
මේ සංසිද්ධීන් අභියස සමාජයේ ප්‍රතික්‍රියාව වුනේ කුමක්ද?"මහින්ද මහත්තයා මොකක් කරත් රනිල් වගේ රටට ද්‍රෝහී වෙන්නෙ නැහැ".සමාජය තුල ආන්ඩුව කෙරෙහි පැවති භක්ත්‍යාදරය එතරම්ම ප්‍රබලයි.
මේ සියලු සිදුවීම්වලට ප්‍රේමයේ නාමයෙන් විරුද්ධ නොවූ/ඒවා නොදුටුවා සේ සිටි සමාජයට කිසිසේත් මග හැර යා නොහෙන සංසිද්ධියට මුහුන දීමට සිදු වන්නේ ඉනික්බිතිව.
රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඇ.ඩොලර් බිලියන 1.9ක නය මුදලක් ගැනීමට සැරසේ යන්න දින කිහිපයකට ඉහත පුවත්පත් හරහා ප්‍රචාරයට ලක්වූ ප්‍රවෘත්තියක්.
මේ නය මුදල කෙතරම් විශාලද යත් 2001 ආර්ථික වර්ධන වේගය (-) වූ අවස්ථාවේ ගන්නා ලද නය මුදලටත් වඩා දෙතුන් ගුනයක පරිමාවක් නය ලෙස ගැනීමටයි රජය යොමු වී තිබෙන්නේ.
ගෝලීය ධනවාදයට පාට් දැමූ ආන්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නමැති එහි පදනම් ආයතනයකින් ඉතිහාසයේ ගන්නා ලද විශාලතම නය මුදල අරගැනීමට යාම සමාජය තුල තිගැස්මක් ඇති කරන බව දන්නා රජය දැන් විවිද කතන්දර පවසමින් තිබෙනවා.
ඇතැම් ඇමැත්තෙක්ට අනුව මේ නය සමග කිසිදු කොන්දේසියක් පැනවෙන්නේ නැහැ.අවසන් වතාවට එම අරමුදල විසින් ලංකාවට 2003දී අනුමත කල ඩොලර් මිලියන 567 සදහා කොන්දේසි ගනනාවක් ඉදිරිපත් කලා නම් ඒ වගේ අති විශාල ගුනාකාරයක මුදලක් නයක් ලෙස දීමේදී කොන්දේසි නොපැනවීමට ජා.මු අරමුදල එක්වරම ග්‍රාමීය පුන්‍යාධාර සමිතියක් බවට පත්වෙලාද දන්නෙ නැහැ නේද කියන සරල පිලිතුර පමනයි ඊට දෙන්න තියෙන්නෙ.
තවකෙක් පවසන ආකාරයට මෙම නය මුදල ලංකාව සතු "හිමිකමක්".ඒ කියන්නෙ මේක ගන්න යන්නෙ අපේ නැති කමට නෙමෙයි,කොටින්ම මේක නයකුත් නෙමෙයි.අපිට ලැබෙන්න "නියමිත" දෙයක් ලබාගැනීමක් වැනි අදහසක් ඒ තුල තියෙනවා.

කෙසේ වුවත් මෙවැනි සිත නොරිදෙන චාටු කතා කොපමන පැවසුවත් සිදුවෙමින් පවතින දෙය පැහැදිලියි.
ලංකාවේ ධනේශ්වර ආන්ඩුව නමැති වෛශ්‍යාව සමාජය නමැති පෙම්වතා සමග ගත කල තාවකාලික මධුසමය දැන් අවසන් වී තිබෙන අතර ඇය සුපුරුදු පරිදි ගෝලීය ධනවාදය නමැති ස්වකීය ගැනුම්කරුවාගේ පහස පතා ඒ සමග සැතපෙන්නට කල් යල් බලමින් සිටිනවා.
regaining sri lanka යෝජනා මහින්ද චින්තන දවටනයෙහි ඔතා ආර්ථික දේහය මත එබ්බවීම මේ අනුව ඉදිරියේදී සිදුවීමට නියමිත යථාර්තයක්.මෙම නය මුදල ලංකාවේ දේශපාලන ඉදිරි ගමනට අදාල හැරවුම් ලක්ෂ්‍යයක් ලෙස දැකීම නිවැරදියි.
එක් පසෙකින් වෝල් ස්ට්‍රීට් කඩාවැටීම සමග ගෝලීය වශයෙන් ධනවාදී ක්‍රමය දරුනු දෙදරා යාමකට ලක්වී තිබෙනවා.එකී ධනවාදයේමැ අනුගාමීන් වන පරිවාරයේ රාජ්‍යයන්ට හිසෙහි අත ගසාගන්නවා හැරෙන්න මේ සන්දර්භය තුල වෙනත් විකල්පයක් නැහැ.රාජපක්ෂ රජය අභිමුඛ වන්නේත් එම යතාර්ථයට.මේ නිසා ආන්ඩුවේ ව්‍යාජ අධිරාජ්‍ය විරෝධී සලුපිලි එකිනෙක ලිහී යාම ඇරඹී තිබෙනවා.
ආර්ථික වශයෙන් සිදුවන මෙම අනුගතවීම දේශපාලන ව්‍යුහටත් බලපෑම වැලැක්විය නොහැකියි.ඒකීය රාජ්‍යය ගැන රාජපක්ෂගේ පොරොන්දුව නුදුරේදීම කඩ කෙරෙනු ඉතා හොදින් බලාගන්නට පුලුවන් වනු ඇති.විදේශ ඇමතිතුමා 13+(දහතුන්වන සංශෝධනය ඉක්මවා ගිය බලය බෙදීමක්)පිලිබද කරන ඉගිය මේ පිලිබද තේරුම් ගැනීමට ඉඩ තබන සංඥාවක්.
ආන්ඩුව තමන්ගේ ව්‍යාජ භූමිකාව අතහැර චපල පෙම්වතියගේ භූමිකාවට මාරු වීම සමග ඇය කෙරේ විශ්වාසය තැබූ සමාජයේ ඉරනම කුමක් වනු ඇද්ද?
සමාජයත් සුගත් මෙන් බේබද්දෙකු හා කාලකන්නියෙක්ගේ ඉරනමට ලක්වනු ඇත්ද?
ඇත්ත වශයෙන්මැ සමාජය එවැනි ඉරනමකට ලක්විය යුතුද?
ධනපති පංතියේ "දේශප්‍රෙමය"පිලිබද මිථ්‍යාව තූ තූ කර දමන මෙම මොහොත නිසැකවම අතිශය තීරනාත්මක අවස්ථාවක්.

- මෙම සටහන නාමල් උඩලමත්ත,නිලන්ත යන මහත්වරුන් වෙනුවෙන් විශේෂයෙන් වෙන්කිරීමට කැමතියි.මේ සම්බන්ධව එතුමන්ලාගේ අදහස් විශේෂයෙන් අගය කෙරෙනවා-