Sunday, December 20, 2009

ආගම - දාර්ශනික සාරය වෙනුවට සමාජමය සාරය සොයමුද?


මෙම අඩවිය තුල පුද්ගලික අත්දැකීම් ඒ විදිහටම මීට පෙර සටහන් කර නොතිබුනා හා සමාන වුනත් පසුගිය දිනෙක ලද අත්දැකීමක් සටහන් කල යුතුයි කියල හිතුනෙ ඒකෙන් ගන්න පුලුවන් වැදගත් අදහසක් නිසා.

සාමාන්‍යයෙන් ආගම ගැන විද්‍යාත්මක මතය නිශේධනීය එකක්.ස්වභාවධර්මයේ චලිතය තේරුම් කරගන්න තරම් දැනුම දියුනු වෙලා නොතිබුන වකවානුවක ඒවා තේරුම් ගැනීමට දරන ලද විවිධ උත්සාහයන්ගේ ප්‍රාථමික ප්‍රකාශනයන් විදිහට පහල වුන ආගමික මතාන්තර පසුකාලයක සමාජයේ දේශපාලන ආර්ථික සැකැස්මට අනුව හැඩගැසුනා.පෙරදිග සමාජ වල වගේම අපරදිග සමාජවලත් වරප්‍රසාද ලත් සංස්ථාවන් විදිහට ආගම් සංවිධානය වෙන්න පටන්ගැනීම එක්ක ඒවා ඒ ඒ සමාජ වල පාලකයන්ගේ අවශ්‍යතාවයන් එක්ක තදින් ගැටගැහෙන්නට වුනා.මධ්‍යකාලීන යුගයේ බටහිර පල්ලිය ඉතාම පීඩාකාරි සංස්ථාවක් වුනෙත් පෙරදිග විවිධ ආගම් පාලකයන්ගේ සුඛෝපභෝගී ජීවිත හා සමාජයේ දුක්ඛදායක ජීවිත අතර පරතරය ලෝකෝත්තර විග්‍රහයන්ගෙන් වසාලන දෘෂ්ටිවාදාත්මක දැලක් ලෙස ක්‍රියාත්මක වුනෙත් මේ හින්ද.කොහොම වුනත් ප්‍රගතිවාදී දේශපාලන භාවිතය තුලත් මේ නිසා ආගම ගැන තියෙන අදහස එතරම් සුබදායක එකක් නෙමේ.

විද්‍යාත්මකව කොයිතරම් වැරදි කියල කියවුනත් මිථ්‍යාවන් සම්බන්ධ සහජ ලෝලිත්වයක් මිනිසා තුල තියෙනවා.මේ නිසා ආගමික මතාන්තරත් මිනිසුන් අතර නොනැසී පවතිනවා දකින්න පුලුවන්.මගේ කතෝලික සගයෙක් දෙවියන් වහන්සේ යනුවෙන් කෙනෙක් නැත යනුවෙන් පවසන අතර නොවරදවා පල්ලි යනවා.කොවුර් අනුව යමින් සියලු ආගම් දෙස නිර්දය උපහාසාත්මක බැල්මක් හෙලන තවත් මිතුරෙක් විභාගයක් ලංවුන විටෙක බෝධී පූජාවල සරන සොයනවා.බුද්ධිමය වශයෙන් ආගමික මිථ්‍යාවන් ප්‍රතික්ෂේප කලත් හදවතින්,භාවමය වශයෙන් මිථ්‍යාවන් සම්බන්ධ ලෝලයක් මිනිසුන් තුල බොහෝවිට පවතින බව නිරීක්ෂනය කරන්න පුලුවන්.

පසුගිය දිනෙක කොලඹ විශ්ව විද්‍යාලයේ සංවිධානය කොට තිබුන නත්තල් භක්ති ගීත (කැරොල්)ගායනා ප්‍රසංගයකට සහභාගි වෙන්න මෙම බ්ලොග්කරුට අවස්ථාව ලැබුනා.
සියලු ගායනා උසස් මට්ටමක නොතිබුනත් ප්‍රසංගයෙන් ඉතාම සෞන්දර්යාත්මක වින්දනයක් රැස්වෙලා හිටපු බොහෝ දෙනා ලැබුවා.අවස්ථාවට කතෝලික - කතෝලික නොවන බොහෝ දෙනා එකතු වෙලා සිටි අතර ඒ හැමදෙනාම අවස්ථාව වින්දනය කල බවට සැකක් නැහැ.
උත්සවයේ කෙටි අදහස් දැක්වීමක් කල පියතුමෙක් ලෝකයේ තිබෙන උත්තරීතරම ගුනාංගය වූ කලී පරිත්‍යාගය හා සමාව දීමයි යනුවෙන් පවසමින් සිත්ගන්නා සුලු කෙටි දේශනයක් කලා.රුවන්ඩාවේ සිට පැමිනි කන්‍යා සොයුරියකගේ කතාවක් ඔහු පැවසූ අතර හුටු ටුට්සි ගැටුමේදී පවුලේ අනෙත් සියල්ලන් මරා දැමීමට ලක්වූ ඇගේ ජීවිත කතාව බොහොම සංවේදී කතාවක්.උපතින් කතෝලික නොවුනත් කුඩා කල ක්‍රිස්තියානි සංස්කෘතියට අනුකූල පරිසරයක අත්දැකීම් ලද අයෙක් ලෙස ශාලාවෙන් නික්ම රාත්‍රියේ නිවස බලා යන විට මට කල්පනා වුන දෙයක් නම් ආගම පරම නිශේධනීය දෙයක් ලෙස සැලකීමට වඩා ආගම තුල තිබෙන යම් යම් විභවයන් ගැන මීට වඩා සිතිය යුතුයි කියන කාරනය.

ආගම්වල දාර්ශනික හරයක් නැති නමුත් ආගම් වල සමාජමය හරයක් තිබෙනවා යැයි මා සිතනවා.
දෙවියන් වහන්සේ සිටීද?යන්නට මගේ පිලිතුර නැත යන්නයි.
කර්මය යනුවෙන් දෙයක් තිබේද?
මගේ පිලිතුර නැත යන්නයි.
නැවත ඉපදීමක් තිබේද?
මගේ පිලිතුර නැත යන්නයි.
ඒ නිසා ආගම් වලින් වැඩක් ඇත්තේම නැද්ද?
එසේ වුවද ඊට දීමට තිබෙන පිලිතුර "වැඩක් තිබේ" යන්නයි.දාර්ශනිකව හරයක් නැති වුනත් සමාජයේ විසිරී සිටින මිනිස් ජීවිත යම් මොහොතකට හෝ එකතු කරන්න ආගමට පුලුවන් වෙලා තියෙනවා.පුද්ගල අනන්‍යතා පමනක් පවතින ලෝකයක යම් පොදු අනන්‍යතාවයක් හදන්න ආගම උදවුවක් වෙලා තියෙනවා.නත්තල් කාලෙට තමන්ගේ ක්ෂුදු ලෝකවලින් එලියට එන මිනිස්සු එකතු වෙලා සන්තෝස වෙනවා.වෙසක් ආවම කූඩු හදන්න,වෙසක් බලන්න,දන්සැල් වලට යන්න පොදුවේ හැමෝම එකතු වෙනවා.පන්සලට එන ගෑනු ලමයි පිරිමි ලමයි හදුනගන්නවා.විවිධ පුද්ගලයන් එකට මුසු කරන ස්විකරන මාධ්‍යයක් වශයෙන් මේ අනුව ආගම ඉටු කරන භූමිකාවක් තිබෙනවා.
සරලවම කියතොත් පටු ආත්මාර්ථකාමීත්වය අධිනිශ්චය වෙලා තියෙන මිනිස් ජීවිත වලට සාමූහිකත්වයේ සුන්දරත්වය ගේන්න අද සමාජය තුල ආගම යම් කාර්යභාරයක් ඉටු කරන බව පැහැදිලියි.

ආගම් වල පවතින අන්තිම පසුගාමී හා අතිශය නිශේධනීය පැතිකඩ තේරුම් ගන්නවා වගේම ආගමේ මේ ප්‍රගතිශීලි පැතිකඩත් අවබෝධ කරගන්න අවශ්‍යයයි.මිනිසා තුල තිබෙන සහජ මිථ්‍යා ලෝලය මිනිසාගේ සමාජ ජීවිතය යහපත් කිරීමේ විධියක් විදිහට යොදාගන්න පුලුවන්කම තියෙනවා නම් එය ආගම පරම වශයෙන් හෙලා දකිනවාට වඩා ප්‍රතිඵලදායක එකක් වනු ඇතැයි අවසන් වශයෙන් සිතීමට පුලුවන්.

13 comments:

  1. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  2. අළුත් අදහසක් නොවේ. 1917 ඔක්තෝබර් විප්ලවයෙන් පසු බිහිවූ දැඩි ආගමික විරෝධී පරිසරය තුළ කිතුණු දේවස්ථාන ඉවක් බවක් නැතිව විනාශ කිරීමේ ප්‍රවණතාවයක් පැතිරීගිය කල්හි ලෙනින් ප්‍රකාශ කළේ ඒ කිසිවක් 'කොමිටි පත්කර' හෝ 'වටමේස සකච්ඡා තියා' ගොඩ නැඟිය නොහැකි නිසා ඒවාට අත නොතබන ලෙසය. හැම ආගමක් සමඟම ඊට සමාන්තර සංස්කෘතියක් වර්ධනය වේ. ඉන් ප්‍රයෝජන ගැනීමට ආගම බාධාවක් විය යුතු නැත.

    (සැ.යු. යම් කාලයක් තුළ තාක්ෂණික ගැටළුවක් නිසා මට මේ අඩවියේ කමෙන්ටු දැමීමට බැරිවිය. ඉහත කමෙන්ටුව ඒ ගැටළුව නිරාකරණය වී ඇත්ද යන්න නිශ්චය කර ගැන්මකි. එයද මේ කොටසද පසුව ඉවත් කරන්න.)

    ReplyDelete
  3. තවත් එක පවුද්ගලික මනස්ගාතයක්...

    ReplyDelete
  4. @ ටැබූ
    //හැම ආගමක් සමඟම ඊට සමාන්තර සංස්කෘතියක් වර්ධනය වේ. ඉන් ප්‍රයෝජන ගැනීමට ආගම බාධාවක් විය යුතු නැත.//
    agreed.
    පලමු කමෙන්ට් එක ඉවත් කරන ලදී.

    @ තරු
    සමහර මනස්ගාත හරි සුන්දරයි :D

    ReplyDelete
  5. අනාගමික ප‍්‍රවේශයක සිට ඔබ ලෝකය දැකීම ගැන මට විවේචනයක් නෑ. ඔබේ බොහෝ තර්කත් සමග මට තිබෙන්නේ එකඟතාවයක් මිස විරෝධයක් නොවේ. නමුත් මට තිබෙන ගැටළුව වන්නේ මිනිසා කෙතරම් දියුණු වුවත් ඔහු තමවත් තදින් ආගම බදාගෙන සිටීම ගැන විශ්මයකි. මන්ද අර තරම් දරුණු වර්ණ, ජාති, කුල භේද වලින් පවා මිනිසා ඈත් වෙමින් සිටිනවා. එ්කෙ ප‍්‍රතිඵලයක් විදිහට ඔබාමා ජනාධිපති වෙනවා. ඒත් මිනිසා තවමත් ආගම ඉස්සරහට කරගෙන ඉන්නවා. මම මේකට හේතු විදිහට දකින කරුණු කීපයක් තියෙනවා. එක පැත්තකින් ලෝකේ විතරක් නෙමෙයි ලංකාවෙත් උසස් යැයි පෙනෙන පැලැන්තිය ආගම ආභරණයක් කරගෙන ඉන්නවා. ඒක අනුකරණය කරන අය තව තවත් ඒ මත්තේ යන්න හේතුව එ්කයි. (අසරණ වුණ මිනිසෙක් ආගමෙන් ආරක්ෂාව බලාපොරොත්තු වෙනවා කියන පොදු සාධකය මෙහිදී මා ප‍්‍රතික්ෂේප කරන්නෑ. ඒක කොහොමත් අංක එක තමයි.) අනික් පැත්තට මම දකින ප‍්‍රධානම දෙයක් තමයි හැම ආගමක්ම අවිහිංසාවාදී ප‍්‍රවේශයක් සමග ගමන් කරන එක. ඒ නිසා කුල බෙදීම් හෝ වර්ණ බෙදීම් වලදී මෙන් මෙය විටෙක දරුණු වුවද පෙර කී අවිහිංසාවාදී ප‍්‍රවේශය නිසා ආගමට අවශ්‍ය මොහොතේදී අවශ්‍ය ලෙස Turn එක ගන්න පුළුවන් වුණා. ඒ වගේම මිනිසාගේ තිබූ බැඳීම නිසා ඒ Turn එක ගන්න වෙලාවේ මිනිස්සුන්වත් පාලනය කරගන්න ආගමට පුළුවන් වුණා.

    ‘ආගම තමයි ලෝකයම පාලනය කරන්නේ. ආර්ථිකය හසුරුවන්නෙත් ආගම. ලෝකේ යුද්ධ සියල්ලටම මුල ආගම’ විදිහට මේක එ්කපාර්ශවිකව භාවිතා නොකර සැබෑ තත්වය කතා කරන්න මම කැමතියි. ආර්ථික විද්‍යාව කරන අය කියන්නේ ලෝකෙම හැසිරෙන්නේ ආර්ථිකයට ඔනේ විදිහට කියලා. ජාත්‍යන්තර අධ්‍යනය කරන අය කියන්නේ ලෝකෙ හැමදෙයක්ම වෙන්නේ ඇමරිකාවට ඕනේ විදිහට කියලා. නලීන් ද සිල්වා කියන්නේ ලෝකෙම හසුරවන්නේ එංගලන්තය කියලා. ඒනිසා මම නං කියන්නේ ඒවා ජොක් කතා කියලයි. නමුත් ඔබ මතුකරන තර්කයේ පැහැදිලි සත්‍යයක් තියෙනවා. ඔබ ඒක විස්තර කරන්න ගත්ත උත්සහයත් සාර්ථකයි. මම කැමතියි අපි දකින විදිහට මේක විස්තර කරන්න උත්සහ ගන්න පුළුවං නං හොඳයි කියලා.

    ReplyDelete
  6. The writer thinks he's an atheist. But actually he isn't. He's a Marxist who follows the religion of Marxism, and like all the Theistic religions looks down on other religions, and considers them to be faulty / harmful / මිථ්‍යාදෘෂ්ටික.

    And Atheism is also regarded a vision (දිට්ඨි in pali). Having no vision about the world is also a vision according to the oriental religions / knowledge base. But Western knowledge base fails to appreciate the fact.

    As a result western type of thinker would think that (s)he's impartial if (s)he is an atheist. But according to oriental thinker, it's another type of partiality. And Ram, fails to understand that atheism and Marxism are both partial, and no better than a religion.

    If you extend the argument even modern science can be argued as a religion. But I am not going to discuss about it. Basically, structure human knowledge base has striking similarities to that of religions. Getting rid of religion is impossible due to that fact, that it would lead to throwing away of many views that most of us have valued (other han religion)

    ReplyDelete
  7. @ hashan

    ප්‍රතිචාරයට ස්තුතියි.මට හිතෙන දේ මෙහෙමයි.
    ආගම යනුවෙන් දෙයක් නොනැසී පවතින් දේශපාලන සමාජ හේතු බලපානවා.ඉහල පංතියේ ආභරනයක් විදිහට,පහල පංතියේ පීඩාව පිටකරගන්න තියෙන මාධ්‍යයක් විදිහට ආගම යොදාගැනෙන නිසා සහ ඇතැම් විට පාලකයන් චේතාන්විතව ආගම ප්‍රමෝට් කරන නිසා ආගම පවතිනවා.ඒක එක පැත්තක්.
    හැබැයි තව පැත්තකින් හිතෙන දෙයක් තමයි මිනිස්සු තුල ස්වභාවිකවම මිථ්‍යාවන් සම්බන්ධ යම් ආකර්ෂනයක් තියෙනවා කියන කාරනය.මේකෙදි මම කොච්චර නිවැරදිද දන්නෙ නැහැ.ඒත් ඉතාම විද්‍යාත්මක අවබෝධයක් තියෙන අය පවා එදිනෙදා ජීවිතේදී ආගමික මතාන්තර වලට ඇලුම් කිරීම (න්‍යායිකව ආගම් බැහැර කලත් භාවිතයේදී යම් යම් පිලිවෙත් පිලිගැනීම) තුලින් මට හිතෙන්නෙ එතන මානසිකව යම් බලපෑමක් තිබෙන බවයි.

    @ නෝ ෆ්‍රේම්ස්
    මාක්ස්වාදය/අනාගමික ප්‍රවේශය තවත් ආගමකි කියන අදහස භාෂාමය ක්‍රිඩාවක්.අනාගමික වාදය තුල දෘෂ්ටියක් තිබෙන බව පැහැදිලියි.දෘෂ්ටියක් තිබූ පමනින් එය "ආගමක්" වෙන්නෙ නැහැ.(ආගම කියන වචනය මෙම ලිපියේදී භාවිත වන්නෙ සම්මුති වශයෙන් ඊට ලැබිල තියෙන අර්ථය අනුව.ඒ අර්ථය ඉක්මවා පුලුල් අර්ථකතනයකට යාමයි ඔබ සිදුකරල තියෙන්නෙ)ඒ තර්කයට අනුව කලාවත් ආගමක්, සංගීතයත් ආගමක්,විද්‍යාවත් ආගමක් ලිංගිස සංසර්ගයේ යෙදීමත් ආගමක් ආදී වශයෙන් ලොකු ලැයිස්තුවක් හදන්න පුලුවන්.
    ඒ වගේ වෙන මානයකට නොගොස් වචන වලට පොදුවේ ලැබෙන අර්තයේ සීමාවට යටත්ව කතාකලහොත් ආගම් වල පවතින ලක්ෂන තිබෙනවා.
    නිද-භෞතිකයෙන් පිට පරම අධ්‍යාත්මයක් ( දෙවියන් වහන්සේ/කර්මය/නිවන) තුල සාරය සෙවීම
    එම අධිභෞතික සාරය කේන්ද්‍රය ලෙස ගෙන ඇගයුම්.වත්පිලිවෙත් ආදිය නිර්මානය කර ගැනීම
    අනාගමික වාදීන් ලෙස අපි පරම අධ්‍යාත්මයක් තුල කිසිදු සාරයක් නොසොයන අතර භෞතිකයට යටත්ව ස්වභාවධර්මයේ චලිතය තේරුම් ගන්නවා.ඒකත් දෘෂ්ටියක් තමයි.නමුත් මේ දාෂ්ටිය හා කලින් කියූ දෘෂ්ටිය අතර මූලධාර්මික වෙනසක් තිබෙනවා.
    සමහරු මාක්ස්වාදීන් ලෙනින්ව අදහනවා,බයිබලය වගේ දාස් කැපිටාල් ගන්නව වැනි ලක්ෂන පෙන්වමින් මාක්ස්වාදය ආගමක් ලෙස හදුන්වන්න උත්සාහ කරනව මම දැකල තියෙනවා.සමාන යැයි "පෙනෙන" ගැට්ටේ පවතින ලක්ෂන අරගෙන කරන ඒ සැසදීම වැරදි වෙන්නෙ හරයේ පවතින අර මූලධාර්මික වෙනස එම විග්‍රහයන් තුල සලකා බලල නැති හින්ද

    ReplyDelete
  8. නෝ ෆ්‍රේම්ස්ට දීපු උත්තරය කියෙව්වාම මට මතක් වුනේ ආගමික ආචාරයවරුන් හර බර වචන දාලා දෙසාබානා අන්දමයි. මාක්ස්වාදය/අනාගමික ප්‍රවේශය තවත් ආගමකි කියන අදහස භාෂාමය ක්‍රිඩාවක් නම්, මුලු මාක්ස්වාදයම භාෂාමය ක්‍රිඩාවක්. ආගමක් කියන්නේ දෙවියෙකු ඉන්නා ඇදහීමක්නම් මාක්ස්වාදය ආගමක් නොවෙයී. නමුත් ආගමක් කියන්නේ ඒකමතිකව කුමන හෝ අරමුනක් ලගා කරගැනීම පිනිස ඇති ඇදහිල්ලක් නම්, මාක්ස්වාදය අනිවාර්යෙන්ම ආගමක්.

    //නමුත් මේ දාෂ්ටිය හා කලින් කියූ දෘෂ්ටිය අතර මූලධාර්මික වෙනසක් තිබෙනවා.//
    මක්කෙයී?

    ReplyDelete
  9. @ sam
    //ආගම කියන්නෙ ඒකමතිකව කුමන හෝ අරමුනක් ලගා කරගැනීම පිනිස ඇති ඇදහිල්ලක් නම්//
    පලමුව ඔබේ ආගම පිලිබද නිර්වචනය ගමු.ඔය නිර්වචනෙට අනුව ඒකමතික අරමුනක් වෙනුවෙන් කරන ඕනෙම ක්‍රියාවක් ආගමක්.යුද්ධය දිනීමේ අරමුනින් හමුදාව අදහගෙන හිටපු අය අදහලා තියෙන්නෙ ආගමක්.ඒ කියන්නෙ යුද්දෙ කියන්නෙ ආගමක්.ඒකමිතක අරමුනකින් අමරදේවගේ සංගිතය රසවිදින්නා කරන්නෙත් ආගමක් ඇදහීමක්.ක්‍රිකට් ගැසීම,සිංදු ඇහීම ඔය වගේ දේවලටත් ඒ අනුව ආගම් කියල කියන්න පුලුවන්.භාෂාමය ක්‍රීඩාවක් කියන්නේ ඕකට.
    අපි සම්මුති අර්ථයෙන් ආගම් කියල කියන්නෙ ක්‍රිකට් ගහන එකටවත්,යුද්ධයට සපෝට් කරන එකටවත් නෙවෙයිනෙ.අපි සාමාන්‍යයෙන් ආගම් විදිහට හදුනගන්න සංස්ථා වල ප්‍රධාන ලක්ෂනය මම ඉස්සෙලලා දැක්වුවා.ඒක සංකීර්න වැඩි නම් පුලුවන් තරම් සරල වෙන්න උත්සාහ කරන්නම්.
    ආගමක් භෞතිකයෙන් පිට (අධිභෞතික) පරම/නිරපේක්ෂ අධ්‍යාත්මයක් ( මේ පරම අධ්‍යාත්මය දෙවියන් වෙන්න පුලුවන්.නිවන වෙන්න පුලුවන්.)තුල සාරය ( ගැලවීම?) හොයනවා.
    අනාගමික මතවාදීන් (අනාගමික වූ පමනින් ඔහු මාක්ස්වාදියෙක් විය යුතු නැහැ) එහෙම අධිභෞතික කල්පිතයන් තුල සාරයක් සොයන්නේ නැහැ.ඒ අය ලෝකය විග්‍රහ කරගන්නේ භෞතිකයට යටත්ව.
    මීට වඩා නම් සරලව පැහැදිලි කරන්න මට වැටහෙන්නෙ නැහැ.ඒක මගේ වැරැද්දකට වැඩිය විෂයේ (දර්ශනය) ස්වභාවය හින්ද එන එකක්.

    ReplyDelete
  10. ඕනෑම කිරියාවක් යැයී කියලා මා කීවේ නෑනේ නේද. මම කීවෙ ඇදහිල්ලක් කියලා. ඇදහිල්ලක් කියන්නේ ඕනෑම කිරියාවක් නොවෙයී. මම කිරිකට් අදහනවා කියලා කියන්නෙ නෑ නේද. මාක්සවාදය ගහන්වා කියලා කියන්නේත් නෑ නේද. ඔන්න ඉතින් උත්තරේ ආපහු මුල ඉදල පටන්ගමු..

    ReplyDelete
  11. @ Ram

    I never thought you would be such a moron by comparing sex with Marxism!.

    Marxism is thought as a religion because it's principles cannot be questioned or changed, much like God / Allah / Jehovah concept of theistic religions.

    Marxism describes about achieving the "salvation" from capitalism. Like many religions, it encourages bloody battles for the protection of it. Like may religions, it is spread with the power of sword / gun / machine gun / nuclear bomb.

    Many religions which describe unification with the God is the salvation. But no religion describes what will happen after the salvation. Similarly, Marxism tries to achieve a world-scale socialistic republic, but does not describe what will happen after achieving the goal.

    There are many more similarities. Sorry for the English typing. My SInhalese is not as eloquate as yours Ram.

    ReplyDelete
  12. @ සෑම්
    මුල ඉදල උත්තර දීමේ අවශ්‍යතාවක් නැහැ.ක්‍රිකට් උදාහරනය ගත්තෙ ඔබ ආගම නිර්වචනය කරල තියෙන විදිහ පුලුල්බවින් වැඩියි ඒ හින්ද සංදිග්ධයි කියල කියන්න.ක්‍රිකට් ඒකායන අරමන විදිහට අරගෙන තාරකා අදහගෙන ඒක ඇදහිල්ලක් විදිහට තදින් ගන්න උදවිය ඉන්නවා.ඒක එක්තරා විදිහක ඇදහිල්ලක් කියල කීවට ඒකට ආගමක් කියන්නෙ නැහැ.+ මාක්ස්වාදය අදහීම කියල එකක් නැහැ

    @ නෝ ෆ්‍රේම්ස්
    නැවත - සෙක්ස් = මාක්ස්වාදය කියල නැහැ.මගේ උදාහරනය වැරදියට තේරුම් අරන් තියෙන්න.මගේ තර්කය වුනේ දැඩි අදහසකින් සිදුවෙන ඕනෙම ක්‍රියාවලියක් ආගමක් නම් සංගීතය සෙක්ස් වගේ දේවලුත් ආගම් විදිහට නිර්වචනය කරන්න පුලුවන් කියන එක සහ ඒ වගේ පුලුල් බවින් වැඩි නිර්වචන වලට නොයා පොදුවේ වචන වලට හම්බෙලා තියන අර්ථවලින් කතාකරමු කියන එක.
    මාක්ස්වාදය හා ආගම අතර ඔබ දකින සමාන ලක්ෂන ගනිමු.

    // Marxism is thought as a religion because it's principles cannot be questioned or changed,//

    මේක වැරදි අදහසක්.මාක්ස්වාදයේ මූලික සිද්ධානත්තයක් තමයි ලෝකයේ චලිතය පිලිබද අදහස.ලෝකය වෙනස්වෙමින් තිබෙන නිසා ලෝකය තේරුම් ගැනීමට නිර්මානය කල න්‍යායන් සංවර්ධනය වන බව වෙනස් වන බව මාක්ස්වාදය පිලිගන්නවා.උදාහරනයක් විදිහට ධනවාදය පිලිබද කාල් මාක්ස්ගේ විවේචනය ලෙනින් අතින් වෙනස් විදිහකට ඉස්සරහට ගිහින් තියෙනවා.(අධිරාජ්‍යවාදය ධනවාදයේ ඉහල අවධියක් ලෙස හදුන්වමින්) ලෙනින්ගේ යුගයේදී මාක්ස්ගේ මූලධර්ම ප්‍රශ්න කෙරෙනවා.ස්වයං තිරනය ගැන මාක්ස්වාදී අදහස,ධනේශ්වර සමාජයේ බුද්ධිමතුන් ගැන මාක්ස්වාදි විග්‍රහය වගේ ඒවයෙ මූලධර්ම කාලය එක්ක පරිනාමය වෙව් ආ හැටි ඔබට දකින්න පුලුවන් වෙයි.න්‍යාය ක්‍රියාවට මගපෙන්වන්නක් විනා ඇදහිල්ලක් නෙමේ කියන්නේ ලෙනින් පලකල ප්‍රකට අදහසක්.න්‍රිස්තියානින් බයිබලය දේව භාෂිතයක් ලෙස සලකන කොට මාක්ස්වාදීන්ට ප්‍රාග්ධනය වගේ පොත් ක්‍රියාවට මගපෙන්වුමක් ලෙස ක්‍රියා කරන අදහස් සමූහයක් විතරයි.

    //Marxism describes about achieving the "salvation" from capitalism.//
    විමුක්තිය කියන වචනයේ සමානකම උඩයි ඔබ ඔය නිගමනයට එන්නෙ.ඔය සමානකම් මතුපිට සමානකම් විතරයි.ආගම් වල පරමාර්තය හා මාක්ස්වාදයේ පරමාර්ථය හරයාත්මකව වෙනස් බව මතුපිට විනිවිද පතුලට ගියාම දකින්න පුලුවන්.

    -ක්‍රිස්තු ලබ්ධිය හා නූතන සමාජවාදය යන දෙකම වහල් බැමිවලින් සහ දුක්ඛිතභාවයෙන් අනාගත ගැලවීම ගැන දේශනා කරයි.
    ක්‍රිස්තු ලබ්ධිය මෙම ගැලවීම මරනින් මතු ස්වර්ගයේ මතු ජීවිතයක තබයි.සමාජවාදය එය මේ ලෝකයේ සමාජ පරිවර්තනයක තබයි
    -ෆෙඩ්රික් එංගල්ස්

    උපුටා ගැනීම් සහ අදහස් දැක්වීම් විස්තරාත්මකව කරන්න ඕනෙ වැදගත් මාතෘකාවක් ඔබ මතු කරල තියෙන්නෙ.ඒ ගැන වෙනම ලිපියක් ලියන්න උත්සාහ කරන්නම්.එතනදි වැඩියෙන් කතාකරමු.මේ කාරනය කෙසේ වුවද මතුකිරීම ගැන ස්තුතියි.

    ReplyDelete
  13. අනේ අපිට ලොකු දේවල් නං තේරෙන් නෑ.. ඒත් මාක්ස් වාදය කියන්නෙ ආගමකට නෙමේ කියල නං හොඳට තේරෙනව.. එයා මොනව කියනවද මංද.. නිකං අපිව මඥං කරන්ඩ එපා.. දැනුම වැඩි වුණාමත් සමහරක් අයට එව්ව මෙව්ව දෙක පැටලෙනව.. ඔහොම ගිහින් අම්මට තාත්ත කියලත් කියයි

    ReplyDelete