Friday, October 23, 2009

ජෙනරාල් ෆොන්සේකා - පුද්ගලිකව නොව දේශපාලනිකව කියවමු


‍ජෙනරාල් සරත් ෆොන්සේකා පිලිබද පුවත මේ වනවිට ලංකාවේ ඉතාම ආන්දෝලනාත්මක පුවත බවට පත්වෙලා තිබෙනවා.යුද්ධයේ වීරයන්,හමුදා කුමන්ත්‍රන සූදානම් වැනි බොහෝ පැති කරා මේ සාකච්ඡාව ගමන් කොට තිබෙනු මේ වන විට දැක ගත හැකියි.
කොහොම වුනත් ෆොන්සේකා පිලිබද පුවත රාජපක්ෂ පාලනය ගැන මීට පෙර පොදුවේ විවේචනාත්මකව මතු වූ අදහස් ප්‍රමානයක් නැවත තහවුරු කරන්න ඉවහල් වෙලා තියෙනවා.වර්තමාන පාලනය කියන්නෙ පුලුල් දැක්මක් සහිතව සමාජය ඉදිරියට ගෙනියන්න හදන එකක් නෙමෙයි පවුලේ ආධිපත්‍යය ඥාති සංග්‍රහයෙන් ජරපත් වුන අන්තිම ප්‍රතිගාමී තන්ත්‍රයකි යන අදහස නැවත මේ සිදුවීමෙන් තහවුරු වෙනවා.තම පවුලේ ආධිපත්‍යයට එරෙහිවන අයට පමනක් නොවෙයි තමන්ට වඩා ජනප්‍රිය වේ යැයි උපකල්පනය කරන අයගෙන් පවා පලිගන්න තැනකට පාලකයන් ගමන් කරමින් ඉන්නා බව පෙනෙන්නට තිබෙනවා.

හිටපු හමුදාපති ජනාධිපතිවරනයට එනවා කියන ප්‍රවෘත්තිය ඕපාදූපයක් ලෙස රට පුරා සැරිසරන්න ගන්නෙ මේ අතර වාරයේ.තාම මේ ගැන නිල ප්‍රකාශයක් නැහැ.හමුදාපති මේ ගැන අදහසක් ප්‍රකාශ කරලත් නැහැ.නමුත් හමුදා කුමන්ත්‍රන,යුද්ධයේ ඇත්ත අයිතිකාරයන් දේශපාලකයන්ය කියන ඇමති වරුන්ගේ වාචාල කතා වලින් අපිට පැහැදිලි වෙන්නේ ෆොන්සේකා දේශපාලනයට ඒම නොවිය හැක්කක්ම නොවන බවයි.
මේ කටකතාව ආන්ඩුව කෙතරම් ත්‍රස්ත කොට තිබෙනවාද යත් මේ ගැන කතා කරන මාධ්‍ය වලට එරෙහිව "නීතිමය පියවර ගන්නා බව" හමුදා ප්‍රකාශක පසුගියදා පවසා තිබුනා.එක්තරා සති අන්ත පුවත්පතක කතුවරයෙක් මේ අනුව ෆොන්සේකා ගැන කතාකිරීමේ වරදට අපරාධ විමර්ශන අංශයට කුදලාගෙන යනු ලැබුවා.
කෙසේ වෙතත් දකුනු පලාතේදී රජය ඉල්ලූ 80% ජනතාව විසින් බැහැර කිරීම නිසා හොල්මන් වී සිටින රාජපක්ෂ ආන්ඩුවේ තැරැව්කාරයන්ට ‍ෆොන්සේකාගේ දේශපාලන ආගමනය මිට මොලවා මුහුනට ගැසූ පහරක් වැනියි.ජයග්‍රහනයෙන් උදම් වී විපක්ෂයට කොචොක් කරමින් ආතල් ගත් දේශපාලකයන් මෙතරම් ඉක්මනින් තමන්ගේ උද්දාමයට මෙහෙම කෙලවෙතැයි අපේක්ෂා නොකල බවට සැකක් නැහැ.
හදිසි ජනාධිපතිවරනයක් නියමිත කාලයට පෙර රජය කැදවන්නට සිතාගෙන සිටියේ යුද්ධය නිසා තමන් ලද ජනප්‍රියත්වයෙන් ජනාධිපතිවරනය ගොඩ දා ගත හැකියි යන විශ්වාසයෙන්.චන්දයේදී විකිනීමට හැකි එකම "භාන්ඩය"වන්නේත් යුද ජය පමනයි.යුද්ධයේදී හමුදාවට ක්‍රියාන්විත නායකත්වය දුන් පුද්ගලයා ප්‍රතිවාදියා ලෙස ඉදිරිපත් වුවහොත් රාජපක්ෂ රජයේ තරග සැලැස්ම එහෙම් පිටින්ම අවුල් වෙන බවට අමුතුවෙන් කිව යුතු නැහැ.
‍ෆොන්සේකා දේශපාලනයට ඒම ගැන භීතියෙන් හතර අතේ ආන්ඩුවේ ඉදුල් කන්නන් කෑ මොර දෙන්නේ යුද්ධය පෙන්වා සීත කාමර වලට වී කතා සාප්පු දැමීමේ සනීප දේශපාලනය ඔහු ආවොත් තවදුරටත් වලංගු නැති බව මේ දූෂිත දේශපාලන ස්තරය දන්නා නිසා.

කොහොම වුනත් රජයේ අදෝනා වලට අමතරව ෆොන්සේකාගේ (සිදු වෙනවා යැයි උපකල්පනය කෙරෙන) දේශපාලන ආගමනය ගැන රජයේ නොවන විරුද්ධ පාර්ශවවලිනුත් යම් විවේචනාත්මක අදහස් ප්‍රමානයක් මතුව තිබෙනු දැකගත හැකියි.
වාමවාදී ස්ථාවරයක සිට රාවයට ලියන අජිත් පැරකුම් ජයසිංහ මේ පිලිබදව පසුගිය සති දෙකේදීම ප්‍රශ්න කොට තිබුනා.රාජපක්ෂ රජයේ අන්තනෝමතිකත්වයට එරෙහි තැනක සිට ලියන බ්ලොග් අඩවි කිහිපයකත් මෙවැනිම ලිපි කිහිපයක් පසුගිය සතියේ පල වී තිබුනා.
ආන්ඩුව ෆොන්සේකාට එරෙහිව ගේන හමුදා කුමන්ත්‍රන ගැන තක්කඩි කතා වලට වැඩිය සලකා බැලිය යුතු නිරීක්ෂන කිහිපයක් මෙම ලිපි වල ගැබ්ව තිබු බව කිව යුතුයි.
1.ෆොන්සේකා මහතාගේ දේශපාලන ස්ථාවරය මෙම විවේචන තුල ප්‍රශ්න කෙරුනු ප්‍රධාන කාරනයයි.
කැනේඩියානු පුවත්පතකට වසර දෙකකට පමන පෙර ඔහු කල ප්‍රකාශයක් නැවත නැවත උපු‍ටා දක්වමින් ෆොන්සේකා දැඩි සිංහලවාදියෙක් බවත් ඔහුගේ පාලනයක් රාජපක්ෂගේ පාලනයටත් වඩා ආධිපත්‍යවාදී හා මර්ධනකාරී විය හැකි බවට එක් අතෙකින් ප්‍රකාශ වී තිබුනා.
2.ඉහත තර්කය මතම රැදෙමින් සුලු ජාතීන්ගේ කැමැත්ත ෆොන්සේකාට නොලැබෙන බවත් මේ නිසා ඔහුව බලයට පත් කිරීම "ඉගුරු දී මිරිස් ගැනීමක්" විය හැකි බවටත් අනාවැකි මතුකෙරෙනු දැකිය හැකියි.

මේ හැම අදහසක්ම පලවෙන්නේ හිටපු හමුදාපති චන්දයට එන බවක් ස්ථිර වෙලා නැති සන්දර්භයක.මේ නිසා මේ ගැන විස්තරාත්මකව කතා කිරීම තේරුමක් නැති දෙයක් වෙන්නත් පුලුවන්.
ඒ වුනත් කවර සීමාසහිතකම් මැද වුනත් ඔහු ජනාධිපතිවරනයට ඒම සාධනීය දෙයක් යැයි මේ ලියුම්කරු කල්පනා කරනවා.

ෆොන්සේකාට එරෙහි ආන්ඩු විරෝධීන්ගේ තර්කයෙහි ඇති හිස්තැන නම් ඔවුන් ‍සරත් ෆොන්සේකා කියන පුද්ගල සාධකය සන්දර්භයෙන් පිට අරගෙන වියුක්තව විග්‍රහ කිරීම.ඒ වෙනුවට ඇත්තටම විය යුත්තේ මේ මොහොතේ පවතින දේශපාලන වාතාවරනයට සාපේක්ෂව සංයුක්ත සිතීමකට යාම.ඉතාම සුදු පරමාදර්ශී විකල්ප මනෝරාජික සිහින වලට වලංගු වුනාට මහපොලොවේ දේශපාලනය ඉල්ලා සිටින්නේ ප්‍රායෝගිකත්වය මිස අනෙකක් නොවෙයි.
මේ නිශ්චිත මොහොතේ තිබෙන ප්‍රශ්නය කුමක්ද?
පාලන බලය තිබෙන පුද්ගලයා තනි පුද්ගල ආඥාදායකත්වයක් කරා යමින් තිබෙන අතර සිම්බාබ්වේ මට්ටමේ ඉතාම පසුගාමී තැනකට රට පල්ලම් බස්සමින් සිටිනවා.
මේ ගමන ආපසු හැරවිය යුතුයි.එසේ හරවන්න නම් හුදෙක් රාජපක්ෂ බලයෙන් පහ කිරීම ප්‍රමානවත් නැහැ.ඔහුව බලයෙන් පහ කරන ගමන් ඒකාධිපතියන් බිහිවීමට දේශපාලන සමාජයේ තිබෙන අවකාශය අවහිර කරන්න ඕනෙ.
JR ගේ ප්‍රේමදාසගේ සිට මහින්ද රාජපක්ෂ දක්වා චන්දයෙන් තේරුනු පාලකයන් ජනතාවට කොකා පෙන්වන අනභිබවනීය ඒකාධිපතියන් බවට පත්වුනේ කොහොමද?
ඒක එහෙම වුනේ දේශපාලන සමාජය තුල ප්‍රජාතන්ත්‍රවාදී ආයතන වල තිබෙන දුබලතාවය නිසා.මේ දුබලතාවයට බලපාන ඉතාම මූලික හේතුව තමයි පාලකයාව නීතියටත් ඉහලින් තබන විධායක ජනාධිපතිධූරය.
රාජපක්ෂ ඇතුලු මෙ‍තෙක් කල් සිටි උතුමානන් වහන්සේලාට ආඥාදායකයන් ලෙස පිම්බීමට හා පිස්සු කෙලීමට ඉඩ ලැබුනේ අඩුම තරමින් අධිකරනය ඉදිරියේවත් ප්‍රශ්න කල නොහැකි අසීමිත විධායක බලය නිසා.
මේ නිසා විධායක ජනාධිපති ක්‍රමය ක්‍රමයක් ලෙස ‍අහෝසි කිරීම සමාජය ප්‍රජාතාන්ත්‍රීකරනය පැත්තෙන් බලන විට අතිශය තීරනාත්මක ඉදිරි පිම්මක්.
මේ කාරනයත් එක්කම 17 වෙනි සංශෝධනය පිලිබද කතිකාව ඉදිරියට එනවා.රාජ්‍ය සේවය,පොලිස් සේවය,මැතිවරන ක්‍රියාවලිය වැනි අංග අද වන විට ශිෂ්ට සමාජයකට කිසිසේත් නොගැලපෙන විදිහට ලංකාව තුල කුනු වෙලා ගොස් තිබෙනවා.මේවා බලයේ සිටින දේශපාලකයන්ගේ හොර ගුහාවල් මිස සමාජයේ සේවය උදෙසා කැපවුනු ආයතන නෙමෙයි.
17 වෙනි සංශෝධනය බලාත්මක කිරීම සරල දෙයක් නොවෙන්නේ මේ නිසා.පරමාදර්ශි වෙනසක් සිදු වුවත් නැතත් රාජ්‍ය සේවය,පොලිසිය වැනි සමාජයේ සංවේදී "නිල"ප්‍රජාතාන්ත්‍රික ප්‍රවේශයකින් ස්පර්ශ කරන එක සමාජයක් විදිහට අපිව ඉදිරියට ගෙනියනවාද ?නැද්ද?
මහපොලොවේ තිබෙන ප්‍රශ්න මේවායි.ප්‍රජාතන්ත්‍රවාදයේ හා සමාජ සාධාරනත්වයේ පැත්තෙන් බලන කොට ඉහත පියවරයන්ගේ තිබෙන වැදගත්කම නොසලකා හල නොහැකියි.

රාජපක්ෂ සිහසුනෙන් බසවා සිදු කෙරෙන්නේ නිකම්ම නිකම් ෆොන්සේකාව රාජාභිෂේක කිරීමක් නම් එහි ඇති දේශපාලන වැදගත්කමක් නැහැ තමයි.එතකොට ඔහුගේ තිබෙනවා යැයි කියන සිංහලවාදී මර්ධනකාරී චර්යාවන් අධිපතිත්වයට පත්වෙන බව ඇත්තක් විය හැකියි.
නමුත් ෆොන්සේකා ජනාධිපති චන්දෙට එන්නේ හුදෙක් තනි පුද්ගල සාධකයක් විදිහට නෙමෙයි නම් තත්වය වෙනස් මුහුනවරක් ගන්නවා.දේශපාලනයේදී කේවල සාධක වැදගත් වුනත් අන්තිමේදී ඊට වඩා බලපෑම් සහගත වෙන්නේ කේවල සාධක ස්ථානගත වෙන බලවේගයන්ගේ ව්‍යුහය.
ෆොන්සේකාගේ ප්‍රතිරූපයට ලැබෙන චන්ද අන්තනෝමතික විධායක ජනාධිපති ධූරය අහෝසි කරන තැනකට හරවා ගත නොහැකිද?
ෆොන්සේකාගේ ප්‍රතිරූපයට එන චන්ද 17 වෙනි සංශෝධනය බලාත්මක කරන තැනකට ගෙනි යන්නේ කොහොමද?
කොටින්ම කියනවා නම් සමාජය ප්‍රජාතාන්ත්‍රිකව ශක්තිමත් කිරීමේ අවම වැඩපිලිවෙලක් (minimum programme) බලාත්මක කිරීම සදහා මේ අවස්ථාව යොදා ගත හැකිද?නොහැකිද?
සලකා බැලිය යුතු කේන්ද්‍රීය ප්‍රශ්න වන්නේ මේවායි.
ආරංචි වී තිබෙන හැටියට විපක්ෂය ඕනෑම පොදු අපෙක්ෂකයෙක්ට සහය දෙනවා නම් දෙනු ලබන්නේ විධායක ජනාදිපති ධූරය දින 180 ක් තුල අහෝසි කරනවා කියන නිශ්චිත ප්‍රධාන කොන්දේසියට යටත්ව යැයි පැවසෙනවා.මේ අනුව පැවැත්වෙන ජනාධිපති චන්දයක් විධායක ක්‍රමයට පක්ෂ හා විපක්ෂ බලවේග අතර ජනමත විචාරනයක් බවට පත්වීම වලක්වන්න බැහැ.එවැනි පසුබිමක් තුල රාජපක්ෂ හෝ චන්ද්‍රිකා කලා වගේ සිය පොරොන්දුවෙන් කට්ටි පැනීමට බලයට පත්වෙන කෙනාට ලෙහෙසියෙන් අවස්ථාවක් ලැබෙන්නේත් නැහැ

කොහොම වුනත් ෆොන්සේකාව මෙවැනි අවම වැඩපිලිවලකට එකග කරවා ගත හැකි නම් එම වැඩපිලිවෙල වෙනුවෙන් ෆොන්සේකාට සහය දීම සාධනීය දෙයක් බව පැහැදිලියි.
සරත් ෆෙන්සේකාගෙන් ඉර හද බලාපොරොත්තු විය නොහැකියි.ඔහුගෙන් සුලු ජාතින්ගේ ගැටලුව සහමුලින් විසදීම අපේක්ෂා කිරීමත් ප්‍රායෝගික නැහැ.(අපි කල්පනා කරන විදිහට සුලු ජාතින්ගේ ගැටලුවට ධනේශ්වර ක්‍රමය තුල කොහොමත් විසදුමකුත් නැහැ)
නමුත් සුලු ජාතින්ගේ අයිතීනුත් තහවුරු කරන,මෙතනින් ඉදිරියට යාමට අවශ්‍ය කවුලුව විවර කර දෙන "ප්‍රවේශ මාර්ගයක් "හදාගන්න ජනරාල් ෆොන්සේකාව යොදාගන්න පුලුවන් නම් අදුරට ශාප කිරීමට වඩා ඒ දැල්වෙන එක ඉටි පහන ඉතාම වටින බව කිව යුතුයි.

සරත් ෆොන්සේකා චන්දයට ඒම අපි පසෙක තබමු.ඔහු චන්දයට නොආවොත් ලබන ජනවාරියේ පැවැත්වෙනවා යැයි කියන ජනාධිපතිවරනයේදී වනු ඇත්තේ කුමක්ද?
යථාර්ථය නම් රාජපක්ෂට අභියෝග කල හැකි චරිතයක් මේ මොහොතේ සොයාගත නොහැක යන්නයි.නිසැක වශයෙන්ම එම චන්දය රාජපක්ෂගේ රේස් එක වනු ඇති අතර එජාපයේ 17 වසරක ගසාකෑම් වලට වඩා ගසාකෑම් වලින් පිරුනු මේ පාලන තන්ත්‍රය තවත් වසර 06කට හෝ 08කට දීර්ඝ වීම කවර තත්වයක් කරා සමාජය ගෙනයනු ඇත්ද?
රාජපක්ෂට අභියෝග කල හැකි යෝග්‍යම චරිතය ජෙනරාල් ෆොන්සේකාය යන්න ඇත්ත කාරනයයි.ඔහු චන්දෙට එනවා කියන හුදු ඕපාදූප‍ය නිසා ආන්ඩුවට සුලු දිය පහවෙන්නට පටන්ගෙන තිබෙන්නේ ඒ නිසාය.
‍ෆොන්සේකාගේ පුද්ගලික කීර්තිය දේශපාලන සැලැස්මක් තුලට අන්තර්ග්‍රහනය කරගත හැකි නම් ඊලග චන්දය ජනාධිපතිගේ පම්පෝරි සහිත තනි රේස් එකක් වෙනුවට ඒකාධිපතිත්වය හා ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිසංස්කරන අතර ගැටුමක් බවට පත්කරගත හැක.
පුද්ගලයන්ගේ පුද්ගලික මතවාද වල සීමාවන් අතිශයෝක්තියට නංවා සතිපතා ප්‍රචාරය කරමින් මුකුත් නොකර ඉන්නවාට වඩා පුද්ගලයා කලමනාකරනය කරමින් "යමක් කිරීමට" උත්සාහ කිරීම හැම අතින්ම වැදගත්ය.
‍කිසිම දුර්වලතාවයක් නැති සුපිරි පොදු අපේක්ෂකයෙක් ගැන සිහින මවමින් වචන වලින් දේශපාලනය කරනවාට වඩා ඇවැසිව තිබෙන්නේ කුඹුරට බැස මඩ ගා ගැනීමේ අභියෝගයට නොබියව මුහුන දෙමින් කුඹුර සෑමේ භාවිතයකි.
දේශපාලනයට අවශ්‍ය කරන්නේ "වැඩ" මිස නොකෙරෙන වෙදකම් වලට කෝදුරු තෙල් ඉල්ලන "වචන"නොවේ.


12 comments:

  1. සරත් ෆොන්සේකාගේ ආගමනය පිළිබද මාගේ අදහස තවමත් දෝලනය වෙමින් පවතී. විශේෂයෙන්ම ඔබ පවසා ඇති ෆොන්සේකා තුල වන සියළු ශක්‍යතාවන් රාජපක්ෂ තුලද තිබුනද, අවසානයේදී ඔහුව බලයට පත්කළ පාර්ශව සියල්ලන් පන්නා දමා පවුල්වාදයක් කරපින්නාගෙන, ඒකාධිපතිත්තවයක් බවට පත්ව තිබෙනවා.(යුද්ධය හා ජාතික ප්‍රශ්ණය හැරුණුකොට ජවිපෙ විසින් මහින්ද බලයට ගෙන ඒමට ගෙන ආ අනෙකුත් කොන්දේසි සාධනීය බව මගේ විශ්වාසයයි)එම නිසා සරත් ෆොන්සේකා වටා කැරකෙන බලව්‍යූහය කුමනාකාර වෙයිද කියන එක පෙරදැකිය නොහැකි බවයි මගේ අදහස.
    එසේ වුවද ඔබවිසින් දක්වා ඇති පරිදි ඒකාධිපති රෙජීමය කවර කොන්දේසියක් යටතේ වුවද පරාජය කළ යුතුය යන්නට මා එකගවෙනවා.මන්ද ප්‍රතිරෝධයක් රහිතව ගතවන දේශපාලනයේ අහිතකර ප්‍රතිවිපාක වර්තමානයටත් වඩා අනාගතයේදී දරුණු විය හැකි නිසයි.මා දන්නා තරමින් ජවිපෙ ක්‍රියාකාරිත්වය යොමුව තිබෙන්නේ මේ දිශාවටයි.ඔබ පවසා ඇති ආකාරයටම සරත් ෆොන්සේකා හරහා කරගත හැකි ප්‍රධානතම කාර්යය විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමයි.

    ReplyDelete
  2. අනේ කොච්චර හොඳද? ෆොන්සේකා මේං කියලා ජනාධිපති පදවිය අහෝසි කරාවි දවස් 180න්. මට මතක හැටියට රාජපස්ස උන්නැහෙත් ජේ.වී. පී එකට පොරොන්දු උන තාලෙටම ඕක අයින් කළා නෙවැ. ඇයි ඊට කලින් චන්දිකා නෝනත් අයින් කළේ කියාපු දවසටම.

    ReplyDelete
  3. .ආයි පුතේ 89 වගේ ලන්ගම බස් ගිනි තිව්වොත් ,රජයේ සේවකයො මරලා මිනිය දනින් පහලට උස්සන්න එපාකිව්වෝතින්,ලයිට් කනු ටෙලිපෝන් කනු බින්දෝතින්,ගල් කටස් ඉස්සුවෝතින්,පොලිසි හමුදා කෑම්ප් වලට ගහන්න ගියෝතින්,ජෙනරාල් ආවොතින් ඉස්සෙල්ලාම කපෝති වන්නේ ජේ.වී.පි රාමචන්ද්‍රලා නඩයයි....උම්බෑ...උම්බෝ

    ReplyDelete
  4. @ පාලිත

    මෙ මොහොතේ ෆොන්සේකාගෙන් මාත් අපෙක්ෂා කරන දේ වර්තමාන ආන්ඩුව පැරදවීම සහ විධායක ක්‍රමය අහෝසි කිරීමයි.විධායක ක්‍රමය අහෝසි කිරීම කරගන්න පුලුවන් නම් ඒක ගොඩක් තීරනාත්මකයි.මම හිතන්නෙ 80 ගනන් වල ඉදල සමාජය කොච්චර අවුල් වුනත් පවතින ක්‍රමය අවුලක් නැතිව ගෙනියන්න රුකුල් වුන ප්‍රධාන මුක්කුවක් තමයි විධායක ක්‍රමය.ඕක අපේ රටේ ධනවාදී දේශපාලන ආධිපත්‍යයේ ලොකු කනුවක්.ඒක වට්ටන එතේ උපයෝගිතාවය අනාගතවාදීව ගත්තම ඉහල බවයි මගේ හැගීම.

    @ ටැබූ සබ්ජෙක්සට්ස්
    චන්ද්‍රිකාගේ හෝ මහින්දගේ campaign එකේ ප්‍රධාන තේමාව වුනේ විධායක ක්‍රමය ගැන කතාව නෙමෙයි.ඒක අතුරු තේමාවක්.මහින්දගේ ඒ පොරොන්දුව කඩවීම කොහොම වුනත් දේශපාලනිකව ඔහුට වාසිදායක නැහැ.
    අනික මෙතන සන්දර්භය වෙනස්.යෝජනා වෙන්නේ කේන්ද්‍රීය ප්‍රශ්නය විදිහට විධායක ක්‍රමය ගැන ප්‍රශ්නය ගන්න.ඒකට ආමන්ත්‍රනය නොකර බලයට පත්වෙන කෙනාට ( ඔහු ෆොන්සේකා වේවා වෙන කවුරු හෝ වේවා ) මොහොතක් හො පවතින්න බැහැ.
    - ඔයාට මේ වෙලාවෙ තියෙන හොදම විකල්පය රජතුමානෙ.ඉතින් ෆොන්සේකා මේක අහෝසි කරයිද නැද්ද කියන එක ගැන ඔච්චර හිතේ අමාරුවක් හදාගන්න ඕනෙත් නැහැ :D -

    ReplyDelete
  5. හොඳයි, හොඳයි, සරත් ෆොන්සේකට ඔහොම ගොට්ට අල්ලගෙන යමු. කේතුමතිය පහළවෙයි තව ටික දවසකින්.

    ReplyDelete
  6. පොදු අපේක්ෂකයෙකු පිළිබඳ අදහස අලුත් දෙයක් නොවේ. 94 දී 'අඳුරු යුගයක අවසානය ආරම්භ කරන්නට' චන්ද්‍රිකා පැමිනියේ ද 2005 දී මහින්ද චින්තනයට බලය ලබා ගන්නට මහින්ද පැමිණියේද පොදු අපේක්ෂකයන් ලෙසය. නමුත් එම අවස්ථා දෙකේදීම අවශ්‍යතාවය වූසේ පැවති තත්වයට පැලැස්තරයක් ඇලවීමේ අවශ්‍යතාවය මිස පවතින ක්‍රමය වෙනස් කිරීමේ සමස්ත උවමනාවක් නොවේ. එමෙන්ම ජනතාවට එම වෙනස අවශ්‍යව තිබූ බව අමතක නොකල යුතුය. අද පවතින තත්වය ඊට වඩා සම්පූර්ණයෙන් වෙනස් බව මගේ අදහසයි.
    පවතින සමස්ත ක්‍රමයම වෙනස් විය යුතු බවට කතිකාවක් ඇති වී තිබීම හොඳ තත්වයකි. එහෙත් එම වෙනස ජනතාවට අවශ්‍යද යන්න ගැටලුවකි. කෙසේ හෝ පොදු අපේක්ෂකයා දිනවුවහොත් ප්‍රශ්නය වන්නේ ඉන් පසුව මෙම ක්‍රමය වෙනස් කිරීම සඳහා ඇති ක්‍රමවේදය කුමක්ද යන්නයි. සුලු හෝ අස්වැසිල්ලක්ව ඇත්තේ යෝජනා වී ඇති පුද්ගලයන් දේශපාලන පක්ෂයකට ගැති වු පුදගලයන් නොවීමය.නමුත් විධායකයට ඇති අසීමිත බලතල හමුවේ ව්‍යවස්ථාදායකය සහ අධිකරණය නාමමාත්‍රික වීම යතාර්තයක් වී ඇති තත්වයක ප්‍රබල ක්‍රමවේදයක් නොමැතිව නැවත නැවතත් පැරණි මෝඩකම් කිරීමේ තේරුමක් නැත. නමුත් එවන් ක්‍රමවේදයක් ති‍බේනම් ඉදිරිපත් වන්නේ හමුදා නිලධාරියෙක්ද, දෙවියෙක්ද, යකෙක්ද යන්න ප්‍රශ්නයක් නොවේ.

    ReplyDelete
  7. @The Chinthaka,

    ඔය පොදු අපේක්ෂයා යකෙක්ද දෙවියෙක්ද හොරෙක්ද මොකෙක්ද කියන එක වැදගත් නැත්නං සිද්ධාලේප වෙද මහත්තයා පොදු අපේක්ෂකයා කරන්න බැරි‍යැ. මොකද සරත් ෆොන්සේකවම ඉල්ලන්නේ? ඒ කියන්නේ යුද්ධ ආහ්ලාදයෙන් මුළාවෙච්චි ජනතාවගේ චන්ද අරගෙන මේකා පත්කරගෙන ඊට පස්සේ අපට ඕනැ හැටියට ඌව නටවමු කියන එකද? බලාගෙන ඉන්න. යුද්ධයෙන් දරුවන් දෙමාපියන් අහිමි වෙච්චි උතුරෙ දෙමළ මිනිස්සු හිටු කියල චන්දෙ දායි.

    ReplyDelete
  8. [කැනඩාවට ගිය හමුදාපතිතුමා ලංකාව යනු සිංහලයන්ගේ රට බව පුවත්පතකට පැවසූ බව වාර්තා වී තිබුනා.ලංකාව සිංහලයන්ගේ පමනක් රට නම් මේ රටේ උපදින ජීවත්වෙන හා මියයන දෙමල හා මුස්ලිම් උදවියටත් ඔවු‍න්ගේම වෙන වෙනම රටවල් මේ භූමිය තුල තිබීම සාධාරනයැයි සිතීම ස්වභාවිකයි නේද?]

    මේ රාමචන්ද්‍ර මේ අඩවියේ තබන ප්‍රථම සටහනින් උපුටා ගන්න ලද ඡේදයකි.

    දැන් අපට තියෙන්නෙ සරත් ෆොන්සේකා වහාම ජනාධිපති කර මේ සිංහල දෙමළ මුස්ලිම් රටවල් තුන ස්ථාපිත කරන එකය.

    ReplyDelete
  9. taboo,
    මා පැවසූයේ මේ පවතින ජරාජීර්ණ වූ සමාජ දේශපාලනික ක්‍රමය වෙනස් කිරීමේ ක්‍රමවේදයක් පවතීනම් පමණක් අපේක්ෂකයා කවරකු වුවත් ප්‍රශ්නයක් නොවන බවයි. මෙහිදී සිද්ධාලේප වෙද මහත්තයාට වඩා සරත් ෆොන්සේකා සුදුසු වන්නේ ඔබ කී ආකාරයටම යුධ උන්මාදයෙන් මුළා වී සිටින ජනතාවගේ ඡන්දය ගැනීමට මිස වෙනකකට නොවේ. සිද්ධාලේප වෙද මහත්තයාට තබා රනිල්ටවත් මහින්ද සමඟ ඡන්දයකින් දිනිය නොහැකි බව පැහැදිලි බැවින් ප්‍රබල අපේක්ෂකයෙකුගේ ආගමනය අත්‍යවශ්‍යය.
    උපුටා දක්වා ඇති වර්ගයේ ප්‍රකාශ සිදුකර නොමැති දේශපාලකයන් ලංකාවේ සිටීනම් ඒ කදිරගාමර් වැනි පරිණත පුද්ගලයන් කීපදෙනෙකුත්, ත්‍රීවීලර් පක්ෂ වල දේශපාලකයන් කීපදෙනෙකුත් පමණි. එබැවින් එවන් ප්‍රකාශ මත පමණක් තීරණ ගැනීම සුදුසු නොවේ.
    මා ඔබ සමඟ එකඟ වන කාරණය වන්නේ, මේ කතිකාව තුල පවතින ක්‍රමය වෙනස් කිරීම සඳහා වන ක්‍රමවේදයක් ගැන ඉඟියක් නොමැති නිසා, මෙවරත් පෙරසේම රැවටීමකට ලක් වීමේ අවදානමයි.

    ReplyDelete
  10. @The Chinthaka,

    මෙහිදී අඩු තරමින් රාමචන්ද්‍රට වඩා අවංක වීම ගැන ස්තූතියි. කොහොමටත් මේ කාරණය දිගින් දිගට විවාද කළ යුතු එකක් නොවන බව අළුත්ම ප්‍රවණතා වලින් පෙනේ.

    මෙහි සත්‍ය පසුබිම් කතාව නම් රනිල් වික්‍රමසිංහට සරත් ෆොන්සේකා කඩේ යවන්නට අවශ්‍ය වූ බවය. එහෙත් ෆොන්සේකා පොදු අපේක්ෂකයා ලෙස තරග කිරීමට මූලික කැමැත්ත පළ කළ පසු (අඩු තරමින් රනිල් එසේ කියයි.) රනිල් තම ගේම වෙනස් කරගෙන ඇත. දැන් ඔහුට අවශ්‍ය වන්නේ ෆොන්සේකා-රාජපක්ෂ අතරට තුන්වැනි අපේක්ෂකයා ලෙස තමන්ද එක් වීමය. එවිට 'දේශ ප්‍රේමී' ඡන්ද රාජපක්ෂ හා ෆොන්සේකා අතර බෙදී ගිය විට 40% ක පමණ ඡන්ද ප්‍රතිශතයක් ලබා තමන්ට ජයග්‍රහණය කිරීමට හැකි බව ඔහු හිතවතුන්ට කියා ඇත. (කොහොමද ටිකිරි මොළේ?) ෆොන්සේකා ගොනෙක් නොවන නිසා මේ තුන්කොන් සටනට එළඹේය සිතනු නොහැකිය. එළඹුනද පොදු අපේක්ෂකයා නොවන තත්ත්වයක් යටතේ ඔහුට ලබා ගත හැකි ඡන්ද සංඛ්‍යාව සීමිතය.

    ඒ නිසා රාමචන්ද්‍රලා කට බලියාන හිටියාට මෙය සිදු නොවනු අතර කවුරු කැමැති වුවද නැතද, 2010දී ජනපතිවරණය පැවැත්වෙන්නේ නම් මහරජාණන්ගේ ජයග්‍රහණය නියතයකි. විපක්ෂයට ඇති එකම විකල්පය තම සංවිධාන කටයුතු තිර කර ගැනීම තුළින් තුනෙන් දෙකක පාර්ලිමේන්තු බලයක් ලබා ගත නොහැකි වනසේ හා වාර මැද දෝෂාභියෝගයක් ගෙන ඒමෙන් බලය පෙරළීමට හැකිවනසේ ශක්තිමත් පාර්ලිමේන්තු විපක්ෂයක් ගොඩ නඟා ගැනීමය. එහිදී එජාපය (හා කැමතිනම් ජවිපෙද) කටයුතු කළ යුත්තේ ෆොන්සේකලා සමඟ තාවකාලික යාළුකම් ඇතිකර ගැනීම ගැන නොව සුළුතර පක්ෂ සමඟ දීර්ඝකාලීන පොදු වැඩපිළිවෙලවල් ඇතිකර ගැනීම ගැනය.

    ReplyDelete
  11. දැන් යන හැටියට නම් තීරණාත්මක සාධකය සාමය ඇති කිරීම බවට පත්වෙලා.. ප්‍රශ්ණය ඇතිවෙන්නෙ මහින්දට වඩා සරත් යුද්ධය දිනන්න දායකත්වයක් දුන්න එක හින්දා මහින්දට රතු එලිය පේන එක. සරත් ෆොන්සේකා ආවා කියලා මේ යන දේශපාලනයේ හැටියට රට හැදෙන්නෙ නෑ.. තවත් ෆොන්සේකලා ටිකක් ඡන්දෙ ඉල්ලන්න එයි.. ඒක හින්දා මේක නම් මහ වැඩකට නැති මාතෘකාවක්...

    ReplyDelete
  12. ප්‍රශ්නය විධායක ජනාධිපති ක්‍රමය නම්, එය වෙනස් කරන බවට පොරොන්දු වි සිටින වත්මන් ජනාධිපතිවරයා ලවා ම එය කරවා ගැනීමට උත්සාහ කිරීම යෝග්‍ය නො වේද? විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කරන බවට පොරොන්දු වූ ජනාධිපතිවරුන් දෙදෙනෙක් නො කළ දෙය තුන්වැන්නෙක් කරනු ඇතැයි තැබිය හකි විශ්වාසය කුමක් ද?

    ReplyDelete