Sunday, September 20, 2009

පැනනැගීමට නියමිත කුනාටුව සදහා පෙරවදනක්


රුපියල් 500 ක අවම වැටුපක් වෙනුවෙන් වතු ජනතාව අතරින් පැන නැගුනු අරගලය මේ වනවිට තාවකාලිකව යටපත් කරගන්න හාම්පුතුන්ගේ සංගමය සහ රජය සමත් වී තිබෙනවා.කෙසේ නමුත් හාම්පුතුන්ගේ සංගමය සමග තොන්ඩමන් එකගතාවයකට පැමිනයත් තමන් 500 සටන නොනවත්වන බව චන්ද්‍රසේකරන්ගේ වෘත්තිය සමිතිය ඇතුලු සමිති කිහිපයක් ප්‍රකාශ කොට තිබෙනවා.රුපියල් 500ට මෙහා සටන නැවැත්වීමට විරෝධය දක්වමින් සිය ගනන් වතු ජනයා පසුගිය දිනවල විරෝධතා ව්‍යාපාර වලට සම්බන්ධ වුනා.පොලිසිය විසින් ඒවාට කදුලු ගෑස් ප්‍රහාර එල්ල කරනු ලැබුවා.
මෙම විරෝධතා ව්‍යාපාර ආකාර දෙකකින් වැදගත් වෙනවා.
එක පැත්තකින් මෙය තමන් ගොදුරු වී සිටින පීඩනයට එරෙහිව වතු ජනයා අතරින් පැන නැගුනු විරෝධයක්.අනිත් අතින් තොන්ඩමන්ගේ අවස්ථාවාදී වෘත්තිය සමිති ක්‍රියාකලාපයට එරෙහි කැරැල්ලක් ලෙසත් මෙම විරෝධතා වැදගත් වෙනවා.
වතුකරයේ ජනයාගේ පීඩනය තොන්ඩමන් වර්ගයේ අවස්ථාවාදීන් විසින් තමන්ගේ පැවැත්ම බවට ශත වර්ෂයකට අධික කාලයක් පුරා පත්කරගෙන සිටිනවා.වතුකරයේ ජතතාව ගොදුරු වී සිටින අධික පීඩනය පුපුරා යන්න නොදී පාලකයන්ට වාසිදායක විදිහට කලමනාකරනය කරගන්න තොන්ඩමන් විසින් විශාල වැඩකොටසක් කරනු ලබන අතර ඉතිහාසය පුරා පාලකයන් ඇමැති ධූර වලින් පුදනු ලැබ තොන්ඩමන්ලාට මේ සදහා කෘතගුන සලකා තිබෙනවා.වඩා යහපත් ජීවිතයක් ලබාගන්න නම් වතු ජනයා පලමුව පුපුරවා දැමිය යුතු විලංගුව වන්නේ තොන්ඩමන්ලාගේ මෙම අවස්ථවාදී නායකත්වයයි
කොහොම වුනත් වැඩ වැරුම නතර කරන්න තොන්ඩමන් තීන්දු කලත් එම තීරනය නොතකා පෙලපාලි යාමට වතුකරයේ ජනයා පෙලඹීම තුලින් පැහැදිලි වෙන්නේ තොන්ඩමන්ලාගේ සාම්ප්‍රදායික නායකත්වය ඉවසා සිටීමට එම ජනයා අතර සිටින සටන්කාමී කොටස් තවදුරටත් සූදානම් නැති බවයි.ඇමතිවරයෙක් වන චන්ද්‍රසේකරන්ටත් වැඩවර්ජනය දිගටම ගෙනයාමට බල කොට තිබෙන්නේ වතු කම්කරු ප්‍රජාව පතුලෙහි කැකෑරෙමින් තිබෙන විරෝධාත්මක මනෝභාවයයි.

ඉල්ලීම් 8 ක් පදනම් කරගනිමින් ජාතික වෘත්තිය සමිති මධ්‍යස්ථානය වි‍රෝධාත්මක ක්‍රියාවලියකට අවතීර්නය වෙන්නේ මෙම පසුබිම තුල.ඇත්තම ගත්තොත් රටේ බහුතර වැඩකරන ජනයා ජිවත් වෙන්නේ ඉතාම අපහසුවෙන්.රට තුල නිෂ්පාදන ආර්ථිකයක් නැති නිසා රජයට ආදායම් ලැබීමට තිබෙන එකම ක්‍රමය බවට පත්වෙලා තියෙන්නේ ජනතාව මත බදු පැටවීම.පෙට්‍රල් ලීටරයක රුපියල් 80ක් අඩංගු වෙන්නේ බදු.කිරිපිටි වැනි අත්‍යාවශ්‍ය භාන්ඩ මත පවා විශාල වශයෙන් බදු පනවා තිබෙනවා.ස්වකීය පැවැත්ම උදෙසා රජය සමාජය බදු හරහා සූරාකන අතර මෙසේ උපයනු ලබන බදු මුදල් අනිත් අතට වියදම් කෙරෙන්නේ සුබසාදන වාදී පදනමකින් නෙමෙයි.
විදේශ ඇමැති සිය දියනිය උදෙසා ලක්ෂ 45 ක උපන් දින සාදයක් දැමීම,කෝටි ගනන් වියදම් කරමින් රටේ ප්‍රත්‍යන්ත ප්‍රදේශ වල රජ මාලිගා තැනවීම වැනි දේවල් සරල ලෙස බාර ගත යුතු සිදුවීම් නෙමෙයි.සමාජය බදු හරහා සූරාකන රජය එම බදු හරහා ඉතාම පසුගාමී වර්ගයේ දේශපාලන හා නිලධාරී තන්ත්‍රයක් නඩත්තු කරමින් සිටිනවා.ජනතාවගේ විදවීම සහ දේශපාලක ප්‍රභූ තන්ත්‍රයේ පැවැත්ම කියන දේවල් මේ නිසා එකිනෙක වෙන් කල නොහැකියි.මේ දෙක එකිනෙකට සම්බන්ධයි.
රටේ පොදු ජනයා මත බදු පැනවූවත් ඊට සමානුපාතිකව සාධාරන ලෙස වැටුප් ඉහල යාමක් දකින්නට නැහැ.මේ තත්වය අන්තිම නරක ලෙස පවතින්නේ පුද්ගලික අංශය තුල.මේ නිසා රටේ වැඩකරන ජනයා ඇත්ත අමාරුකම් ගනනාවකින් බැටකමින් සිටිනවා යන්නත් එම අමාරුකම මතුවෙන්නේ රජයේ අසාර්ථක ආර්ථික ප්‍රතිපත්තීන් වල ප්‍රතිඵලයක් ලෙස බවත් පැහැදිලියි.
මහා පරිමාන වෘත්තීය අරගලයක් සදහා මේ අනුව විෂය මූලික පරිසරයක් රට තුල ඇති වෙමින් තිබෙනවා.

වෘත්තිය අරගලයක් ගැන ඇසෙන සැනින් උපහාසාත්මක වෙන අමාත්‍ය වර්ගයා වහා මතක් කර දෙන්නේ අවසන් වරට රටේ පැවැති ජාතික මට්ටමේ වැඩවර්ජනය වන 2008 ජූලි 10 වර්ජනය පිලිබදව.එය අපේක්ෂා කල පරිදි සාර්ථක නොවූ බව සත්‍යයක්.ගිය පාරත් වර්ජනේ කලානේ,මේ පාරත් කොරලා බලමු වර්ගයේ පාරම් බාන ඇමතිවරුන් ඇතිවෙමින් තිබෙන වෘත්තිය අරගල සූදානම අඩුතක්සේරු කරන බව -අඩුම තරමින් එහෙම අඩුතක්සේරු කරන බව පෙන්වන බව - පෙනෙන්නට තිබෙනවා.
කෙසේ නමුත් ජූලි 10 වර්ජනය අවස්ථාවේ රටේ දේශපාලන සන්දර්භය සහ මේ මොහොතේ රටේ දේශපාලන සන්දර්භය තීරනාත්මක ලෙස වෙනස්.2008 රට තුල සිවිල් යුද වාතාවරනයක් තිබුනු නිසා පාලකයන්ට වෘත්තිය අරගලයට මුහුන දීමට යුද්ධය හොද කඩතුරාවක් වුනා.එවිට පාලකයන් පැවසුවේ "දැන් කලබල කරන්න එපා.යුද්ධය ඉවර වුන ගමන් අපි උඹලාට සලකනවා"වැනි කතාවක්.
මේ කතාව සැලකිය යුතු ලෙස සමාජය එම අවස්ථාවේදී ගිල දැමූ බව රහසක් නෙමෙයි.කොහොම වුනත් පාලකයන්ට එම මොහොතේදී පැවති යුද්ධය නමැති "වාසිය" තවදුරටත් භූමිය මත වලංගු නැහැ.
දැන් යුද්ධය නිම වී සැලකිය යුතු කාලයක් ගත වී තිබෙනවා.යුද්ධය දිනූ මහ රජා ගැන වර්නනාවන් සහ ජාත්‍යන්තර කුමන්ත්‍රන,ජනපති ඝාතන කුමන්ත්‍රන ගැන ත්‍රාසජනක කතා මිස පොදු සමාජයට කිසිවක් ලබාදෙන්නට ආන්ඩුවට හැකියාවක් ලැබී නැහැ යන්න අතිශය පැහැදිලි සත්‍යයක්.
යුද්ධය දිනුවාම දෙනවා කිව්ව සහන කෝ?යන ප්‍රශ්නය මිනිසුන් අතරින් පැන නැගීම මේ අනුව ඉතාම තර්කානුකූලයි.මේ නිසා වෘත්තිය සමිති ව්‍යාපාරයට 2008 ජූලි වල නොතිබුනු විශාල ඉඩක් 2009 ඔක්තෝබර් වල නිර්මානය වී තිබෙන අතර වෘත්තිය සමිතිවලට සටන් භූමිය වාසි වන තරමට පාලකයන්ට භූමියේ තත්වය අවාසිදායක වී තිබෙනවා.

කෙසේ නමුත් එසේ සාපේක්ෂව වාසිදායක පරිසරයක් තිබුන පමනින් වෘත්තිය අරගලයක් සාර්ථක වෙතැයි පැවසිය නොහැකියි.සාර්ථක ලෙස සටනකට යාමට නම් රටේ වැඩකරන ජනයා සහ වෘත්තිය සමිති සලකා බැලිය යුතු කාරනා කිහිපයක් තිබෙනවා.
1.පැන නැගෙන වෘත්තිය සමිති සටන වචනයේ නියම තේරුමින්ම "ජාතික" එකක් බවට පත්කර ගැනීම වෘත්තිය සමිති ව්‍යාපාරය ඉදිරියේ තිබෙන වගකීමක්.2008 වර්ජනයට පක්ෂ දේශපාලන ලේබලයක් ඇලවීමට පාලකයන්ට අවස්ථාව ලැබුනු අතර එය වර්ජනයට ජනයා ගොනු කිරීමේදී අවාසිදායක ලෙස බලපෑවා.මෙය JVP වැඩක් හෝ UNP වැඩක් නෙමෙයි පොදුවේ වැඩකරන සියලු ජනයාගේ වැඩක් කියන මනෝභාවය ඇති කිරීම අතිශය වැදගත්.
අරගලයේ හරය දේශපාලනිකයි.නමුත් එම හරය අමු අමුවේ මතු වෙන්නට ගියහොත් එය පාලකයන්ගේ වාසියක් බවට පත්වෙන්න ඉඩ තිබෙනවා.
2.යුද ජයග්‍රහන වල ප්‍රතිඵලයක් ලෙස රජයේ මිලිටරි යාන්ත්‍රනයට විශාල බලයක් ආරෝපනය වී තිබෙනවා.හදිසි නීතිය වැන මර්ධන නීති නොවැලැක්විය හැකි ලෙස වෘත්තිය අරගලයකට එරෙහිව එල්ල වන බව උපකල්පනය කිරීමට අමුතු ඥානයක් අවශ්‍ය නැහැ.මෙම මර්ධන තන්ත්‍රය සමග පොර බැදීම ඉදිරි සටනකදී ඉතාම තීරනාත්මකයි.මේ නිසා මෙම මර්ධන නීති වල ඇත්ත ස්වරූපය සමාජයට හෙලිදරවු කිරීමෙන් තොරව වෘත්තිය සටනකට පිවිසීම ප්‍රායෝගිකව නිෂ්පලයි.
3.ඇත්ත වශයෙන්ම වැඩ වර්ජනයකදී අවසාන වශයෙන් සලකා බැලෙන්නේ "බලය" පිලිබද කාරනයයි.වැඩිම බලය පෙන්වීමට හැකියාව ලැබෙන පාර්ශවයට සමාජයේ සහය ලැබෙනවා.
රජය සතුව විශාල යාන්ත්‍රනයක් තිබෙනවා.මේ නිසා විශාල බලයක් යෙදවීමට ඔවුනට නිසග අවකාශයක් තිබෙනවා.වෘත්තිය සමිති ව්‍යාපාරය ජය ගත යුතු තීරනාත්මකම අභියෝගය මෙයයි.තමන් බලවත් බව සමාජයට ඒත්තු ගන්වන තරමට වෘත්තිය සටනට අවශ්‍ය කරන සමාජ සහය ලැබෙනවා.
රාජ්‍ය බලය අබිබවා ස්වකීය බලය පෙන්වන්නේ කෙසේද?

අවිවල විවේචනය විවේචනයේ අවිවලින් පරාජය කල නොහැක.ද්‍රව්‍යමය බලයක් පෙරලා දැමිය හැක්කේ පෙරලා යෙදෙන ද්‍රව්‍යමය බලයකින් පමනි
- කාල් මාක්ස්

වැඩ කරන ජනතාව "අහිංසක" වුවහොත් රජය යොදන බලය සමග ගැටීමට කිසිදාක අවස්ථාවක් ලැබෙන්නේ නැහැ.ආන්ඩුව ස්වකීය සාධාරන ඉල්ලීම් ඉදිරියේ දන ගැස්වීමට නම් මේ අනුව අහිංසක නොවන ක්‍රියාමාර්ග වලට එලඹීමට (කැමති වුනත් නැතත්) වැඩකරන ජනයාට සිදුවෙනවා.ආන්ඩුව ඇදලා දෙන කොටුව තුල රැදී නොඉද රාමුව කඩා දැමීමට වෘත්තිය සමිති ව්‍යාපාරය සමත් වෙන තරමට සමාජයේ අනුග්‍රහය ලබා ගැනීමට ඔවුනට අවකාශ ලැබෙනවා.

කොහොම නමුත් එලඹෙමින් තිබෙන මොහොත දේශපාලනකිව කිසිවෙකුට සනීප සුවදායී සාමකාමී මොහොතක් නම් නෙමෙයි යන්න පැහැදිලියි.යුද ජයග්‍රහනයේ ඝෝෂාවෙන් යටපත් කල නොහැකි තරමට සමාජයේ ප්‍රශ්න සමාජය පතුලේ පැසවමින්,කැකෑරෙමින් තිබෙනවා.
වැඩකරන ජනතාව ඉතිහාසය පුරාවට පාලකයන් විසින් රවටනු ලැබුවා.දැනටත් රවටමින් තිබෙනවා.
නමුත් සමාජයක බලසම්පන්නම බලවේගය වැඩකරන ජනතාවයි.වැඩකරන පංතිය නිදා සිටින යෝධයෙක්.මෙම යෝදයා අවදි වුන දවසට කල හැකි දේ කෙතරම් දැයි අවම වශයෙන් එම යෝදයාවත් නොදන්නවා ඇති.

9 comments:

  1. ලංකාවේ සිවිල් අරගල 3ක් හටගත්තද මාගේ අදහසට අනුව පීඩාවට පත්වීම තුලින් අරගලයන් වෙත යොමුවීමේ වැඩිම ශක්‍යතාවක් ඇත්තේ කදුකරයේ බව බොහෝ දෙනාගේ පිළිගැනිමයි. නමුත් එහි ඇති ගැටළුව මිනිසුන්ගේ බලමුළු ගැන්වීමේ දුර්වලතාවයයි.පීඩිතයා තුලින් අරගලය ගොඩනැගීමේ හැකියාව බලාපොරොත්තු සහගත වුවත් කම්කරු පීඩිතයින් තුලින් හටගන්නා ශක්තිය නිවරැදි දෘෂ්ඨිවාදය තුල ස්ථානගත වීම අත්‍යවශ්‍ය වූවක්.සෝවියට් රුසියාවේ කඩාවැටීමත් සමග ලෝකය පුරා ඇතිවෙමින් පවතින සිවිල් අරගල වලට මාක්ස්වාදී දෘෂ්ඨිවාදයට වඩා ජාතිකවාදී,‍ගෝත්‍රිකවාදී දිශාවට ඒ අරගලයන්ගේ දිශාව ‍යොමුවීමක් දැකිය හැකියි.මේක ලංකාවේ වත්මන් බලමුළුගැන්වීම් තුලත් දක්නට ලැබෙන්නක්.නූතන මාක්ස්වාදී භාවිතයන් තුල මේ තත්ත්වය ගැන අවබෝධය කොහොමද කියන එකගැන ඔබගේ අදහස දැනගැනීමට කැමතියි.

    ReplyDelete
  2. @ පාලිත
    පීඩනය ජාතිකවාදී ලෙස පුපුරා යාම කියන එක හේතු කිහිපයක් එක්ක සම්බන්ධ කරන්න පුලුවන් බවයි මම හිතන්නෙ.
    1.ඔබත් සදහන් කරල තියෙන විදිහට ලෝක පරිමානව වාමාංශික දේශපාලනය ලක්වුන පසුබෑම.වමේ කදවුර ශක්තිමත්ව තියෙන කොට පීඩිත ජනයාගේ අරගල ඉන් උත්ප්‍රේරනය වුනා.පලස්තීනයේ විමුක්ති සටන් තුල සිටි කන්ඩායම්,අප්‍රිකාවේ විමුක්ති ව්‍යාපාර වගේම ලංකාවේ දෙමල ජනයා කේන්ද්‍ර කරගත් ව්‍යාපාර වලත් මේ වාමවාදී ගතිය දකින්නට තිබුනා.ඒත් වාමාංශික කදවුර බිදවැටීමත්,ලෝකයේ එකම සිස්ටම් එක ධනවාදයයි කියන අධිරාජ්‍යවාදී මතය අධිනිශ්චය වීමත් එක්ක පෙර තිබුනු වමේ බලපෑම අඩුවෙන්න ගත්තා.ඇත්තටම න්‍යාය තමයි සටනට දර්ශනය හා ඔලුව සපයන්නෙ.ඒ හිස ඉවත් කල ගමන් අන්ධ හා සරල විදිහට පීඩනය පුපුරා යන්න ගන්නවා.එහෙම පුපුරා යන්න තියෙන ලේසිම විදිහක් තමයි ජාතිකවාදය හා ආගම්වාදය.පීඩිතයාගේ විරෝධය ජාතිවාදී ලෙස ප්‍රකාශයට පත්වෙන එක ඇත්තටම පෙරලා වාසි වෙන්නේ පීඩනය ජනිත කරන ක්‍රමයටමයි.උදාහරනයක් විදිහට ලංකාවේ දෙමල සටන හුදු ජාතිවාදී එකකට ලඝු වීමෙන් වැඩිම වාසිය අත් වුනේ ධනේශ්වර පාලකයන්ට.
    2.ලංකාවේදී දේශීය වශයෙන් වමේ ව්‍යාපාර වල තිබුනු දුර්වලතා ජාතිවාදය හිස එසවීමට බලපෑවා.විශේෂයෙන් මැතිවරන දේශපාලනයට පරන නව හැම වමේ පක්ෂයක්ම ලොකු ඉඩක් දෙන්න යාමත්,ඒ නිසා ජනප්‍රියවාදී උපක්‍රම යොදාගන්නට වීමත් නිසා නියමින් හේ අනියමින් ජාතිවාදය ප්‍රමෝට් කරන තැනකට ඔවුන් තල්ලු වුනා.

    වතු ජනයාගේ ප්‍රශ්නය ගත්තම චන්ද්‍රසේකරන්ලාගේ යම් වාර්ගික දේශපාලන පදනමක් තියෙන බව ඇත්ත වුනත් එහෙම හරි නැගිටීමක් වතු ප්‍රජාව පත්ලෙන් එන එක හොද බවයි මගේ අදහස.දකුනේ කම්කරු අරගලයක් ජාතිකවාදය හා වම අතර වැනෙමින් ඉන්න ජවිපෙ මත පතිත කරන වාමවාදී බලපෑම ප්‍රබල කරනවා.සරල ජාතිකවාදයෙන් වමට හැරෙන්න ඔවුන්ට බල කෙරෙනවා.වතු ජනයාගේ හා වතු නොවන (දකුනේ) වැඩකරන ජනයා අතරින් එකවර පැන නැගෙන වෘත්තිය අරගලයක් ජාතිකවාදයේ සාම්ප්‍රදායික සීමා ඉක්මවන්න ලොකු බලපෑමක් කරනු ඇති.එකතු වෙලා සටන් කලොත් මිස ජයක් ලැබෙන්නෙ නැහැ කියන ප්‍රායෝගික අත්දැකීම කතා සීයකට වඩා ඵලදායී.

    ReplyDelete
  3. දැන් රුපියල් 500 ක් ම දුන්නොත්, වතු වහන්න වෙයිද කියලා කවුරුවත් අධ්‍යයනයක් කරලා තියෙනව ද?

    එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් මස් රාත්තලම ඉල්ලීම සාධාරණ ද?

    ReplyDelete
  4. @ මිගාර

    රුපියල් 400න් අද කාලෙ මිනිස් ජීවිතයක් ගතකරන්නෙ කොහොමද කියල කවුරුත් අධ්‍යනයක් කරල තියෙනවද?
    දිනක වැඩ වලින් වතු කම්කරුවා කීයක් නිපදවනවාද?සමාගම්වල ලාභය කොපමනද?ඒවායේ අධිපතීන්ගේ ඉපයුම කොපමනද?තමන් නිපදවන දේවල් වලින් කොපමන ප්‍රමානයක් නැවත කම්කරුවාට ලැබෙනවද?
    මේවා ගැන අධ්‍යයනයක් කරල තියෙනවාද?
    500ත් ජීවත් වෙන්න අවශ්‍ය කරන අවමයක් විතරයි.
    ඒකට කියන්නෙ "මස් රාත්තල"කියල නම් ඔවු.මස් රාත්තලම ඉල්ලා සිටිය යුතුයි කියන එකයි මගේ හැගීම

    ReplyDelete
  5. //රුපියල් 400න් අද කාලෙ මිනිස් ජීවිතයක් ගතකරන්නෙ කොහොමද කියල කවුරුත් අධ්‍යනයක් කරල තියෙනවද?

    මීට වඩා පඩි අඩුවෙන් ලබන පිරිසකුත් ඉන්නවා. නමුත් ඔවුන් ඔබේ "කම්කරු පන්තිය" තුළ නියෝජනයක් නැති අය. නැත්නම් ඔබ ඔවුන් නියෝජනය කරතියි ඔබ වැරදියට සිතා ඉන්න පිරිස.

    //500ත් ජීවත් වෙන්න අවශ්‍ය කරන අවමයක් විතරයි.
    ඊට වඩා දෙන්න බැරිනම් මොකද කරන්නේ?

    වතු සමාගම් කියන්නේ පුණ්‍යායතන නෙවෙයි. මොවුන්ට ගෙවල් දෙන්නේ නිකම්. වතුර නිකම්. වතු රෝහල් තියෙනවා. වතු වලින් බැහැර නුවර එළියේ සාමාන්‍ය ගොවියාට ඔය මොකුත්ම නැහැ. අපේ තේ මිළ ඉහළ යන්න යන්න අපේ වෙළදාම අඩු වෙලා ආදායම අඩු වේයි. නමුත් සමාගම් කඩා වැටෙන්නේ එක් වරම. ඒකෙ ප්‍රතිඵලය රස්සාවම නැති වීම.

    පාලකයන් ලබන අධික ලාභ සේවකයන්ට ද ලබා දිය යුතු බව මම පිළි ගන්නවා. හැබැයි ඒ සමාගම් ලබන අලාභ සේවකයන් දැරීමට එකග වෙනවා නම් විතරයි. ලාබ වෙනකොට කුට්ටිය ඉල්ලීමත්, පාඩු වන විට හේතුව ලෙස පරිපාලන දුර්වලතා දක්වමින් ෂේප් වීමටත් ඉඩ නොදෙනවා ‍නම් ඔය කියන ඉල්ලීම් වලට නෙවෙයි, දවසකට රු 750 ඉල්ලීමට වුණත් මම එකගයි.

    ReplyDelete
  6. මේ ළගදි මම දැක්කා උදය ගම්මන්පිල වතු ගැටළුව ගැන කතා කරනවා. ඒ තක්කඩි වර්ගවාදී, අමානුෂික,දේවදත්තවාදී අදහස මෙතනත් වමාරලා...
    සැබැවින්ම සමස්තයක් ලෙස වතු‍කරයේ මිනිසුන් වහලුන් ලෙස ඉන්දියාවෙන් දක්කාගෙන ආ දිනයේ සිට (ඒ රැගෙන එන විට සිදුවූ විස්තර ලංකා ඉතිහාසයේ සගවා තැබීම අවාසනාවකි) ඔවුන් විදින්නට සිදුවූ කටුක, කර්කශක ජීවිතය තවමත් එලෙසමය. සමස්ත සංවර්ධනය සමාන්තරව කිසියම් වෙනසක් සිදුවී තිබුණද ලංකාවේ අනෙකුත් පැතිවලට සාපේක්ෂව එය ඉතා අල්ප වශයෙනි. එසේ වුවද මෑතක් වන තුරුම ලංකාවට වැඩිම විදේශ විනිමය ප්‍රමාණයක් ලැබුනේද,රටේ සංවර්ධනයට අතිවිශාල දායකත්වයක් දැක්වූයේදද නොවිදිනා දුක් විදි, වක්‍ර වහල් භාවයකින් යුතු මෙකි ශ්‍රී ලාංකිකයින්ය. එආකාරයේ මිනිසුන් පිරිසක් පවතින දැඩි ආර්ථික අර්බුද හමුවේ තමන්ගේ දෛනික වැටුප රු 500ක් ඉල්ලා සිටින විට රීරී මාංශයට සූරාකෑමට සූදානම් වතුහිමියන් කේවල් කරන විට කහ සිවුරෙන් බලය ඇල්ලූ නාසීවාදී,දේවදත්ත බෞද්ධයන් තම පශ්චාත් භාගය ධනවතුන්ට දික්කරති.
    හිට්ලර් යුදෙව්වන් ලක්ෂ 60ක් මැරූ ආකාරය හෝ රුවන්ඩා ලක්ෂ 08ක් දින 100කදී මරන්නට ජනසහයෝගය සහ දායකත්වය සැපයීම ගැන පුදුමවිය යුතු නොවන්නේ...පන්සිල් රකින සමාජයක් ගොඩනගන්න කතාකරන චීවරදාරී හිවළුන්ගේ අමානුෂික යෝජනාවන් දුටුවිටදීය.

    ReplyDelete
  7. 'එආකාරයේ මිනිසුන් පිරිසක් පවතින දැඩි ආර්ථික අර්බුද හමුවේ තමන්ගේ දෛනික වැටුප රු 500ක් ඉල්ලා සිටින විට රීරී මාංශයට සූරාකෑමට සූදානම් වතුහිමියන් කේවල් කරන විට කහ සිවුරෙන් බලය ඇල්ලූ නාසීවාදී,දේවදත්ත බෞද්ධයන් තම පශ්චාත් භාගය ධනවතුන්ට දික්කරති.
    හිට්ලර් යුදෙව්වන් ලක්ෂ 60ක් මැරූ ආකාරය හෝ රුවන්ඩා ලක්ෂ 08ක් දින 100කදී මරන්නට ජනසහයෝගය සහ දායකත්වය සැපයීම ගැන පුදුමවිය යුතු නොවන්නේ...පන්සිල් රකින සමාජයක් ගොඩනගන්න කතාකරන චීවරදාරී හිවළුන්ගේ අමානුෂික යෝජනාවන් දුටුවිටදීය.'

    මිනීමරු කොටින්ව හුරතල් කරන ස්වාමීන් වහන්සේලාට දරුණු ලෙස ගරහන මේ පාලිත කියන පව්කාර මනුස්සයට අනුකම්පා කරමි.
    .....කරන කලට පව් මිහිරිය මී සේ
    විඳින කලට දුක් දැඩි වෙයි ගිනි සේ......
    දැනටමත් විඳවන බට පේනව, තියෙන අසහන කරී අදහස් දැක්කහම.......

    ReplyDelete
  8. ප්‍රියදර්ශන,
    උතුරේ දෙමලා හෝ වතුකරයේ දෙමලා ගැන එකම අත්දැකීම ප්‍රමාණයක් අත්දකිමින් සිටින අප දෙදෙනාගෙන් මා පමණක් ඒ පිළිබදව විදවීම(ඔබ සදහන් කර ඇති පරිදි)පුදුමයක් නේද? මගේ බුදුදහම විසින් මට පුරුදුකළ තවත් සත්වයෙක් පිළිබද සංවේදීතාව නිසා මා විදෙව්වත් අරිහත් ඵල ලබන්නට නියමිත බහුතර භික්ෂූන් හෝ ඔබ ඒ සම්බන්ධයෙන් සංවේදී නොවීම අරුමයකි. ඔබ සැමට අනුකම්පා කරමින් බුදුවන්නට උත්සාහ කරන්න. මා මා වැනිම මිනිසුන් පිරිසක් වෙනුවෙන් වැළපෙමින් සිටින්නම්.

    ReplyDelete
  9. //'එආකාරයේ මිනිසුන් පිරිසක් පවතින දැඩි ආර්ථික අර්බුද හමුවේ තමන්ගේ දෛනික වැටුප රු 500ක් ඉල්ලා සිටින විට රීරී මාංශයට සූරාකෑමට සූදානම් වතුහිමියන් කේවල් කරන විට කහ සිවුරෙන් බලය ඇල්ලූ නාසීවාදී,දේවදත්ත බෞද්ධයන් තම පශ්චාත් භාගය ධනවතුන්ට දික්කරති.//

    well said!

    ReplyDelete