Wednesday, September 2, 2009

තිස්සනායගම්ට දඩුවම විසි වසරයි නම් අමරසේකරට කීයද?


මාධ්‍යවේදී තිස්සනායගම්ට බරපතල වැඩ සහිතව විසි වසරක සිර දඩුවම් නියම කිරීමේ පුවත මේ වන විට තරමක් පැරනි පුවතකි.ඔහුට එල්ල කොට තිබුනේ ජාතිවාදී හැගීම් ඇවිස්සීමට උත්සාහ දරන ලදී යන චෝදනාවයි.ඔහු විසින් සංස්කරනය කරන ලද සගරාවක එවැනි ජාතිභේදවාදී අදහස් සහිත ලිපි පලකලේය යන පදනම මත විසි වසකට ඔහුව දග ගෙට යවන ලදී.
තිස්සනායගම්ගේ විවාදයට පාත්‍ර වූ ලිපි සහිත සගරා කියවීමට අපට අවස්ථාවක් ලැබී නැත.ඒ නිසා ඔහු ජාතිවාදය ඇවිස්සුවේද නැද්ද යන්න පිලිබද නිශ්චිත විනිශ්චයකට ඒමට මේ ලියුම්කරුට නොහැක.කෙසේ වුවද ජාතිවාදය අවුස්සන අදහස් පල කිරීමට දඩුවම බරපතල වැඩ සහිත විසි වසරක සිර දඩුවමක් නම් ඒ සමග සිහියට එන කාරනා ගනනාවක් පවතී.

2009.08.22 දිවයින පුවත්පතේ ගුනදාස අමරසේකර මහතාගේ ලිපියක් පලවී තිබිනි."විසදුම ගැන තදියම කිම"මැයෙන් පලවී තිබුනු එම ලිපියේ මෑතකදී පැවති යාපනය/වවුනියා මැතිවරන ප්‍රතිඵල සමාලෝචනයක්ද ඇතුලත්ව තිබුනි.දිවයින මිලට ගන්නවාට වඩා රුපියල් හතලිහක කඩල කෑම ඇගටත් මනසටත් හොද යැයි කල්පනා කරන නිසා දිවයින මිලට ගැනීම සිදු නොකරතත් දිවයින ලිපි නොමිලේම අප වෙත ගෙන එන කාරුනික බ්ලොග් සගයෙක් සිටින නිසා ඔහුගේ අඩවියෙහි තිබී මෙම ලිපිය කියවීමට අවස්ථාවක් ලැබිනි.

http://kasapabbatha.blogspot.com/2009/08/blog-post_24.html

වවුනියාව චන්දයේදී රජය ලද දේශපාලන පරාජය ගැන කතාකරන අමරසේකර එසේ රජය පරාජය වූයේ තමන් මුදවාගෙන තමන්ගේ ප්‍රදේශ සංවර්ධනය කිරීමට රජය කරන මහගු කාර්ය භාරය තේරුම් ගැනීමට තරම් හදක් හෝ මනසක් උතුරේ ජනතාවට නැති නිසා යැයි පවසයි.කෙලෙහිගුනය යනු මානව ගුනාංගයකි.තමන්ට මෙච්චර කරන ආන්ඩුවට සලකන්න දෙමල ජනතාවට නොහැකි වීමෙන් ඔවුන‍ගේ හද මනස - එනම් මානවභාවය ගැන ගැටලුවක් මතුවේ.හදක් මනසක් නැත්තේ තිරිසනුන්ටය.මැතිවරනයේදී රජය ප්‍රතික්ෂේප කිරීමෙන් පෙනී යන්නේ දෙමල ජනයාට එවැනි හද මනසක් නැති බවයි.මේ අමරසේකරගේ ලිපියේ එන ප්‍රධාන අදහසයි.
අමරසේකර තවදුරටත් මෙසේ කියයි.

මෙ නයින් බලන විට අපට නොකැමැත්තෙන් හෝ එළැඹිය හැකි නිගමනය නම් උතුරේ වසන ඒ පීඩිත ජනතාව තමනට කියා හද - මනසක්‌ නැති, තමන්ට කියා පෞරුෂයක්‌ මෙතෙක්‌ හිමිකර නොගත්, අධම නායකයන් විසින් පාගාගෙන පාලනය කිරීම නිසා මනු - සත්ව විශේෂයක්‌ බවට පත්කර ඇති පිරිසක්‌ බවයි. එවැනි තිරිසන් පාලනයකට නතු කරන ලද සත්වයා ඉන් මුදවා ගත්තද පැරැණි පුරුදු අනුව හැසිරෙන බව අපි දනිමු.

දැන් මේ කියන්නේ කුමක්ද?උතුරේ ජනතාව යනු හදක් මනසක් නැති තමන්ටම කියා පෞරුෂයක් නැති තිරිසනුන් පිරිසක් බව මිස අන් කවරක්ද?
හදක් මනසක් ඇත්තේ අමරසේකරලාටය.දකුනේ ජනයාටය.උතුරේ මිනිසුන් යනු එවැනි පෞරුෂයක් නැති නිවටුන් පිරිසකි.
ජාතිවාදය යන්නෙන් සරලව අදහස් වෙන්නේ එක් ජාතිකත්වයක් උසස් යැයි හුවා දක්වමින් වෙනත් ජාතික අනන්‍යතාවයක් හෑල්ලුවට ලක් කිරීමය.එය දෙකේ පංතියෙහිලා සැලකීමය.සුදු වර්ගවාදීන්ට අනුව කලු ජාතිකයා දෙවැනි පෙල සත්වයෙකි.ඇතැම් සුදු වර්ගවාදීන් තර්ක කල ආකාරයට කලු මිනිසුන් අර්ධ වශයෙන් පරිනාමය වූ මිනිසුන් කොටසකි.ආර්ය වර්ගය ඉතාම පිරිසිදු වර්ගය ලෙස හදුන්වා ගත් හිට්ලර් යුදෙව්වන් දෙවැනි පංතියේ නීච ජාතියක් ලෙස අර්ථකතනය කලේය.දැන් ගුනදාස අමරසේකර මතු කරන්නේද ඊටම නොදෙවෙනි තර්කයකි.දෙමල ජනයා යනු හදක් මනසක් පෞරුෂයක් නැති දෙවැනි පෙල වර්ගයකි.ප්‍රභාකරන්ගෙන් මිදී ආ එම ජනයා ඹහු උපමා කරන්නේ "ගව රැලකටය".

ප්‍රභාකරන් ඉදිකර තිබූ කටුකම්බි වැටවල් විනාශ කළ සැනින් ඔවුන් ගව රැලක්‌ සේ එළියට ඇදී ආ සැටි ද අපි දුටුවෙමු

මේ උපමාව තුල ගැඹුරු තේරුමක් තිබේ.ගව රැලක් තමන්ට කැමති තැනකට ගොපල්ලෙක්ට දැක්කවිය හැක.මන්ද ගව රැලට සිතීමේ හැකියාවක් නැති නිසාය.දෙමල මිනිසුන් යනු මේ අනුව කැමති තැනකට දැක්කවිය හැකි සිතීමේ හැකියාව නැති ගවයන් පිරිසක් යන්න මේ තුලින් මතුවෙන අර්ථයයි.
දැන් අසන්නට තිබෙන්නේ එක ප්‍රශ්නයකි.තමන් ගැන කෙරෙන මෙම "විග්‍රහය"අසන ආත්මාභිමානයක් පිලිබද අංශුවක හෝ හැගීමක් සහිත දෙමල පුරවැසියෙකු තුල ඇතිවෙන හැගීම කුමක් වනු ඇද්ද?
නිසැක වශයෙන් ඔහු කිපෙනු ඇති අතර එම කෝපය යුක්ති සහගතය.මන්ද මේ විග්‍රහය ඒ තරම්ම අගතිගාමී හා වර්ගවාදී වන බැවිනි."ජාතිවාදය ඇවිස්සූ" නිසා තිස්සනායගම් නමැති දෙමල ජාතිකයා දග ගෙයි ලන රාජ්‍යය දිවයින වැනි පුවත් පත් වල අඩු නැතිව පලවෙන මෙවැනි වර්ගවාදී විග්‍රහයන් සම්බන්ධයෙන් ගන්නා පියවර කුමක්ද?මේවා ජාතිවාදී නැද්ද?නීතිය සැමට සාධාරන විය යුතුය.එය තිස්සනායගම් "ජාතිවාදය අවුසන විට"එක විදිහකටත් අමරසේකර ජාතිවාදී ප්‍රකාශ කරන විට තව විදිහකටත් බලපානවා නම් එහි ඇති සාධාරනත්වය කුමක්ද?

ඒ නිසා රට රවටන බොරු නොකියා රාජ්‍යය ඇත්ත කාරනය එලියට දැමිය යුතුය.මෙතන තිබෙන්නේ ජාතිවාදය ඇවිස්සීම පිලිබද සදාචාරවාදී ප්‍රශ්නයක් නොව රාජ්‍යයේ අන්තනෝමතික බලය සම්බන්ධ ගැටලුවකි.පවතින සන්දර්භය තුල තමන්ගේ හිසට ඉහලින් මැස්සෙකු හෝ පියාඹනවාට රජය කැමති නැත.පාලක කන්ඩායම ඊට මනාප නැත.මේ නිසා කවර හෝ පදනමකින් රාජ්‍යය විවේචනය කරන්නා දන්ඩනයට ලක්වේ.දන්ඩනය සදහා එලියට දමන්නේ ජාතිවාදය වැපිරීම වැනි සාධාරන යැයි‍ පෙනෙන චෝදනාය.ලංකා ඉරිදා පුවත්‍පතේ මාධ්‍යවේදීන් තිදෙනෙක් පොලිස් අත් අඩංගුවට පත්ව තිබෙන බව අද (01)දින පුවත් වෙබ් අඩවි වල සදහන් ව තිබුනි.ඔවුන්ටද කුමක් හෝ චෝදනාවක් ඉදිරිපත් කෙරෙනු ඇත.චෝදනාව කවරක් වුවද චෝදනා යට සැගව ඇති නිරුවත් සත්‍යය වූ කලී විරුද්ධ අදහස් මර්ධනයයි.

මෙතෙක් කල් අනතුරු හැගවීම් සහිත පුවත් පත් වල , මුද්‍රිත අකුරු වල සිර වී සිටි ඒකාධිපතිත්වයේ යක්ෂයා පන ලබා ඇත.
එම යක්ෂයා සමාජයේ ඔබ මොබ ඇවිදමින් සිටී.එකින් එකා නිහඩව ගොදුරු කර ගනිමින් සිටී.


10 comments:

  1. ඔය ලිපියේම මෙහෙමත් කියල තියෙනවා.

    මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා මේ ජාතිද්‍රෝහී නඩවල කීම් බස්‌වලට කන්නොදී, සිය පළමු පියවර වශයෙන් උතුරේ ජනතාව සුඛිත මුදිත කිරීමේ නියෑළී සිටීම අතිශය ප්‍රඥසම්පන්න වෙයි. රජය විසින් දියත් කර ඇති සංවර්ධනය අප විසින් දැකිය යුත්තේ අර ජනතාවට හද - මනසක්‌ දීමේදී ඉටුකළ යුතු පළමු පියවර ලෙසයි. හද - මනස පහළ වන්නේ කුස පිරුනොත් පමණි. බුදුන්වහන්සේ ද හද - මනසට ආමන්ත්‍රණය කළේ ගැත්තාගේ කුස පිරවීමට සැලැස්‌වීමෙන් පසුවයි. උතුරේ ඉන්න පීඩිතයාගේ කුස පිරුණු පසු ඔහුට හද - මනස පහළ වනු ඇත. එවිට ඔහු සමඟ සංවාදයකට එළඹීමට හැකිවනු ඇත. ඉන් අනතුරුවයි ඔහු දේශපාලන විසඳුමක්‌ පතන්නේද, එසේ පතන්නේ නම් එය කෙබඳු දේශපාලන විසඳුමක්‌ ද යන්න අපට තෝරා බේරා ගැනීමට හැකිවනු ඇත්තේ. එසේ නොමැතිව ඔවුන් පාලනය කරන ජාතිවාදී අධම ගොපල්ලා සමඟ කරන සංවාදයක්‌ මගින් එය දැනගත හැකි නොවේ.

    ලිපියේ කොටසක් විතරක් අල්ලා ගන්නේ නැතුව මුළු ලිපිය මගින් කියන්න හදන දෙය තේරුම් ගත්තා නම් මෙච්චර අවුලක් වෙන එකක් නැහැ.

    ReplyDelete
  2. මාධ්‍යවේදියාට නිදහසේ අදහසක් ප්‍රකාශ කරන්න බැරිනම් මාධ්‍ය නිදහසක් තියෙන්නෙ අහවල් මගුලකට..

    ReplyDelete
  3. තිසනායගම් වරදක් කලේ නම් අනිවාර්යෙන්ම දඬුවම් විඳිය යුතුය. ප්‍රශ්නය වන්නේ ත්‍රස්තවාදයට උදව් කල ඔහු දඬුවම් විඳින විට, නියම ත්‍රස්තවාදීන් එනම් තම තුවක්කුවෙන් අහිංසකයන් මරා දැමූ අය විශේෂ වරප්‍රසාද ලැබීමයි. රජයේ ඉහල තනතුරු වලට පත් වීමයි. තිසනායගම්ට නඩු පැවරූ පුද්ගලයන් එවැන්නකට උත්සාහ නොකරනවානම් එය තිසනායගම්ට සහ මහජනතාවට කරන අසාධාරණයක් නොවන්නේද?

    ReplyDelete
  4. @ මිගාර

    ඔබ උපුටා දක්වන කොටසිනුත් පැහැදිලි වෙන්නේ කුමක්ද?උතුරේ ජනයා යනු හදක් මනසක් නැති සතුන් පිරිසක් ලෙස අමරසේකර සලකන බව නොවෙයිද?විටෙක ඔවුන් ගව රැලක් ලෙස ද තව විටෙක කන්න බොන්න දී හද මනස දිය යුතු අනුකම්පා කොට යුතු සතුන් කොටසක් ලෙස ද කියැවේ.කෙසේ කියවුනත් ‍ලිපියේ අදහස එම ජනතාව ස්වාධීන සිතීමේ හැකියාවක් නැති දෙවන පෙල වර්ගයක් බවයි.
    පසුගිය දවසක දේශපාලන සංවාදයකට ආ හෙල උරුමයේ භික්ෂුවක් පැවසුවේ ප්‍රභාකරන් යටතේ ඉන්න විට කැද වත් නොබිවූ සරනාගත ජනයාට සරනාගත කදවුරුවල ඉද්දී කන්න ලැබෙන බවයි.මේ සියලු දෙනා සිතාගෙන ඉන්නේ එම මිනිසුන් ගාල් කොට කන්න බොන්න දුන් විට තමන් කියන විදිහට හැසිරෙන බවයි.(සතුන් වගේ)
    නමුත් ඇත්ත එය නොවේ.සෑම මිනිසෙක් මෙන්ම උතුරේ මිනිසාද නිදහසට ප්‍රිය කරන ආත්මාභිමානයක් ඇති මිනිසෙකි.පුද්ගලික කාරනාවක් සදහන් කරනවා නම් මේ කාල සීමාව තුල මා ඉතා ලගින් ආශ්‍රය කරන යාපනයේ සිට අධ්‍යාපන කටයුතු වලට පැමිනි ද්‍රවිඩ මිතුරෙකු සිටී.එවැන්නන් සමග කතා බහ කරන විට ඔවුන් හද මනස නැති ගවයන්ද නැද්ද යන්න තේරුම් ගත හැකිය.
    කෙසේ වුවත් තවත් ජන කන්ඩායමකට එසේ ආමන්ත්‍රනය කිරීම ගිනි කන වැටුනු වර්ගවාදයේ ප්‍රතිඵලයකි.ලංකාව මාර ආතල් රටකි.මෙහි ඉන්නා "මහා"කලාකරුවන් මනුශ්‍යත්වයට ආදරය කරන්නෝ ‍නොව මනුශ්‍යබාවයට ගරහන්නෝය.

    ReplyDelete
  5. @ ගෝමස්

    ඔතන තමයි ප්‍රශ්නෙ තියෙන්නෙ.තිස්සනායගම් බස්වල බෝම්බ ඇටෙව්වා නම්,මිනිසුන්ට වෙඩි තිබ්බා නම් ඔහුව නීතිය ඉදිරියට ගෙන්වීම ගැන ගැටලුවක් නැහැ කියමු.ඒත් මෙතන වෙලා තියෙන්නෙ අදහස් ප්‍රකාශ කිරීමක්."ත්‍රස්තවාදයට උදවු කිරීම","ජාතිවාදය ඇවිස්සීම"වගේ අර්ථකතන ඉතාම පුලුල්.ඒවාට සීමාවක් පෙන්වීම අමාරුයි.උදාහරනයක් විදිහට මේ ලියන දේ උනත් ත්‍රස්තවාදයට උදවු කිරීමක් විදිහට අර්ථකතනය කරන්න යමෙක්ට පුලුවන්.ආන්ඩුවේ නිල මතය ප්‍රශ්න කරන්න කවුරුත් මේ සන්දර්භය තුල පහසුවෙන් පෙලඹෙන්නේ නැහැ.විරුද්ධ හැම අදහසක්ම පාගා දැමීමට මේක මෙවලමක් වෙලා තියෙන එක භයානකයි.

    @The chinthaka
    සම්පූර්නයෙන් එකගයි.ඇත්තටම ඔය කරුන මගේ ලිපියේ සදහන් කරන්න හිටියත් ඒක අත් හැරිලා තිබෙනවා.තිස්සනායගම් ඇතුලු බොහෝ මාධ්‍යවේදීන් පසුගිය යුද සමයේ රජයේ මතවාදයට වෙනස් මත දැරුවා.සමහරු කොටි සංවිධානය සාධාරනීකරනය කල අතර තව සමහරු එසේ නොකලත් රජයේ නිල මතය පිලිගත්තේ නැහැ.(උතුරේ මෙහෙයුම් වලදී සිවිල් ජනයාට තඹ සතේක හානියක් වුනේ නැහැ,සරනාගත කදවුරුවල මිනිසුන් මාර සන්තෝසෙන් ඉන්නවා වගේ රජයේ නිල අර්ථකතන සිහිබුද්‍ධියෙන් ඉන්න කිසිවෙක්ට පිලිගන්නත් අමාරුයි)
    කොහොම වුනත් මේ අය කලේ අදහස් දැක්වීම පමනයි.රජතුමා කියන දේම ප්‍රශ්න නොකර සොයා නොබලා පිලිගන්න,නැවත පුනරුච්චාරනය කරන්න කියල කියනවා නම් එතන තිබෙන ප්‍රජාතන්ත්‍රවාදය මොකක්ද?යුක්තිය මොකක්ද?
    වෙනස් මත දරන ලද බොහෝ අයට මේ තර්ජනය තියෙනවා.සුනන්ද දේශප්‍රිය වගේ කෙනෙක්ගේ බොහෝ අදහස් සමග මට එකගතාවයක් නැහැ.නමුත් ඔහු කොටියෙක් ලෙස ලේබල් කොට දඩයම් කිරීමට මම විරුද්ධයි.මන්ද ඔහු සිවිල් සමාජයට ගිනි බින්ද,පොදු නීතිය කඩ කල අයෙක් නොවන නිසා.අදහසක් දැක්වීම විසි වසරක් බරපතල වැඩ සහිතව හිරේට යැවීමට තරම් criminal offence එකක් ලෙස ගැනීම අන්තිම අසාධාරනයි.
    ඇත්තටම ඝාතන/බෝම්බ තැබීම් වලට සම්බන්ධ වුන කරුනා අම්මාන්ලා අද ජනාධිපතිව සිපගන්නවා.පිල්ලෙයාන්ලා වැනි අය මහ ඇමති ධූර ‍හොබවනවා.කෝ දැන් නීතිය?නීතිය කියන්නෙ පාලකයන‍ගේ අතේ තියෙන මෙවලමක් කියන්නේ මේකයි

    ReplyDelete
  6. දැනුවත් වුන ජනතාවක් තමයි රජයක ප්‍රධාන බිය. ඒකයි තිස්සනායගම්ලට, පෝද්දලට ඔච්චර පන්න පන්න ගහන්නේ. ඔවුන් වැරදි වෙන්න පුලුවන්. නමුත් තමන්ගේ පැත්ත ජනතාවට ඉදිරිපත් කලොත් රජයේ ජාතිවාදී වැපිරීමට තියෙන බලය අහෝසි වෙලා යනවා. පවතින රජයේ බලය තියෙන්නෙත් එය ජාතිවාදය තියෙනකම් විතරයි

    ReplyDelete
  7. මේ රටෙහි ප්‍රමුඛ මතවාදය හරහා ජාතිවාදය යනුවෙන් හඳුනා ගැනෙන්නේ දෙමළ හෝ මුස්ලිම් ජාතිවාදය පමණි. එහිදී සිංහලයා කිසිදිනක ජාතිවාදී වී නැත. ඔවුන් තමන්ගේ ජාතිය වෙනුවෙන් පෙනී සිටිනවා පමණි. එනයින් මෙහිදී ගුණදාස අමරසේකර ජාතිවාදියෙකු ලෙස හඳුනා ගැනෙන්නේ නැත. අඩුම තරමේ ඔය මතවාදය තුල කේ.එම්.පී රාජරත්න හෝ සිරිල් මැතිව් පවා ජාතිවාදීන් වන්නේ නැත.‍

    ReplyDelete
  8. මං තිස්සනායගම් ගැන හොදක්වත් නරකක්වත් නොකියමි. මක් නිසාද මා ඒ පුද්ගලයා නොහදුනමි, මාධ්‍යවේදියෝ උන්ට ඕනෑ මගුලක් කියවයි. උන්ට හිතෙන දේ ලියයි, වාර්තාකරනය කෙසේ වෙතත් නවකතාකරනය හොදින් කරයි. ළඟදී කතා බහට ලක් උන වීඩියෝව ද එවැන්නකි, දෙමළ අය එකක් කියයි අපේ අය ඒක බොරු කියයි එක්කො කර දෙය හරිය කියයි. වැඩේ ඔප්පු වී ඇති අන්දමට(ඒගොල්ල කියන හැටියට) වීඩියෝව බොරුවකි දැන් කවුරුත් ඒගැන කතා නැත.

    මට එක් ප්‍රශ්නයක් ඉතිරියි, ඇයි යුදෙව්වන්ට යුදෙව්වෝ කියන්නේ? ඉංගිරිසියෙන් "jews" කිව්වද සිංහලයෙන් එකල සිටම ඒ ජනයා අමතා ඇත්තේ "යුද්ව්වෝ" ලෙසටය. හැමදා කෑගහන ගිරවු සේ ඔය වචනයම භාවිතා කර ඒ ජනයා ඇමතීම ඒ අයගේ මූලික මිනිස් අයිති වාසිකම් කඩ කිරීමක් නොවේද?? ඇයි ඒ අයට එසේ කියන්නේ ඔවුන් යුද්ධ කල අයද? "නැත" ඔවුන් හිට්ලර්ගෙන් බැට කෑ අයයි. එහෙනම් අපේ අය හිට්ලර් සමඟද? ඇයි මේ වෙනස?
    ඔබ කියයි දැන් අපේ අය ජාති වාදීන් නිසා එසේ කීවාය කියා, හැම ඉල්ලව්වටම ජාතිවාදය පටලා ගැනීමේ පලක් නැත. ඔවුන්ට ඒ ආකාරයට අමතන්නේ සමහර විට ඒ අය යුද්ධ කල නිසා වෙන්න ඇති අපි දන්නේ කොහොමද? මාධ්‍යවේදියා දන්නේ කොහොමද?
    මේකත් එහෙමයි හුදු රපෝර්තු හා ප්‍රවෘත්ති වාර්තා කිහිපයක් අලලා ගුණදාස අමරසේකර හා තිස්සනායගම් සමාන වගේ පෙනුනත් එසේ නොවිය හැක..අපි සමස්ථය දැක නැත.
    ඒ නිසා මාගේ අදහස නම් මේ අයට දඬුවම් කිරීමට වඩා මේ අය කියන දේවල් වඩා ඇඟට ගන්නේ නැතුව හිටියම ඇති දිවයින බලන්න උවමනා නැත. දෙමළ කොටින්ට කඩේ යන මාධ්‍යකාරයෝ දහස් ගනනින් වෙත් උන් මරා හෝ හිරේ දමා හෝ මේවා නතර කල නොහැකිය, රටක නීතිය කැඩීම නිසා හිරේ දැමීම වෙනකකි.
    තුවක්කුවෙන් මැඩිය හැකිවුව විනාශ කරීමට අමාරුය ..දෙමළ නිජභූමි අවුල පොඩි කලක සිට එන්නක් නොවේ නියම විසදුමක් ලබාදීමට අතීතය නැවත පෙරලා බැලිය යුතුය.

    ReplyDelete
  9. http://www.tamilcanadian.com/page.php?cat=432
    ගිහින් බලන්න මං කලින් ලියද්දී මූ ලිව්වෙ මොනවද කියලා දැනන් හිටියෙ නෑ අමරසේකර උන්ට ගොන්නු කියල නැවතුනා. මූ ඊට හපං ගිහින් බලන්න උන්ම publish කරලා තියෙන ඒවා ලංකා ආණ්ඩුවෙන් කියන ඒව නෙව තේරුම් ගන්න අමාරු
    අවුරුදු 20 මදි වගේ!

    ReplyDelete
  10. අජිත් තිලකසේන ගැන ඔබ ලියූ ලිපිය කිසියම් හෝ නිර්මාණ ශිල්පියකු ගැන මා කියැවූ හොඳ ම අර්ථ කථනයයැයි මට සිතේ. මම ඔබගේ ලියන ශෛලියට මහත් සේ ආදරය ද, ඊර්ෂ්යා ද කරමි...

    ReplyDelete