Thursday, August 13, 2009

පොලිසියට ගල් ගසනු!




පොලිසිය මේ වනවිට කොයි තරම් ගර්හිත ආයතනයක තත්වයට පත්වී තියෙනවාද කියන එක පැහැදිලි වෙන සිදුවීම් ගනනාවක් පසුගිය කාලයේ ජාතික මට්ටමින් අවධානයට යොමුවුනා.
මේ සම්බන්ධ ආසන්නතම සිදුවීම් දෙක නම් නිපුන රාමනායක නැමැති SLIIT ආයතනයේ ශිෂ්‍යයාව පැහැරගෙන යාමේ සිදුවීම සහ අද වාර්තා වුන අගුලාන ප්‍රදේශයේදී තරුනයන් දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවේදී මරා දැමීම සම්බන්ධ සිදුවීමයි.
පසුගිය කාලයේ පාතාල ලෝකයේ අපරාධකරුවන් මරනවා යැයි කියමින් නීතියට පිටින් පුද්ගලයන් ගනනාවක් ඝාතනය කොට තිබුනා.එසේ ඝාතනය කොට තිබුනේ පොලිසිය විසින්.රාමනායක සිදුවීමේදී පුද්ගලික කාරනයක් මත එම ශිෂ්‍යයාව පාතාලයට ගෑවීමට සිද්දියට අදාල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි උත්සාහ කොට තිබුනා.පාතාලයේ අය නීතියට පිටින් මරාදැමීමේ "වීර" ව්‍යාපෘතිය නිසා චූන් වී සිටි පොදු සමාජයේ ඇස් ඇරවන සිදුවීමක් බවට මෙය පත්වෙනවා.
රටක ව්‍යවස්ථාපිත නීතියට පිටින් පොලිසිය වේවා වෙනත් ආයතනයක් වේවා ක්‍රියාත්මක වෙන එක ඉතාම අහිතකර දෙයක්.පොලිසියට හෝ ඹ්නෑම වෙනත් ආයතනයකට අන්තනෝමතින බලයක් ලැබෙන විට එය පෙරලා සමාජයට එරෙහිව යොදාගැනෙනවා කියන එක රාමනායක සිදුවීම ආශ්‍රයෙන් පැහැදිලි වෙනවා.
අගුලානේදී තරුනයන් දෙදෙනෙක් ඝාතනය කිරීමත් එබදු අවස්ථාවක්.ප්‍රසිද්ධියට පත් නොවුනත් පොලිසි තුලදී බරපතල පහරදීම් බලය,අයුතු ලෙස යොදා ගැනීම් සිදුවෙනවා කියන එක රහසක් නෙමෙයි.පොලිසිවලට එන පුද්ගලයාගේ ඇදුම,සමාජ තරාතිරම අනුව මේ සැලකීම වෙනස් වෙන අතර පොදුවේ සාමාන්‍ය ජනයාට පොලිසියෙන් ලැබෙන සැලකීම එතරම් "මිහිරි"එකක් නෙමෙයි යන්න පැහැදිලියි.

දැන් මෙතන ගැටලුවක් තිබෙන බව හැමෝම පිලිගන්නවා.රාමනායකගේ සිදුවීම,අගුලාන ඝාතනය වැනි සිදුවීම් හෙලා නොදකින කෙනෙක් නැහැ.ඇතැමුන් මේ සිදුවීම් සම්බන්ධයෙන් අතිගරු ජනාධිපතිගේ මැදිහත්වීම ප්‍රාර්ථනා කරනවා.තව සමහරුන්ට අනුව පොලිසියේ බහුතරය හොද අය.වැරදි කරන කිහිප දෙනෙක් ඉන්නවා.ඒ අයට දඩුවම් කලාම සේරම විසදෙනවා.
නමුත් අපි කල්පනා කරන ආකාරයට මෙතන ගැටලුව තියෙන්නේ ඒ ඒ පොලිස්කාරයාගේ නෙමෙයි.මෙතන ඇත්ත ගැටලුව ව්‍යුහාත්මක එකක්.ඇත්තටම වරද තිබෙන්නෙ පොලිසිය නැමැති ආයතනය තුලමයි.ඒ ආයතනය ව්‍යුහාත්මකව ගොඩනැගිල තියෙන ආකාරය සලකන විට මෙවැනි අයුක්තීන් සිදුවීම වලක්වන්නට බැහැ.‍
වෙන විදිහකින් කියනවා නම් පොලිස්කාරයන්ගේ මේ පාදඩකම් වූ කලී පොලිසිය කියන ආයතනයේ ආයතනික පදනමේම තිබෙන දෝෂයක් නිසා ඇති වී තියබන තාර්කික ප්‍රකාශනයන්.
මේ කාරනය අපි තවදුරටත් පැහැදිලි කරගනිමු.
ඇත්තටම අපේ රටේ පොලිස් සේවය මහජන සේවයක් ලෙස ගොඩනැගිල තියෙන එකක් නෙමෙයි.මේ නිසා මහජනතාවට වග කිව යුතු ස්වරූපයක් පොලිසිය වෙතින් දකින්නට නැහැ.පොලිස් නිල ඇදුම විසින් යම් අධිකාරී බලයක් පොලිස් නිලධාරියා වෙත ආරෝපනය කරනවා.
මෙතනදී පොලිසිය ක්‍රියාත්මක වෙන්නෙ මහජන සේවයකට වඩා මහජනයාට ඉහලින් වැජඹෙන අධිකාරියක් විදිහට.
සේවයක සහ අධිකාරියක වෙනස තේරුම් ගන්න අපිට වර්තමාන ග්‍රාම සේවක සහ පැරනි ආරච්චිරාල/ගම්මුලාදෑනියා සසදන්න පුලුවන්.
පැරනි ගම්මුලාදෑනියා ගමේ බලවතා ලෙස කටයුතු කලා.ඔහුට අවශ්‍ය අයට අච්චු කලා.හොරෙන් දඩයම් කලත් තමන්ට මස් ගෙනල්ලා දෙන කෙනාට සැලකුවා.නැති අයව දඩුකදේ ගැහුවා.ඔහුගේ අධිකාරි බලය සමාජය පිලිගත්තා.එය පාලනය කරන යාන්ත්‍රනයක් තිබුනෙ නැහැ.
මේ නිසා කොයිතරම් "දැහැමි"කෙනෙක් එම තනතුරට පත්වුනත් එම තනතුරේම තියෙන අන්තනෝමතික බලය විසින් ඒ පුද්ගලයාව කාලයත් සමග අධිකාරිවාදී පීඩකයෙක්ගේ තත්වයට පත්කලා.
මෙම පැරනි ක්‍රමය වෙනුවට වර්තමානයේ ක්‍රියාත්මක වෙන්නේ සේවයක්.මේ අනුව ග්‍රාම නිලධාරිවරයෙක් ගමට පත්ව සිටිනවා.ගම්මුලාදෑනියා ගමේ දාන ලද සෙල්ලම් දැමීමේ හැකියාව ග්‍රාම සේවකට නැහැ.එවැනි සෙල්ලම් ඔහු දාන්න ගියොත් ඒවට විරුද්ධව ක්‍රියා කල හැකි යාන්ත්‍රනයක් නීත්‍යනුකූලවම තියෙනවා.ගමේ ඕනෑ එපා කම් සොයා බලා මිනිසුන්ට උදවු කිරීම ග්‍රාම නිලධාරිගේ කටයුත්ත වී තිබෙන අතර එම තනතුරේ තිබෙන මෙම ස්වභාවය නිසාම ග්‍රාම නිලධාරි ධූරය යනු සමාජය පෙලන අධිකාරියක් නෙමෙයි.එක්තරා අන්දමක සේවයක්.
මේ අනුව වර්තමාන පොලිසිය යනු සේවයක් නොවෙයි.එය වැටෙන්නේ අධිකාරියක ගනයට.
වඩාත් නිවැරදිව කියනවා නම් පොලිසිය "සේවය"හා "අධිකාරිය" කියන අන්ත දෙක අතර පරාසයේ පවතින අතර එය විශාල වශයෙන් නැඹුරු වී තිබෙන්නේ අධිකාරිවාදී අන්තය දිශාවට.
පොලිස් කාරයන්ගේ අකටයුතුකම් සිදුවෙන්නේ පොලිසියේ තියෙන මේ ව්‍යුහාත්මක අවුල නිසයි.
කාකි ඇදුම,බැටන් පොල්ල හා පිස්තෝලය ලැබුනු සැනින් තමන් සමාජයට ඉහලින් ඉන්න "පොරක්" කියන මනෝභාවය පොලිස් නිලධරයන් තුල ගොඩනගා තිබෙනවා.සමාජයේ පුරවැසියන්ට එරෙහිව ඔවුන් හතර අතේ වනන්නේ ඔවුන් තුල ගොඩනගන ලද මෙම පොර මානසිකත්වයයි.

දැන් මේ කතාබහ තරමක් ගැඹුරට ගෙනියමු.පොලිසියේ මෙම ව්‍යුහමය දුර්වලතාවය අපි තේරුම් ගන්න ඕනෙ කොහොමද?
මේ පසුගාමී ස්වභාවය පොලිසියේ පමනක් නෙමෙයි,සමාජයක් ලෙස අපේ සමාජයේ හැමතැනම තියෙනවා.කොටින්ම පොලිසිය තුල මේ ප්‍රක්ෂේපනය වෙන්නේ සමස්තයක් ලෙස අපේ සමාජයේ පසුගාමී බවම මිස අනෙකක් නෙමෙයි.
දේශපාලන භාෂාවෙන් කියනවා නම් පවතින ලාංකීය සමාජය ප්‍රජාතාන්ත්‍රිකකරනය වෙලා නැහැ.
මෙහිදී ප්‍රජාතන්ත්‍රතවාදය කියන්නෙ බොහෝ දෙනා සිතාගෙන ඉන්නා පරිදි අවුරුදු පහකට පාරක් චන්ද පොලට ගිහින් කතිරය ගහන එක නෙමෙයි.
ප්‍රජාතන්ත්‍රවාදය යනු ජීවත් වීමේ ආකාරයක්.සමාජයීය ජීවන රටාවක්.(An order of living)
ප්‍රජාතන්ත්‍ර‍වාදයේ මේ ගැඹුරු අර්ථය අපේ සමාජය තේරුම් අරගෙන නැහැ වගේම සමාජයේ කිසිම තැනක එය නිසි පරිදි ක්‍රියාවට නැගිලාත් නැහැ.
ප්‍රජාතාන්ත්‍රවාදී සන්දර්භයක් තුල පොලිසිය,රාජ්‍ය සේවය,දේශපාලනය යනු "සේවාවන්"මිස නිරපේක්ෂ අධිකාරිත්වයන් නෙමෙයි.ඒවා පුරවැසියනගේ ජීවිත පහසු කරන්න උදවු කල යුතු යාන්ත්‍රනයන්.
නමුත් අපේ සමාජයේ වෙලා තියෙන්නේ කුමක්ද?මේවා ජීවිත පහසු කරන යාන්ත්‍රනයන් වනවා වෙනුවට ජීවිත පීඩාවට ලක්කරන පීඩාකාරී ව්‍යුහයන් බවට පත්වෙලා තියෙනවා.
මෙම ආයතන විසින් පුරවැසියන් පීඩාවට ලක්කරනවා විතරක් නෙමෙයි ඔවුන්ගේ ජීවිත පවා බිලිගන්නවා කියන එක අගුලානේදී සිදුවුන ඛේදවාචකයෙන් පෙනී යනවා.

එහෙම නම් ලංකාවේ සමාජ දේශපාලන ක්‍රමය ප්‍රජාතාන්තිකකරනය වෙලා නැති බව පැහැදිලියි.එතකොට මෙම ප්‍රජාතාන්ත්‍රික නොවන සමාජ දේශපාලන රටාව පවත්වාගෙන යන්නේ කවුද?
මේක ඉතාම වැදගත් ප්‍රශ්නයක්.
දේශපාලන ක්‍රමය (සිස්ටම් එක) රකින්න සිස්ටම් එක විසින්ම බිහිකරන පිරිසක් සිටිනවා.අපි පාලකයන් යනුවෙන් ආමන්ත්‍රනය කරන්නේ එම පිරිසට.
නිල් පාටින් කොල පාටින් මොන පාටින් පැමිනියත් මෙම පිරිසේ වගකීම ක්‍රමය ආරක්ෂා කරන එක.සමාජය ප්‍රජාතාන්ත්‍රිකකරනය කිරීම වැනි රැඩිකල් වැඩකට අතගැහුවොත් පවතින දේශපාලන ක්‍රමය බිදවැටෙනවා.පවතින ක්‍රමය ආරක්ෂා කිරීම සදහා පත්කෙරුනු පාලකයන් මේ නිසා කවදාවත් ඒ වගේ විප්ලවකාරී වැඩවලට යොමුවෙන්නේ නැහැ.ඒ අය උත්සාහ කරන්නේ පවතින ක්‍රමය වැඩි වෙනසක් නැතිව පවත්වා ගනිමින් මේ මතම කෙසේ හෝ බලය පවත්වා ගැනීමටයි.
ජනාධිපතිගෙන් මේවාට උත්තර ඉල්ලීම ඉබ්බාගෙන් පිහාටු ඉල්ලීමට වඩා විහිලුවක් වන්නේ එම නිසායි.වැඩිම වුනොත් සමාජය සැනසවීම සදහා පොලිස් නිලධරයෙක් අත්අඩංගුවට ගැනීම,මාරු කිරීම වගේ මතුපිට තලයේ පියවරක් දෙකක් රජය විසින් ගැනීමට ඉඩ තිබෙනවා.නමුත් පොලිස් සේවයේ ව්‍යුහය ප්‍රජාතාන්ත්‍රික ලෙස හැඩ ගැස්වීම වගේ බරපතල වැඩකට ඔවුන් කවදාවත් අත ගහන්නේ නැහැ.

දැන් අවශ්‍ය නම් අගුලාන සිදුවීමට සම්බන්ධ ස්ථානාධිපතිවරයාට නඩු දැමිය හැකියි.එසේ වුවත් යලිත් එවැනි සිදුවීම් සිදු වීම ඉන් නතර වෙන බවට දිය හැකි සහතිකය කුමක්ද?
පොලිසිය සමාජයට ඉහලින් වැජඹෙන ‍අධිකාරියක් ලෙස පවතින තුරු,පොලිස් නිල ඇදුමේ පොර මානසිකත්වය පවතින තුරු අත්අඩංගුවේදී මරා දැමීම්,පැහැරගෙන යාම් ,වධ හිංසා පැමිනවීම් වාර්තා වීම වලක්වන්නට බැහැ.
මේ නිසා නිලධාරීන් මාරු කිරීම හිසරදයට කොට්ටය මාරු කිරීමකට වැඩි යමක් නෙමෙයි.වෙනස් විය යුත්තේ සමස්ත පද්ධතියයි.සමස්ත පොලිස් සේවයේ ව්‍යුහාත්මක පදනමයි.
පොලිස් සේවයේ අධිකාරියක් නොව 'සේවයක් ' බවට පරිවර්තනය කරගැනීම සමාජය ප්‍රජාතාන්ත්‍රිකකරනය කිරීම කියන කාර්යයෙන් වෙන් කරන්න පුලුවන් එකක් නෙමෙයි.කොටින්ම සමාජය සමස්තයක් ලෙස ප්‍රජාතාන්ත්‍රික නොකර - වෙනස් නොකර -පොලිසිය පමනක් ව්‍යුහාත්මකව වෙනස් කිරීම සිදු කල නොහැක්කක්.
සමාජය වෙනස් කරන්නේ,ප්‍රජාතාන්ත්‍රිකකරනයට ලක්කරන්නේ කවුද?
මේ සදහා පවතින පසුගාමී ක්‍රමය රකින්න බිහිකල පාලකයන් පසුපස යමෙක් ගාටනවා නම් එය නිෂ්ඵල විහිලුවකට වඩා වැඩි යමක් නෙමෙයි.ඇත්තටම පාලකයන්වද ප්‍රශ්න කරන සමාජ ව්‍යාපාරයකින් මිස මෙය වෙනස් කල නොහැකියි.

අගුලානේදී ගම්වාසීන් පොලිසියට ගල් මුල් ගසන්නේ මෙම සන්දර්භය තුල.
ප්‍රජාතන්ත්‍ර විරෝධී ආයතන වල අධිකාරිය තමන් පිලිනොගන්නා බව මිනිසුන් ප්‍රකාශ කල ආකාරයක් තමයි එම විරෝධය.
සිදුවීම වල මතුපිටට සීමා නොවී ඒ යට තියෙන ව්‍යුහාත්මක ඇත්ත ග්‍රහනය කරගත් විට පොලිසියට ගල්මුල් ගහනවා වෙනුවට තිබෙන පසුගාම් දේශපාලන ක්‍රමයට ගල් ගසන්නට මිනිසුන් පටන් ගනීවි.
කෙහොම වුනත් එවැනි දියුනු මානසිකත්වයකට යාම උදෙසා පූර්වාරම්භයක් ලෙස මෙය හොද ප්‍රවනතාවයක්.යටහත් පහත්ව ගුලි ගැසෙනවා වෙනුවට අසාධාරනයට එරෙහිව නැගී සිටීම කොහොමත් හොදය.
එම නිසා දිගු ගමනක් යාමේ අපේක්ෂාවෙන් මුල පිරීමක් ලෙස මෙසේ කිව හැක.
පොලිසියට ගල් ගසනු!
පොලිසියට පමනක් ගල් ගැසීමෙන් නොනවතිනු!




8 comments:

  1. mamath ekagai oyage kathawata!

    (thawa liyanna..)

    ReplyDelete
  2. ඇත්ත. පොලිසියට පමණක් ගල් ගසා නැවතිය යුතු නැත. ශ්‍රී ලාංකීය සමාජයේ සෑම රජයේ ආයතනයක්ම ක්‍රියාත්මක වන්නේ ඔබ පවසන අධිකාරී මානසිකත්වයක් තුලය. රෝහලක් ගෙන බලන්න. වෛද්‍ය වරයාගේ සිට කම්කරුවා දක්වා සෑම අයෙකුම තම වෘත්තියට අධිකාරිත්වයක් එක් කර ගෙන සිටී. අදාල සේවා ලාභියා සේවාව ලබා ගත යුක්තේ එම අධිකාරිත්වයට යටත්වය. ප්‍රාෙද්ශීය ලේකම් කාර්යාල, පළාත් පාලන ආයතන (ප්‍රාෙද්ශීය සභා, නගර සභා, මහ නගර සභා), දෙපාර්තමේන්තු, මේ ආකාරයට සෑම රාජ්‍ය ආයතනයක්ම මහජනතාවට ඉහලින් සිටින අධිකාරී බලයක් සහිත ආයතන ලෙසයි ක්‍රියාත්මක වන්නේ.
    ඒ පමණක් නොවේ. අද රාජ්‍ය ආයතන පමණක් නොවේ මේ තත්වයට පත් වී සිටින්නේ. පුද්ගලික බස් රථයක් ගැන සිතන්න. එහි කොන්දොස්තර කොපමණ අධිකාරී බලයක් ආරෝපණය කරගෙන සිටී ද? ඉන්ධන පිරවුම් හල් සේවකයෝ, ෆාමසි වෙළඳ සේවකයෝ, මේ ආකාරයට බිම් මට්ටමේ සේවා සපයන පුද්ගලික අංශයේ ආයතන ව්‍යුහයට පවා මෙම අධිකාරී මානසිකත්වය කාන්දු වී තිබේ.
    එපමණක්ද? ස්වයං රැකියාවක් කරනා පෙදරේරුවෙක් සලකා බලන්න. ඔහුගේ සෙවය ලබා ගැනීමට පටන් ගත් දිනයේ සිට ඔහුගේ අධිකාරී බලයට අපි කොපමණ නම් යටත් විය යුතුද?
    රාමචන්ද්‍ර, මමත් ඔබ සමග එමි. මේ සියල්ලට එරෙහිව ගල් ගැසීම අරඹමු.

    ReplyDelete
  3. අපි වෙනුවෙන් කෝ අපීපීපී.............ජනතාවගෙන් ඉල්ලා අස් වෙනු...ජනතාවට ගල් ගසනු...
    http://myresignation1.blogspot.com/

    ReplyDelete
  4. මුලින්ම ඔබගේ භාෂා විලාෂයේ වෙනස් වීම අගය කරමි.ඒ සරල බව මගින් කියැවීමේ හැකියාව වැඩි වෙනබවයි මගේ අදහස.ඇත්තටම හොද අදහසක්. මේ මාතෘකාවෙම වෙනස් අදහසක් ශානුත් ලියලා තිබුනා. ඇත්තටම මේක හරිම ඛේදවාචකයක්....සමස්තයක් ලෙස දිනෙන් දින ගොඩනැගෙන ඛේදවාචකයක්

    ReplyDelete
  5. @ hakuna matata
    මරු බ්ලොග් එක !

    @ පාලිත
    තිබුන භාෂා විලාෂය සංකීර්න වැඩියිද?මම මේ උපරිම උත්සාහය දරනවා පුලුවන් තරම් සරල කරල ලියන්න.පෙන්වා දීම ගැන ස්තුතියි :)

    ReplyDelete
  6. @රාමා,
    නෑ නෑ ඉස්සෙල්ලා එහෙම ගැටලුවක් තිබුනේ නැහැ.:D
    ඒත් මේ ස්ටයිල් එක ඊටත් වඩා හොදයි. සංකල්ප සංකීර්ණ වෙලා භාෂාව සරල වෙන තරමට තේරුම්ගන්න ලේසියි.

    ReplyDelete
  7. චක් ගෝලයෝ අතවැසියොයි අයින් කලාම ඔය පොලීසියෙ වැඩකට ඇති එකෙක් ඉන්නවද. රාමාගේ කතාව හරියට හරි. පොලීසිය ඔය තත්වෙට ගෙනාපු එවුන්ට මල් තියලා වැඳලා පොලීසියට ගල් ගැහීමනෙ වෙන්නෙ. මහජනතාවට තියෙන තරහ පිටවෙන්නේ පීඩනය ඇතිවීමේ සැබෑ හේතුවට නෙමෙයි..

    ReplyDelete
  8. අමතක වුනා.. හිතට එන ආවේගය ලඝු කරන්න බැරිවුනත් සටහන ටිකක් විතර ලඝු කලානම් හොඳයි වගේ.

    ReplyDelete