Monday, July 20, 2009

සෝමතිලක ජයමහ, ඉරාජ් සහ ඒ වගේ අය ගැන


මෙම සටහන තබන්නේ මීට මොහොතකට පෙර ජාතික රූපවාහිනියේ විකාශය වුන සුරම්‍ය රාත්‍රී වැඩසටහනේ නැවත විකාශය නැරඹීමෙන් පසු.ඊට සහභාගි වුනේ සෝමතිලක ජයමහ කලාකරුවායි.
සෝමතිලක ජයමහ ඇත්තටම කේවල පුද්ගලයෙක්ට වඩා එක්තරා යුගයක් නිරූපනය කරන චරිතයක් වැනි යැයි ඒ වැඩසටහන නරඹද්දි සිතුනා.අතිශය සරල ලෙස හැසිරුනු ඔහුගේ නිරහංකාරී ස්වභාවය මුලු වැඩසටහන පුරාම කැපී පෙනුනා.කිසිම මවා පෑමක් හෝ "රගදැක්වීමක්" කිරීමට උත්සාහ නොදැරුනු අතර ඔහු සම්පූර්නයෙන් කතා කලේ කලාව ගැන විතරයි.
 

ජයමහගේ ගීත සම්මුචයේ තිබුනු ගීත සියල්ලේම පාහේ අති මහත් සරල බවක් ගැබ්වෙලා තිබුනා.
"පොඩි දුවගේ සිනා පෙලයි
පොඩි පුතුගේ කතා පෙලයි
ප්‍රිය බිරිදගේ සෙනෙහෙ විලයි
මගේ නිවස මගේ පැල්පතයි"යනුවෙන් ඔහු ගයද්දි ඊට යොදා තිබුනු සංගීතය ඉතාම සරල වුනත් ඉන් මැවුන මිහිර ඉතාම ලගන්නා සුලුයි.මෙවැනි ගීත වල සරල වචන වලින් උනත් අර්ථවත් ඒ වගේම හරයක් සහිත අනුභූතියක් තමයි ප්‍රතිනිර්මානය වුනේ.

කොහොම වුනත් ජයමහ එක්තරා "යුගයක්"නිරූපනය කරනවා කියල කියුවේ ජයමහගේ හැසිරීමත් ඔහුගේ ගීත තුලිනුත් අපි දකින ඉහත "ලක්ෂන" තවදුරටත් වර්තමාන ගීත ක්ෂේත්‍රය තුල විද්‍යාමාන නොවන නිසා.ඒවා "අතීතයට"අයත් ලක්ෂන මිස වර්තමානයට අදාල ලක්ෂන නෙමෙයි.
එහෙම නම් වර්තමානයේ තියෙන ලක්ෂන මොනවාද?
මේ ගැන හිතද්දි නිරායාසයෙන්ම හිසට ආවෙ ඉරාජ් වීරරත්න වැන්නෙක් සහභාගි වෙන මේවගේ සංවාද වැඩසටහන්.channel C වගේ චන්ද්‍රිකා රූපවාහිනි නාලිකාවක් බලද්දි ඉරාජ්ගෙන් සංකේතවත් වෙන කුලකයේ අය සහභාගි වෙන සංවාද වැඩසටහන් මදි නොකියන්න දැක ගන්න පුලුවන්.
ඒවායේදී බහුලව ඇසෙන්නට තියෙන දේවල් කිහිපයක් තියෙනවා.
"අපේ market එක ලංකාව නෙමෙයි.අපි international market එකයි ඉලක්ක කරන්නෙ.මේ music video එකට ලක්ෂ මෙච්චරයි.අරකට ලක්ෂ මෙච්චරයි" වගේ දේවල් මේවායේදී නිතරම ඇහෙනවා.
ඒ බො‍හෝ දෙනාගේ කතා විලාස ඇතුලෙ ඇත්තටම පෙනෙන්න තිබෙන්නෙ මවාපෑමක්,ආරෝපනය කරගත් චරිතයක් කියල සිතෙන්නෙ ජයමහ වැනි කලාකරුවෙකු කතාකරන ආකාරය හා සසදන විට.අපි අහල තිබුන දේ තමයි කලාකරුවා නිර්මාන බිහිකරන්නේ ආත්ම තෘප්තිය උදෙසා තමන් තුල කැකෑරෙන අත්දැකීම් ප්‍රතිනිර්මානය කරන්නය කියන කාරනය.හැබැයි මේ ඉරාජ් (ලා)ට අනුව ඔවුන් නිර්මාන ‍‍කරන්නේ කැකෑරෙන අනුභූතින් කෙසෙ වුනත් market එක බලාගෙන.
ඒ අයගේ අංක 1 වෙන්නෙ වෙලදපොල.
ඇත්තටම මේ අනුව වෙලා තියෙන්නෙ මොකක්ද?කලා කෘතිය තවත් එක වෙලද භාන්ඩයක් බවට පත්වීම.කලාකරුවා වෙලද භාන්ඩ නිපදවන නිෂ්පාදකයෙක් බවට පත්වීම.
මාර්කට් එකේ trend එක රැප් නම් රැප් ගීත හැදෙනවා.ඉල්ලුම තියෙන්නේ හිප් හොප් නම් හැදන්නේ ඒවා.දේශාභාමානී ගීත වලට මිලක් තියෙනවා නම් ඒවාත් අඩ නිරුවත් නැටුම් සහිත වේග රිද්ම videos නැගල යනවා නම් ඒවාත් බිහිකෙරෙනවා.
අපි දන්න තරමින් ගොවියනුත් වෙලෙන්දනුත් වගේ නිෂ්පාදකයන් වැඩකරන්නේ එහෙමයි.අල වල ඉල්ලුම වැඩි කාලෙට අල හදනවා.මාර්කට් එකේ නැගල යන්නෙ ගෝවා නම් ගෝවා හදනවා.සිගරට්වල මිල වැඩිවෙනවා නම් දුම්කොල වගා කරනවා.
කොටින්ම වර්තමානයේ කලාව කියන එක ආත්ම ප්‍රකාශන මාධ්‍යයක සිට වෙලදපොලේ හුවමාරු භාන්ඩයක වේශයට බල්ටියක් ගහල තියෙනවා.
මේ සන්දර්භය තුල කලාකරුවා යනු තවත් එක වෙලෙන්දෙක්.මේ වෙලෙන්දාගේ භූමිකාවට ජයමහගෙන් සංකේතවත් වෙන අර "ලක්ෂන" තවදුරටත් ගැලපෙන්නේ නැහැ.පොර ටෝක් නොදෙන,තමන් ලොක්කා යැයි නොහගවන "වෙලෙන්දෙක්" සාර්ථක වෙලෙන්දෙක් නෙමෙයි.ජයමහලාගේ ලක්ෂන ගීත ක්ෂේත්‍රයෙන් ක්‍රමයෙන් ඉවත් වෙලා ඉරාජ්ලාගේ පොර ටෝක් ලක්ෂන ආදේශ වෙන එක මේ අනුව සමහර උපාසකයන් කියන විදිහට හුදු සාරධර්ම පිරිහීමක්ම නෙමෙයි,ලංකාවේ ගීත ක්ෂේත්‍රයේ වෙලා තියන උග්‍ර වානිජකරනය (commercialization) ට අනුරූපීව සිද්ද වෙලා තියෙන දෙයක්.
දුක්ගන්නාරාල ගේ ඊනියා ගොවි ගීතය ආශ්‍රිතව පහුගිය දවස්වල ඇති වුන සංවාදයත් මේ වානිජකරනයේ බරපතල ගැඹුර පිලිබද නිදසුනක්.අනිත් අය සුලභ දේවල් මාකට් කරද්දි දුක්ගන්නාරාල වෙලදපොලේ විකුනන්න තරමක දුලභ භාන්ඩයක් හොයාගන්නවා.ඒ තමයි "ගැමිකම".කොලඹ සමාගමක රැකියාව කරමින් crecscat boulevard වර්ගයේ ජීවිතයක් ඇත්තටම ගතකරන දුක්ගන්නාරාල රූපවාහිනිය ඉස්සරහ මඩ සෝදා නොගත් ගොවියාගේ භූමිකාවට ඇතුල් වෙනවා."රගපානවා".තමන් ගැමියා කියල පෙන්නන්න හදනවා.ඔහුගේ පැවැත්ම ඒ රැගීමත් එක්කයි ගැට ගැහිලා තියෙන්නේ.ඉතින් ජයමහගේ නිරහංකාරීත්වය මෙවැන්නන්ගේ අහලකවත් නැති වීම අහඹුවක් නෙමෙයි.
"ඔයා ඔච්චර ගැමියා නම් ලමයින්ව ජාත්‍යන්තර පාසලකට යවන්නේ ඇයි?"කියල ස්වර්නවාහිනයේදී ලහිරු සහ මුදිත ඇහුවම දුක්ගන්නාරාලගේ ගැමිකම කොර වෙනවා.එයාගෙ ලමයි යන international එක රජයේ පාසල්වලට වඩා ගැමිකම,සිංහල බෞද්ධකම තියෙන පාසලක් යැයි බේගලයක් අත් හරින දුක්ගන්නාරාල ඒ ප්‍රශ්නයෙන් ලිස්සලා යනවා.

ගීත වලට වර්තමානයේ පද යෙදෙන ආකාරයත් මේ එක්කම තේරුම් ගන්න පුලුවන්.කලාකරුවා නමැති වෙලෙන්දා බලන්නේ මාර්කට් එකේ නැගල යන රැල්ල නිසා ඔහු අතින් ඉස්සර වෙලාම හැදෙන්නේ රැල්ලට අනුකූල beat එක.සාදා නිම කල තනුවට පද යෙදීමේ ඉරනමට මේ අනුව ගීත රචකයන් පත්වෙලා තියෙනවා.ඒත් එක්ක ලියැවෙන ගීත වල ඇත්තටම පද රචනය හුදෙක් ජෝක් වී යාම සිදුවී තිබෙනවා.
"මට හිතන්න බෑ
අදහගන්න බෑ
හිතන්නත් ඉඩ නැහැ " කියල ලියද්දි ඒවා නිකම්ම නිකම් වචන විතරයි."හන්තානේ මල්පාරේ සංසාරේ"වගේ කොහෙත්ම සම්බන්ධයක් නැති වචන ටිකක් අමුනන එක බවට ගීත රචකයාගේ කාර්යය ලඝු වෙලා තියෙනවා.ජයමහගේ ඉතාම සරල ගීත වල පවතින අර්ථයවත් මේ නූතන ගීත වල නැති වීම සිදු වෙන්නේ ඒ අනුව.
මෙම වානිජකරනය අද ඊයේ ආරම්භ වුන එකක් නොවෙයි.මේකට දශක ගනනාවක ඉතිහාසයක් තියෙනවා.නමුත් මෙය අද තරම් උග්‍ර හා රක්තපාත අඩියකට අතීතයේ පැමින තිබුනේ නැහැ.කොහොම වුනත් අන්තිමේදී වානිජකරනය විසින් මානුශික ලක්ෂන ගීත කලාවෙන් ක්‍රමයෙන් ඉවත්කොට තිබෙන අතර වැඩි වැඩියෙන් මවාපෑම් හා ව්‍යාජ රගදැක්වීම් වල ගොදුරක් බවට ක්ෂේත්‍රය පත්කොට තිබෙනවා කියන එක පැහැදිලියි.
( ඉරාජ් සංගීතවත් කල "හිතුමතේ" ගීතය ගායනා කල රොමේෂ් හා ලක්ෂාන්ව නිර්දය විදිහට ගීතය ගැයීමේ ක්‍රියාවලියෙන් ඉවත් කිරීමේ සිදුවීම කලාකරුවා කෙතරම් දුරට කෑදර,මනුස්සකමක් නොතකන,මුදලට ලොබ බදින බඩජාරි සතෙක් බවට වානිජවාදී සන්දර්භයක් තුල පත්වී තිබෙන ආකාරය පෙන්නුම් කරන තව සිදුවීමක්)

වානිජකරනය කියන්නේ අද අපි ජීවත් වෙන සමාජ ක්‍රමය (මේකට ධනවාදය කියල කියනවා) තුල තියන අනිවාර්ය ලක්ෂනයක්.පූර්ව ධනවාදි යුගවල ගෞරවයෙන් සැලකුනු දේවල් හැමදෙයක්ම හුදු වෙලදාමක් බවට පත් කරන එක ධනවාදය විසින් සිදුකලා.අතිතයේ ගමේ වෙද මහතා කියන්නෙ මුදල් මත නොනැසෙන එක්තරා අන්දමක ගෞරවනීය භූමිකාවක්.නමුත් ධනවාදය විසින් වෛද්‍ය වෘත්තිය කියන එක හුදු මුදල්මය සබදතාවයක් බවට පත්කලා.වර්තමාන වෛද්‍යවරයා යනු තමන්ට ලැබෙන පිටරට සවාරිය වෙනුවෙන් ඖෂධ සමාගම් උදෙසා රෝගීන් උගස් කරන්නෙක් බවට පත්වෙන්නේ ඒ නිසා.ගුරුවරයාගේ අතීත පෞරුෂය ගිලිහිලා ටියුෂන් එකට ලමයි ඇද්ද ගැනීම වෙනුවෙන් කුනුහරුප කියන,මෝඩ විහිලු කරන ජෝකරයන්ගේ තත්වයට එම වෘත්තිය පත්වෙලා තියෙන්නේ ඒ නිසා.
කලාවට සිදුවී තිබෙන්නේත් එය මිස අනෙකක් නෙමෙයි.කලාව තුල පැවැති මනුශ්‍ය සාරය ක්‍රමයෙන් අහිමි ව යාම ධනවාදී යථාර්තයක් තුල වැලැක්විය හැක්කක් නෙමෙයි.වැදගත් වෙන්නෙ කලාකරුවන්ට බැන අඩ ගසන එකටත් වඩා ඔවුන්ව නිර්මානුශීය හපයක් බවට රූපාන්තරනය කරන ධනවාදී ව්‍යුහයේ ස්වරූපය තේරුම් ගැනීමයි.

"මෙතෙක් ගරුත්වයට භාජනය වූ ගෞරව පූර්වක විස්මයකින් යුතුව සැලකූ හැම වෘත්තියකටම තිබුනු ප්‍රභා මන්ඩලය ධනපති පංතිය විසින් ඉවත් කෙරිනි.එය වෛද්‍යවරයා,නීතිවේදියා,පූජකයා,කවියා,විද්‍යා කටයුතු වල නියුතු වෙන්නා ආදි හැමකෙනෙක්ම වැටුප් ලබන ශ්‍රමිකයන් බවට පත්කලේය"

කොමියුනිස්ට් ප්‍රකාශනය
-කාල් මාක්ස් / ෆෙඩ්රික් එංගල්ස්-

මේ අවුරුදු 150ටත් පමන පෙර ධනවාදය නිසා එතෙක් ගෞරවයෙන් සැලකුනු දේවල් වලට කෙලවෙන ආකාරය කාල් මාක්ස් පුරෝකථනය කල අන්දමයි.
කොහොම වුනත් අවසානයේ කියන්න ඕනේ දේ නම් මේ සිදුවන සියල්ල ඉතාම දේශපාලනික බවයි.එක්තරා බ්ලොග් ලියන මහත්මයෙක් මම මාක්ස්වාදයෙන් එහා හිතන්න බැරි මතාන්ධයෙක් ලෙස හදුන්වා දී තිබුනා මට මතකයි.
ඒ මහතාට පිලිතුරු දීමේ අවශ්‍යතාවයක් මෙහිලා මට නැතත් මේ වගේම ප්‍රශ්නයකට දශක කිහිපයකට පෙර අර්නස්ටෝ චේ ගෙවාරා දුන් පිලිතුරක් මෙහිදි කල්පනාවට එනවා.
- යථාර්තය සමාජවාදී නම්,මට කල හැක්කක් නැත-
මතාන්ධ වීම වේවා නොවේවා කාරනා සිදු වී තිබෙන්නේ ඉහත ආකාරයටයි.

ඇත්ත වශයෙන්ම කලාව මීට වඩා හොද තැනකට ගෙනියන්න බැරිද?කලාව දරදඩු වෙලද ග්‍රහනයෙන් මුදවාගෙන වඩා මානුශික පරාසයකට අරන් යන්න බැරිද?දුක්ගන්නාරාලගේ ව්‍යාජත්වය වෙනුවට ජයමහගේ නිරහංකාරිත්වය කලාවට රැගෙන ඒම කල නොහැකිද?
ඒක කරන්නේ කොහොමද?
මේක ගැන මට සදා නිම කල උත්තරයක් නැහැ.
නමුත් සද් කලාවට ලැදි,මනුශ්‍යත්වයට ගරු කරන සහෘදයින් එකතු වෙලා කතාකලොත් උත්තරයක් හොයා ගන්න අපට බැරි වෙන එකකුත් නැති බව අවසාන වශයෙන් සටහන් කල යුතුයි.

20 comments:

  1. ලිපියනම් සහතික ඇත්ත. ඉරාජ්(ලා) ගේ සමහර වේගරිද්ම නොවන, සාම්ප්‍රදායික සිංහල සංගීතයට කිට්ටුවෙන් යන ගීතවලටපවා අහලකටවත් එන්න බැරිතරම් අර්ථවත් සහ මනසට කාවදින හැකියාවක් ජයමහ මහත්මයාගෙ ගීතවල තියෙනව. මම දන්නෙ නැහැ මේක මම නාගරීකරණය වුනු කෙනෙක් නොවුනනිසා දැනෙන දෙයක්ද කියල. නමුත් ඉරාජ්(ලා) මේ ලඟදි නිකුත්කල "යායට පායනා" කියන ගීතය පලමුවරට දකිනකොට සහ අහනකොට ඒකෙ යම් රසවත්බවක් ඇති බවක් දැනුනත් ඇත්තටම ඒකත් තේරුමක් නැති වචන පේලි ටිකක් විතරයි කියල දෙවැනි වර අහනකොට තේරුම්යනව. සමහරවිට රිද්මය සහ රුපයේ පෙනෙන ග්‍රාමීය දර්ශන නිසා හිත ඇදුනා වෙන්න ඇති. ඒක ඇවිල්ල මාකටිං. එහෙම නේද.

    ReplyDelete
  2. සෝමතිලක ජයමහලා ගෙ සිංදු හැමදාමත් තියේවි..

    Trend එකට ආපුවා Trend එක ඉවර උනහම හරි, අළුත් trend එකක් ආපුවහම හරි නැතිවෙලා යයි...

    ReplyDelete
  3. අපි නම් තාමත් රස විඳින්නේ ඒ වගේ අර්ථවත් ගීතවත් සින්දු විතරයි.
    ඉරාජ්ලගේ සිංදු හොඳයි සිංදු අහපු නැති අයට.
    හැබැයි ප්‍රශ්නයක් තියනවා...
    අවුරුදු ගණනාවක් සිංදු ලියපු කියපු ජයමහ තාමත් දාඩිය පෙරාගෙන බස් වල රස්තියදු වෙනකොට ඊයේ පෙරේදා ආපු ඉරාජ්ලා හොඳ සැප පහසුවට තමන්ගෙම වාහනයක යනවා... ඔය කියන ව්‍යාජත්වයට හේතුව ඔන්න ඕකයි. ලංකාවේ අලුතෙන් එන ගායකයෝ පද රචකයෝ ආත්ම තෘප්තිය වෙනුනේ ගීත ලිව්වොත්, ගැයුවොත් එයාලටත් ආර්ථික වශයෙන් පටන් ගත්තු තැනමයි ඉන්න වෙන්නේ. මෙන්න මේ දෙය වෙනස් කරන්න පුලුවන්නම් ඉදිරියේදීවත් රසවත් දෙයට ඉඩක් තියෙයි.

    ReplyDelete
  4. ඉරාජ්ලාගේ අන්තිම සිංදුව වත් අපි ආයි ආයි අහන්වද? ඒත් සෝමතිලකලාගේ පළවෙනි එකත් තාම මිනිස්සු ආයි ආයි අහන්වා

    ReplyDelete
  5. ඇත්තෙන්ම හොද ලිපියක් සහතික ඇත්ත..! හැබැයි ඉතිං මේ අළුතෙන් එන ටකුරු ටුකුරු සංගීත කෑළි තව එකක් එනකොට මිනිස්සුන්ට අමතක වෙලා යයි.. හැබැයි ඒ අමතක වෙනකොට දැනට‍ ඉතුරු වෙලා තියන මොළ ටිකත් නැත්ත‍ටම නැති කරලා යාවිද කියන එකයි සැක. ඒත් ඉතිං කොයිම විදියක කළාවකට‍ උනත් සීමා දාන්න බැරි නිසා අනේ මංදා කළාව කොහේ ගිහිං නතර වෙයිද කියලා..

    ReplyDelete
  6. සෝමතිලක මහත්මයා සමඟ මම වැඩ කර ඇති නිසා කියන්නෙ. ඔහු පුදුම මනුෂ්‍යයෙක්. හැම දේම නියමම විදියට ඕනි. බොරු වැඩ ඔහු ළඟ නෑ.
    ඉරාජ් කියන්නෙ බොරුවට පොෂ් වෙන්න හදන කෙනෙක්. ඔය ගොවි ගීතයෙ එක තැන සියලුම ගායකයො වතුරට පනින දර්ශණයෙදි ඉරාජ් පෙනී ඉන්න බෑ කියල තියනව. හේතුව විදියට කියල තියෙන්නෙ එයා මෙතුවක්කල් හදාගත්ත තත්වෙ නැති වෙනව කියල.

    ReplyDelete
  7. ගොඩාක් හොඳ ලිපියක් . . කතා කල යුතු මාතුකාවක් . . . ඇත්තෙනම ඔබ කීවා වගේ සෝමතිලක ජයමහ මහතා . . යුග පුරුශයෙක් . . මාකට් එක දිහා බලාගෙන ගීත හදන ඔඩොක්කුවට වැටෙන්න තියෙන ගනන දිහා කෙලෙ හල හල බලා ඉන්න කෑදර නරි වගේ නොවෙයි ඔහු හා ඔහු අයිති පරපුරේ සුනිල් එදිරිසිංහ . . කපුගේ . . ආදී ගායකයන් . . . ගායිකාවන් . . . නියම මානුෂීය හැඟීම් පිරි කලාකරුවන් . . . ඒකයි අදටත් අපේ සිත් තුල ඔවුන්ගේ ගීත සදා රැව් පිලිරැව් දෙන්නේ . . .

    ReplyDelete
  8. ඇත්තටම හොඳ ලිපියක්. ඒ වගේම Ravimal ගේ අදහසටත් මම එකඟයි. කලාකරුවා හොඳ නිර්මාණ කරන්නත් ජීවිතේ ගැටගහගෙන ඉන්න එපායැ. ඒ ක නිසා වෙන්නැති අද රැල්ලට යන "කලාකරුවන්" රැසක් බිහිවෙන්නෙත්, ප්‍රභූවරුන්ට පන්දම් අල්ලන "කලාකරුවන්" බිහි වෙන්නෙත්.
    මේක සංකීර්ණ කතාවක්. වලල්ලක් වගේ.
    රජය මේ කලාකරුවන්ට සහන සලසාවි කියල බලා ඉඳලත් බෑ. කලාකරුවා රැකෙන්න ඔහුගේ නිර්මාණ විකිනෙන්න ඕනේ. ඒත් අද වගේ මොට උන රසිකත්වයක් තියෙන පිරිසක් හමුවේ ප්‍රබුද්ධ නිර්මාණ විකිනෙන්නෙ නෑ. එතකොට ආදායම නැති කලාකරුවා තවත් ප්‍රබුද්ධ නිර්මාණ බිහි කරන්නෙත් නෑ. ප්‍රබුද්ධ නිර්මාණ නැති උනාම රසික පිරිස තව තවත් මොට වෙනවා.
    සංසාර චක්‍රය වගේ.

    ReplyDelete
  9. කරුණු සියල්ලටම මමත් සම්පූර්ණයෙන්ම එකගයි. මෙතනදි කලාව ඇතුළු සියළුම මානව, සමාජ සංකල්ප වානිජකරනය වීමක් ලෙසයි මෙම සියළු කරුණු හදුනාගත හැක්කේ.
    මේ කතිකාව මෙතනින් ඉදිරියට ගෙන යාමටයි මේ අදහස.
    මොකද ධනවාදයේ සහ බටහිර සංස්කෘතික ආගමනයට එරෙහිව ලංකාවෙන් මතුවුණ ප්‍රතිරෝධයේ ලක්ෂනයක් තමයි අතීත කාමය කියන එක.සෝමතිලකල‍ගේ තැම්පත් සංවේදී බවට එරෙහිව මේ සියවස වෙනකොට දුක්ගන්නාරාළ වැනි වානිජවාදී තක්කඩියන්ට එරෙහි වීමත් අවශ්‍ය වුනත්, සංස්කෘතික නිර්මාණයන්ගේ ඉදිරිගාමී බවත් අත්‍යාවශ්‍ය වෙනවා. එහෙම නැතිව අතීතයේ නිර්මාණ පමණක් හොදයි කියමින් ඉන්න එක මම හිතන්නේ නැහැ හොද දෙයක් කියලා.එතනදි කලාකරුවගේ ප්‍රවේශය හදුනාගැනීම අත්‍යාවශ්‍ය දෙයක්

    ReplyDelete
  10. කතාව ඇත්ත. කලා කාරයා සල්ලිවලට නොවෙයී වැඩ කොරන්න ඕනේ. කලා කාරයො සල්ලි හොයන්න හොද නෑ. ඒකනේ අපි හොරෙන් කොපි කරලා ඇම්පීත්‍රී අහන්නේ.

    ReplyDelete
  11. ජයමහ මහත්තයා හිත හොද මනුස්සයෙක්..ඒත් කලාවට ආපු දවසේ ඉදන් ‍වෙනස් වෙන ට්‍රෙන්ඩ් එක හදුනාගත්තානම් එහෙම නැත්නම් එන්නෙ මේ ට්‍රෙන්ඩ් එක කියලා කියාදෙන්න කලාව බඩබැද ගෙන කුහක නොවී කියන්න කවුරුහරි හිටියා නම් ආශා බොස්ලේලා,ලතාමන්ගෙස්කාර්ලා,කුමාර්සානුලා,ලයනල් රිචඩ්ලා වගේ රිදම්එක තියාගෙන මුදළුත් හම්බකරන් ලස්සන විෂුවල් එක්ක ඇල්බම් දමන්න තිබුනා..අද එහෙනම් කොට සායවල් ගහගෙන කෙල්ලො නටන්නෙ ඉරාජ්ලගේ සිංදුවලට නෙවෙයි නුතන කැලැසික් ෂොලෝ බීටි ගහන ජයමහ මහත්තයලගේ සිංදුවලට..
    ඔය වගේම තමයි රතුළුනු ගෙඩිය උඩසාක්කුවේ දමගෙන ගිහින් දෙවට සුදා ෂොට්එක දාගෙන සුලං කුරැල්ලො කියන හරැන්ලන්ත්‍ර මහත්තයටත් වෙලා තියෙන්නෙ..

    ReplyDelete
  12. @ පාලිත

    ඔවු ඔබ හරි.ජයමහ නියෝජනය කලේ අතීතය.සාධනීය ලක්ෂන පැවතියත් ඒ අතීතය නැවත ඒ විදිහටම ප්‍රාදුර්භූත කරන එක කරන්න පුලුවන් දෙයක් නෙමෙයි.ඒ සාධනීය ලක්ෂන අරගෙන වඩා හොද තැනකට යන්නෙ කොහොමද කියන එකයි සාකච්ඡාව වෙන්න ඕනෙ.
    මෙතන ප්‍රශ්නෙ සල්ලි හම්බුකරන එක නෙමෙයි.කලාකරුවෙක් කීයක් හරි හොයාගන්න එකේ වරදක් නැහැ.
    නමුත් කලාව අබිබවා වෙලදපොල අධිනිශ්චය වීමයි ප්‍රශ්නෙ.එතකොට වෙලදපොල විසින් කලාව මෙහෙය වන්න පටන් ගන්නවා.
    කවිය,වේදිකා නාට්‍ය වගේ 'ගැඹුරක්' තියෙන කලාංග වලට අද කෙලවෙලා තියෙන්නේ වෙලදපොල විසින් කලාව මෙහෙය වීමේ ඉරනමට කලාව ගොදුරු වෙලා තියෙන නිසා.

    ReplyDelete
  13. ෙහාද ලිපියක් සහ සංවාදයක්.

    අද පවතින ගීත කලාව සමග සසදන විට, කලකදී පහත්/කලාත්මක ෙනාවන ෙලස හංවඩු ගැසූ ෙජා්තිපාල, ජිප්සීස් ගීත ෙකතරම් ගුණාත්මක හා කලාත්මක දැයි සිතන්නට වටිනවා.

    පවතින අ‍ාර්ථික ක්‍රමයත් ඒක්ක නැවත අතීතයෙ‍් පැවති කලාව ෙනාවිකිනෙන යුගයට යන්න බැහැ. කලාවට අාර්ථික වටිනාකමක් තිබිය යුතුයි. නමුත් ඒය අන්තගාමී ලෙස සිදුවන විකිණීමක් පමණක් නම් ඒ කලාව මානව වර්ගයට ෙකතරම් හිතකරද සහ අවශ්‍යද යන්න ප්‍රශ්නයක්. කලාව තුලින් බලාෙපාෙරාත්තු වන්ෙන් අැස් කන් පිනවීම පමණක් නම් ෙම් ක්‍රමය ප්‍රශ්නයක් ෙනාෙවයි.

    ReplyDelete
  14. Rationalization = defining effectiveness and efficiency by measurements defined by the new world.

    මට හරියටම වචන මතක නෑ. හැබැයි ඔය තිෙයන්ෙන් මම ඉෙගන ගත්ත විදිය. ෙම් හැම ෙවනස් වීමකටම මුල ඔය වචන ටිෙක් තිෙයනවා.

    ෙසා්මතිලක ජයමහ මහත්මයාෙග ගීත ඒදා අර්ථ දක්වලා තිබුන හැටියට effective සහ efficient. නමුත් දැන් කාෙල් මිණුම් දඩු වලට ඒ්වා ෙගා්චර නෑ.

    ඒෙහනම් අැත්තටම ප්‍රශ්නය තිෙයන්ෙන් අපිම අර්ථ දක්වලා තිෙයන මිණුම් දඩු වල.

    ReplyDelete
  15. @රාමා,
    ඇත්ත,මගේ අදහස තුල කලාකරුවන් මුදල් ඉපැයීම පිළිබද විවේචනයක් සැගවී තිබේනවානම් එය අත්වැරැද්දක්.ඇත්තෙන්ම මම අදහස් කළේ වෙළදපොළ ගැන හිතලා නිර්මාණ කරන්න උත්සාහ කරනවාද යන ගැටළුවයි. මෙතනදි මම හිතන්නේ කලා නිර්මාණයක් වෙළදපොළක් සකසා ගැනීමත්, වෙළදපොළට අනුව කලානිර්මාණ කිරීම(කෙළින්ම වෙළද භාන්ඩයක් ලෙස) අතර තමයි ගැටළුව තියෙන්නේ.
    ඉහත අදහස් අතර තියෙනවා කලාකරුවන් සල්ලි මත්තේ යැපීම හා දේශපාලකයින් පසුපස යෑම කියන එක. ඊට මගේ අදහස නව වෙළදපොළ අක්‍රමණයට කලාකරුවන්ට මුහුණදීමට ආකල්පමය හෝ බුද්ධිමය වශයෙන් හැකියාවක් නොවීමයි. බො‍හෝ සංවේදී නිර්මාණ කළ එඩ්වඩ් ජයකොඩි, ශ්‍රියන්ත මෙන්ඩිස් වැන්නන් කොන්දේසි විරහිතව දේශපාළුවන්ට කඩේ යන්නේ පුද්ගලික ප්‍රාග්ධනය ගොඩනගා ගැනීමට මිස වෙනකිසිවෙක් නිසා නොවේ.
    මෙතනදි මම සදහන් කළ යුතුයි පසුගිය දිනෙක සිරස කෙළින් කතාවට ආපු අමරනාත් රණතුංග කියන ගිටාර් වාදකයා ගැන.ඔහු ගැන වෙනමම කතා කළ යුතු වුවත් වෙළද‍පොළ තර්කනය හා පාරිභෝජනවාදී සමාජයක කලාකරුවකුගේ පරමාදර්ශය මම ඔහු තුලින් දැක්කා.
    මෙතනදි ප්‍රභූ කලාව,කුහක ගුරුකුල වැනි කතිකාවනුත් ගොඩනගන්නට පුළුවන්.

    ReplyDelete
  16. ඉතාම වටිනා ලිපියක් පළ කිරීම වෙනුවෙන් රාමචන්ද්‍රට කෘතඥ වෙමි. ලිපියේ බොහො කරුණු සමග එකඟ වුවත් ධනවාදය මගින් කලාකරුවාගේ තත්ත්වය ගැන මාගේ විවෙචනයන් ඇත. ධනවාදය මගින් ඔබ කියන සිදුවීම් ඇතිවන බව සැබැවි. නමුත් කොමියුනිස්ට් සමාජයක මර්දනය තුලින් මෙයටත් වඩා පහත් තත්වයකට කලා කරුවා ඇද දමනු ලබයි. එහිදි සිදු වනුයේ රජයේ නිර්මාණ මර්දනයේ යකඩ තිරය පසුපස සමාජවාදය විවේචනය කරණ නිර්මාණ සැඟවි යාමයි. ධනවාදයත් සමාජවාදයත් එකම කාසියේ දෙපත්ත බව මා පවසන්නෙ එබැවිනි.

    ReplyDelete
  17. අමූලික සත්‍ය සහිත ලිපියක්.. Trend සංකල්පය ජලයෙහි ඇඳි ඉරක් සේ වියැකුණත්.., ජයමහ මහතා ගේ සංගීතය සඳුන් අරටු මෙන් සදාකල් සුවඳ දේ.
    Old is Gold Forever..!

    ReplyDelete
  18. මම දකින විදිහට වානිජකරණය වීම පරණ කලාකරුවන්ටත් එකවගේම අදාලයි මම ලඟදි පත්තරේ දැක්ක විචාරයක්. ඒකට අනුව ලංකාවෙ ඉන්න ප්‍රවීන පද රචකයින්ටත් මේ ඉරණමම අත්වෙලා තියෙනවා මම එතන තිබුනම උදාහරනයම පෙන්නුවොත් සූනිල් ආරියරත්න වික්ටර් රත්නායකයන්ට දුන්න මම කැමතිම ගීතයක "හිත මිතුරු සුලඟ ලඟ එන වැහි වලාවට කියන් අද නොපැමින අන් දිනයක වැහි රැගෙන එන ලෙසින් " මේකම ආරියරත්නයන් අලුතෙන් කියන්නෙ "මහරගම වැහි නොවැටී වෙන කොහාට හරි වැටෙන්න" කියලා. මට නම් හිතෙන්නෙ වානිජකර්ණය පොදුවේ ප්‍රවීනයින්ටත් බලපාලා තියෙනවා. ඒකෙන් ගැලවෙලා ඉන්නේ සෝමතිලක ජයමහ වගේ අතලොස්සක් දෙනා විතරයි..

    ReplyDelete
  19. මට විචාරකයාගේ නම නම් හරියට මතක නෑ.. අනික් දෙවෙනි ගීතයත් මම එක පාරක් විතරක් අහපු එකක්. ගායකයාගේ නමත් මතකයේ නෑ. සමාව..

    ReplyDelete
  20. ඇයි අනේ එයාගෙ අලුත් සින්දු නැත්තෙ..?

    ReplyDelete