Tuesday, June 2, 2009

ජවිපෙ හා කොටි සංවිධානය - එකක්ද?


දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානය සහ ජනතා විමුක්ති පෙරමුන නැමැති දේශපාලන ව්‍යාපාර දෙක නිදහසින් පසු ලංකාවේ දේශපාලන හැඩගැස්මට බරපතල ලෙස බලපාන ලද ව්‍යාපාර දෙකකි යන්න පැහැදිලි කරුනක්.මේ ව්‍යාපාර දෙක සමජාතීය එහෙම නැතිනම් එකම ගොඩකට දැමිය හැකිය යන අදහස සමාජයේ සැලකිය යුතු ලෙස ජනප්‍රිය ව පවතින බව පෙනෙනවා.විශේෂයෙන් මෙම සංවිධාන දෙක විසින් මෙහෙයවූ සන්නද්ධ නැගිටීම් දෙක විනිශ්චය කරන විට මෙම විනිශ්චය එලියට එනු බොහෝවිට දැකිය හැකි දෙයක්.

71/88 නැගිටීම්=ඊලාම් අරගලය කියන සමීකරනය මානයන් දෙකකින් ඉදිරිපත් වෙනවා දකින්න පුලුවන්කම තියනවා.

-අ) සමාජයේ එදිනෙදා කතාබහ ඇතුලෙ සරල මානයකින් මෙම අරගල දෙක සමජාතීය ලෙස අර්ථකතනය වෙනවා.
*ජවිපෙත් යුද්ධ කලා කොටිත් යුද්ධ කලා
*ජවිපෙ දේපල විනාස කලා කොටිත් දේපල විනාස කලා
*ජවිපෙ සිංහල ත්‍රස්තවාදීන් කොටි දෙමල ත්‍රස්තවාදීන්
සී.ඒ.චන්ද්‍රප්‍රේම නමැත්තා දිවයින පුවත්පතට ලියන ලිපියකින් රෝහන විජේවීර/ප්‍රභාකරන් සිංහල/දෙමල ත්‍රස්තවාදයට නිදසුන් ලෙස අනුපිලිවෙලින් දක්වා තිබුනා.

-ආ) එක්තරා අන්දමක "ප්‍රබුද්ධවාදී" මානයකින් මෙම ව්‍යාපාර දෙක සමජාතියයි කියල විස්තර වෙනවා තවත් අතකින් දකින්න පුලුවන්.
*සිංහල හා දෙමල ජාතිකවාදී ව්‍යාපාර දෙකක් ලෙස මෙම සංවිධාන දෙක හැදින්වීම
*වමේ පක්ෂවල පාවාදීම් නිසා ඇතිවූ සුලු ධනේශ්වර නැගි‍ටීම් දෙකක් ලෙස උක්ත කැරලි තේරුම් කිරීම(මෙය ට්‍රොට්ස්කිවාදී අදහස් දරන කුඩා කවයන් විසින් බෙදාගනු ලබන පොදු අදහසකි)
*වරප්‍රසාද නොලත්/කුලහීන තරුනයන්ගේ අසහනය තුලින් මතුවූ ව්‍යාපාර දෙකක් නිසා මේ දෙක එක ගොඩකට වර්ග කිරීම වැනි විග්‍රහයන් ඒ තුල දකින්නට පුලුවන්.
මෙම ලිපියෙන් කෙටි විමසුමකට ලක්කෙරෙන්නේ මෙසේ මෙම සන්නද්ධ නැගිටීම් දෙක එක ලේබලයක් යටතේ වර්ගීකරනය කිරීම කෙතරම් සාධාරනද යන අදහසයි.

යම් ප්‍රපංචයන් දෙකක් සංසන්දනය කරල ඒ දෙකෙහි සමාන අසමානකම් ඇසුරෙන් නිගමන වලට ඒම සාදෘශ්‍ය අනුමානය කියල විද්‍යාත්මක විශ්ලේෂනයේදී හැදින්වෙනවා.දැන් සිකුරු ග්‍රහයා සහ පෘථිවිය ගත්තම පෘථිවියෙහි ජීවින් සිටින අතර සිකුරුවල ජීවින් ඉන්නවාද යන්න නිගමනය කිරීමට යනවිට මේ දෙක අතර සමාන/අසමාන ලක්ෂන නිරීක්ෂනය කරන්න පුලුවන්.
ප්‍රමානය අතින් ගත්විට සමාන ලක්ෂන විශාල ප්‍රමානයක් දක්වන්න පුලුවන්.ග්‍රහයන්ගේ විශාලත්වය,ගුරුත්වාකර්ෂනය,අවුරුද්දට ඇති දින ගනන,වායුගෝලයේ ජලවාෂ්ප ඇති බව,ස්කන්ධය වගේ සාධක ගත්තම ග්‍රහයන් දෙපලම එම සාධක අතින් එතරම් වෙනසක් දක්වන්නේ නැහැ.
නමුත් මෙම සමාන ලක්ෂන ඇත්ත වශයෙන්ම "මතුපිට"ස්ථරයේ පවතින ලක්ෂන.තරමක් ගැඹුරු අඩියකට යද්දි ජීවින් සිටී යන්නට විරුද්ධ ගුනය අතින් ප්‍රබල සාධක පවතිනු දකින්නට හැකියි.කෙතරම් සමාන කම් තිබුනත් සිකුරු මත වායුවක් ලෙස වැඩිපුර තියෙන්නෙ ජීවයට ඉඩ නොදෙන අංගාරික අම්ල.එහි උෂ්නත්වය ජීවයට ඔරොත්තු නොදෙන තරම් අධිකයි.අනිත් අතට දැඩි පීඩනයක් එහි මතුපිට පවතිනවා.ජලවාෂ්ප තියෙනවා යැයි කීවත් එම ප්‍රමානය නොගිනිය හැකි තරම් සුලු ප්‍රමානයක්.
දැන් මතුපිට ස්ථරයේ සමාන ලක්ෂන කෙතරම් පැවතියත් ඇතුලත ව්‍යුහයේ තියන තීරනාත්මක අසමාන ලක්ෂන හින්දා පෘථිවිය හා සිකුරු ජිවය ඇතිවීම කියන කාරනයේදී සමජාතිය ප්‍රපංචයන් ලෙස සැලකීමට විදිහක් නැහැ.
අපේ ප්‍රස්තුත මාතෘකාවට ප්‍රවේශ වුවහොත් ජවිපෙ හා කොටි සංවිධානයේ ‍දේශපාලන නැගිටීම් අතර පෙර දැක්වූ ලෙසම සමාන ලක්ෂන ගනනක් පෙන්වාදෙන්න පුලුවන්.දෙකම සන්නද්ධ ලෙස රාජ්‍යයට එරෙහිව කෙරුනු නැගි‍ටීම්.දෙකම පාර්ලිමේන්තුවාදය බැහැර කලා.සංයුතිය අතින් ගත්තම දෙකේම කොටස්කරුවන් වුනේ අවවරප්‍රසාදිත තරුන කොටස්.නැගිටීම් දෙකම ආන්ඩුව අතින් බරපතල ලෙස පරාජය කෙරුනා.
මෙවැනි සමාන ලක්ෂන පැවතුනත් කාරනා කිහිපයක් මත මෙම ව්‍යාපාරයන් දෙක තීරනාත්මක ලෙස එකක් අනෙකෙන් වෙන් කරනු ලබනවා.ව්‍යාපාරයන් අභ්‍යන්තරයෙහි පවතින මෙම "අසමානතා" ගැට්ටේ පවතින සමානතා අබිබවන ප්‍රබලත්වයක් සහිතයි.
එම අසමානතාවයන් සටහන් කරගැනීමට උත්සාහ කරමු.

1.ජවිපෙ යනු ප්‍රධාන වශයෙන් පංති ස්වරූපයක් සහිත ව්‍යාපාරයක්.71/88 අරගල දෙකෙහිම න්‍යෂ්ඨිය පාංතික හැඩගැස්මක් එක්කයි සකස් වුනේ.එනම් ජවිපෙ දේශපාලනය පංති දේශපාලනයක්.(class politics)
මීට වෙනස් ලෙස කොටි සංවිධානයේ දේශපාලනය වාර්ගික දේශපාලනයක් (ethnic politics) ලෙසයි එලියට එන්නෙ.
සමාජයේ පීඩිත පංතීන් අතරින් පැනනැගුනු ජවිපෙ එම පංති හැඩගැසීම ගැන සවිනඥානිකවූ දේශපාලනයකයි යෙදුනේ.මෙය ඉතාම තීරනාත්මක කාරනයක්.සංවිධාන දෙකක් එකම සමාජ පසුබිමකින් පැන නැගුනු පමනින් ඒ දෙක එක ගොඩකට දැමීම නිවැරදි නැහැ.කොටි සංවිධානයෙහි සංයුතිය හැදෙන්නෙත් පීඩිත සමාජ ස්ථරයන්ගෙන් වුනත් එය වාර්ගික පදනමකින් දේශපාලනය කල අතර "පංතිය"යන්න ඔවුන්ගේ චින්තන පරාසයට අදාල නොවූවක් වුනා.මේ නිසා අන්තිමේදී කොටි සංවිධානය තමිල්නාඩුවේ ධනපති දේශපාලනකයන් හා ගෝලීය ධනවාදයේ බලකනු මත විශ්වාසය තියන තැනකට තල්ලු වීම සිදුවුනා.එහි කූටප්‍රාප්තිය වුනේ 2002 අප්‍රේල් පැවති පුවත්පත් සාකච්ඡාවකදී ඇන්ටන් බාලසිංහම් කොටි සංවිධානයේ ආර්ථික ප්‍රතිපත්තිය "විවෘත වෙලදපොල ආර්ථිකය"යැයි පැවසීම.පීඩිත ස්ථරයන් වලින් ආ පිරිස් වලින් සැදුම් ලද්දත් අවසානයේ එම ස්ථරයන් අනුකම්පා විරහිතව සූරාකනු ලබන ගෝලීය ධනවාදය සිය දර්ශනය ලෙස පිලිගන්නා තැනට එම සංවිධානය තල්ලු වී ගියේ හුදු වාර්ගික තැනකට එහි දේශපාලනය ලඝු වුන නිසා.ජවිපෙ කැරලිවලදී රාජ්‍ය බලය උදුරා ගැනීම සදහා තුවක්කු පත්තු වනවිට කොටි සංවිධානයේ තුවක්කු තමන් මෙන්ම දුක්විදින සිංහල/මුස්ලිම් නිර්ධනීන් වෙත පත්තු වුනේ එහි පදනම් දර්ශනය වාර්ගිකත්වය පමනක් වුන නිසා.

2.මෙම අරගල දෙකෙහි අනෙත් තීරනාත්මක වෙනස වනුයේ ඒවා ගමන් කල දිශානතියයි.එනම් නැගිටීම් දෙකෙහි අරමුනුයි.
ලංකාව කියන රාජ්‍යයේ රාජ්‍ය බලය 1948න් පසු දිගටම එක්තරා වරප්‍රසාද ලත් පංතියක් අතයි රැදී තිබුනෙ.මෙම බලය උදුරා ගැනීම ජවිපෙ දේශපාලනයෙහි අරමුන වුනා.මතුපිටින් ජවිපෙ කැරලි තේරුම් ගන්න උත්සාහ කරන කෙනෙක් විශේෂයෙන් එහි තිබුනු දේශප්‍රේමී සටන්පාඨ නිසා ඒවායේ අරමුන වෙන එකක් යැයි නිගමනය කරන්නට ඉඩ තිබෙනවා.ජවිපෙ නොවන,අගතිගාමී නොවන වාමාංශික අදහස් දරන කොටස් පවා(ජවිපෙ සම්බන්ධ අඝාත වෛරයකින් පෙලෙන "වමේ"කොටස් නොවෙයි) මේ කාරනය සම්බන්ධව ප්‍රශ්න කරනු දැකිය හැකියි.
නමුත් ඇත්ත කරුන නම් එම දේශප්‍රේමී සටන්පාඨ එලියට ආවේ අරගලයෙහි ආවරනය ලෙසින් බවයි.විශේෂයෙන් නැගිටීම් වලට මධ්‍යම පාංතික කොටස් වල සහය දිනාගැනීමේ අරමුනින් එම සටන්පාඨ මතු කෙරුනු අතර ජවිපෙ දේශපාලනයෙහි "හරය"ලෙස නැගිටීම් දෙකෙහිම පැවතියේ බලයේ ඉන්නා පංතිය රාජ්‍ය බලයෙන් අස්වාමික කිරීම බව විශේෂයෙන් එහි ලේඛන හා අභ්‍යන්තර ප්‍රකාශන අධ්‍යනය කරද්දි පැහැදිලි වෙනවා.

"ජනතා විමුක්ති පෙරමුන බිහිවූයේ මේ රටේ නිර්ධන පංති රාජ්‍ය බලය ගොඩනැගීම උදෙසා නිර්ධන පංතිය පංතියක් වශයෙන් සංවිධානය කිරිමේ ක්‍රියා මෙහෙවර සපුරාලනු වස් අත්‍යව්‍යශ්‍ය නිර්ධන පංති විප්ලවකාරි පක්ෂයෙහි පෙරගමන්කරු හැටියටය.එය නිර්ධන පංති විප්ලවකාරී පක්ෂයේ කලල ස්වරූපයයි.කලල අවධියයි.ඔවු!කොමසාරිස් මහත්වරුනි,ධනේශ්වර පංතියේ රාජ්‍ය බලය අහෝසි කරලනු සදහාත් නිර්ධන පංතියේ රාජ්‍ය බලය ගොඩනගනු සදහාත් අප පෙනී සිටින බව ඉදුරාම පැවැසිය යුතුය"
( රෝහන විජේවීර 71 අප්‍රේල් සිදුවීම පිලිබද නඩු විභාගයේදී කරන ලද ප්‍රකාශය - "අප මරා දැමුවද අප නගන හඩ සදා නොමියෙනු ඇත ,32පිට)

කෙසේ නමුත් කොටි සංවිධානය ඉලක්ක ගත වූයේ ලංකාවේ දෙමල ජනයාට වෙනම රාජ්‍යයක් දිනාගැනීමේ දිශාව වෙතයි.වාස්තවික ලෙස කියනවා නම් තිබෙන රාජ්‍ය බෙදීමෙන් ඉක්බිති පිරිසිදු දෙමල රාජ්‍යයක් උතුරු නැගෙනහිර භූමියෙහි ස්ථාපනය කිරීම ඔවුන්ගේ අරමුන වුනා.මෙම නැගිසිටීමට අතිශය සාධාරන හේතු පැවතියා.එසේ නමුත් කොටි සංවිධානයේ තනි දෙමල රාජ්‍යයක් පිලිබද සටන්පාඨය ස්ථාපනය වෙන්නෙ ඉදිරිගාමී තැනකට වඩා පසුගාමී තැනක බවයි අපේ වැටහීම.සිංහල හා දෙමල රාජධානි විදිහට ලංකාව බෙදිල තිබුනෙ වැඩවසම් යුගයේ.බ්‍රිතාන්‍ය පාලනය සමග ලංකාව නව අවදියකට(ධනවාදය)පිවිසීම සමග ලංකාව බහුවර්ග ජාතික රාජ්‍යයක් බවට පරිනාමය වෙලා ජනගහනය මිශ්‍රවීම සිදුවුනා.නැවත සංකිලිගේ යුගයේ තිබුන "දෙමල රාජ්‍යය"ස්ථාපනය කරනු!යැයි ඉල්ලීම මේ අනුව ඉතිහාසයේ පසුපසට යාමට උත්සාහ කිරීමක්.මේ පරිනාම විරෝධී ඉල්ලීම ඉටුකරගනුවස් අතිශය දරුනු ගනයේ වාර්ගික ශුද්ධකරනයන් වෙත යාමට පවා කොටි සංවිධානයට පසුව සිදුවුනා.

3.තෙවන වෙනස මෙම සටන් ක්‍රියාමාර්ග ලෝක දේශපාලනය ඇතුලෙ ස්ථානගත වුන ආකාරය.මෙය ඉහත 1 හා 2 සමග ගැටගැහෙනවා.ලෝකයේ දේශපාලනය කියන්නෙ පසුගිය දශක කිහිපය තුලම අධිරාජ්‍යවාදී රටවල්වල බලාධිකාරිය මත සකස් වුන එකක්.රාජ්‍ය බලය උදුරා ගන්න පංති පදනමින් සිදුවුන ජවිපෙ නැගිටීම කිසිදු තත්වයක් යටතේ හෝ මෙම අධිපතිවාදී දේශපාලනයේ අනුකම්පාවට ලක්නොවූ අතර ඊට සපුරා වෙනස් විදිහට රාජ්‍යය ජාතිකත්ව පදනමින් බෙදීමට කොටි සංවිධානය පැත්තෙන් කෙරුන අරගලය අධිපතිවාදී දේශපාලනයෙහි සානුකම්පාව/අනුග්‍රහය අඩු වැඩි වශයෙන් දිනාගත්තා.
ලංකාවේ රජය හා ජවිපෙ අතර තිබුන යුද්ධයේදී මානව හිමිකම් පිලිබද සදහනකුදු මතු නොකරන අධිපතිවාදී රටවල් කොටි සංවිධානය හා රජය අතර යුද්ධයේදී මානව හිමිකම් වැනි සටන් පාඨ බරපතල ලෙස ඉදිරියට ගත්තා.ඇත්තෙන්ම එය සිදුවුනේ ඇතැම් සිංහල ජාතිකවාදීන් හිතන විදිහට කොටි ගැන ආදරයකට නෙමෙයි.ලංකාව වැනි රටවල් කලමනාකරනය කරන්න අභ්‍යන්තර ගැටුම් පැවතීම එම අධිපතිවාදී රටවල්වලට වාසිදායක වන නිසා.ඇනිටා ප්‍රතාප් වැනි "ලිබරල්"මතවාදයන්ගෙන් ශික්ෂනය වුන මාධ්‍යවේදින් පවා කොටි සංවිධානය දෙස සානුකම්පිතව බලන අයුරුත් ජවිපෙ නැගිටීම වැදගැම්මකට නැති,විනාශ වෙන තරමට හොද එකක් ලෙස නිරීක්ෂනය කරන අයුරුත් ඇයේ island of blood වැන්නක් කියවන විට පැහැදිලි වෙනවා.මෙම "ලිබරල්වාදීන්ට" ethnic politics දරාගත හැකි/සහය දිය හැකි දෙයක් වුනාට class politics කෙසේවත් දිරවාගත හැකි දෙයක් වුනේ නැහැ.

4.සිවුවැනි කරුන ලෙස මෙම අරගලයන්ගේ දැක්ම සකස් වුන මූලාශ්‍රයන් අතර තිබෙන වෙනස සලකා බැලිය යුතුයි.
ජවිපෙ නැගිටීම් දෙක වාමවාදී හැඩයක් සහිත නැගිටීම් දෙකක්.මාක්ස්වාදී සමාජ න්‍යායෙහි ආභාසය එම සංවිධානය වෙත මුල සිටම පැවතුනා.ජවිපෙ මෑතකාලීන ඇතැම් උපක්‍රම-විශේෂයෙන් ජාතික ප්‍රශ්නය අරභයා ඔවුන් කල තෝරාගැනීම්-මාක්ස්වාදි කතිකාවත තුල සාධාරනීකරනය කල හැකිද?කියන ප්‍රශ්නයට යම් වලංගුතාවයක් තිබෙනවා.එසේ වුනත් ජවිපෙ සන්නද්ධ දේශපාලනය මාක්ස්වාදී චින්තනයෙන් පෝෂනය වූ හා ආභාසය ලද එකකි යන්න පැහැදිලියි.
කොටි සංවිධානයේ සටන හා 71/88 අතර තියුනු වෙනසක් ඇති කරන සාධකයකි එවැනි සමාජ න්‍යායක ආභාසය/නායකත්වය එම සංවිධානයට නොවීම.දකුනේ ආන්ඩු විසින් ගන්නා ලද මහ ජාතිවාදී පියවර වලට ප්‍රතිචාර ලෙස පැනනැගුනු ආවේගාත්මක වාර්ගික ප්‍රතික්‍රියාවක් මිස දියුනු දේශපාලන න්‍යායක ආභාසය නොලැබීම මගින් කොටි සංවිධානය ඉතා පහසුවෙන්ම සුලු ජාතික ජාතිවාදයේ ගොහොරුවේ ගිල්වා දමනු ලැබුනා.
(ඊලාම් සටන් සංවිධාන අතරින් උමා මහේෂ්වරන්ගේ කන්ඩායමට සාපේක්ෂව පරිනත වාමවාදී නැඹුරුවක් පැවති බව පෙනෙන්නට තිබෙනවා.සිංහල ජනතාව වෙත තමන්ගේ සටනට සහයෝගය දෙන ලෙස ඉල්ලමින් ගුවන් විදුලි සේවයක් පවා ඔවුන් 80 දශකයේ මැද භාගයේදී පවත්වාගෙන ගියා.කෙසේ නමුත් එම සංවිධානය කොටි සංවිධානය අතින් සමූලඝාතනය කෙරුනා)

ජවිපෙ හා කොටි සංවිධානය යන දෙකේම කැරලි ගැසීම,රාජ්‍යය සමග යුද වැදීම වගේ මතුපිට සමාන ලක්ෂන පැවතියත් ව්‍යුහාත්මකව තිබෙන මෙම ගැඹුරු වෙනස්කම් විසින් මෙම සන්නද්ධ අරගල දෙක එක ගොඩකට දැමීම වලකනු ලබනවා.ගැට්ටේ තිබෙන සමානකම් වලට වඩා මධ්‍යයේ තිබෙන වෙනස්කම් වඩා ප්‍රබලයි.
කෙසේ නමුත් මෙම සටන් දෙකෙහිම පැවති සිත් ගන්නා සුලු සමානකමක් ගැනත් අවසාන වශයෙන් අවධානය යොමු කල යුතුයි.ඒ එම සංවිධාන වල ක්‍රියාධරයන්ගේ තිබුනු අසමාන කැපකිරීමේ හැකියාව සහ විනයගරුක බව.රාජ්‍යයට එරෙහි වුන "පදනම"එකිනෙකට සපුරා වෙනස් වුනත් රාජ්‍යය සමග ගැටිමේදී මෙම අරගල දෙකේම සටන්කාමී තරුනයන් සතුව තිබු ධෛර්ය සම්පන්න බව විස්මය ජනක එකක්.
ඒ විස්මයජනක ධෛර්ය එක්තරා අන්දමක සුබ ලකුනක්.සිංහලයාගේ හා දෙමලාගේ නිදහස එකිනෙකා මරගැනීම තුල නොවෙයි,සිය සැබෑ සතුරා වන පවතින සමාජ ක්‍රමයට අභියෝග කිරිමේ මාවත තුලින් වැටී තිබෙන බවට වන නිවැරදි දැක්ම එක්ක සමග එම ධෛර්ය හා එඩිතරබව බද්ධ වුවහොත්,මේ කුඩා කොදෙව්වේ සිදුකල හැකි ශ්‍රේෂ්ඨ වෙනස්කම් අපමනයි.

11 comments:

  1. මාධ්‍යක් තුලින් වත් මෙතරම් හොද ප්‍රකාශනයක් මම දැකලා නැහැ. සැබැවින්ම රාමචන්ද්‍ර ඉතා විශිෂ්ධ නිරීක්ෂනයක් කරලා තියෙනවා. මෙතනදි මෙම සංවිධාන වල අනාගතය පිළිබද පූර්ව අදහසක් ප්‍රකාශ කළ හැකියි. ඒ ඔබ ඉහත දැක්වූ කරුණු වලට අදාළවයි.
    *ජවිපෙ මතවාදය මූලික කරගත් ව්‍යාපාකරයක් වන විට එල්ටීටීය පූද්ගලයෙකු මුලික කරගත් ව්‍යාපාරයක්. එතැනදි මේ සංවිධාන වල ඉදිරි පැවැත්මට විශාල බලපෑමක් කර ඇති බවයි මගේ හැගීම.

    ReplyDelete
  2. වැරදි නිරීක්ෂණ මත පදනම් වූ ඉතාම වැරදි නිගමන. ජ වි පෙ ට පන්ති දේශපාලනයක් කියා දෙයක් තිබුනේ නෑ කවදාවත්. මේක ජවිපෙ ගැන නොදැන කළ මෝඩ කතාවක්. ජ වි පෙ හොඳයි, කොටින් වගේ නෙවෙයි හරිම උපාසක මහත්තුරු කියා සුදු හුණු ගානවාට වඩා උන්ගේ කොටින්ටත් අන්ත අමානුෂික, තුච්ඡ ම්ලේච්ඡ ඝාතන ගැන කතා කරන්න, කොන්දක් තියෙනවා නම්.

    ReplyDelete
  3. @Anonymous

    //ජවිපෙ හොදයි කොටින් වගේ නෙවෙයි හරිම උපාසක මහත්තුරු//
    එහෙම අදහසක් මේ ලිපියේ කොහේවත් ගම්‍ය වෙන්නේ නැහැ.
    දේශපාලනය යනු ආගමික කර්තව්‍යයක් නොවන හින්ද ඒකෙ "උපාසක"මහත්වරු සිටිය යුතු යැයි කිසිසේත් අපේක්ෂා කරන්නෙත් නැහැ.ජවිපෙ ඝාතන කලා කොටි සංවිධානය ඝාතන කලා ඒ වගේම වැදගත් දෙය ලංකාවේ රජය ඝාතන කලා.මොකද 71,88, ඊලාම් යුද්ධය කියන්නෙ විනෝද ක්‍රීඩා නෙමෙයිනෙ.ඒවා සිවිල් යුද්ධ.හැබැයි සන්නද්ධ දේශපාලනය කල පමනින් මේ 3ම එකගොඩකට දාන්න පුලුවන්ද?එහෙම බැහැ කියන එකයි කරුනු සහිතව මතු කරන්න උත්සාහ කලේ.සන්නද්ධ දේශපාලනය කියන්නෙ මතුපිට සමානකමක්.
    නිරීක්ෂන වැරදි නම් කරුනු එක්ක පෙන්වලා දෙන්න එතකොට මී‍ට වඩා ඵලදායි සංවාදයකට යන්න පුලුවන්.

    ReplyDelete
  4. මුලින්ම කිව යුත්තේ 'සන්නද්ධ දේශපාලනය' කියා දෙයක් නැති බවයි. විරුද්ධවාදියකු ඝාතනයේ කිසිම දේශපාලනයක් නෑ. ඒක වානරයන් අතර පවා පවත්නා ප්‍රාථමික ක්‍රියාවලියක්. රැළක බලය ලබා ගන්න ගොරිල්ලන් වැනි වානරයින් තම විරුද්ධවාදීන්, සමහර විට උන්ගේ පවුල් සමඟ මරා දමනවා. එතැන ඇති දේශපාලනයක් නෑ.

    ඒ වගේම විජේවීර මිනී මැරුවත්, ප්‍රභාකරන් මිනී මැරුවත්, චේගුවේරා මිනී මැරුවත්, ලෙනින් මිනී මැරුවත්, සරත් ෆොන්සේකා මිනී මැරුවත්, කිසිම දේශපාලනයක් නොකරන පාතාල ලෝකයේ චන්ඩියකු මිනී මැරුවත් ඒ සියල්ල සමානයි. මේ සරල සත්‍යය නොදකින්නේ තමන් දේශපාලනය නිසා මිනී මැරීම හරිය අනෙකුන් දේශපාලනය නිසා මිනී මැරීම වැරදිය සිතා සිටින පක්ෂග්‍රාහීන් පමණයි.

    තමන්ගේ මිනී මැරීම් සාධාරණීකරණය පිණිස නොයෙකුත් දෙනා නොයෙකුත් හේතු ඉදිරිපත් කරනවා. ලෙනින් මිනී මැරුවේ විප්ලවය උදෙසාය, ප්‍රභාකරන් මිනී මැරුවේ දෙමළ ජනතාවගේ විමුක්තිය උදෙසාය, තලිබාන් මිනී මරන්නේ ශුද්ධ ජිහාඩය උදෙසාය කියා. මේ කතා අප එලෙසම භාර යුතු නෑ.

    ප්‍රභාකරන් තමන්ගේ වාර්ගිකයන් මැරුවා සේම විජේවීරද ඇති පදම් තමන්ගේ පාංතිකයන් මර දමා තිබෙනවා. මේ සියල්ල ප්‍රාථමික සමාජයේ බලය ලබා ගැනීම සඳහා කළ සරල 'ගෝත්‍රික' සටන්. (මෙහි 'ගෝත්‍රික' කීවේ මාක්ස්වාදීන් භාවිතා කරන පටු තේරුමින් නොවේ.) දේශපාලනය කියන්නේ ඊට වඩා ඉහළ තලයක සිදුවන දෙයක්. ඝාතන සංස්කෘතිය හා දේශපාලන සංස්කෘතිය කියන්නේ එකක් නොව දෙකක්.

    ReplyDelete
  5. 1.දේශපාලනය කියන්නෙ සමාජයක බලය සදහා වන සටන.ඒක විටෙක හිංසාකාරී නොවන විදිහටත් තව විටක හිංසාකාරී විදිහටත් ක්‍රියාත්මක වෙනවා.කැමති වුනත් අකමැති වුනත් ඒක තමයි ඇත්ත.හිංසනික ලෙස පැන නගින දේශපාලනය ඇතුලෙ ආයුද වූ කලී අනිවාර්ය අංගයක් වන නිසා සන්නද්ධ දේශපාලනය කියල එකක් තියනවා.ඒක ගෝත්‍රික සමාජ වලට වගේම අතිශය නූතන සමාජ වලටත් අදාලයි.
    (අමෙරිකාව ඉරාකයේ කරන්නෙත් ඉරාක සටන්කාමීන් ඊට එරෙහිව කරන්නෙත් සන්නද්ධ දේශපාලනයක් තමයි)

    2.සියලු ඝාතන එකයි,කිසිම වෙනසක් නැහැ කියන එක වියුක්ත තලයක තියල ගත්තම හරි.හැම එකකදිම වෙන්නෙ ප්‍රාන ඝාතනයක් නිසා.මේ තර්කයට අනුව ප්‍රංශයේ ලුවී රජුගේ ඝාතනයත්,කිරිඇල්ල දුල්මිනි ඝාතනයත්(ප්‍රේමය නොපිදූ නිසා තරුනයෙක් පාසල් දැරියක මරා දැමීමේ සිද්ධිය)එකයි.මොකද දෙකම මිනිස් ජීවිත බිලිගැනීම්.

    හැබැයි දේශපාලන පසුතලයක තියල සංයුක්තව බලද්දි හැම ඝාතනයක්ම එකක් නෙමෙයි.
    ඒ හින්ද ලුවී රජුගේ ඝාතනය තුල සාමාන්‍ය අපරාධකාරයෙක් කුලියට කරන මිනිමැරුමක නැති දේශපාලන අර්ථයක් තියනවා.හිට්ලර් යුදෙව් සංහාරය තුල මුදාහල ප්‍රචන්ඩත්වය සහ හිට්ලර්වාදයෙන් යුරෝපය මුදාගනු වස් සෙසු ජාතීන් හිට්ලර්ට එරෙහිව මුදාහල ප්‍රතිප්‍රචන්ඩත්වය අතර(මේ දෙකේදීම පත්තු වුනේ එකම තුවක්කු වුනත්)ගුනාත්මක දේශපාලන වෙනසක් තියනවා.
    ආගමික අර්ථයකින් බැලුවම ඒ දෙකම සමානයි වෙන්න පුලුවන්(දෙගොල්ලොම අපායෙ යනවා).හැබැයි දේශපාලන විග්‍රහය ඇතුලෙ එම සිදුවීම් දෙකට ලැබෙන අර්ථයන් වෙනස්.මම කතාකරන්නෙ ආගම නොවන නිසාත් ‍දේශපාලනය වන නිසාත් සියලු ඝාතන එකවගේ,හැම එකේම විපාකය එකයි වගේ ප්‍රවාද මට අදාල වෙන්නෙ නැහැ.

    ReplyDelete
  6. මෙතැන ආගමක් නෙවෙයි කතා කරන්නේ පැහැදිළි දේශපාලනය. වල්ගේ පාගා ගන්න ඕනෑ නෑ. (ඒකවත් තේරුම් ගන්න තරම් මොළයක් නැතිනම් කරුණාකර නොදන්න දේ කතා නොකර ඉන්න.)

    හිට්ලර්ගේ 'යුදෙව් සංහාරය' මිත්‍ර පාක්ෂික රටවල් අතිශයෝක්තියට නඟපු ලස්සන ප්‍රචාරාත්මක ව්‍යාපාරයක්. හිට්ලර්ට වඩා ඉතාම තුච්ඡ අන්දමේ යුදෙව් සංහාරයක නියැළුනේ ස්ටාලින් කියන ත්‍රස්තවාදියා. හිට්ලර්ගේ වධ කඳවුරු වලට වඩා ඉතාම භයානක කඳවුරු තිබුනේ සයිබීරියාවේ. සංඛ්‍යාත්මකව ස්ටාලින් විසින් අනිවාරතේ මරා දැමූ ගණන හිට්ලර් මරා දැමූ ගණනට ඉතාම වැඩියි. නමුත් ස්ටාලින් දෙවන ලෝක යුද්ධයේ 'තමන්ගේ එකා' වීම තුළ හොඳ මිනිසකු බවටත් හිට්ලර් නරක මිනිසකු බවටත් පත්වෙනවා. හරියට විජේවීර හා ප්‍රභාකරන් වගේ. නමුත් දෙන්නම කරන්නේ එකම ජඩ වැඩේ. වෙනස එකෙකුට සුදු හුණු ගෑම හා අනෙකාට තාර ගෑම විතරයි.

    ප්‍රභාකරන් නැමැති ත්‍රස්තවාදියාගේ හා චේ-ගුවෙරා කියන ත්‍රස්තවාදියාගේ කිසිම වෙනසක් නෑ. දෙන්නාම කළේ ප්‍රාථමික ගෝත්‍රික සටන්. නමුත් තමන්ගේ අවශ්‍යතාව මත එකකුට සුදු හුණු ගෑමත් එකෙකුට තාර ගෑමත් ඔවුන්ගේ අනුගාමිකයන් විසින් කරනු ලබනවා.

    කොහොම උනත් ජවිපෙ කළ සාහසික අපරාධ සාධාරණීකරණය කරමින් ජවිපෙට කඩේ යාම ගැන රාමචන්ද්‍ර ලජ්ජා විය යුතු නෑ. රාමචන්ද්‍ර නැමති ගෝත්‍රික සත්වයා වගේම ඊට ඉහළ තලයක ඉන්නා මහින්ද රාජපක්ෂ කියන ගෝත්‍රික සත්වයාද ඒක කරන නිසා. උදාහරණ අවශ්‍ය නම් මේ ක්ලිප් එකේ මුල කොටස බලන්න. http://www.youtube.com/watch?v=xlKn25ggk9Y

    ReplyDelete
  7. තව එකක්, පුද්ගලික කෝන්තර ගැන කෙරෙන ඝාතන ගැන මා කතා කළේ නෑ. මා කතා කළේ ඔය දේශපාලන යැයි කියනු ලබන ඝාතන ගැන පමණයි. මේ දෙකේ වෙනස වත් ඔබට තේරෙන්නේ නැතිනම් තවදුරටත් කතා කිරීමෙන් ඵලක් නෑ.

    ReplyDelete
  8. සිය 2වෙනි කමෙන්ට් එකේදී ලෙනින් කල ඝාතන,සරත් ෆොන්සේකා කල ඝාතන,කුලී මිනීමරුවෙක්ගේ "දේශපාලන නොවන ඝාතන"(අවධාරනය මගේ) යන සියල්ල එක ගොඩකට දාන ඇනෝනිමස් කමෙන්ට්කරු සිය සිවුවැනි කමෙන්ට් එකේදී "පුද්ගලික කෝන්තර"ගැන තමා කතානොකරන බව කියයි.කුලී මිනීමරුවෙක්ගේ Zදේශපාලන නොවන ඝාතනයක්Z අනිවාර්යයෙන්ම කාගේ හෝ "පුද්ගලික"සම්බන්ධතා මත ඇතිවන ඝාතනයක් මිස අන් කුමක්ද?දවස් දෙකක් තුල එකිනෙකට පරස්පර නොවන කමෙන්ට් දෙකක් දාගැනීමට බැරි ඇනෝනිමස් කමෙන්ට්කරු මගේ "මොලයේ තරම"ගැන කතාකිරීම විහිලුවක් විතරයි.

    දෙවනි ලෝක යුද්ධයේදී පාර්ශවයන් දෙකම මුදාහලේ ප්‍රචන්ඩත්වය බව සත්‍යයක් වුනත් ඒ දෙකේ දේශපාලනික වෙනසක් තියන බව පැවසූ විට යුදෙව්වෝ වැඩියෙන් මැරුවේ හිට්ලර් නොව ස්ටාලින් යැයි පවසමින් යන්නෙ කොහෙද මල්ලෙ පොල් වර්ගයේ උත්තරයක් ලබාදෙයි.

    ප්‍රබාකරන්ගේ දෙශපාලනයෙහි හා චේ ගෙවාරාගේ දේශපාලනයෙහි වෙනසක් ඔහු නොදකී.දේශපාලනික සන්දර්භයක් තුල අධිරාජ්‍යවාදී දේශපාලනය,වාර්ගික දේශපාලනය,වාමවාදී දේශපාලනය යන ප්‍රවර්ග එකිනෙකට වෙනස් වෙන හැටි ගැන අවබෝධයක්/හැදෑරීමක් නැති කමෙන්ට්කරු කරන්නේ අදේශපාලනිකව නන් දෙඩවීමක් පමනක් බව කනගාටුවෙන් වුවත් කිව යුතුයි.

    සන්නද්ධ දේශපාලනයක් යනුවෙන් දෙයක් නැත යනුවෙන් පටන්ගත් ඔහුගේ පන්ඩිතමානී අදහසට පැහැදිලි පිලිතුරක් ලබාදී ඇති අතර ඒ ගැන කතා නොකරන ඔහු ඉන්පසු රාමචන්ද්‍රගේ "ගෝත්‍රික මනස"ගැන විශ්ලේෂනයකට බසියි.

    අවසන් වශයෙන් කිසිදු ඉලක්කයක්,පැහැදිලි තර්කයක් නැතිව එකිනෙකට පරස්පර ප්‍රකාශ කරන ගමන් මා හට "ජවිපෙට කඩේ යන්නා" කියන ලේබලය අලවා වෙනම අදහසක් මතුකිරීමේ අනුකම්පාසහගත වෑයමක ඇනෝනිමස් නියුතු වේ.(වික්‍රමබාහුට කඩේ යන‍්නෙක් ලෙස මාවම වෙනත් බ්ලොග්කරුවෙක් ලේබල් කර තිබූ ආකාරය මෙතනදී මතක් වෙනවා)
    මෙතන ජවිපෙටවත් කොටි සංවිධානයටවත් "කඩේ"යාමක් සිදුව නැති අතර එම සන්නද්ධ නැගිටීම් වල මා දකින දේශපාලන වෙනස ගැන නිරීක්ෂන කිහිපයක් විෂයානුබද්ධව,හැකි තරම් වාසතවික වෙන්න වෑයම් කරමින්(සමාජීය කාරනා වලදී පූර්න වාස්තවිකභාවයක් අපේක්ෂා කල නොහැක) ඉදිරිපත් කිරීමට මෙම ලිපිය තුල උත්සාහ ගෙන ඇත.කරුනු සාකච්ඡාවට නොගෙන එල්ලයක් නැතිව වල්පල් කීම හුදෙක් කාලය නාස්ති කිරීමක් පමනි.
    ඒ නිසා ලිපියේ කරුනු සම්බන්ධ විවාදයකට හැර වෙනත් තර්කයකට මෙතනින් එහා සම්බන්ධ වීමට මා අදහස් කරන්නේ නැත.

    ප.ලි-
    ඇනෝනිමස්ගේ ස්වරයේ හුරු පුරුදු ගතියක් මට දැනේ.කමෙන්ට්ස් ගනනාවක් දමන නිසා පටලැවෙන්නත් ඉඩතියන නිසා නිර්නාමිකයා නියම නමින්ම එලියට ආවොත් මොකද?:)

    ReplyDelete