Tuesday, June 23, 2009

සෝවියට් සාහිත්‍යය ගැන - 2


සෝවියට් සාහිත්‍යය සම්බන්ධ කෙටි හැදින්වීමක් ගිය වර ලිපියෙන් අපි සිදුකලා.එතනදි සදහන් වුනා සෝවියට් සාහිත්‍යයෙහි පැවතුනා යැයි පැවසෙන ප්‍රචාරකවාදය ගැන.සෝවියට් සාහිත්‍යය දහරාව සහ ප්‍රචාරකවාදය කියන කාරනා දෙක මෙම ලිපියට වස්තු විෂය වෙනවා.

ප්‍රචාරකවාදය යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද?යම්කිසි කලා නිර්මානයක් තුලින් දේශපාලනික හෝ වෙනත් මතවාදයක් ප්‍රචාරය කිරීමට දරන උත්සාහය නිසා කලා කාතියේ කලාත්මක අගය යටපත්ව බාහිර දේශපාලන /මතවාදීමය අගයක් ඉස්මතු විම ප්‍රචාරකවාදය යන්නෙන් අදහස් කෙරෙනවා.
කලාකරුවා දැනුවත්ව හෝ නොදැනුවත්ව සෑම කලා කෘතියකම දේශපාලනයක් ගැබ්වී තිබෙනවා.කෙසේ වෙතත් ඇතැම් විට කලාකරුවන් මෙම දේශපාලනය ගැන සවිඥානිකව නිර්මානකරනයේ යෙදෙන අතර තව සමහරු තමන්ගේ කෘතිය තුල ඇති දේශපාලනය පිලිබද සවිඥානික නැහැ.
දේශපාලනය ගැන සවිඥානිකව නිර්මානකරනයේ යෙදෙද්දී-ඒ කියන්නේ නිශ්චිත දේශපාලන ස්ථාවරයක් සහිතව කලාකරුවෙක් නිර්මානකරනයට එන විට ඔහුගේ දේශපාලන දැක්ම නිර්මානය තුලට පිවිසෙන එක වලක්වන්නට බැහැ.
කොහොම වුනත් මෙම දේශපාලන දැක්ම සාහිත්‍යය කෘතියක තියෙන්න ඕනෙ නිර්මානාත්මක බව මැඩගෙන අමු අමුවේ ඉස්මතු වෙන්න ගියොත් අවසානයේ කලා කෘතියක් වෙනුවට එලියට එන්නේ ප්‍රචාරක දැන්වීමක්/පෝස්ටරයක් වැනි යමක්.
මෙය අපි ලංකාවේ නිදසුනක් ඇසුරින් පැහැදිලි කර ගනිමු.

බමුනා වුනත් දුදනෙකු නම් බිම හොවනු - සැඩොලා වුනත් සුදනෙකු නම් පුටුව දෙනු
සිහලා වුනත් ජඩයෙකු නම් පහර දෙනු- දෙමලා වුනත් විරුවෙකු නම් ගරු කරනු

සිහසුන ඉන්න රට දැය පාවා නොදෙනු - පාවා දෙන එවුන් මූනට කෙල ගසනු
කසයෙන් තලා හිස පලදා කටු ඔටුනු - ජනයා අබිමුවෙහි උන් නිරුවත් කරනු

මේ "පවන"ගී එකතුවේ එන නන්දා මාලිනී විසින් ගායනා කරන ලද ගීතයක්.මේ පද වල දේශපාලනිකව කෙතරම් "ඇත්තක්" තිබුනත් එම අදහස් ඔපමට්ටම් කිරීමකින් තොරව අමු අමුවේ එලියට දැමෙන ආකාරයක් නිරීක්ෂනය කරන්න පුලුවන්.එවිට කෘතියේ තිබෙන කලාත්මක වටිනාකම අවප්‍රමානය වීමක් සිදු වෙනවා.කලාකරුවා පරිනත සමාජ දේශපාලන දැක්මක් සහිතව සිටීම වැදගත් වනවා සේම ඔහු විසින් නිමවන කලා කෘතිය සියල්ලටම පෙර "කලා"කෘතියක් විය යුතුයි.ඒ කියන්නේ එහි නිර්මානාත්මක/සාහිත්‍යයික අගයක් පැවතිය යුතුයි.එහෙම නොවුනොත් අදාල නිර්මාන හුදු ප්‍රචාරක සටන් පා‍ඨ බවට පත්වීම වලක්වන්නට බැහැ.
සිංහල සාහිත්‍යය ගත්විට ගුනදාස අමරසේකරගේ මෑතකාලීන කෙටිකතා නිර්මාන ප්‍රචාරකවාදය කියන එක තේරුම් ගැනීමට හොද අමුද්‍රව්‍යයක්.ඔහු දරන දේශපාලන සමාජ ස්ථාවරය "ගල් පිලිමය හා බොල් පිලිමය"වගේ කෙටිකතාවකින් නිර්මානාත්මක ලෙස ප්‍රතිනිර්මානය වෙන හැටිත් පසුකාලිනව එන "මරන මංචකයේදී දුටු සිහිනය"වැන්නක් තුල අමු අමුවේ මතුවෙන හැටිත් දැකගත හැකියි.

මේ පසුතලය සහිතව සෝවියට් සාහිත්‍යය කරා පිවිසෙන විට දැකගත හැක්කේ කුමක්ද?
ඇත්තෙන්මැ යම් කිසිප්‍රචාරකවාදී ස්වභාවයක් එම සාහිත්‍යය තුල පවතී යන්න පිලිගත යුතු කරුනක්.නමුත් එම විවේචනය සමස්ත සෝවියට් සම්ප්‍රදාය මතම යොදන එක සාධාරන නැහැ.ප්‍රචාරකවාදී බව ඉක්මවන නිර්මානාත්මක අතින් ඉතාම පො‍හොසත් කලා කෘතීත් සෝව්යට් සාහිත්‍යය දහරාව තුල අපමන තිබෙනවා.
නිකොලායි ඔස්ත්‍රොව්ස්කි කියන සාහිත්‍යකරුවා අතින් ලියැවෙන "වානේ පන්නරය ලැබූ හැටි"නැමැති නවකතාවේ කොටස් දෙක සාකච්ඡාවට ගනිමු.මෙහි පලමු කෘතිය පලවී වසර කිහිපයක් ගිය තැනදීයි දෙවන කොටස ලියවෙන්නේ.
එහි පලවෙනි කොටස සාහිත්‍යයික වශයෙන් රසවත් නිර්මානයක්.රුසියාවේ සිවිල් යුද්ධයට හසුවන සමාජය තුල ඇතිවෙන වෙනස්කම් නව යොවුන් වියේ තරුනයෙක් අත් දකින ආකාරය ගැන අව්‍යාජ නිරූපනයක් ඒ තුල දකින්න පුලුවන්.සිවිල් යුද්ධය,විප්ලවය හා ඊට එරෙහි කැරලි ගැසීම්,රුසියාවේ අර්ධ වැඩවසම් සමාජය විප්ලවය විසින් සොලවා දමන අන්දම- මේ සියල්ල සම්බන්ධ අතිශය සමිප චිත්‍රයක් නවකතාව තුලින් මවනවා.
මේ නවකතාව සමකාලීනව ඉතාම ජනප්‍රිය වන අතර එය සම්මානයෙන් පුදනු ලැබෙනවා.(මෙහි ලේඛකයා වන ඔස්ත්‍රොව්ස්කිගේ ජීවන අත්දැකීම් නවකතාවට පාදක වී තිබෙනවා.ඔස්ත්‍රොව්ස්කි කෘතිය ලියන විට අතිශය දරුනු ගනයේ ආබාධිතයෙක්.ඔස්ත්‍රොව්ස්කිගේ නිර්මාන කරන දිවිය කියන්නෙ විස්මය ජනක ධෛර්යයක ප්‍රතිඵලයක්)
කොහොම වුනත් වසර කිහිපයකට ඉක්බිතිව ලියැවෙන "වානේ පන්නරය ලැබූ හැටි -2 " මුල් කෘතියෙන් තීරනාත්මකව වෙනස් වෙන්නේ පලමු කෘතිය තුල අපි දකින අව්‍යාජ නිරූපනය දෙවැන්න තුල නොතිබීම නිසාවෙන්.පලමු කොටස තුල පාවෙල් කොර්චාගින් කියන මෙහි ප්‍රධාන චරිතය විශ්වසනීය ලෙස ගොඩනැගිලා තිබෙන නිසා පාඨකයා ඔහු සමග බැදෙනවා.සිවිල් යුද්ධයේදී ඔහු ලබන අත්දැකීම් තමා ලබන අත්දැකීම් ලෙස හැගෙන ආකාරයට පාඨකයා සිතන්න පෙලඹෙන ස්වරූපයක් එහි පැවතියත් එම විශ්වසනීය බව දෙවන කොටස තුල ඛාදනය වී තිබෙනවා.පාවෙල්ගේ චරිතය "සර්ව සම්පූර්න කොමියුනිස්ට්වාදියා"ගේ චරිතයක් ලෙස ගොඩනගන්නට යාම නිසා දෙවන කෘතිය ඇත්තෙන්ම කොමියුනිස්ට්වාදියෙක්ගේ චරිත ලක්ෂන මේ මේ ආකාර වේ යැයි දක්වන උපදේශාත්මක කෘතියක තත්වයට ඌනනය වී තිබෙන බවක් දැකිය හැකියි.
පලමු කොටසේදී දකින පාවෙල් වැරදි කරන,සුදු වගේම කලු චරිත ලක්ෂන තිබෙන සාමාන්‍ය සමාජය තුල අපි දකින ආකාරයේ චරිතයක්.නමුත් දෙවැනි කොටසේ එන "ආදර්ශමත්" පාවෙල් ලේසියෙන් නොවරදින,හැමවෙලාවෙම හොද දේ කරන,පසුබෑමක ලක්ෂනයක් වත් නැති රාමායනයේ රාම කුමාරයා වැනි සර්වතෝභද්‍ර චරිතයක්.
නිර්මානයේ විශ්වසනීයබව වැනි කලාත්මක නිර්නායක මරාගෙන දේශපාලන දැක්මක් ඉස්මතු වී තිබෙන නිසා වානේ පන්නරය ලැබූ හැටි 1 තුල නැති ප්‍රචාරකවාදී ස්වරූපයක් එහි දෙවන කෘතිය තුල දැකගත හැකියි.

දේශපාලන දැක්ම සහිතව එසේ වුවද නිර්මානයේ සාහිත්‍යයික වටිනාකමත් සමගින් නිමැවුනු ඉතාම සාර්ථක නිර්මානයක් ලෙස මිහයිල් ෂෝලහව්ගේ "පෙරලූ නැවුම් පස" නවකතාව හදුවන්නට පුලුවන්.රුසියානු විප්ලවය සමග නොදියුනු ගම්බද ප්‍රදේශවල කාෂි ජීවිතය උඩු යටිකුරු වුනා.එතෙක් තිබුනු පසුගාමී නිෂ්පාදන සම්බන්ධතා වෙනුවට සමූහ ගොවිපල නැමැති නව පන්නයේ නිෂ්පාදන ආකෘතියක් විප්ලවය විසින් හදුන්වාදෙනු ලැබුවා.රුසියාවේ ඈත ගම්මානයක සමූහ ගොවිපොලක් පිහිටුවීම ආශ්‍රිත කතා පුවතක් "පෙරලූ නැවුම් පස"නවකතාවේ පසුතලය වී තිබෙනවා.
විප්ලවයට පක්ෂපාතී වීම නැමැති දේශපාලන දැක්ම නිර්මානය තුල පවතින නමුත් සිය ස්ථාවරය අමු අමුවේ ඔබනු වෙනුවට සිදුවීම් ඇසුරෙන් නිර්මානාත්මක මතුවීමට ෂෝලහව් ඉඩ දී තිබෙන ආකාරය මේ නවකතාව තුල දකින්න පුලුවන්.මෙහිදී අපිට හමුවන චරිත විශ්වසනීයයි.වානේ පන්නරයෙහි පාවෙල් වගේ නොවෙයි,ඊට වඩා වෙනස් "වීරයෙකු"යි අපිට මෙහිදී මුනගැසෙන්නේ.මෙහි ප්‍රධාන චරිතය වෙන්නේ සමූහ ගොවිපොල පිහිටුවනු වස් උපදෙස් දීමට ගමට පැමිනෙන දවිදොව් නැමැති සංවිධායකයායි.දවිදොව් විශ්වසනීය චරිතයක්.ඔහු "සර්වතෝභද්‍ර" වීරයෙක් -(රාමායනයේ රාම කුමාරයා) වැන්නෙක් නෙමෙයි.ඔහුට වැරදීම් වෙනවා.ස්ත්‍රීන්ට රැවටෙනවා.ගම්මුන්ගෙන් බැනුම් අහනවා.විටෙක ගුටිකනවා.මේ හැමදෙයක් මධ්‍යයේම සිය අරමුන වෙනුවෙන් හේ වෙහෙසෙනවා.කෘතියේ ගලායාම අතිශය යථානුරූපීයි.
ඒ වගේම විප්ලවයේ විවිධ පැතිකඩ නවකතාව තුලින් එලියට එන අන්දම නිරීක්ෂනය කරන්න පුලුවන්.සාහිත්‍යකරුවා පෙර කී පරිදි විප්ලවයට පක්ෂපාති ස්ථාවරයක සිටියත් විප්ලවය යනු ඉතාම "සුන්දර",අබ මල් රේනුවක පලුද්දක් නැති එකක් ලෙස හැගවීමේ ව්‍යාජ වෑයමක ඔහු නියුතු වෙලා නැහැ.විප්ලවය තුල නැගී ආ නිලධාරිවාදය,සමූහ ගොවිපොල ක්‍රමයේ පැවති ඇතැම් ගැටලු හා අභියෝග වැනි කාරනා අවංකව කෘතිය තුල සටහන්ව තිබීම ඊට නිදසුනක්.

කොහොම නමුත් ප්‍රචාරකවාදී ලක්ෂන පවතින නිර්මාන වගේම එම ලක්ෂන නැති නිර්මානාත්මක අර්ථයෙන් සාර්ථක සාහිත්‍යය නිර්මානද යන සියල්ලෙහි එකතුවක් ලෙසින් සෝවියට් සාහිත්‍යය හදුනා ගැනීමයි වඩා නිවැරදි.පසුකාලීන සෝවියට් කෘතින් තුලට බහුල වශයෙන් ප්‍රචාරකවාදී ලක්ෂන පිවිසීමට හේතුවුන දේශපාලන සමාජ පසුබිම ගැනත් සදහනක් කිරීම වැදගත්.
අප දන්නා පරිදි රුසියානු විප්ලවය එවකට පැවති රුසියානු සමාජය දැවැන්ත හා අති විශිෂ්ට පරිවර්තනයකට ලක් කලා.එහි ප්‍රතිඵලය ලෙස පිමි ගනනාවකින් විස්මය ජනක ලෙස ඉදිරියට ඒමට රුසියානු සමාජයට අවස්ථාව ලැබුනා.
නමුත් පශ්චාත් විප්ලවීය සමාජය ගොඩනැගීම කියන කාරනයේදී විප්ලවය අසමත් වුන එක තැනක් තියෙනවා.ඒ තමයි රාජ්‍යය හා සමාජය අතර තිබෙන සබදතාවය ප්‍රජාතාන්ත්‍රික කිරීමට විප්ලවය අසමත් වීම.විශේෂයෙන්ම ජෝසෆ් ස්ටාලින්ගේ නැගීමත් එක්ක රාජ්‍යයේ අධිකාරිවාදි ස්වභාවය බලවත් වෙන්න පටන් ගන්නවා.ස්ටාලින් හා ලියොන් ට්‍රොට්ස්කි කියන නායකන් දෙපල අතර ඇතිවුන විවාදයේදී මතභේදයට ලක්වුනු එක කාරනයක් තමයි කලාවේ හා සාහිත්‍යයේ භූමිකාව.විද්‍යාව වගේම කලාවත් වෙනම විෂයක් බව ඇදහූ ට්‍රොට්ස්කි එම විෂය "කිසිදු බලපෑමකින් තොරව" වර්ධනය වීමට ඉඩ දෙන තරමට ප්‍රගමනය ලබන බව ප්‍රකාශ කලා.මේ අනුව කලාව සම්බන්ධ රාජ්‍ය මැදිහත්වීම අතිශය අවම එකක් විය යුතු බවයි ඔහු පැවසුවේ.නමුත් ස්‍ටාලින් ඊට වෙනස්ව සමාජවාදී සමාජය ගොඩනැගීමේ "උපාංගයක්" ලෙස කලාව යොදාගත යුතු බවත්,එම නිසා කලාව සම්බන්ධ රාජ්‍යය අධිකාරියක අවශ්‍යතාවයත් අවධාරනය කලා.
මතභේදයේදී ට්‍රොට්ස්කි පරාජය වූ අතර ජයගන්නා ලද්දේ ස්ටාලින්ගේ පාර්ශවයයි.ට්‍රොට්ස්කිගේ අනිකුත් කාරනා සම්බන්ධ ස්ථාවරයන් කෙසේ වෙතත් කලාව සම්බන්ධ ඔහුගේ ස්ථාවරය ඉතාම ප්‍රගතිශීලී බවයි පෙනෙන්නට තිබෙන්නේ.ස්ටාලින්ගේ නැගීම සමග කලාව සම්බන්ධ රාජ්‍ය අධිකාරයක් ගොඩනැගෙන්නට ගත්තා.සමාජවාදයට "පක්ෂ"ව ලියන කෘතීන්ට අනුග්‍රහයත් රාජ්‍ය මතයට වෙනස් කෘතීන්ට කෙනෙහිලි කමුත් සිදුවන්නට පටන් ගත් අතර පසුකාලීන සෝවියට් නිර්මාන වල දේශපාලන අදහස් අමු අමුවේ කියා පාන ප්‍රචාරකවාදී ස්වභාවය වැඩි වශයෙන් දකින්නට ලැබීමට මෙම සමාජ දේශපාලන පසුබිම පාදක වුන බව පැහැදිලියි.
(රාජ්‍යය වාරනයට ලක්වූ නිර්මානාත්මක අතින් සාර්ථක ලේඛකයන් ලෙස මිහයිල් බුල්ගකොව්,-ගියවර ලිපියේදී මතක් කර දීම ගැන මිගාරට ස්තුතියි-,බොරිස් පැස්ටනාක් වැනි අය හදුනාගත හැකියි)

කොහොම වුනත් ප්‍රචාරකාත්මක ලක්ෂනයන් නිරීක්ෂනය කල හැකි වුනත් මීට පෙර ලිපියේ පැවසූ පරිදිම ඒ කිසිවකින් සෝවියට් සාහිත්‍යය තුල පැවති විශේෂත්වය,ඊටම ආවේනික පෞරුෂය සහ විශිෂ්ට බව අවතක්සේරු කරන්නට බැහැ.
සෝවියට සාහිත්‍යය තුල අපට මුනගැසෙන දුයිෂෙන්ලා,දවිදොව්ලා,අල්තීනායිලා පරම්පරා ගනනාවක සහෘද සිත් වගේම රටවල් ගනනාවක සාහිත්‍යය ලෝලීන්වද උත්කර්ෂයට නංවාලූ චරිත.ඒ වගේම කුටුම්බගත ආත්මාර්ථකාමී මායිම් වල හිර නොවී සමාජයේ ජීවත්වෙමින්,මිනිසුන්ගේ ගද සුවද අතර සැරිසැරීමේ,හැදෑරිමේ ආරාධනාව සෝවියට් සම්ප්‍රදාය තුල මතුවෙන ඉතාම වැදගත් ලකුනක්.
මීට පෙර ලිපියට ප්‍රතිචාරයක් එක්කල The chinthaka නමැති සහෘදයා එම ප්‍රතිචාරයෙහි මෙසේ සටහන් කොට තිබුනා.

"සෝවියට් සාහිත්‍යය තුල ඇති ‍දේශපාලනය සහ ප්‍රචාරකවාදී බව කෙසේ වෙතත්, කුඩා කල මේ "රතු පාට පොත්" වලට ඇබ්බැහි වුනු බොහෝ දෙනෙක් ලඟ තවමත් අඩු වැඩි වශයෙන් ඉතිරිව ඇති මානවවාදී ගුණාංග සෝවියට් සාහිත්‍යයෙහි අගය නැවත මතක් කර ‍දෙනවා."

ලිපිය අවසන් කිරීමට මීට වඩා උචිත හමාර කීමක් මා සතුව නොමැත.


5 comments:

  1. සමස්ත සාහිත්‍ය පරිශිලනය සදහා ඔබ විසින් හදුන්වාදෙන සංකල්පය ඉතා පැහැදිලිව සදහන් කොට ඇත.මේ ලිපිය කියවීමෙන් පසුව කියවන සෑම පොතකටම මේ ලිපියෙන් ලැබෙන ආභාෂය සැබැවින්ම ඔබේ උත්සාහය සාර්ථක වන්නක් වේ යැයි විශ්වාස කරමි.

    ReplyDelete
  2. @ palitha

    සටහනට තුති.අකුරු වලින් ඔබ්බට ගොස් ඔබලා විසින් මහ පොලොව මත "වැඩක්" කිරීමට දරන උත්සාහය ඇත්තටම සිත උනන්දු කරවන සුලුයි

    ReplyDelete
  3. Rama>>

    Can u send ur Mail Address to boondionline@gmail.com

    ReplyDelete
  4. වටිනා ලිපියක්..

    ReplyDelete