Monday, June 15, 2009

සෝවියට් සාහිත්‍යය ගැන - 1


"මිනිස් වර්ගයා දැනට ඉන්නා තැනින් වඩා හොද හා පිවිතුරු තැනකට ගෙන ආ හැකි නම්,මිනිසා කෙරෙහි ආදරය,මනුශ්‍යත්වය හා මිනිසාගේ ප්‍රගතිය කෙරෙහි ක්‍රියාශීලී සටන්කරුවෙක් වීමේ ආශාව මිනිස් වග තුල පුබුදු කල හැකි නම් මාගේ නිර්මානකරනයේ ආසාව වනාහි එය සිදුවනු දැකීමයි"
- සෝවියට් ලේඛක මිහයිල් ෂෝලහව්
(නොබෙල් සාහිත්‍යය සම්මානය දිනාගත් දිනයේදී කල කථාවෙනි)


සෝවියට් සාහිත්‍යය යනු විශ්ව සාහිත්‍යය තුල සැරිසරන ඕනෑම අයෙකුට මුන ගැසෙන මග හැර යා නොහැකි සාහිත්‍යය සම්ප්‍රදායයක්.ඉංග්‍රීසි සාහිත්‍යය,ප්‍රංශ සාහිත්‍යය,අමෙරිකානු සාහිත්‍යය වැනි විවිධ සාහිත්‍යය ප්‍රකාරයන් අතර සෝවියට් සාහිත්‍යය වූ කලී වෙනම අනන්‍යතාවයක් සහිතව ගොඩනැගුනු එකක්.ලංකාව වගේම ලෝකයේ වෙනත් රටවල් ගනනාවක සහෘද සිත් සතන් විසින් එක්තරා යුගයක ආදරයෙන් වැලද ගන්නා ලද සෝවියට් සාහිත්‍යය දහරාව අද පවා වෙනත් දහරාවන්ට සාපේක්ෂව කැපී පෙනෙන තැනක පවතිනවා.

සෝවියට් සාහිත්‍යය යනුවෙන් අප හදුනාගන්නේ 1917 රුසියානු විප්ලවයට පසු යුගයේ සෝවියට් දේශය තුල ගොඩනැගෙන සාහිත්‍යයයි.නමුත් සෝවියට් සාහිත්‍යය නිවැරදිව තේරුම් ගැනීමට නම් අප පටන් ගත යුත්තේ 1917න් නොවේ.19වන සියවසේ රුසියානු සාහිත්‍යයෙන්.
ලියෝ තොලස්තෝයි,දොස්තොවුස්කි,නිකොලායි ගොගොල් වැනි ලේඛකයන් ගේ නිර්මාන වලින් පෝෂනය වුන 19වන සියවසේ රුසියානු සාහිත්‍යය ඇතැම් බටහිර විචාරකයෙක් විසින් හදුනාගන්නා ලද්දේ "දුක ආත්මය කරගත්"සාහිත්‍යයක් ලෙස.ජීවිතයේ දුක්ඛ පාර්ශවය ගැන රුසියානු සාහිත්‍යය වැඩි වශයෙන් කතා කරන ලද්දේය යන අදහස එම ප්‍රස්තුතය නිර්මානය වීමට පාදක වුනා.ඇත්තටම මෙසේ "දුක" සමකාලීන නිර්මාන තුලට වැඩි වශයෙන් පිවිසීමට එක් හේතුවක් වුනේ අදාල නිර්මානකරුවන් සමාජයෙන් පලායාමට තැත් නොකර සමාජය තුල රැදෙමින් නිර්මාන කිරීමට උත්සාහ කිරීම.මේ නිසා ගැඹුරු මානව දයාවක් මුල්කාලීන රුසියානු සාහිත්‍යකරුවන් කෙරෙන් පලවුනා.
මෙහිදී උදාහරනයක් විදිහට තොල්ස්තෝයිගේ "බාල් නැටුමෙන් පසු"කියන කෙටිකතාව ගත හැකියි.මෙම කෙටිකතාවේ සාරාංශය මෙබදුයි.
මධ්‍යම පංතික තරුනයෙක් ඉහල සමාජයේ බාල් නැටුමකදී වංශවත් තරුනියක් වෙත වශී වෙනවා.ඇගේ පියා ඉහල පෙලේ හමුදා නිලධරයෙක්.බාල් නැටුම ඉතාම සම්භාවනීය ලෙස පැවැත්වෙනවා.රදල සමාජයේ ප්‍රභූන් අතිශය විනීත,අතිශය ආචාරශීලි හා අතිශය ගරු ගාම්භීර විදිහටයි හැසිරෙන්නේ.
තරුනයාගේ ඇල්ම ලද වංශවත් කාන්තාවගේ පියාත් ශිෂ්ට සම්පන්න ලෙස හැමදෙනාගේම සැලකිල්ලට ලක්වෙමින් අදාල උත්සවය තුල කටයුතු කරනවා.බාල් නැටුම වූ කලී උතුරා යන විනීත කම හා ශිෂ්ටත්වයේ මහෝත්සවයක්.
මෙසේ ඉහල සමාජයේ ශිෂ්ට සම්පන්න සැමරුමෙන් හා ආලයෙන් මත් වූ තරුනයා ඊලග දවසේ උදෑසන වීදියේ ගමනක් යාමට සැරසෙද්දී වීදිය දිගේ එන මිනිස් පෙරහැරක් දකිනවා.මේ මිනිස් පෙරහැර දෙස ලංවෙන ඔහුට දකින්නට ලැබෙන්නේ එම පෙරහැර සමන්විත වෙන්නේ හිරෙන් පැන යාමට තැත් කල ටටාර් ජාතිකයෙක්ට කස පහර දෙන හමුදා කන්ඩයකින් බවයි.වතුර පොදකුදු නොලබන සිරකරුවා උඩුකය අඩ නිරුවත්ව ඉතාම අනුකම්පා සහගත අඩියකයි සිටින්නේ.එය නොසලකා කස පහර දීම කෙරෙනු ලැබෙනවා.මේ අතර කස පහර දීම "මදි" බවට ගෝරනාඩු කරන හමුදා කන්ඩයේ අනදෙන්නා තමා අතට කසය ගෙන වැරෙන් සිරකරුවාට පහර දෙන්න පටන් ගන්නවා.
මේ අනදෙන්නා දෙස බලන අර තරුනයා විස්මයට පත්වෙනවා.ඒ අනදෙන්නා අන් කවරකු හෝ නොවෙයි,පෙරදින රාත්‍රියේ අතිශය ගරු ගාම්භීර ලෙස හැසිරුනු වංශවත් තරුනියගේ පියායි.
මේ අමානුෂික හා පිලිකුල් සහගත සිද්ධියෙන් අතිශය කලකිරීමට පත්වන තරුනයා තුල මහත් විපර්යාසයක් ඇති වෙනවා.ඉහල සමාජයේ "ශිෂ්ටත්වය" යට සැගවුනු ව්‍යාජය ගැන කලකිරෙන හෙතෙම සිය ප්‍රේමයෙන් පලායනවා.අවසානයේ අපට ඔහු කතාව තුල මුනගැසෙන්නේ අවන්හලක මත්පැන් තොලගාමින් ජිවිතය ගැන දොඩමලු වන මහල්ලෙක් ලෙසයි.
කෙටිකතාව තුල මනුශ්‍යත්වය දෙස බැල්ම හෙලනුයේ සමාජමය පසුතලයක සිටයි.සමාජමය සංවෙදීකමක් සහිත නිර්මානකරනය මේ අනුව මුල්කාලීන රුසියානු ලේඛකයන් තුල පවා දක්නට තිබුනු ලක්ෂනයක් ලෙස හදුනාගන්න පුලුවන්.සමකාලීන වැඩවසම් සමාජයේ පරිහානිය උපහාසාත්මක ලෙස පතුරු ගසන නිකොලායි ගොගොල්ගේ "මල මිනිස්සු" සමාජමය සන්දර්භයක සිට මිනිසා දෙස බලන ලද අවස්ථාවකට සම්භාවනීය නිදසුනක්.ඇන්ටන් චෙකොෆ් මෙහිලා සදහන් කල යුතු අනෙක් නිර්මානකරුවායි.විශේෂයෙන් මිනිස් ප්‍රජාව මුහුනදෙන ගැටලු හා සමාජීය බිදවැටීම් චෙකොෆ්ගේ කෙටිකතා බො‍හොමයක පසුබිම බවට පත්වෙනවා.

සමාජමය පසුතලය පිලිබද සවිඥානිකව කෙරෙන නිර්මානකරනය කියන රුසියානු සාහිත්‍යයේ මේ උරුමය සෝවියට් සාහිත්‍යය තුලට ගලාගෙන එන අතිශය වැදගත් පදනමක්.පෙර පැවසූ පරිදි සෝවියට් සාහිත්‍යය කියන පදය ව්‍යවහාරයට එන්නේ රුසියානු විප්ලවය සමග.රුසියානු විප්ලවය කියන්නේ එවකට පැවති රුසියන් සමාජය තුල ගැඹුරු කම්පනයක් හා කැලඹීමක් ඇති කල සංසිද්ධියක්.රුසියන් විප්ලවයත් ඒ සමග ආ දරුනු සිවිල් යුද්ධයත් විසින් රුසියානු සමාජය උඩු යටිකුරු කෙරෙනවා.දේශපාලන ආර්ථික සබදතා පමනක් නොවෙයි මිනිස් සබදතා පවා එම සංසිද්ධිය විසින් විශාල පරිවර්තනයකට ලක් කලා.සෝවියට් සාහිත්‍යය උපත ලබන්නේ මෙම කම්පනයන් මධ්‍යයේඒවා අතරින්.මේ නිසා දේශපාලන හැඩයක් ඒ තුල දැඩිව මුද්‍රාවී තිබෙනු දැකගත හැකියි.

සෝවියට් සාහිත්‍යයේ මුල් අවධියෙහි තිබෙන කැපී පෙනෙන ලක්ෂනයක් නම් සාහිත්‍යකරුවා විප්ලවය තුලින් පැනනැගීම.සාමාන්‍යයෙන් සාහිත්‍යකරුවා කියන්නේ සමාජයෙන් වෙන්ව නිර්මානකරනයේ යෙදෙන්නෙක්.මුල්කාලීන සෝවියට් සාහිත්‍යය සලකන විට එහි පුරෝගාමීන් විශාල ප්‍රමානයක් සිය සමාජයේ හටගත් සමාජ දේශපාලන වෙනස්වීම් වල කොටස්කරුවන් ලෙස ඒවාට දායක වුන අය වීම විශේෂයක්.පූර්ව විප්ලවීය සමයේ වගේම පශ්චාත් විප්ලවීය සමයේත් අතිශය දීප්තිමත් ලේඛකයෙක් වන මැක්සිම් ගෝර්කි "‍නෝවය ෂිස්න්"නමැති දේශපාලන ස්වරූපී පුවත්පතේ සංස්කාරකවරයා වුනා.පසුකලෙක නොබෙල් සම්මානයෙන් පුද ලද මිහයිල් ෂෝලහව් වැනි අය සිවිල් යුද සමය තුල රතු හමුදාවට බැදී යුද්ධ කල සොල්දාදුවන්."වානේ පන්නරය ලැබූ හැටි"නමැති නවකතාවේ කතෘ වන නිකොලායි ඔස්ත්‍රොව්ස්කි වැනි අයත් තම රටේ සිදුවූ මෙම දැවැන්ත පරිවර්තනය හදින් දෑසින් සෘජුව අත්විදි,ඒවාට දායක වූ උදවිය.
මේ නිසාම බොහෝවිට සෝවියට් සාහිත්‍යය තුල ප්‍රතිනිර්මානය කෙරුනේ සමාජීය පසුතලයක් සහිත තේමාවන්.සාමාන්‍යයෙන් සාහිත්‍යය හා කලාව වැනි දේවල් සමාජයේ ඉහල ස්ථරයන් හා මධ්‍යම පංතික ස්ථරයන්ට අයත් අය අතරයි සම්පාදනය වෙන්නෙ.එම විෂයට අදාල හැදෑරිම කිරීම සදහා අවශ්‍ය විවේකය හා අධ්‍යාපන පසුබිම බොහෝවිට එම සමාජ කොටස් සතුවීම මෙයට හේතුවයි.සෝවියට් සාහිත්‍යය ගොඩනැගෙන්නේ ඊට වෙනස් විදිහකට වීම විශේෂයක්.එය ඉහල සිට පහලට නොව පහල සිට ඉහලට ගැලූ දහරාවක්.
මේ නිසා වෙනත් සාහිත්‍යයන් සතුව නැති ආකාරයේ සමාජ දේශපාලන පසුතලයක් සහ තේමාවන් සමූහයක් සෝවියට් සාහිත්‍යය තුල දැකිය හැකියි.
චිංගිස් අයිත්මාතව්,මිහයිල් ෂෝලහව් කියන ලේඛකයන් දෙදෙනා(ගෝර්කි හැරුනු විට) සෝවියට් දේශයේ සාහිත්‍යය සම්ප්‍රදාය අධ්‍යනය කිරීමේදී පාදක කරගත හැකි සාම්පලයන් දෙකක්.අයිත්මාතව්ගේ "ගුරු ගීතය"කියන කුඩා නවකතාව අතිශය ජනාදරයට පාත්‍රවූ සම්භාවනීය කෘතියක්.දුෂ්කර ගමකට පැමිනෙන ආධුනික ගුරුවරයෙක් ග‍මට අධ්‍යාපනය ගෙන ඒමට දරන හුදකලා සටන පසුබ්ම් කරගෙන මේ නවකතාව ගොඩනැගී තිබෙනවා.එම ගුරුවරයා සමග ඔහුගේ ශිෂ්‍යාවක් ආදරයෙන් වෙලෙන අතර මේ ආදර කතාව ගලාගෙන යන්නේ විප්ලවයට හසුවූ කිර්ගීසියානු ගමක සිදුවන වෙනස් වීම් ගැන සිත් ගන්නා සුලු ඒත්තු ගැන්වීමක් පාඨකයා තුල ඇති කරමින්.
කාන්ඩ කිහිපයකින් යුතු විශාල නවකතාවක් වන ෂෝලහව්ගේ "දොන් නදිය නිසලව ගලා බසී" කෘතිය දොන් ගග අසබඩ ප්‍රදේශ වල පරම්පරා කිහිපයක කතාන්දරය ගෙනහැර දක්වනවා.නැවතත් රුසියාවේ ඇති වූ සමාජ වෙනස පිලිබද ඉතාම ගැඹුරු හා අතිශය අව්‍යාජ පිලිඹිබු වීමක් එම නවකතාව තුලින් දකින්නට පුලුවන්.

සෝවියට් සාහිත්‍යය තුල ප්‍රවනාත්මක උප සම්ප්‍රදායයක් සැලකිය යුතු ලෙස දැකගැනීමට හැකිවීම තවත් විශේෂ කාරනයක්.යම්කිසි දේශපාලන අරමුනක් වෙනුවෙන් සිය නිර්මාන හැකියාව යෙදවිම ප්‍රවනාත්මක කලාවේ ස්වභාවයයි.විශේෂයෙන් 1918 සිවිල් යුද්ධය හා දෙවනි ලෝක යුද්ධයේදී හිට්ලර්ගේ ආක්‍රමනය කියන සෝවියට් සමාජය මුහුන දුන් බරපතලම තර්ජන ආශ්‍රිතව බිහිවූ නිර්මාන වල මේ ස්වභාවය දකින්නට පුලුවන්.
උදාහරනයක් ලෙස "හතලිස් එක්වැනියා" කියන කෙටිකතාව සැකෙවින් විමසා බලමු.
මර්යූට්කා කියන තරුනියක් වටා මෙම කතාව ගෙතෙනවා.අතිශය දිලිදු නූගත් තරුනියක වන මර්යූට්කා රතු හමුදාවේ සෙබලියක් ලෙස සිවිල් යුද්ධයට බැදෙනවා.ඇය දක්ෂ සටන්කාමියක්.කතාව ආරම්භයේදී මුනගැසෙන විට ඇය සතුරන් 40 දෙනෙකු ඉලක්කය කොට ගෙන වෙඩි තබා ඇති බවට ගනන් සාදාගෙන සිටිනවා.
ඇය අයත් හමුදා කන්ඩය මේ අතර සටනකට පැටලෙනවා.එම සටනේදී සතුරු "සුදු හමුදාවේ"(රුසියන් විප්ලවයට පසු විප්ලවයට විරුද්ධව කැරලි ගැසූ හිටපු වංශාධිපතින්,නිලධරයන්ගේ නායකත්වය සහිත හමුදාව මේ නමින් හැදින්වුනා) කිහිප දෙනෙක් මර්යූට්කාගේ කන්ඩයේ අත් අඩංගුවට පත්වෙනවා.එහි සිටි සුදු හමුදා කපිතන් කෙනෙක් සිරභාරයට ගන්නා මර්යූ‍ට්කාගේ අනදෙන නිලධරයා එම සිරකාර කපිතන් බලා කියා ගැනීම මර්යූ‍ට්කාට පවරනවා."මොනම තත්වයක් යටතේවත් මොහුට පලා යන්න ඉඩදෙන්න එපා"-මේ මර්යූට්කාට ලැබෙන අනයි.
සිරකාර කපිතන්ව බෝට්ටුවකට නංවාගන්නා මර්යූට්කා තව කිහිප දෙනෙකු සමග අභ්‍යන්තර සයුරක් තරනය කරනවා.එහිදී අතරමග බෝට්ටුව කුනාටුවකට හසුවී විනාශ වන අතර මර්යූට්කා සහ සිරකරුවා ජනශුන්‍ය දූපතකට පාවෙනවා.
ඉන්පසු එලඹෙන්නේ ජනශුන්‍ය දූපතේ ජීවිතය ගැටගසා ගැනීමේ සටන.දෙදෙනා සතුරු පාර්ශව දෙකක යුද වැදුනු අය වුනත් කපිතාන්ට හා මර්යූට්කාට ජීවත්වීම පිනිස එකට වැඩකිරීම හැර වෙන විකල්පයක් නැහැ.පැල්පතක් අටවා ගෙන,ආහාර සොයමින් මේ දෙදෙනා අරඹන ජීවිතය නොබෝ කලෙකින්ම දෙදෙනා අතර ප්‍රේමයක් බවට පත්වෙනවා.රසවත් සිදුවිම් වලින් ගහනව කාලය ගෙවී යන්න පටන් ගන්නවා.
යම් කාලයකට පසු අවසානයේ එක් දිනෙක ඈත සයුරේ යාත්‍රා කරන නෞකාවක් මෙ දෙදෙනාගේ ඇස ගැටෙනවා.ඒ තමයි මේ දෙපල පුල පුලා බලා සිටි මොහොත.පාලු දූපතෙන් මිදී යලි නිවෙස්බලා යාමට නෞකාව උදව් කරගන්න පුලුවන්.ගිනිමැලයක් ගසා දුම් නංවා කෙසේ හෝ නෞකාවේ අවධානය තමන් වෙත යොමුකරගන්න මේ දෙදෙනා සමත් වෙනවා.ඉතින් පෙම්වතුන් යුවල ගලවාගනු වස් නෞකාව ක්‍රමයෙන් දූපත වෙත ලගාවෙනවා.
දූපතට හොදටම නෞකාව ලංවූ විට මර්යූට්කා දකින්නේ කුමක්ද?එම නෞකාව සුදු හමුදාවට අයත් යුද්ධ නැවක් බව ඇය දකිනවා.තම "සගයන්ගේ" නැවක් දකින කපිතාන් තරුනයා සතුටින් ඔල්වරසන් දෙන්න පටන් ගන්නවා.ඒක ඔහුට විශාල සතුටක්.කපිතාන් ඔල්වරසන් දෙද්දී මර්යූට්කා ඔහු දෙස බලා සිටිනවා.ඇය තුල විවිධ හැගීම් පෙරලි කරන්න ගන්නවා.
නැව ආවිට කපිතාන් එහි නැගී යලි සිය සගයන් අතරට යනු ඇති."මොනම තත්වයක් ‍යටතේවත් මොහුට පලා යන්න ඉඩ දෙන්න එපා"-තමන්ට භාර වූ වගකීම මර්යූට්කාගේ හිසට නැගෙනවා.ඉතිරි වී තිබෙන කාලය සීමිතයි.මර්යූට්කා විකල්ප දෙකක් මැද අතරමං වෙනවා.
සිය පෙම්වතාට ගැලවී යන්න ඉඩ දෙනවාද?තමන්ගේ වගකීම ඉටු කරනවාද?
පුද්ගලික ප්‍රෙමයද?සිය විශ්වාසයද?
වහා තීරනයකට එන මර්යූට්කා හින බැදි රිවෝල්වරය අතට ගන්නවා.ඉක්බිති කපිතන්ගේ(සිය පෙම්වතාගේ) හිස් කබල පුපුරා යන ලෙස වෙඩි තබන ඇය ඔහු එතනම මරා දමනවා.
අවසන ඔහුගේ මලකද බදාගන්නා ඇය වැලපෙන්නට පටන් ගන්නවා.
හතලිස් දෙනෙක්ට වෙඩි තැබූ ඇයගේ හතලිස් එක්වැනි ‍ඉලක්කය වූයේ සිය පෙම්වතායි."හතලිස් එක්වැනියා"කතාවේ සාරාංශය එබදුයි.
මෙවැනි කෙටිකතාවක් "ප්‍රචාරකවාදී"යැයි ඇතැම් විට චෝදනාවට ලක්විය හැකි වුනත් තේරුම් ගත යුත්තේ ඒවා නිර්මානය වෙන සන්දර්භයයි.පුද්ගලිකව ආපසු යමක් අපේක්ෂා නොකර වඩා සාධාරන සමාජයක් වෙනුවෙන් සටන් කල රුසියානු ගැහැනුන් සහ මිනිසුන්ගේ ආධ්‍යාත්මය මෙවැනි කතාවක ආත්මය ලෙස සටහන් වී තිබෙනවා.

කෙසේ නමුත් සෝවියට් සාහිත්‍යයේ තවත් පැතිකඩ කිහිපයක් තිබෙනවා.ලමා සාහිත්‍යය හා විද්‍යා ප්‍රබන්ධ සාහිත්‍යය ඒ අතර අතිශය විශිෂ්ටයි.සෝවියට් ලමා කතා අප රට කුඩා ලමුන් පවා එක්තරා කාලයක ඉතා සෙනෙහසින් වැලද ගන්නා ලද එකක්.
(අනිත් සියලු කතා අමතක කලත් ඔබත් සමහර විට රසවිද ඇති "වැඩබැරි දාස"කතා පෙල මතක් කරගන්න)
සමාජමය සංවේදීතාවයක් සහිතව ගොඩනැගුන සෝවියට් සාහිත්‍යය කියන්නේ කො‍හොම වුනත් ඕනෑම කියවන්නෙක් තුල විශාල වෙනස්කමක් ඇති කල හැකි වර්ගයේ සාහිත්‍යයක්.සමාජවාදී අදහස් වලට ආකර්ෂනය වෙන බොහෝ දෙනෙක් තමන්ගේ දේශපාලන හෝඩියේ අ යන්න ඉගෙන ගත්තේ සෝවියට් සාහිත්‍යය ඇසුරින්.
වඩා නිදහස් හා සාධාරන ලෝකයක් ගොඩනගනු වස් එක්තරා යුගයක,එක්තරා දේශයක සාමාන්‍ය ගැහැනුන් හා මිනිසුන් ගෙන ගිය ‍යෝධ සටන නිර්ව්‍යාජ විදිහට එම සාහිත්‍යය දහරාව තුල සටහන්ව තිබීම ඊට හේතුවයි.

සෝවියට් සාහිත්‍යය සම්බන්ධයෙන් තියෙන ප්‍රබල විවේචනයක් නම් එය ප්‍රචාරකවාදී එකක් බවයි.ඒ කියන්නේ සාහිත්‍යයික අගය මරාගෙන දේශපාලන සන්නිවේදනය පිලිබද අරමුනක් ඒ තුල තිබෙන බව බො‍හෝ විට බටහිර සාහිත්‍යය විචාරකයන් විසින් මතු කරන අදහසක්.
මේ නිරීක්ෂනය බැරෑරුම් ලෙස ගත යුතු නිරීක්ෂනයක්.එනම් එහි යම් සත්‍යතාවයක් තියෙනවා.පසුකාලින සෝවියට් නිර්මාන බොහෝමයක් මුල් ඒවා වගේ සාර්ථක නොවීමට මෙම ප්‍රචාරකාත්මක ලක්ෂනය හේතුවක් වුනා.මෙම "ප්‍රචාරකවාදී වීම" සෝවියට් දේශයේ දේශපාලනයේ පසුකාලයක නැගී ආ නිලධාරිවාදී පිරිහිමත් එක්කම සම්බන්ධ කරල සාකච්ඡා කල යුතු සිදුවීමක්.සෝවියට් සාහිත්‍යය සමස්තයක් ලෙසම ප්‍රචාරකවාදීද?හැම කෘතියකටම ඒ චෝදනාව වලංගුද?"ප්‍රචාරකවාදය"තුලම කලාවක් හොයාගන්න බැරිද?
මෙවැනි දේවල් ගැන කතාකරන්න මෙම ලිපියේ ඊලග කොටස වෙන් කෙරෙනවා.
කෙසේ වෙතත් අවසන් වශයෙන් කිව යුත්තේ මේ කිසිදු කරුනකින් සෝවියට් සාහිත්‍යය දහරාව තුල ඇති සුවිශේෂි අනන්‍යතාවය,එහි වෙනස හා එහි කලාත්මක අපූර්වත්වය අවප්‍රමානය කල නොහැකි බවයි.

6 comments:

  1. අගනා ලිපියක්. මෙයට මිකායෙල් බුල්ගාකොව් විසින් ඇති කළ ඉන්ද්රජාලික යතාර්ථවාදය ගැනත් කිවුවොත් හොඳයි. බුල්ගාකොව් ගේ බල්ලෙකුගේ හදවත සහ මාස්ටර් සහ මාගරීටා යන නව කත දෙකත් මේ විචාරයට එකතු විය යුතුමයි.

    ReplyDelete
  2. ශා.. ඔයා සාහිත්‍ය විචාරකයෙක්ද. නියම පෝස්ට් එකක්. බොහොම ස්තුතී.....

    ReplyDelete
  3. ගොගොල් මා වඩාත් කැමතිම කෙටි කතාකරුවයි! ඔහු හාස්‍යය රසය කැටි කොට ගෙන නිර්මාණකරණයේ යෙදුනෙක් බව පැහැදිලිය

    ReplyDelete
  4. සෝවියට් සාහිත්‍යය ගැන කතා ෙනාවන අවධියක නැවතත් සංවාදයක් අැති කිරීම වටිනා ෙදයක්.

    සෝවියට් සාහිත්‍යය තුල අැති ෙද්ශපාලනය සහ ප්‍රචාරකවාදී බව කෙසේ වෙතත්, කුඩා කල ෙම් "රතු පාට ෙපාත්" වලට අැබ්බැහි වුනු ෙබාෙහා් දෙනෙක් ලඟ තවමත් අඩු වැඩි වශයෙන් ඉතිරිව අැති මානවවාදී ගුණාංග සෝවියට් සාහිත්‍යයෙහි අගය නැවත මතක් කර ෙදනවා.

    ReplyDelete
  5. මම මේක දැක්කත් කියවන්න ටිකක් පරක්කු වුණා. කොහොම වුනත් නිකම්ම රුසියන් පොත් කියවා ඇති අපිට එහි සමස්තය පිළිබද අදහසක් මින් පැහැදිලි කෙරෙනවා. සාහිත්‍යයේ නවමු පැතිකඩයන් දක්වා මේ කතිකාව දිගහැරීමට මම යෝජනා කරනවා.(රුසියන් සාහිත්‍ය ගැන ප්‍රමානාත්මක අධ්‍යනයකින් පසුව)
    කොහොම වුනත් සාහිත්‍යයට ලැදි හැමෝටම ආරාධනයක් තියෙනවා(ශිෂ්්‍ඨ සම්පන්න නොවී රාමචන්ද්‍රගේ බ්ලොග් එක මීට භාවිතා කළාට සමාවෙන්න)
    ඒ නුගේගොඩ සරසවි එකේ 2 තට්ටුවේ මේ 24 වැනිදා හවස 5.45ට අපි එකතු වෙලා කතාකරනවා.වැඩි විස්තර සදුදා බූන්දියෙන්.

    ReplyDelete