Wednesday, May 20, 2009

දේශප්‍රේමය/ජාතිකවාදය-මොන්ටිසෝරි හිස වෙනුවට ප්‍රබුද්ධ හිසක්


-දැන් තියෙන්නෙ මල්ලි අලුත් නීතියක් ගේන්න.මුස්ලිම් අයටයි දෙමල අයටයි දරුවො හදන ඒක සීමා කරන්න ඕනෙ!උන්ට උපරිම ලමයි දෙන්නයි.සිංහල අයට ලමයි හයක්වත් හදන එක අනිවාර්ය කරන්න ඕන.ඕක තමයි ‍අපේ ජාතිය බේරගන්න තියන එකම ක්‍රමය-
ප්‍රභාකරන් මරා දැමුවා කියන ප්‍රවෘත්තිය ප්‍රකාශය වූ දින හමු වූ ත්‍රී රෝද රථ රියැදුරෙක්

-සරනාගත කදවුරුවල ඉන්න උන්ට කියල අමුතුවෙන් මොකක්ද තියන දුක?අපේ ඉස්පිරිතාල වල අය ඉන්නෙත් ඔහොම වැටිල බිම වැතිරිල තමයි-
විදෙස් පුවත් සේවයක ලංකාවේ අවතැන් කදවුරුවල තත්වය ගැන වාර්තා වැඩසටහනක් බලාගෙන සිටියදී අපේ නිවසේ ආලින්දයේ ඇතිවූ සංවාදයකදී ඥාති කාන්තාවක්

-කෙතරම් ප්‍රබල ආක්‍රමණ පැමිණියත් සිංහලයින් කිසිදා තම මාතෘභූමිය වෙනත් ජාතියකට යටත් කරගැනිමට ඉඩ තබා නැත. යටත් කරගැනීමට හැකිවන්නේ ද නැත. ඒ බව නැවත වතාවක් සිංහලයින් ලෝකයට හඬනඟා කී ඵෙතිහාසික දිනය අදයි. එනම් 2009 මැයි මස 19 වනදායි.-
"අසිපත"(බ්ලොග් අවකාශයේ බ්ලොග් අඩවියක සටහනක්)

ලංකාවේ ජාතිකවාදය මේ මොහොතේ විශාල වශයෙන් උත්කර්ෂයට නැංවී තිබෙන දෙයක්.මේ ජාතිකවාදයේ ස්වරූපය/එහි ලක්ෂන මොනවාද?
පලමුව ඒක ප්‍රධාන වශයෙන් "සිංහල" ජාතිකවාදයක්.සිංහල දේශප්‍රේමයක්.එම ජාතිකවාදී කතිකාවත හැදිල තියෙන්නෙ දෙමලා/වෙනත් සුලු වාර්ගිකයා සිය කතිකාවතින් පිටමං කොට දමමින්.
එය සිය සතුරා ලෙස දෙමල ජාතිය දකිනවා.මේ රට සිංහල රට.දෙමල අය ඉන්නවා නම් අපි කියන විදිහට ඉන්න ඕන.එහෙම නැතිනම් මකබෑවෙයව්!ජනාධිපති පාර්ලිමේන්තුවේදී තතන තතනා කුමක් කීවත් බ්ම් මට්ටමේ බලවත්ව තිබෙන ජාතිකවාදයේ ස්වරූපය එවැන්නක්.

දෙවනුව මේ ජාතිකවාදය අතිශය සරල එකක්.ඒ කියන්නේ එහි සමාජයීය ගැඹුරක් නැහැ.වෙනත් වචන වලින් කිවහොත් ජාතික ධජ,රනවිරු ගී,කිරිබත් හා ජනාධිපතිගේ රූපය/ප්‍රභාකරන්ගේ පඹයා වැනි සැරසිලි ඉවත් කල විට න්‍යායිකව එහි ගත යුතු හරයක් නැහැ.
මේ න්‍යායික දිලිදුකම නිසා සිය වර්ගයා තුලම පවතින අතිශය බරපතල අභ්‍යන්තර තුවාල එම ජාතිකවාදී කතිකාවතට විෂය වෙන්නෙ නැහැ.
දැන් නිදසුනක් ලෙස සිංහල වෑගපිටිය(ලාෆ් ගෑස් අධිපති) සිංහල පොදු පාරිභෝගිකයාව රාජ්‍ය අනුග්‍රහය යටතේ ව්‍යාපාරිකමය ලෙස ගසා කනවා."දුක දිනා ජයගත්"ඊනියා සිංහල ප්‍රභූන්ගේ මන්දිර වලට ගවුවක් ඈතින් සිංහලයන් සිය ගනනින් තෙරපෙමින් දවසරින පැල්පත් නිවාස පවතිනවා.ඒවා වල සිංහල දරුවන් පාසල් නොයා විවිද ව්‍යාපාර වල නිරත වෙනවා.කුඩු ගහනවා.ඒවායේ සිංහල ගැහැනුන් පොලේ දාඩිය පෙරාගෙන බඩුවිකුනනවා.ගනිකාවන් ලෙස විකිනෙනවා.සිංහල පිරිමින් කටගොන්නක් බීගෙන අවුත් සිය සිංහල බිරියන්ට/දරුවන්ට තඩි බානවා.
සාමාන්‍ය පෙලට වාඩිවෙන 50%ක් ගනිතය අසමත් වෙනවා.තවද විශාල ප්‍රමානයක් සිංහල පවා අසමත් වෙනවා.රක්ෂාවක් නැතිව සිංහල තරුනයන් වීදි දිගේ රස්තියාදු වෙනවා.
සිංහල ජාතිකවාදයේ සාකච්ඡාව තුල මේවා වූ කලී කතානොකෙරෙන විෂයන්.
සිංහල ජාතිකවාදී දිවයින කතෘ කතුවැකි වල මෙම අභ්‍යන්තර කුනුවීම් ගැන කතාකෙරෙන්නේ නැහැ.සතියට එක ගානේ දිවයිනට තීරු ලිපියක් ලියමින් "අපේ ප්‍රවාද" සූත්‍රගත කරන නලින්ද සිල්වා මහැදුරුවරයා ගේ ප්‍රවාද ඇතුලේ නිකමටවත් මෙම "ඇතුලත" ගැන සංවාද කෙරෙන්නේ නැහැ.එම සිංහල ප්‍රවාද ඇතුලෙ බටහිර විද්‍යාව.යුදෙව් චින්තනය,දෙමල අයගේ ඉතිහාසය වගේ නහුතයක් මාතෘකා පැවතියත් සිංහල ලමුන්ගෙන් 30%ක් පෝෂන ඌනතාවයෙන් බැටකනවා කියන සිංහල ලමයෙක්ට භෞතිකව වඩාත්ම අදාල වන කාරනය ඒ තුල විෂයක් බවට පත්වන්නේ නැහැ.
මේ අනුව "ජාතිය"වැනි පාරභෞතිකයන් නොව සිය ජීවන අවශ්‍යතා වෙනුවෙන් සමාජයෙන් ඉල්ලීම් මතු වනවිට එම ඉල්ලීම් මෙම ජාතිකවාදී කතිකාවත ඇතුලෙ ස්ථානගත වෙන්නෙ ද්‍රෝහී/සතුරු ඉදිරිපත් කිරීම් විදිහට.
තමනට ලැබිය යුතු අතිකාල දීමනා හා මාසික වැටුප වෙනුවෙන් පාරට බහින ලංගමේ සේවකයන් මෙම කතිකාවතට අනුව රටේ යහපතට බාධා කරන නොමග ගියවුන්.වඩා හොද අධ්‍යාපන පහසුකම් ඉල්ලා අරගල කරන ශිෂ්‍යන්ගේ අරගල මෙම සාකච්ඡා වපසරිය ඇතුලේ ස්ථානගත වෙන්නෙ "නරක"එකක් විදිහට.පාලකයන්ගේ අත්තනෝමතික හැසිරීමක් ප්‍රශ්න කරන මාධ්‍ය භාවිතයක් ඊට අනුව දේශද්‍රෝහී ප්‍රශ්න කිරීමක්.
පවතින ජාතිකවාදය/දේශප්‍රේමය සරල,ග්‍රාම්‍ය,නොගැඹුරු එකක් කියල කියන්නෙ මේ වර්ගයේ ජාතිකවාදයකින් අඩුම තරමින් එම ජාතිකවාද‍යේ රාමුව තුල සලකා බැලෙන ජනයාටවත්(සිංහල ජනයා) භෞතිකව ලැබෙන දෙයක් නැති නිසා.ඒ කියන්නෙ මේ වර්ගයේ දේශප්‍රේමයකින් සිංහල පොදු සමාජයේ එදිනෙදා ජීවිතය ඇත්ත වශයෙන්ම එක අගලකින් හෝ ඉදිරියට යන්නේ නැහැ.
සමාජයේ අභ්‍යන්තර තුවාල ගැන කතාවත් නොකරන ව්‍යාපෘතියකට එම තුවාල සුවපත් කිරීම කොහෙත්ම කරන්න බැහැ.සිංහල තරුනයාගේ විරක්ෂාව ගැන කතානොකරන නලින් ද සිල්වාලාට එම ප්‍රශ්න වලට විසදුම ලබාදීම කොහෙත්ම කිරීමේ හැකියාවක් නැහැ.මේ අනුව ජාතික කොඩි ලෙලදෙමින් පවතීවි.රනවිරු ගී කැසට් පට වී කඩමංඩියක් පාසා රැව්දේවි.ඒවාට ගෞරවය ආදරය පුදකරමින් හිගාකන සිංහලයා දිගටම හිගමන් යදීවි.ගනිකා වෘත්තියෙහි යෙදෙන්නිය දිගටම එයම කරගෙන යාවි.අඩු වැටුපට කඹුරන සිංහලයා එහිම නිරත වනු ඇති අතර,වැඩ ඇරී සිය නිවෙසට ගොස් මන්ද පෝෂනයෙන් පෙලෙන සිය සිංහල දරුවාට තඩි බාමින් බිරිද සමග දඹර වෙමින් දිගටම ජීවිතය ගෙන යාවි.අභ්‍යන්තරය කෙතරම් දුගද හැමුවත් බාහිර ඔපය ලෙස සිංහ කොඩිය පවතිනවා.මේ පවතින ජාතිකවාද‍යේ අවසන් තාර්කික රූපය එවැන්නක්.

කෙසේ නමුත් දැනට පවතින දේශප්‍රෙමය එවැනි සරල හා ග්‍රාම්‍ය එකක් වූවාට රටට "අවශ්‍ය" දේශප්‍රේමය/ජාතිකවාදය එවැනි නොගැඹුරු එකක් නොවෙයි.
ලංකාව කියන රාජ්‍යය නූතන ලෝක පර්යාය ඇතුලෙ අනන්‍යතාවයක් සහිත එකක් ලෙස ඉදිරියට ගත යුතුව පවතිනවා නම් පලමුව පටු සිංහල ජාතිකවාදයක් වෙනුවට පලල් ලාංකික ජාතිකවාදයක් අවශ්‍ය වී තිබෙනවා.
එනම් සිංහල වර්ගයට සීමා නොවන ලංකාව තුල ජීවත් වන සියලු ජාතිකත්වයන් එක මිටකට ගත හැකි වන ආකාරයේ ජාතිකවාදයක් ලෙස දිගින් හා පලලින් දේශප්‍රේමයෙහි ව්‍යාපෘතිය ප්‍රසාරනය විය යුතුයි.
දෙවනුව මහ පොලොවේ ජීවත්වන මිනිසුන්ගේ ඇත්ත ප්‍රශ්න කතා කරන,එම අභ්‍යන්තරික විදවීම් බරපතල ලෙස සාකච්ඡා කරන හා ඒවාට විසදුම් පිනිස දෘඩ මැදිහත්වීමක් සහිත කතිකාවතක් ලෙස එම කතිකාවත ගැඹුරින් තවත් ඇතුලට යා යුතුයි.
රටට ආදරය කිරීම (දේශප්‍රේමය)නරක දෙයක් නෙමෙයි.හැබැයි එය නරක දෙයක් නොවන්නේ එය රටේ ජීවත් වන අනෙත් සහෝදර ජනකොටසක පැවැත්ම ප්‍රතික්ෂේප නොකරන්නේ නම් විතරයි.එහෙම කරනවා නම් එවැනි දේශප්‍රේමයක් අන්තිම පිලිකුල් කටයුතුයි.(ලිපියේ මුලම ඇති සියලු උපුටන වල පවතින දේශප්‍රේමය එවැනි පටු හා පිලිකුල් කටයුතු "දේශප්‍රේමී" ප්‍රකාශ)
අනිත් අතට දේශප්‍රේමය කියන්නේ හුදෙක් බොල් පොලොවට ආදරය කිරීම නෙමෙයි.රටේ වෙසෙන මිනිසුන්ට,ගොඩනැගෙන මානව සබදතාවලට ඇල්ම කිරීමත් ඊට ඇතුලත්.යමෙක් ඇත්තටම රටට ආදරය කරයි නම් රට වෙලාගෙන තිබෙන සමාජ අයුක්තිය,දුගීකම,අසංවර්ධනය ගැන මග නොහැර කතා කිරීම අනිවාර්යයක්.අබා වැනි සෝබන චිත්‍රපටයකට වඩා මචං වැන්නක් අතිශය ‍දේශප්‍රේමී වෙන්නෙ ඒ අර්ථයෙන්.
(ඒ වුනාට පවතින සරල ජාතිකවාදී කතිකාවත ඇතුලේ අබා දේශප්‍රේමී හා මචං එසේ නොවන එකක් ලෙසයි ස්ථානගත වෙන්නෙ)

දැනට පවතින වර්ගයේ සරල හා පටු ජාතිකවාදයක් සමාජයේ බෙදීම් වර්ධනය කරමින්,සමාජයේ පවතින තුවාල එලෙසින්ම පවත්වා ගැනීමට පරිසරය හදනවා.පාලකයන්ගේ මජර හා බඩජාරි පැවැත්ම සාධාරනීකරනය කරමින් සමාජයේ ඉදිරි ගමනට විලංගු දාන්න එවැන්නක් හේතු වෙනවා.
සියලු ජනතාවන් පිලිබද එක හා සමාන අවධානයෙන් යුතුව ගොඩනැගෙන,සමාජයේ ඇතුලාන්තය නොබියව ප්‍රශ්න කරන පුලුල් හා ප්‍රබුද්ධ ලාංකීය ජාතිකවාදී/දේශප්‍රේමී ව්‍යාපෘතියක් බහුවාර්ගික රාජ්‍යක් ලෙස මෙම රාජ්‍යයේ පදනම ශක්තිමත් කරනවා වගේම සමාජයේ තුවාල මත යැපෙන පාලකයන්ගේ කෑදර චර්යාව තීරනාත්මක ලෙස නිරුවත් කරනවා.
ලංකාවට අවශ්‍ය කොට තිබෙන්නේ මින් දෙවැන්න මිස පලමුවැන්න නොවෙයි.නමුත් අවාසනාවකට මෙන් මේ මොහොතේ සමාජයේ අධිපතිත්වය දරන්නේ පලමුවැන්න මිස දෙවැන්න නොවෙයි.
දෙවැන්නෙන් පලමුවැන්න විස්ථාපනය කිරීමට සමාජයක් ලෙස අපි සමත් වන තරමට මෙතැනින් ඔබ්බෙහි සමාජයෙහි ඉදිරි ගමන බරපතල ලෙස රදා පවතිනවා.

3 comments:

  1. ඔබ විසින් මුලින්ම දක්වා ඇති උදාහරණ තුලින් පැහැදිලි වෙනවා ලංකාවේ සාමාන්‍ය සිංහල ජන විඥානය.දෙමළ ජනයාගේ ආයුධ ගැනීමට පෙර ලංකාවේ ආණ්ඩුවේ මතයත් ඔය අකාරයමයි. ඒත් ආයුධ ගැනීමේ ක්‍රියාවලිය එක්ක රජය යම් ආකාරයක විමසීමකට ලක්කිරීම සදහා අවධානයට ලක්කරත් දිගින් දිගටම දෙමළ ජනයාගේ ආයුධ ගැනීම පිළිබදව දෙන ලද නරක නිර්වචයන් නිසා සාමාන්‍ය ජනමනස එකී ආයුධ එසවීමට හේතුවූ කාරණා ගැන සංවේදී වීම අවම වූවා. නමුත් යම් විමසීමේ ගුණයක්, හික්මීමක්, අධ්‍යාපයනයක් ලද විවෘත මනසකින් යුතු උගත් පිරිසට මෙකී ක්‍රියාව තේරුම්ගැනීමට හැකියාවක් ලැබුණා. කොහොම නමුත් සිදුවූ ජාත්‍යන්තර හා රාජ්‍ය ‍නොවන සංවිධාන වල බලපෑම නිසා යම් අකාරයකට දෙමළ ඇතුළු සුලු ජාතික හිතකාමී ප්‍රතිපත්ති නිර්මාණය කළත් සැබෑ ලෙසම දෙමළ ජනයාගේ ගැටළු තේරුම්ගත් බවක් පෙනෙන්නට නැහැ. විශේෂයෙන් සාමාන්‍ය ජනමනස දෙමළජනයා‍ගේ සත්‍ය ගැටළුව වසන් කිරීමට සංඝ සමාජය, ඇතුළු සිංහල ජාතිවාදීන් මෙන්ම මාධ්‍ය ක්‍රියාකාරීත්වයද බලපෑවා. මට අනුව මහින්ද, ගෝඨාභය, රත්නසිරි,සරත් ෆොන්සේකා වැනි චරිත දෙමළ ජනයාගේ සැබෑ ගැටළු අදුනගත් අය නොවේ. කෘතිම ප්‍රතිපත්ති හා එලැඹ සිටින බැදීම් නිසා එආකාරයෙන් ක්‍රියාකලද ඔවුන්ගේ ප්‍රායෝගික ක්‍රියාකාරම් තුලදී මෙකී නොදැනුවත්කම් දැකගත හැක. ජාතික රාජ්‍ය නිර්මාණය කිරීමට කතාකරන අපට කලින් රටේ පාලකයන් ඒ සංකල්පය දැනගත යුතුය. මේ සියළු දේ දන්නා ඩලස් වැන්නේක් කට වහගෙන මේ සියළු දේ සදහා උඩගෙඩි දීම කණගාටු සහගතය.

    ReplyDelete
  2. අවුරුදු 30 ක් තිස්සෙ යුද්දෙන් බැට කාපු අපේ මිනිස්සුන්ගෙ මතකයේ තරම ගැන මම විශ්මයට පත්වුනෙමි!දේශප්‍රේමය සහ ජාතිවාදය අතර ඇති පැහැදිලි වෙනස හඳුනාගැනීමට නොහැකි මිනිසුන් කෙරෙහි මගේ සිතේ පහළ වනුයේ එක්තරා ආකාරයක අනුකම්පාවකි!
    දේශප්‍රේමයේ මුලාවෙන් ජාතිවාදය උසිගන්වන්නන් මේ දිනවල බහුලව දක්නට ලැබේ.ජාතිවාදයේ ප්‍රතිවිපාක වල අමිහිරත්වය අත්විඳි රටක වැසියන් ලෙස නැවතත් අප ඒ ඛේදවාචකයට මුහුණදියයුතුද?
    අප රටේ සෙබළුන් ජීවිත පරිත්‍යාගයෙන් දිනාගත් භූමිය නැවතත් දෙකද වී යන ලෙස ක්‍රියකිරීම ඔවුන්ව හෑල්ලුවට ලක්කිරීමකි.....
    මෙහිදී කිව යුතු වදගත් කරුනක් වනුයේ යුදමය ජයග්‍රහණයේ සහ රනවිරුවන් ගේ ගුණ ගායනා කිරීමෙන් පමණක් රටේ ප්‍රශ්න විසඳෙනුයේ නැත.ඔබ පවසා ඇති පරිදි අපේ ගැටළු චිරාත් කාලයක් පැවතුනක් මෙන් එලෙසම පවතිනු ඇත......නමුත් විසඳුම් සොයා ඒවා ක්‍රියාත්මක කිරීමට මෙය උචිත කාලයයි.මන්ද යත් මාද ඇතුලුව රටේ ජනතාවගෙන් බහුතරයක් පාලකයා සමඟය....තව ටික දිනකින් නැවතත් අපිට බඩගිනි දනේවි.....යුද්දය,රනවිරුවෝ අමතක වෙලා යාවි.එදිනෙදා ප්‍රශ්න වලට විසඳුම් නැතිවුනොත් 'මහ රජාණන්ගේ'පාලන කාලය හමාර වනු ඇත.
    ජයග්‍රහණයේ සතුට භුක්ති විඳිමින් කිරිබත් කන සුදු රෙදි පොරවා ගත් දෙශපාලනඥයෝ සියලු දෙනා යහමඟට හැරෙවි යැයි විශ්වාස කල හැකිද?
    අපිට කල හැක්කේ හැකි තරමින් අපේ යුතුකම් ඉටු කර බලාසිටීම පමනි......

    ReplyDelete
  3. ඇත්තටම අපි කතා කලා වගේ ලංකාවෙන් සෑහෙන කොටසක් ඉන්නවා ඕකට විරුද්ද... උදාහරණයකට මම කියන්න කොටුවේ තොග කඩ සියල්ලම වගේ වහලා... පිටින් පේන්නේ ප්‍රභා මරපු හිතේ අමාරුවට කියලා ඒත් ඇත්තටම අපේ මහා සිංහලයින් උන්ගෙන් කප්පම් ඉල්ලන්න අරගෙන.. රජය කරන්නෙත් ජනතාව පුම්බන එක දවසින් දවස එක එක උපහාර.. සමහර උපහාර යුද්දයක් කිට්ටුවටවත් ගිය නැති දේශප්‍රේමීන්ට.. ඔන්න ලංකාවේ තත්වය .. ආයිත් ඔය එන්නේ අපි පරණ තැනටමයි... ඇත්තටම ඔය අමාරුව තියෙන්නෙ බොහොම සුලුතරයකට.. බහුතරයත් ඕකෙන් පීඩා විඳින එක තමා ගැටලුව... ජයවේවා....( පාලිතගේ සටහනටත් මම මෙම අදහසම අදාලතාවය මත යොදන ලදී... අමනාපයක් ඇතිකරනොගන්න... )

    ReplyDelete