Tuesday, May 5, 2009

නීතියෙහි කන්‍යාවගේ දෑස් බැද පොලිසිය තොවිල් නැටීම


ලංකාවේ දැනට සිදු වෙන අලුත්ම ක්‍රීඩාවක් පිලිබදව අවධානය ‍යොමු විය යුතුව තිබෙනවා.අද (මැයි 05)රාත්‍රී පුවත්වලින් මඩකලපුවේ දැරියක් පැහැරගෙන ගොස් මරා දැමීමට අදාල සැකකරුවන් අත් අඩංගුවට ගන්නා ලදුව ඉක්බිති මිය ගිය සිදුවීමක් වාර්තා වුනා.මේ සමගම පසුගිය දිනෙක සිදු වූ වර්ෂා ජූඩ් දැරියගේ ඛේදවාචකය සහ එයට සම්බන්ධ වූවා යැයි පැවසෙන තරුනයන් සිවු දෙනාගේ ඝාතන සිදුවීම් මතකයට නැගෙනවා.මේ සිදුවීම් දෙකෙහිම සමානකම් බො‍හෝමයක් තිබෙනවා.දෙකේදීම දැරියක් පැහැරගැනීම සිදු වී තිබෙන අතර ඊට සැක පිට අත්අඩංගුවට ගන්නා ලද අය පොලිස් වෙඩි පහරින් අත් අඩංගුවේදී මිය ගොස් තිබෙනවා.
ප්‍රවෘත්ති වල මෙය වාර්තා කලේ දිටිඨ ධම්මවෙදනීය කර්මය පල දීමක් සිදු වී ඇත වැනි අදහසකට සමාන අදහසකින්.නමුත් දිට්ඨ ධම්මවේදනීය කර්මයක් පිලිබද සරල නිර්වචනයකට වඩා සැගවුනු සෙල්ලමක් මෙතන තිබෙන බව සැක කල හැකියි.විශේෂයෙන් අදාල අපරාධ වල සාහසික බව නිසා සැකකරුවන් මිය යාම සමාජයේ ජන මනස තුල සාධාරනීකරනය වීමක් සිදුවන බවක් පෙනෙන්නට තිබෙනවා.ඒ කියන්නේ "හොද වැඩේ උන් ඔහොම වෙඩි කාල මැරුන එක.අර ලමයින්ට කල අපරාද වල හැටියට!" වගේ අදහසක් සාමාන්‍ය සමාජය තුල ඇති බවයි පෙනෙන්නට තිබෙන්නෙ.
යම් පුද්ගලයෙක් අපරාධයකට සම්බන්ධ වූවා නම් ඔහු‍‍ට/ඇයට දඩුවම් පැමිනවිය යුතුයි යන්න අවිවාදිතයි.නමුත් එසේ දඩුවම් පැමිනවීම කාටවත් හිතු මතේ කරන්නට බැහැ.ඒ සදහා ශිෂ්ට සමාජය විසින් හදාගත් යාන්ත්‍රනයක් තිබෙනවා.එම යාන්ත්‍රනය වූ කලී නීතියයි.නීතිය ඉදිරියේ අපරාධයක් කල බව ඔප්පු වන තුරු යමෙක් අපරාධකරුවෙකු ලෙස නොව චූදිතයෙකු ලෙස සැලකිය යුතුයි යන්න නීතියේ ප්‍රධාන මූලධර්මයක්.

නමුත් දැන් සිදු වෙමින් තිබෙන්නේ කුමක්ද?සැකකරුවන් ලෙස අත්අඩංගුවට ගැනෙන අය නඩු විභාගයකින් තොරවම හදිසියේ ඝාතනයට ලක් වෙනවා.මේ මිය යෑම් වලට අදාලව පොලිසිය සමාජයට කියනුයේ "පැනලා යන්න හදන විට වෙඩි තිබ්බා","සගවා තබන ලද ආයුද සෙවීමට යන විට සගවන ලද ආයුද වලින් සැකකරුවන් පොලිසියට වෙඩි තැබීමට උත්සාහ කල නිසා සැකකරුවන්ට වෙඩි තිබ්බා"වැනි පිලිතුරු.ඉතිහාසය සම්බන්ධයෙන් ගත්විට මෙවැනි පැහැදිලි කිරීම් අපේ සමාජයට ආගන්තුක නැහැ.
88/89 යුගයේ උපතිස්ස ගමනායක නැමැති කැරලි නායකයා මරා දැමූ ආන්ඩුව එහිදී පැවසුවේ ඔහු "පැනලා යන්න" හදද්දි වෙඩි තියන ලදී වැනි කතන්දරයක්.රෝහන විජේවීර ඝාතනය සම්බන්ධ "නිල"පැහැදිලි කිරීම වුනේ ඔහුගේ අනුගාමිකයෙක් කෝපයට පත්ව ඔහුට වෙඩි තබන ලදී යන්නයි.මේ "නිල"පැහැදිලි කිරීම් ව්‍යාජ ඒවා බව පසු කාලයෙක පැහැදිලිව සනාථ වුනා.
පොලිසියේ "නිල"පැහැදිලි කිරීම්වල මෙම අපකීර්තිමත් ඉතිහාසය විසින් අප සාකච්ඡාවට ගන්නා සිදුවීම් වලදී නොවැලැක්විය හැකි ලෙසම එම ප්‍රකාශ පිලිබද යම් කුකුස දැනවීමක් සිදු කෙරෙනවා.
ත්‍රිකුනාමලයේදී වර්ෂා නමැති කුඩා දැරිය ඝාතනය කල සිදු වීමේදී ඊට සම්බන්ධ අය නැගෙනහිර මහ ඇමතිගේ පක්ෂය හා සම්බන්ධකම් පැවැත්වූ අයයි යන්න මුලදීම එලිදරවු වූ කරුනක්.එම පක්ෂය සහ වර්තමාන රජය අතර තිබෙන සම්බන්ධය කාටවත් රහසක් නොවෙයි.මෙහිදී සැකකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවට පත්වූ අතර ඉක්බිති එම පරීක්ෂන වලට සම්බන්ධ වූ පොලිස් නිලධරයාට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවක් ලැබෙනවා.
අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු අත්අඩංගුවෙන් "පලායාමට"දැරූ උත්සාහය නිසා වෙඩි තබා මරා දැමෙන අතර තවෙකෙක් සයනයිඩ් කා මිය ගිය බව ප්‍රකාශ කෙරෙනවා!(අත්අඩංගුවට ගෙන රදවා තැබූ පුද්ගලයෙක් සයනයිඩ් ලබාගත්තේ කෙසේද?ඔහුව අත්අඩංගුවට ගනිද්දි පරික්ෂා කිරීමක් සිදු වූයේ නැද්ද?-මේවා විචාරාත්මක වෙන ඕනෑම අයෙක් තුල ඇති වන ප්‍රශ්න)
අනෙත් දෙදෙනාද පසුව මරා දැමෙනවා.මෙම බ්ලොග්කරුගේ මතකයේ හැටියට ස්වර්නවාහිනියේ මෙම ප්‍රවෘත්තිය විකාශය වීමේදී පැවසුනේ අදාල සැකකරුවන් සගවා තිබූ ආයුද පෙන්වීමට යාමෙදී කොටි සංවිධානය සමග ඇතිවුන ගැටුමකදී කොටි වෙඩි පහරින් මිය ගිය බවයි.
ඩේලි මිරර් පුවත් පතේ පලවූ පහත වාර්තාවෙන් පැවසෙන්නේ අදාල සැකකරුවන් දෙදෙනා කොටි සංවිධානයේ සාමාජිකයන් බවත් ඔවුන් කොටි සංවිධානයේම වෙඩි පහරින් මිය ගිය බවත්ය.

http://www.dailymirror.lk/DM_BLOG/Sections/frmNewsDetailView.aspx?ARTID=44970

කොහොම වුනත් මේ සියලු පැහැදිලි කිරීම් අතිශය සංදිග්ධයි.අතිශය ගැටලුසහගතයි.පොලිසිය දැන් කියන දේ ඊලග මොහොතේ වෙනස් කරනවා.TMVP සාමාජිකයන් එක රැයෙන් කොටි සාමාජිකයන් බවට පත් කෙරෙනවා.සියලු කුනු බේරේවැවට යන උපන්‍යාසය අනුව මේ ඝාතනයනුත් කොටි සංවිධානයේ ගිනුමට බැර කල විට අත පිසදා ගත හැකි බවට පොලිසිය කල්පනා කල බව පැහැදිලියි.
කොහොම වුනත් සිද්ධියට අදාල සියලු සැකකරුවන් මිය යාම නිසා නඩු විභාගයක් රහිතවම සිදුවීම අවසන් වුනා.නඩු විභාගයක් නොපැවැත්වීම නිසා සිදුවීමට අදාල වැදගත් කාරනා ගනනාවක් මතු නොවී යටපත් වුනා.නඩුව විභාග වුනා නම් සිදුවීමේ ඇති දේශපාලන මුහුනවර හෙලිදරවු වෙනවා.අවසානයේදී ඉත්තන් මිය ‍ගොස් ඉත්තන් මෙහෙයවූ දෑත් ඉතුරු වී තිබෙනවා.
(ඔවුනුත් ඇත්තටම ඉත්තන් දැයි පැවසීමට බැහැ.මිය ගිය අය අපරාධය කලා යැයි පවසන්නේ පොලිසිය.මලවුන්ට නිදහසට කාරනා කීමට ඉඩක් නැති නිසා පොලිසියේ ප්‍රකාශය අභියෝගයට ලක්කරන්නට විදිහක් නැහැ)
දැන් ඇත්තටම යුක්තිය ඉ‍‍ටුවෙලාද?
සැකකරුවන් අත් අඩංගුවෙන් පලා යන්න වැර දරනවා නම් එක සැනෙන් ඔවුන් වෙඩි තබා ඝාතනය කිරීමේ සිරිතක් නැහැ.සම්මතය අනුව වෙඩි තබනුයේ පලා යන්නාගේ දෙපා වලට.අදාල පුද්ගලයා නොමරා තුවාල සිදු කොට ජීවග්‍රහයෙන් ගැනීමයි සාමාන්‍යයෙන් අනුගමනය කල යුතු රීතිය.දැන් ඒ හැමදේම නොසලකා හැර තිබෙනවා.සිදුවීමක් සිදු වූ විට පොලිසිය කැමති අය සැකකරුවන් ලෙස නම් කොට අත් අඩංගුවට ගැනෙන අතර,නඩු විභාගයකින් තොරව අදාල "සැකකරුවන්"අත්අඩංගුවේදීම විවිද ක්‍රමවලින්(පැනල යන්න හදද්දි/සියදිවි නසාගෙන/කොටි වෙඩි තියල)මිය යනවා.දිටිඨ ධම්මවේදනිය කර්මය අනුව යුක්තිය ඉටු වුනා කියල සමාජයට ඒත්තු ගන්වන්නත් ඉක්බිති බලධරයන් කටයුතු කරනවා.දුර දිග ‍සොයා නොබලන සමාජයත් අනේ සාදු කියල නිල විග්‍රහය ඒ විදිහටම බාර ගන්නවා.
මෙම විනිවිද නොපෙනෙන ක්‍රමවේදය තුල අපරාධවලට ඇත්තටම සම්බන්ධ අයට සැගවී යන්නටත්,සමහර විට අපරාදයට සම්බන්ධයක් නැති අයට අපරාධකරුවන් ලෙස මියයාමටත් සිදුවීමේ සම්භාවිතාවයක් ඇත්ත වශයෙන්ම තිබෙනවා.යුක්තිය පසිද ලීමේ ක්‍රියාවලිය මේ විදිහට විනිවිද නොපෙනෙන ලෙස බලය සහිතවුන්ගේ රුචිය මත රැදෙන ව්‍යාපෘතියක් වීම අතිශය අහිතකරයි කියන්නේ එම පදනම මත.

පොලිසියේ (එනම් රාජ්‍යයේ-පොලිසිය යනු වියුක්ත සංස්ථාවක් නොව රාජ්‍යයේ අධිකාරිය සමාජය මත බලාත්මක කරන අංගෝපාංග වලින් එකක්) මෙම ක්‍රියාකලාපය බරපතල ලෙස ප්‍රශ්න කෙරෙන තවත් සිදුවීමක් පසුගිය දිනෙක වාර්තා වුනා.අවාසනාවකට වගේ මේ සිදුවීම් දකුනේ මාධ්‍ය තුල සාකච්ඡා නොකෙරෙන තරම්.
එම සිදුවීම නම් දෙමල පුවත් පත් කතුවරයෙක්වූ එන්.විද්‍යාදරන් මහතා හා සම්බන්ද සිදුවීම.කොලඔට සිදු වූ ගුවන් ප්‍රහාරයට සම්බන්ධ යැයි සැකපිට අත්අඩංගුවට ගත් එම මහතා අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාවලිය අතිශය ප්‍රශ්නකාරී එකක්.
අවමගුල් උලෙලකට සහභාගී වෙමින් සිටියදී එම මහතාව වෑන් රියකින් පැමිනි පිරිසක් විසින් පැහැර ගැනීමකට ලක්වුන අතර පැහැර ගත් පිරිස අතර පොලිස් නිල ඇදුමින් සැරසුනු තිදෙනෙකුද සිට තිබෙනවා.මෙම පැහැරගැනීම ප්‍රසිද්ධ වූ සැනින් නිවේදනයක් නිකුත් කල පොලිස් මාධ්‍ය ප්‍රකාශක එයට පොලිස් සම්බන්ධයක් නැති බවත් එය පැහැර ගැනීමක් බවත් ප්‍රකාශ කරනවා.
නමුත් සිදුවීම සිදු වී තව හෝරා කිහිපයක් ගිය තැන සිය මුල් ප්‍රකාශයට හාත් පසින් වෙනස් ප්‍රකාශයක් කරන පොලිස් මාධ්‍ය ප්‍රකාශක විද්‍යාධරන් මහතා පොලිස් අත්අඩංගුවේ-කොලඹ අපරාධ අංශයෙහි සිටින බවට ප්‍රකාශ කරනවා.
ඒ අතර මාධ්‍ය සාකච්ඡාවකට එන ජනමාධ්‍ය ඇමැති මෙහිදී කිසිදු පැහැර ගැනීමක් වී නැති බවත් විද්‍යාදරන්ව නීත්‍යානුකූලව අත්අඩංගුවට ගෙන ඇති බවත් පවසනවා.
වඩාත්ම හාස්‍යජනක සිද්ධිය සිදු වෙන්නේ ඉන්පසුව.මාර්තු 18දා විද්‍යාධරන්ව අධිකරනයට ඉදිරිපත් කරන පොලිසිය පවසනුයේ කුමක්ද?යම් හදුනානොගත් කන්ඩායමක් විසින් පැහැරගෙන ගොස් දෙමටගොඩ පාරේ දමාගොස් තිබියදී ඔහුව තමන්ට හමුවුන බවත් තමන් ප්‍රශ්න කිරීමට ඔහුව සොයමින් සිටි නිසා ඔහුව එවිට නීත්‍යානුකූලව අත්අඩංගුවට ගන්නා ලද බවත් පොලිසිය ප්‍රකාශ කරනවා!
මේ අතර විද්‍යාදරන් අධිකරනයට ඉදිරිපත් කිරීමට පෙර,අඩුම තරමින් ඔහු ගැන විධිමත් පරීක්ෂනයක් හෝ සිදු කිරිමට පෙර ඕස්ට්‍රේලියාවේ SBS රූපවාහිනී සේවයට සාකච්ඡාවක් ලබාදෙන ආරක්ෂක ලේකම් ආවේගශීලිව මෙසේ ප්‍රකාශ කරනවා.
"විද්‍යාදරන් ත්‍රස්තවාදියෙක්!ඔහුව ආරක්ෂා කිරීමට හැදුවොත් ඔබේ අතෙත් රුධිරය තැවරේවි.කොලඹට එල්ල වූ කොටි ගුවන් ප්‍රහාර සම්බන්දීකරනය කලේ ඔහුයි"
ඉතාම නීති විරෝධී හා අශිෂ්ට ආකාරයක අත්අඩංගුවට ගැනීමක් පමනක් නොවෙයි නඩු විභාගයක් රහිතවමැ විද්‍යාදරන් ත්‍රස්තවාදියෙක් බවට නඩු තීන්දුවකුත් රාජ්‍යයේ ඉහලම තැනින් ප්‍රකාශයට පත් කෙරෙන්නේ ඔය ආකාරයට.
නමුත් අන්තිමේදී සිදු වූයේ කුමක්ද?කොටි ප්‍රහාරයට විද්‍යාදරන්ගේ කිසිදු සම්බන්ධයක් නැති බව තීරනය කරන අධිකරනය පසුගිය අප්‍රේල් 24දා ඔහුවා නිදොස් කොට නිදහස් කර හරිනවා.කොටි ප්‍රහාරය වූ දින ඔහු විදේශ දුරකතන ඇමතුම ගෙන තිබෙන්නේ පවුලේ ඥාතින් පිරිසකට බව ඔප්පු වෙනවා.
වරදකට සම්බන්ධ නොවූ පුරවැසියෙක් "ත්‍රස්තවාදියෙක්!"ලෙස ජාත්‍යන්තරවම ප්‍රකාශ කල ආරක්ෂක ලේකම් ඇත්තටම මෙහිදී ඔහුගෙන් ප්‍රසිද්ධියේ සමාව ගත යුතුයි.
කෙසේවුවත් මෙම සිදුවීමෙන් නඩු විභාග වලින් තොරව සැකකරුවන් "අපරාධකරුවන්" බවට පත්කිරීමේ ඇති භයානක කම ඉතා හොදින් පැහැදිලි වෙනවා.
ඒ වාගේම පොලිසිය මෙහිදී ක්‍රියා කල ආකාරයත් රාජ්‍ය ආරක්ෂක ලේකම්ගේ හැසිරීමත් අතිශය ගැටලුසහගතයි.ත්‍රස්තවාදයට හෝ හිංසනයට සමාජයේ ඇති පොදු විරෝධය පොලිසිය/රාජ්‍යය විසින් ඉතාම නින්දිත ලෙස ගනිකා වෘත්තියෙහි යොදවමින් අන්තනෝමතික ලෙස ක්‍රියා කරමින් සිටිනවා.මේ අන්තනෝමතිකත්වයෙහි අද ගොදුර විද්‍යාදරන් වන අතර හෙට ඒ ඕනෑම කෙනෙක් විය හැකියි.
සමහරවිට ඒ මෙය කියවන ඔබ විය හැකියි.
මේ සිදුවීම් ගැන සමාජයේ අවධානය වහ වහා යොමු විය යුත්තේ පිලිකාවක් වීමට පෙර මෙම දදය මුලිනුපුටා දැමීම අතිශය අවශ්‍ය වූවක් වන නිසා.


(-පසු සටහන-විද්‍යාදරන් මහතා සම්බන්ධ සිදුවීම ගැන කරුනු දැක්වීමේදී මැයි 03 රාවය පුවත්පතේ "පුරවැසියෙකුගේ සටහන්"තීරයේ ඇති තොරතුරු දායක කර ගන්නා ලදී.ඇත්තෙන්ම වෙනත් පුවත්පත් එකක හෝ සහෝදර මාධ්‍යවේදියෙකු මුහුන දුන් මෙම සිදුවීම ගැන පැහැදිලි කිරීමක් දැකීමට ලැබුනේ නැහැ)

12 comments:

  1. කොච්චරක් කිව්වත් දකුණුණෙන් අහලා වමෙන් පිට කරයි. යුද්ධය ආගමක් කල අයට මේ දේ පෙන්නේම නෑ ඉතිං.

    ReplyDelete
  2. ලංකාවෙ අපරාද කාරයන් පොලිසියෙන් ඉහත සදහන් කරන අකාරයට මරා දමන විට සතුටු වෙයි එකට හෙතුව තමයි මිනිස්සු දන්නවා මොවුන් උසාවිය ඉදිරියට ගියොත් නියම දඩුවම නොලැබෙන බව මෙන්ම සමහර විට කිසිදු දඩුවමක් නෙලබෙන බව ලංකාවෙ තිබෙන නිති ක්‍රමයෙන් රිංගලා යැමට ඉතාම පහසුයි

    මෙකේන සිදුවන අනිත් නරක නම් සමහර විට නියම අපරාද කාරයා හසු නොවිම

    ReplyDelete
  3. ඇයි මව්බිම පුවත්පතේ කතෘවරැන් මෙසේ සිර ගත වුවා නොවැ? මෙලෙස සිර ගත කිරිමේ සංස්කෘතියකුත් සම්ප්‍රදායෙන් බැහැරව යන ‍නිතී රකිනන්නේ ඉන්නේ ඉතිං!

    ReplyDelete
  4. මෙය මා ලියන්න හිටියේ. මට වඩා ඔබ ඉස්සර උනා.

    බලන්න අද (මැයි 6) 'දිවයින' පත්තරය. සැකකරුවන් 'පෙරළා පොලිසියට පහර දීමට සූදානම් වෙද්දී' පොලිසියෙන් වෙඩිකා මියගිය පුවත් දෙකක් එකම දවසේ පත්තරේ!!

    ReplyDelete
  5. දැනට අපරාධවලට සැක අය විතරක් මරයි පස්සෙ පස්සේ පුද්ගලික තරහාකාරයොත් මේ කතාවම කියලා මරයිද දන්නේ නැහැ

    ReplyDelete
  6. ඕක ඉතින් මුල් පුටුවෙම තියන ප්‍රශ්නයක්.......!! පොලිස්පතිතුමා වැඩ භාරගත්ත දවසෙ කිව්වෙ හැමොම ගාව ජංගම දුරකතන තියනවනෙ එවායින් අපරාද ඡායරූප ගත කරන්න කියලනෙ. ඒත් දවස් දෙකකට පස්සෙ මැර මවියා සිරසට ගහනවා රටම දකිද්දි එයා දැක්කෙ නෑ වගේ හිටිය හැටි අපිට මතකයි.
    මට බය හිතෙන්නෙ තාමත් රට්ටුන්ගෙ ගෞරවය දිනාගෙන ඉන්න අධිකරණය දැන් ඉන්න අගවිනිසුරු තුමාගෙන් පස්සෙ ඒක නැතිකර ගනීදො කියල........

    ReplyDelete
  7. මෙය පොලිසිය තම සිමා ඉක්මවා යමින් අධිකරණයේ කටයුතුද භාරගෙන ක්‍රියා කිරිමක් වැනිය.වර්තමානයේ මෙම ක්‍රමය ඉතා ප්‍රචලිතව තිබේ.දැන් ඇත්තටම මෙක හරි සිම්පල් පැලැන් එකක් වී තිබේ.නමුත් මෙමගින් නිතිය පොලිසිය විසින් අතට ගෙන කටයුතු කරනවා පමනක් නොව ජනතාව ගොනාට ඇන්දවිමද හොදින් සිදුකරයි.
    තම අත් අඩංගුවේ පවතින සැකකරැවන් ආරක්ශා කිරිමට නොහැකි ලංකාවේ පොලිසියකින් අපට මොන ආරක්ශාවක් දැයි මෙම කරැනු වලින් මනාව පැහැදිලිවේ

    ReplyDelete
  8. මෙතනදි විශේෂයෙන් රාජ්‍ය බලය ක්‍රියාකරන ආකාරයත් සුවිශේෂියි. ඔච්චර වැරදි කරපු පොට්ට නවුෆර්ට කවුරුත් අත තියන්නේ නැහැ. අනික් කාරණය නඩු විභාගයකින් තොරව මරණ දඩුවම දෙන එකට අපේ සිංහල බහුතර ජනතා විරෝධයකුත් නැහැ. මොකද බුදු දහම කියන්නේ පරම අවිහිංසාවාදයනේ.තාම ඉතිරිවෙලා තියෙන ගෝත්‍රික ලක්ෂන වලින් තමා ආන්ඩුව මේ ලිස්සලා යන්නේ. ‍

    ReplyDelete
  9. මේ සිදුවන දෙය නම් හරි නැහැ තමා. නමුත් අපිට මතකයි කාලයක් තිබුණා මිනිහෙකුට පරේ බැහැලා යන්න බැරි තරම් මැරයන් පිරිච්ච. ඒ මැර සංස්ථාව මර්දනය කලේ ඔය විදියට තමා. ආන්ඩු බලයේ ඉන්න කිසිම පක්ශයක් තමන්ට වැඩ කරන මැරයන්ට කූඩුවේ ඉන්න දෙන්නේ නැහැ. බොරු සාක්කි හරි දාලා නිදහස් කර ගන්නවා. පොලීසියටත් වෙන විකල්පයක් නැහැ. මේ සිදුවීම දන්න නිසා අනාගත හිට් මෑන්ලා මෙබඳු දේ වලට අත පෙවීමට පෙර දෙවරක් හිතාවි. අපිට ඉහල පෙලේ අපරාධ කරුවන් අල්ලන බැරි නම්, අපරධ වැලක්වීම උදෙසා භීෂණය පහල මට්ටම් දක්වා හෝ එල්ල කිරීම වැදගත් වෙනවා

    ReplyDelete
  10. අනික් අතට ලාකාවේ නීතිය කනයාවක් නම් නොවෙයි. විවිධ දේශපාලුවන් හා මාධයවේදීන් අතින් නොයෙක් වර දූෂණයට ලක්වූ වෙසගනක් කිව්වොත් වඩා නිවැරදියි.

    ReplyDelete
  11. පොලීසියටම වැරදි කීමටත් අමාරුයි.... මූලික ම දේ තමයි... රාජ්‍ය බලය.... අප හොඳාකාරවම දන්නව පොලීසිය ''අර ඇමතිගෙ අහවල් මන්ත්‍රීගෙ කට්ටිය නෙ...." කියල වර්ගීකරණය කරල බෙදන හැටි... ඒ හැම දෙයක් ම හුරු වෙලා ඉන්නෙ වර්තමානයේ මේ තියෙන දේශපාලනික, සමාජීය තත්ත්වය මත... අනෙක් කාරණය අර අහිංසක පුංචි දරුවන් මරන්න තරම් කුරිරු හැඟීමක් ඇතිවෙන්නෙ ඇත්තටම අමනුෂ්‍යයන්ට..... ඒ වගේ අය මේ සමාජයෙන් සදහටම ඈක් කිරීම සර්ව සාධාරණයි... ඒත් ඉත්තන් විනාශකර ඉත්තන් හසුරුවන දෑත් ලිහා තැබීම සුදුසු වන්නේ ද නැත. නීතිමය තත්ත්වයේ නොදියුණු බව නිසාත්, දේශපාලනික ඇඟිලි ගැසීම් නිසාත් බොහෝ අවස්ථාවල සාධාරණය ඉටුවීමට සිදු වන්නේ නැහැ. ඉහත සඳහන් කරල තිබ්බ වගේම ඔච්චර මගෝඩි වැඩ කරන මර්වින් සිල්ව ටත් සාධාරණ නීතිය ඉටු කිරීමට අපි හොඳ තත්ත්වයෙන් තියෙනව කියල හිතන නීතිමය තත්ත්වයවත් දේශපාලනයවවත් උදව් වුණේ නෑනෙ.... මේක තමයි.... අපි කොච්චර කථා කළත් සිද්ධවෙන දේ....

    ReplyDelete
  12. @මිගාර, ඇයව ඒ තත්වයට ඇද දැම්මෙත් හදාපු වඩාපු සලුපිලි ඇන්දවු අයම නේද? :P

    ReplyDelete