Thursday, April 2, 2009

ගොලු හදවත රජය හා IMF

ගොලු හදවත කියන්නෙ සිංහල සාහිත්‍යය ඉතිහාසයේ බිහිවුන ඉතාම ජනප්‍රිය ආදර කතා අතරින් එකක්.සිංහල පතක් පොතක් කියවන කිසිම අයෙකුට ගොලු හදවත මග හැරීම කියන්නෙ සිදු වෙන්න බොහොම අඩු සම්භාවිතාවක් සහිත සිදුවීමක්.
ඔබ මෙය කියවා දැන් වසර කීයක් ගතවී ඇත්දැයි ඔබට සිතෙයි.සමහරවිට එය අවුරුදු දහහතර පහලොව වගේ ඈත කාලයක් වෙන්න පුලුවන්.කෙතරම් කාලයක් ගතවී තිබුනත් ගොලු හදවත ගැන මතකය මදක් නැවත ආවර්ජනය කරගන්න කියල ප්‍රථමයෙන්ම ඉල්ලීමක් කරන්න කැමතියි.
නවකතාව මුල් කොටසේදී සුගත් දම්මි පිලිබද දැවැන්ත ආකර්ෂනයක් ඇති කර ගන්නා අයුරු එහිදී ඔබගේ සිහියට නැගෙනු ඇති.දම්මිගේ ගෙදර යන්නත් ඔහුට අවස්ථාවක් ලැබෙන අතර මේ නිසා ඔහු සිටින්නේ දමයන්ති පිලිබද උත්කර්ෂයක් සහිතව.
මෙසේ අමන්දානන්දයේ උපරිම කූඨයේ පසුවන ඔහුට ඉතුරුව තිබුනේ නිල වශයෙන් දමයන්තිගෙන් කැමැත්ත ලබා ගැනීම විතරයි.
අහන්න විතරයි මට තියෙන්නෙ කියන මානසිකත්වය සහිතව සිටි සුගත් අන්තිමේදී එක්තරා මොහොතක ඒ පැනය දමයන්තිට යොමුකරනවා.එවිට සිදු වෙන්නේ කුමක්ද?
අනේ සුගත් ඔයාව හම්බෙන්නත් කලින් ඉදල මම වෙන කෙනෙක්ට ආදරය කරනවා කියල දම්මිගෙන් පිලිතුර ලැබෙනවා.
දැන් සුගත්ට මොකද වෙන්නේ?හරියට කාරනා ‍සොයා ‍නොබලා සාදාගත් සිහින මාලිගාව අකුනු සැරයකින් දෙදරා යනවා.ප්‍රේමයේ උපරිම ස්ථානයේ සිටි සුගත් අගාධයේ පතුලටම වැටෙනවා විතරක් නෙමෙයි,බීමතට ඇබ්බැහි වුන කාලකන්නියෙකු බවට ඔහු රූපාන්තරනය වෙනවා.අහිංසක ආදරයකින් මන්මත් වී සිටි තරුනයා බේබද්දෙක් බවට පත් වීමට ගතවුනේ කෙතරම් සුලු මොහොතක්ද?ඒ මොහොත කෙතරම් තීරනාත්මකද?ඒ මොහොත සිහිනයේ සහ යථාර්තයේ සීමාව වෙන් කරන කඩඉම වැනියි.සුඛාන්තයේ සහ ඛේදවාචකයේ පරතරය ලකුනු කරන මායිම වැනියි.

මේ විශාල පෙරවදන සදහන් කලේ ගොලු හදවත ගැන විචාරයක් කරන්න නම් නෙමෙයි.ඒ නිසා ගොලු හදවත පිලිබද කියවන්න හිතාගෙන ආ අය window එක වහල වෙන බ්ලොග් එකකට යන්න.දේශපාලනය ගැන කතාකරන්න කැමති අය නතර වෙන්න.
ලාංකීය දේශපාලනයේ මේ එලඹෙමින් පවතින මොහොත වූ කලී කවරක්ද?මෙය වූ කලී අපට ගොලු හදවතෙහිදී මුන ගැසුනු බෙදුම් රේඛාව හමුවන මොහොතයි.එනම් ආන්ඩුව නමැති සුරතල් පෙම්වතිය/සිහින කුමරිය ලංකාවේ සමාජය නැමැති පෙම්වතාට බැහැ කියන මොහොතයි.මට වෙන පෙම්වතෙක් ඉන්නවා කියන මොහොතයි.
වර්තමාන ආන්ඩුව එනම් රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආන්ඩුව බලයට ඒම සහ වෙනත් මෑතකාලින ආන්ඩු බලයට ඒම අතර වෙනසක් තියෙනවා.මෙම ආන්ඩුව සහ මෙම ආන්ඩුව සමග සන්ධානගතව සිටි පිරිස් විසින් විශාල මතවාදීමය ආවරනයක් ඊට මුල සිටම ලබාදෙනු ලැබුවා.එම ආවරනය ජාතිකවාදී ආවරනයක්.දැන් ඇමතිවරුන් රූපවාහිනී සංවාද වලදී නිතරම පුනරුච්චාරනය කරන දේවල් කිහිපයක් තියෙනවා.එනම් අපේ අතිගරු ජනාධිපතිතුමා රටේ සුවද හදුනනවා,එතුමා ‍රනිල් වගේ රටේ සම්පත් වෙන කාටවත් දෙන්නෙ නැහැ,ජාතික ආර්ථිකය ගොඩනගනවා,ඒකීය රාජ්‍යය රකිනවා-මේ නැවත නැවත පුනරුච්චාරනය වෙන සූත්‍රයන් තුල අන්තර්ගතවී ඇති වචන.
1977 සිට පැවති සියලු ආන්ඩු කොන්දේසි විරහිතව පිලිගන්නා ලද පෞද්ගලිකකරනය ඇතුලු නව ලිබරල්වාදී සංකල්ප තමන් ප්‍රතික්ෂේප කරන බව රාජපක්ෂ ආන්ඩුව නොබියව පැවසුවා.මේ "අභීත" ප්‍රකාශය ඉදිරියේ ආනන්දයෙන් පිනා ගිය වාසුදේව නානායක්කාර වැනි වාමාංශිකයින් ජනාධිපතිතුමාව ආදරයෙන් වැලද ගත්තා පමනක් නෙමෙයි ඔහුගේ "අධිරාජ්‍ය විරෝධී"ගමනට උපදෙස් දෙනු වස් උපදේශක පට්ටමකටත් කර ගැසුවා.
මේ අනුව ආන්ඩුව විසින් සමාජය ඉදිරියේ මවන ලද්දේ අතිශය මනස්කාන්ත සිහිනයක්.මෙතෙක් කල් පැවති සම්පත් වෙන්දේසි කරන,බහුජාතික සමාගම් වලට රට විකුනන,පුද්ගලිකකරනය කරන ආන්ඩු වෙනුවට අමුතුම ආකාරයේ ආන්ඩුවක් බිහිවි තිබෙන බවක් සමාජයට හැගෙන්නට වුනා.ගෝලීය ධනවාදයේ බලපෑම් අභිමුව දන නොනමන ආන්ඩුවක්.ඉනුදු නොනැවත ඊට අභියෝග කරන ආන්ඩුවක්.මේ සිහිනය කෙතරම් දුර ගියාද කියනවා නම් රූපවාහිනි සංවාදයකට ආ සංස්ථා සභාපතිවරයෙක් රාජපක්ෂ මහතා ෆිදෙල් කැස්ත්‍රෝගේ චාවේස්ගේ ගොඩට දා ඔහු ඊටත් වඩා සූක්ෂම නායකයෙකි ආදි ලෙස වාග් හරඹයකත් යෙදුනා.
ආත්ම ගනනක් පතමින් සිටි වර්ගයේ අති පාරිශුද්ධ/යහපත් තරුනියක් එක පාරට මහපාරෙදි හමුවුනාම ප්‍රීතියෙන් මඤ්ඤං වෙන තරුනයෙක් වගෙයි.සමාජය වහ වහා ආන්ඩුව සමග ප්‍රේමයෙන් වෙලෙන්නට වුනා.ඕනෑම ප්‍රේමයකදී මෙන්ම මෙහිදිත් පෙම්වතා ශෘංගාරයෙන් පිරි පරිකල්පිතයකට ඇතුලු වුන අතර ඒ නිසාම යතාර්තය තුල මහ පොලොවේ සිදුවුන සිදුවීම් කිහිපයක් ඔහුගේ අවධානයෙන් මග හැරුනා.එම සිදුවිම් දැක්කත් ප්‍රේමයේ උත්කර්ෂය නිසාම ඒවා වැඩිය ගනන් නොගෙන සිටින්නට සමාජය යොමුවුනා.
මේ සිදුවීම් අතරින් කිහිපයක් මෙසේ සටහන් කර ගනිමු.
අති විශේෂ ගැසට් පත්‍රයකින් කොටින්ගෙන් "මුදාගත්"නැගෙනහිර පලාතේ වර්ග කිමි ගනනාවක භූමි ප්‍රදේශයක් විශේෂ ආර්ථික කලාපයක් ලෙස නම් කොට ඉන්දියාවට පවරා දෙනු ලැබුවා.එය කරන විට නැගෙනහිර යුද ගැටුම් වලින් අනාථ වූ අදාල ප්‍ර‍දේශයේ පුරවැසියන් විශාල පිරිසක් යලි පදිංචි කොට තිබුනේත් නැහැ.
නමුත් සමාජයට එය එතරම් ගනනක් වුනේ නැහැ.
10ට 1ක අතිශය අවාසිදායක හුවමාරු අනුපාතයකට යටත්ව මන්නාරම් ද්‍රෝනියේ තෙල් ගවේෂනයට අදාල ගිවිසුමකට ආන්ඩුව ඉන්දීය සමාගමක් සමග ඇතුලු වෙනවා.රනිල් වික්‍රමසිංහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ අක්කර 65 000ක් නෝර්වේ සමාගමකට පවරා දීමට දරන ලද උත්සාහය භූමිය විකුනාදමන ද්‍රෝහී ක්‍රියාවක් ලෙස හගින ලද සමාජයට මෙම ගිවිසුම තරමක් "හිත රිදෙන "එකක් වුනත් ප්‍රේමයේ නාමයෙන් එයත් අමතක කොට දැමුනා.
පුල්මුඩේ ඛනිජ නිධිය විකුනා දැමුනා
ඛනිජ වැලි සංස්ථාව පුද්ගලිකකරනයට අවශ්‍ය පියවර ගැනුනා
රාජ්‍ය ආයතන පුද්ගලිකකරනය කිරීමේ අවශ්‍යතාවය මහ බැංකු වාර්තාව තුලින් දිගටම අවදාරනය කෙරෙන්නට වුනා.රජයේ ආර්ථික දැක්ම පිලිබද හරස්කඩක් වැනියි බැංකු වාර්තාව.පෞද්ගලිකකරනයේ වැදගත්කම රාජපක්ෂ ආන්ඩුවේ දස අවුරුදු දැක්ම නැමැති ලියවිල්ල තුල මතු කොට තිබුනා.සමාජය බැංකු වාර්තාව නොකියවන නිසාත් වන්නි සටන හා කීර්ති වර්නකුලසූරියගේ ආරක්ෂක සටහන විතරක් කියවන්නට පුරුදු වී සිටි නිසාත් මේ කාරනා දෙස ඔවුන්ගේ දෘෂ්ටිය යොමුවුනේ නැහැ.
විදුලි බල ක්ෂේත්‍රයට අදාල රාජ්‍ය අයිතිය අත්හැරීම අරමුනු කරගත් පනත පාර්ලිමේන්තුවේ සම්මත වෙන්නෙ මේ අතර.මේ පනත යනු 2002 යලි පුබුදමු ශ්‍රී ලංකා වැඩසටහන යටතේ එවකට රජය ඉදිරිපත් කල පනත මිස අනෙකක් නෙමෙයි.
ආයෝජන මන්ඩල‍යේ වානිජ ව්‍යාපෘතියක් ලෙස මාලඹේ පුද්ගලික විශ්ව විද්‍යාලයක් ඇරඹීමට ඉක්බිති අවසර ලැබෙනවා.
මේ සංසිද්ධීන් අභියස සමාජයේ ප්‍රතික්‍රියාව වුනේ කුමක්ද?"මහින්ද මහත්තයා මොකක් කරත් රනිල් වගේ රටට ද්‍රෝහී වෙන්නෙ නැහැ".සමාජය තුල ආන්ඩුව කෙරෙහි පැවති භක්ත්‍යාදරය එතරම්ම ප්‍රබලයි.
මේ සියලු සිදුවීම්වලට ප්‍රේමයේ නාමයෙන් විරුද්ධ නොවූ/ඒවා නොදුටුවා සේ සිටි සමාජයට කිසිසේත් මග හැර යා නොහෙන සංසිද්ධියට මුහුන දීමට සිදු වන්නේ ඉනික්බිතිව.
රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඇ.ඩොලර් බිලියන 1.9ක නය මුදලක් ගැනීමට සැරසේ යන්න දින කිහිපයකට ඉහත පුවත්පත් හරහා ප්‍රචාරයට ලක්වූ ප්‍රවෘත්තියක්.
මේ නය මුදල කෙතරම් විශාලද යත් 2001 ආර්ථික වර්ධන වේගය (-) වූ අවස්ථාවේ ගන්නා ලද නය මුදලටත් වඩා දෙතුන් ගුනයක පරිමාවක් නය ලෙස ගැනීමටයි රජය යොමු වී තිබෙන්නේ.
ගෝලීය ධනවාදයට පාට් දැමූ ආන්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නමැති එහි පදනම් ආයතනයකින් ඉතිහාසයේ ගන්නා ලද විශාලතම නය මුදල අරගැනීමට යාම සමාජය තුල තිගැස්මක් ඇති කරන බව දන්නා රජය දැන් විවිද කතන්දර පවසමින් තිබෙනවා.
ඇතැම් ඇමැත්තෙක්ට අනුව මේ නය සමග කිසිදු කොන්දේසියක් පැනවෙන්නේ නැහැ.අවසන් වතාවට එම අරමුදල විසින් ලංකාවට 2003දී අනුමත කල ඩොලර් මිලියන 567 සදහා කොන්දේසි ගනනාවක් ඉදිරිපත් කලා නම් ඒ වගේ අති විශාල ගුනාකාරයක මුදලක් නයක් ලෙස දීමේදී කොන්දේසි නොපැනවීමට ජා.මු අරමුදල එක්වරම ග්‍රාමීය පුන්‍යාධාර සමිතියක් බවට පත්වෙලාද දන්නෙ නැහැ නේද කියන සරල පිලිතුර පමනයි ඊට දෙන්න තියෙන්නෙ.
තවකෙක් පවසන ආකාරයට මෙම නය මුදල ලංකාව සතු "හිමිකමක්".ඒ කියන්නෙ මේක ගන්න යන්නෙ අපේ නැති කමට නෙමෙයි,කොටින්ම මේක නයකුත් නෙමෙයි.අපිට ලැබෙන්න "නියමිත" දෙයක් ලබාගැනීමක් වැනි අදහසක් ඒ තුල තියෙනවා.

කෙසේ වුවත් මෙවැනි සිත නොරිදෙන චාටු කතා කොපමන පැවසුවත් සිදුවෙමින් පවතින දෙය පැහැදිලියි.
ලංකාවේ ධනේශ්වර ආන්ඩුව නමැති වෛශ්‍යාව සමාජය නමැති පෙම්වතා සමග ගත කල තාවකාලික මධුසමය දැන් අවසන් වී තිබෙන අතර ඇය සුපුරුදු පරිදි ගෝලීය ධනවාදය නමැති ස්වකීය ගැනුම්කරුවාගේ පහස පතා ඒ සමග සැතපෙන්නට කල් යල් බලමින් සිටිනවා.
regaining sri lanka යෝජනා මහින්ද චින්තන දවටනයෙහි ඔතා ආර්ථික දේහය මත එබ්බවීම මේ අනුව ඉදිරියේදී සිදුවීමට නියමිත යථාර්තයක්.මෙම නය මුදල ලංකාවේ දේශපාලන ඉදිරි ගමනට අදාල හැරවුම් ලක්ෂ්‍යයක් ලෙස දැකීම නිවැරදියි.
එක් පසෙකින් වෝල් ස්ට්‍රීට් කඩාවැටීම සමග ගෝලීය වශයෙන් ධනවාදී ක්‍රමය දරුනු දෙදරා යාමකට ලක්වී තිබෙනවා.එකී ධනවාදයේමැ අනුගාමීන් වන පරිවාරයේ රාජ්‍යයන්ට හිසෙහි අත ගසාගන්නවා හැරෙන්න මේ සන්දර්භය තුල වෙනත් විකල්පයක් නැහැ.රාජපක්ෂ රජය අභිමුඛ වන්නේත් එම යතාර්ථයට.මේ නිසා ආන්ඩුවේ ව්‍යාජ අධිරාජ්‍ය විරෝධී සලුපිලි එකිනෙක ලිහී යාම ඇරඹී තිබෙනවා.
ආර්ථික වශයෙන් සිදුවන මෙම අනුගතවීම දේශපාලන ව්‍යුහටත් බලපෑම වැලැක්විය නොහැකියි.ඒකීය රාජ්‍යය ගැන රාජපක්ෂගේ පොරොන්දුව නුදුරේදීම කඩ කෙරෙනු ඉතා හොදින් බලාගන්නට පුලුවන් වනු ඇති.විදේශ ඇමතිතුමා 13+(දහතුන්වන සංශෝධනය ඉක්මවා ගිය බලය බෙදීමක්)පිලිබද කරන ඉගිය මේ පිලිබද තේරුම් ගැනීමට ඉඩ තබන සංඥාවක්.
ආන්ඩුව තමන්ගේ ව්‍යාජ භූමිකාව අතහැර චපල පෙම්වතියගේ භූමිකාවට මාරු වීම සමග ඇය කෙරේ විශ්වාසය තැබූ සමාජයේ ඉරනම කුමක් වනු ඇද්ද?
සමාජයත් සුගත් මෙන් බේබද්දෙකු හා කාලකන්නියෙක්ගේ ඉරනමට ලක්වනු ඇත්ද?
ඇත්ත වශයෙන්මැ සමාජය එවැනි ඉරනමකට ලක්විය යුතුද?
ධනපති පංතියේ "දේශප්‍රෙමය"පිලිබද මිථ්‍යාව තූ තූ කර දමන මෙම මොහොත නිසැකවම අතිශය තීරනාත්මක අවස්ථාවක්.

- මෙම සටහන නාමල් උඩලමත්ත,නිලන්ත යන මහත්වරුන් වෙනුවෙන් විශේෂයෙන් වෙන්කිරීමට කැමතියි.මේ සම්බන්ධව එතුමන්ලාගේ අදහස් විශේෂයෙන් අගය කෙරෙනවා-

10 comments:

  1. අරවින්දApril 2, 2009 at 6:04 AM

    මුලින්ම තාවකාලික ආර්ථික අර්බූදයක් යනු ධනවාදයේ කඩා වැටීමක් ලෙස හඳුන්වා දීම ආර්ථික විද්‍යාවේ මූලික කරුණු වත් නොදත් පොතේගුරු මාක්ස්වාදියකුට පමණක් කළ හැකි අඳබාල කියමනක්. කමක් නෑ ඉතින් ඒක රාමචන්ද්‍ර මහත්තයාගේ ජීවන දර්ශනය නිසා පොඩ්ඩකට අමතක කරමුකෝ.

    මෝටර් සයිකලයක් පාරේ පිඹගෙන යනකොට "ඕකා ඔය යන විදියට ගිහිල්ලා ඇණ ගන්නවා ෂුවර්" කියා ඕනේ කෙනෙකුට හිතෙනවා. මහින්ද රටට දරා ගන්න බැරි වියදමක් යුද්ධය වෙනුවෙන් කරන කොට මේ වගේ කතා කියපු අය ඕනේ තරම් හිටියා. ඒ නිසා මේ ඇණ ගැනීම කාටවත් පුදුමයක් වත් මහා සොයා ගැනීමක් වත් නෙවෙයි, බංකොළොත් මාක්ස්වාදීන්ට හැරෙන්න.

    කොහොම රටට පෙන්නුවත් චම්පික රණවකලාට විමල් වීරවංශලාට ඕනෙ වුනේ මහින්ද ලවා කොටියට/දෙමළුන්ට ගහන්නත් සුළු ජාතීන්ට පොඩි චන්ඩි පාට් ටිකක් දාගන්නත් විතරයි. මහින්ද ඔහොම නෙවෙයි ලෝක බැංකුවේ අධෝ මුඛය ලෙවකාල ණය ගත්තත් උන්ට ඒක ප්‍රශ්නයක් නෑ. රාමචන්ද්‍ර හිතාගෙන ඉන්නවා වගෙ මහින්දගේ පාරිශුද්ධභාවය මේ කාටවත් වැදගත් නෑ.

    රාමචන්ද්‍ර නොදන්නවා උනාට ණය ගත්තාය කියා මහින්ද ගෝලීය ධනවාදය සමඟ එක් වීමක් වෙන්නේ නෑ. (රාමචන්ද්‍රලාට ඉතින් කවුරු හරි සුරුට්ටු කඩයක් දාන්න ණයක් ගත්තත් ඒක ගෝලීය ධනවාදය හා එක් වීමක්!) මහින්ද කියන්නේ ධනවාදියකු නොව ගම්පෙරළියේ ජිනදාස වගේ වගේ පසුගාමී වැඩ වසම් චරිතයක්. ධනවාදීන් කියන්නේ පියල්ලාට මිසක් ජිනදාසලාට නෙවෙයි. ජිනදාසට නන්දාගේ අත ගන්න පුළුවන් වුනා වගේ මහින්දත් යම් යම් ජයග්‍රහණ හිමිකරගත් බව ඇත්ත. ඒත් දීර්ඝකාලීනව එයාට අත්වන්නේද ජිනදාසගේම ඉරණම තමයි.

    ReplyDelete
  2. රාජපක්ෂ රෙජිමය තුල වැඩවසම් ලක්ෂන පැවතියත් එය වැඩවසම් පාලනයක් නෙමෙයි.වැඩවසම් ලක්ෂන ලංකාවේ දේශපාලනය තුල තවම තියෙන්නෙ අපේ සමාජය පසුගාමී ධනවාදී රටක් හින්ද.පසුගාමී "ධනවාදී"පාලනයක් කියන්නෙ වැඩවසම් පාලනයකට නෙමෙයි.රාජපක්ෂ පමනක් නෙමෙයි ජයවර්ධන,ප්‍රේමදාස,චන්ද්‍රිකා වැන්නන‍්ගේ පාලනයන් තුලත් වැඩවසම් "ලක්ෂන" පැවතියා.ඒත් මූලික වශයෙන් මේ පාලනයන් ධනවාදීයි.ලංකාවෙ අද ආධිපත්‍යය දරන්නෙ ධනවාදී නිෂ්පාදන සම්බන්දතා මිස වැඩවසම් සම්බන්දතා නෙමෙයි.
    (සරලවම රජ කාලෙයි මේ කාලෙයි අතර වෙනසක් තියෙනවානේ?)
    මේ කාරනය හැරෙන්න අරවින්දගේ අදහස් දැක්වීමේ උත්තර දෙන්න තරම් වැදගත් දෙයක් නැහැ.ධනවාදය අධිරාජ්‍යවාදය ගැන ගැඹුරු හැදෑරීමක් රහිත අරවින්ද වැන්නවුන්ගෙන් වැදගත් අදහස් දැක්වීමක් අපේක්ෂා කරන්නත් බැහැ.
    ධනවාදයේ අර්බුදය ගැන මාතෘකාව ගොඩක් පලල් එකක්.ඒක වෙනම කතාකෙරෙන්න අවශ්‍යයි.
    1872 සිට මේ දක්වා ධනවාදයේ ගමන් මග අධ්‍යනය කරන්න.ධනවාදය තවම පවතින්නෙ එහි තියෙන මැජික් එකක් නිසා නෙමෙයි.එය වෙනස් කරන්න තරම් ශක්තිමත් බලවේගයක් හදාගන්න ලෝකයේ විකල්ප සමාජ ව්‍යාපාර තවම අසමත් ව තිබෙන නිසා.ගෝලීය ධනවාදය සහ එය විසින් ලෝකය ඇද වට්ටවා ඇති තැන ගැන තේරුම් ගන්න ඉස්කෝලෙදි උගන්නපු සම්ප්‍රදායික ලිබරල් සංකල්පවලින් බැහැ.අඩුම තරමින් අරුන්දතී රෝයිලා,ජෝන පර්කින්ස්ලා,නොම්චොම්ස්කිලා කියන්නෙ මොනවද කියල අන්තර්ජාලයෙන් හොයල බලන්න.
    ඔහේ කියවනවට වඩා හැදෑරීම තරමක් වෙහෙසකර ව්‍යායාමයක් වුනත් වැදගත් වෙන්නෙ පලමුවැන්න නෙමෙයි දෙවැන්න.

    ReplyDelete
  3. අරවින්දApril 2, 2009 at 8:10 PM

    ධනවාදය කියන්නේ ලෝකයේ මෙතෙක් පහළ වූ දියුණුම අර්ථ ක්‍රමයයි. රාජපක්ෂ වැනි නොදියුණු ඊනියා සුබසාධන සමාජවාදී නැඹුරුවක් ඇති වැඩවසම් පාලකයකු 'ධනවාදියකු' ලෙස හංවඩු ගැසීම මෝඩ මාක්ස්වාදී පොතේගුරෙකුට මිස වෙන කිසිවකුට කළ නොහැක්කකි. එය ධනවාදයට කළ හැකි ලොකුම අපහාසයයි. ඔවුන්ගේ දර්ශනය කොයිතරම් බංකොළොත්ද යන්න නෝම් චොම්ස්කි වැන්නන්ගේ න්‍යාය වල එල්ලීමෙන්ම පෙනේ.

    රාජපක්ෂ බලයට එනතුරු රජ කාලය හා වර්තමානය අතර එක්තරා මට්ටමකට වෙනසක් විය. දැන් ඒ වෙනසද අතුරුදහන් වෙමින් පවතී. (රජ කාලයේ මෙන්) අදද දෙවන පෙළ නායකත්වයට වැඩි සුදුසුකම ඥාතිත්වය හා රාජ පාක්ෂික භාවයයි. (රජ කාලයේ මෙන්) රජා විවේචනය මරණ දණ්ඩනයට හේතුවකි. (රජ කාලයෙ මෙන්) හැට හුටහමාරක් වන්දි භට්ටයෝ සිටිති. (රජ කාලයේ මෙන්) තමන්ට හිතවත් ප්‍රාදේශීය පාලනයන් ඇති කර ගැනීම රජාගේ මූලික අරමුණකි. (රජ කාලයේ මෙන්) සියළු ප්‍රධාන ව්‍යාපාරික කටයුතු සිදුවන්නේ රජා හරහා රජාට කප්පම් දීමෙනි. (රජ කාලයේ මෙන්) රජකමට ඊළඟ උරුමය පුතාටය. (රජ කාලයේ මෙන්) එක ආගමක් රාජ්‍යාගම ලෙස පිළිගැනේ (රජ කාලයේ මෙන්) සියළු විදේශ වෙළඳ සබඳතා ඇති වන්නේ රජා හරහාය; පුද්ගලික අංශයට එය කරන්නට ඉඩ දී නැත. (රජ කාලයේ මෙන්) බොහෝ විට පියාගේ රැකියාව පුතා හිමිවේ; පියා දේශපාලකයකු නම් පුතාද දේශපාලකයෙකි; පියා කම්කරුවකු නම් පුතාද කම්කරුවෙකි. (රජ කාලයේ මෙන්) රජා පාරේ යන විට පොදු ජනතාව කාණුවට බැසිය යුතුය - අද එය කරන්නේ ජාතික ආරක්ෂාවේ නාමයෙනි. (රජ කාලයේ මෙන්) හැම කෙංගෙඩියක්ම රජයෙන් පාලනය කෙරෙන අතර රට ධනවාදී සමාජයකට පරිවර්තනය වීම ඉතාම දරුණු ලෙස වළකා ඇත.

    වැඩ වසම් සමාජයක සිට ධනවාදයට යුරෝපයේ සිදුවූ පරිවර්තනය තවමත් අපේ රටේ සිදුවී නැති බව අපේ පොතේගුරු මාක්ස්වාදීන්ට නොවැටහෙයි. 'පසුගාමී ධනවාදය' කිය කියා තම න්‍යායන්ට සක්ක ගසන්නට ඔවුන් උත්සාහ ගන්නේ එබැවිනි.

    වැඩවසම් සමාජ ධනවාදයට පෙරළීම ගැන මාක්ස් පමණක් නොව බර්ටන්ඩ් රසල්ද දීර්ඝ ලෙස ලියා ඇත. මේවා කියවා තිබුනා නම් රාමචන්ද්‍ර රාජපක්ෂ ධනවාදියකුය මෝඩ තර්ක නඟන්නේ නැත.

    ලංකාවේ සැබෑ ධනවාදී නායකයින් සිටියේ දෙදනකු විතරය. ඒ ජේ. ආර් හා රනිල්ය. ප්‍රේමදාස, කොතළාවල හා චන්ද්‍රිකා බාග ධනවාදීන්ය. අනෙකුන්ට ධනවාදීන්ය කීම ධනවාදයට අපහාසයකි.

    ඔබ ධනවාදයට විරුද්ධ වූවාට කම් නැත. කරුණාකර ඊට අපහාස නොකරන්න. මම මාක්ස්වාදය පිළි නොගනිමි. එහෙත් වීරවංශ හෝ සෝමවංස මාක්ස්වාදීන් කියා මා ඊට අපහාස කරන්නේ නැත.

    ReplyDelete
  4. රාජපක්ෂ පාලනය ධනේශ්වර එකක් නොවේ එය
    අ)වැඩවසම් එකකි
    ආ)සුභසාදන සමාජවාදී එකකි ලෙස අරවින්ද පින්තාරු කරන්න දරන උත්සාහය අනුකම්පා සහගතයි.මේ තර්කය කෙතරම් නොසැලකිලිමත් එකක්ද යත් ඉහත අ සහ ආ එකිනෙක විසංවාදී බවවත් ඔහුට එහිදී නොවැටහේ.
    යම් රාජ්‍යයක ස්වරූපය තීරනය වෙන්නෙ එය රකින නිෂ්පාදන සම්බන්ධතාවල ස්වරූපය මත.දැන් එංගලන්තය නෝර්වේ වගේ රටවල රජවරුන් සිටිනවා.නමුත් එම රාජ්‍යයන් වැඩවසම් ඒවා කියල කියනවාද?මහින්ද වගේම අධිපතිවාදී,ඥාති සංග්‍රහ සහිත පාලනයන් ඕනේ තරම් ලෝකයේ ‍හොයා ගන්න පුලුවන්.පිලිපීනයේ මාකෝස්,ඉන්දුනිසියාවේ සුහර්තෝ එවැනි නිදසුන්.මේ පාලනයන් ධනවාදී පාලනයන් නොවේ නම් වෙන මොනවාද?සිහිබුද්ධිය ඇති කෙනෙක් මාකෝස්ට වැඩවසම්-feudal-පාලකයෙක් කියල කියනවද?
    ධනවාදය,වැඩවසම්වාදය වගේ වචන ඔහේ භාවිතා කරන්න බැහැ.ඒවා නිශ්චිත අර්ථයක් සහිත වචන.ලංකාවට ධනවාදය එන්නෙ 1833 කෝල්බෲක් ප්‍රතිසංස්කරන සමග.ඉන් වැඩවසම් පාලනයක මූලික පදනම් බිද දැමුවා.අනිවාර්ය රාජ්‍ය සේවය(රාජකාරි ක්‍රමය)අහෝසි කිරීම,රාජ්‍යය සතුව තිබූ වෙලද ඒකාධිකාරය අහෝසි කොට මහා පරිමාන පුද්ගලික ව්‍යවසායන්ට ඉඩ දීම ඒ අතර ප්‍රධානයි.
    ඉනික්බිති ලංකාව වැඩවසම් යුගයේ සිට ධනේශ්වර යුගයට සංක්‍රමනය වීම ආරම්භ වූ අතර මේ වනවිට වැඩවසම් ලක්ෂන කිහිපයක් හැරුනුවිට ලංකාවේ මූලික වශයෙන් තියෙන්නෙ ධනේශ්වර සමාජ ව්‍යුහයක්.
    විදේශ ආයෝජන,වෙලදාම ඉලක්ක කරගත් කෘෂිකර්මය,ප්‍රාග්ධන හිමියන් සහ වැටුපට වැඩකරන ශ්‍රමිකයන්,බැංකු ඇතුලු මූල්‍ය ප්‍රාග්ධනය සතු වැදගත්කම-ධනවාදයේ මේ සියලු ලක්ෂන ලංකාවේ අද තියෙනවා.ඕව රජ කාලෙ තිබුනෙ නැහැ.
    වත්මන් පාලනය සහ මෙතෙක් පැවති පාලනයන් මූලික වශයෙන් ධනවාදි කියන්නෙ එම පාලනයන් මෙම ධනවාදි නිෂ්පාදන සම්බන්ධතා ආරක්ෂා කරන නිසා සහ ඒවා පවත්වාගෙන යාමේ අරමුනෙන් ගොඩනැගුන නිසා.

    රජ කාලයේ හා වර්තමානයේ "සමානකම්"ගැන අරවින්දගේ විශාල උදාහරන ප්‍රමානයෙන් භාගෙට භාගයක් අතිශයෝක්තියෙන් කරන ප්‍රකාශ,
    නිද-අ)සියලු විදේශ වෙලද සම්බන්දතා රජා හරහා සිදු කෙරේ (ලංකාවට කිරිපිටි,ගෑස් ගෙන්නන්නෙ කවුද දන්නැහැ)
    ආ)රජා විවේචනය මරන දඩුවමට හේතුවකි(අතිශයෝක්තියක්.එහෙම නෛතික බලයක් විධායකයට නැහැ.රජකාලේ තිබුනා)

    අනිත් අතට ඔය ලක්ෂනම ඔහු මෙතෙක් බිහිවූ හොදම ධනවාදී පාලකයා කියන ‍ජයවර්ධන යුගයේත් පැවතියා
    නිද-අ)එක ආගමක් රාජ්‍යාගම ලෙස පිලිගැනීම
    ආ)හැටහුටහමාරක් වන්දිභට්ටයෝ සිටීම
    ඇ)දෙවන පෙල නායකත්වය රාජපාක්ෂික බව මත ලැබීම(දින රහිත ඉල්ලා අස්වීමේ ලිපි එහෙම මතක් කරගන්න)
    දැන් එහෙනම් ජයවර්ධන පාලනයත් ධනවාදී එකක් නොවේ වැඩවසම් හා "සමාජවාදී සුබසාදනවාදී"එකක් කියල පුලුවන්නම් කියන්න.
    ඔහේ වචන පාවිච්ච් කරන්නෙ නැතිව සංයමයක් හා හැදෑරීමක් සහිතව කාරනා ගැන කතාකරන්න කියල කියන්නෙ මේ නිසා.

    ReplyDelete
  5. ලිබරල් වාදය, ධනවාදය ගැන දෙසන බොහෝ ශ්‍රී ලංකිකයින් සිතනුයේ උසස් පෙළ හෝ සාමාන්‍ය පෙළ පංති වලදී තමන් එම විෂය සම්පූර්ණ කොට හදාරා ඇති බවයි. මෙනිසාම මාක්ස්වාදය යනු රුසියාව හා චීනය බව සිතයි. ධනවාදය යනු ඇමරිකාව බව සිතයි. සැබැවින්ම ධනවාදය ලෙස රාජ්‍ය ක්‍රමය නම් කිරීමම වැරදිය. ධනවාදී ආර්ථික ක්‍රමය සහිත රාජ්‍ය ක්‍රමය ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයයි.

    @ අරවින්ද
    ධනවාදයට අපහාස කිරීමට ඔබට මෙන් අදේශපාලනික ලෙස බංකොලොත් යන වචන වලට වඩා වචන ඇත. එය මිනිසුන්ට මිනිසුන් නැතිකරන,(දන් නැත්තම් alienation ගැන සොයා කියවන්න) කෲර ලෙස මිනිසත් බව පාවාදෙන, මිනිසුන් සත්තු කොට වැඩි දෙනෙක් මැරි මැරී උපයන විට ඉන් හොරා කිහිපදෙනෙක් වැජඹෙන (දන් නැත්තම් theory of surplus value කියවන්න) මගහැරිය ‍නොහැකි (නමුත් එය ඉක්මවා යා හැක) ආර්ථික ක්‍රමයකි.

    ReplyDelete
  6. යම් මතවාදයක් පිළිබදව කරුනු දැක්වීමේදී ඊට එරෙහි කරුණු දැක්වීම අපහාසයක් යැයි කීම නිවරැදි නොවේ.මන්ද තර්කය මතම එම කරුණ සිදුවන නිසාය. නමුත් හේතු,කරුණු රහිතව ලේබල් ගැසීම තම නොදැනුවත්කම නිරූපනය කරයි. මතවාදයක් ගැන කතිකාව තුලදී අදාළ මතවාදයට නොව පුද්ගලික ලේබල් කිරීම හෝ අපහාස කිරීම අදාළ පුද්ගලයාගේ අශික්ෂිත බව හා නොදැනුවත් කම පිළිබද පූර්ව ඉගි සපයයි.

    ReplyDelete
  7. අරවින්දApril 3, 2009 at 8:35 PM

    නොදන්නා දේශපාලනය හා ආර්ථික විද්‍යාව ගැන කතා නොකර දන්නා දෙයක් ගැන කතා කිරීම ඔබේම යහපතට හේතුවේ යැයි සිතමි. වර්තමානයේ තමන් 'මාක්ස්වාදීන්' යැයි කියා ගන්නා පුද්ගලයන්ගේ බුද්ධි හීනතාව පුදුම සහගතය. උන්ට ගමක සුරුට්ටු කඩයක් දාගෙන ඉන්නා සුරුට්ටු මුදලාලිත් ධනපතියෙකි. මේවාට ඉතින් අනුකම්පා කරනවා හැරෙන්නට කරන්නට දෙයක් නැත. අනෙක් අතට ලෝ කොලිටි පිං අධ්‍යාපනයක් ලද පිරිසකගෙන් අප මීට වඩා මොනවා බලපොරොත්තු වන්නද?

    ReplyDelete
  8. අරවින්දApril 3, 2009 at 8:41 PM

    කියන්න මතක නැති උනා. තව එකක්, ඔබේ පටු දැනුම් සීමාව තුළ ලංකාවට කිරිපිටි ගෑස් ගෙන්වන්නේ රාජ්‍ය සම්බන්ධතාවයක් නැතිව පුද්ගලික අංශය යැයි ඔබ සිතා සිටී. මේ රටේ වාණිජ කටයුතු කෙරෙන විදිය ගැන නොදන්නා ඔබේ පටු දැනුම් සීමාව තුළ ඒක ඇත්තය. දෙවන ශ්‍රෙනියේ ළමුන්ට ව්‍යාපාර පරිපාලනය උගැන්වීම මගේ ජොබ් එක නොවන නිසා මේවාට මා උත්තර දෙන්න යන්නේ නැත.

    ReplyDelete
  9. අරවින්දApril 3, 2009 at 9:13 PM

    @සියල්ලන්ටම,

    සටහනින්ම කියා ඇති පරිදි රාමචන්ද්‍ර මෙය ලියා ඇත්තේ මා සමඟ නොව උඩලමත්තේ නාමල් අමරසිංහ හා වාසල මුදියන්සේලාගේ නිලන්ත පියසිරි යන වර්ගවාදීන් සමඟ කොක්කක් ඇද ගැනීම සඳහාය. මම වර්ගවාදියෙක් නොවෙමි. එසේම මහින්ද රාජපක්ෂට සුදුහුණු ගෑමට මට කිසි අවශ්‍යතාවයක් නැත.

    මට මීට මැදිහත් වීමට සිදු වූයේ මහින්ද රාජපක්ෂ වැනි මෝඩ වැඩවසම් පාලකයකු නොදන්නා කමට ධනවාදියකු යැයි ලේබල් ගසමින් රාමචන්ද්‍ර ධනවාදයට අපහාස කළ නිසාය. මහින්ද රාජපක්ෂ ධනවාදියකු යැයි කීම විමල් වීරවංශ මාක්ස්වාදියකු යැයි කීමට සමානය. ඒකට එකඟ වීමට හෝ නොවීමට රාමචන්ද්‍රට ප්‍රජාතන්ත්‍රීය අයිතියක් ඇත.

    මේ නිසා රාමචන්ද්‍රට ඕනෑ කෙනකු සමඟ කොකු ඇද ගැනීමට ඉඩ හැර මම මේ වාදයෙන් ඉවත් වෙමි. (මතවාදීව මොන වෙනස්කම් තිබුනත් රාමචන්ද්‍ර වර්ගවාදීන්ගේ සළුපිළි ගලවනවා දැකීමට මට ආසාවක් නැතැයි කිව නොහේ.)

    ReplyDelete
  10. ගමෙන් පැමිණි හද්ද ගොඩයන් තම නොදැනුවත්කමේ හීනමානය වසා ගැනීමට වැදගත් කතාබහට පැටලී අවධානය යොමුකරගැනීමට උත්සාහ කරති. එය පොඩි එවුන් වැඩිහිටියන්ගේ අවධානය යොමුකරගැනීමට කෑගසනවාට වඩා අන්තය. ඔවුන්ට අවධානය යොමු කරගැනීමට සදහා ටොක්කක් කෑවත් සැපය. ඒ ටොක්ක අනින්නටද අවධානය යොමුකරගත යුතුනිසාය. හොදම දේ මොවුන්ගේ ෆොම් කිරීම් වලට අසුනොවී සිටීමයි.(රාමචන්ද්‍ර කරන්නාක්‍ මෙන්) නමුත් මේ උත්සාහය වඩා මානුෂීය තමන් ගොඩයෙකු බව දැන්වීමත් මෙම සංවාද සදහා එළඹීමට පෙර තමන් තවත් දැනුමෙන් සන්නද්ධව පැමීනීම හොදය වග දැන්වීමත්ය. නැත්නම් අර්ථවත් සංවාදයන් මැදට පැන බල්ලෙක් මෙන් බුරන අයෙක්ට පයින් ගසා එලවීම හැර අන් ක්‍රියාවක් සුදුසු නැත. (ගැමියා ගැන වචනයෙහි අර්ථය දේශපාලනිකව තේරුම් ගන්න, කොළඔ අවට හෝ ‍ෆ්ලැට්වල, මුඩුක්කු වල ඕනෑතරම් ගැමියන් ඇත)

    ReplyDelete