Thursday, April 23, 2009

පක්ෂ දේශපාලනය අතහැර සමගිවීම - දිනෙන් දින වයස්ගත වන රොමෑන්ටික් සිහිනය


සියලු සිංහලයන් පක්ෂ භේද අත් හැර එක්සත් විය යුතු බවට වූ බ්ලොග් සටහනක් පසුගිය දිනෙක දකින්නට ලැබුනා.60 දශකයෙහි පමන පලවූ මීට ටික කලකට පෙර මා ඇස ගැටුනු සගරාවකත් පක්ෂ භේද අතැර සියල්ලන් එකතු විය යුතු බවට වන සදහනක් පැවතියා මතකයි.දේශපාලන පක්ෂ භේද ඉවතලා එකතු වීම-මේ පැතුම මේ අනුව අවරුදු හැට හැත්තෑවක් පමන පරන එහෙත් ඉටු නොවුන පැතුමක් බවයි පෙනෙන්නට තිබෙන්නේ.අදත් මේ ප්‍රාර්ථනය (හොද චේතනාවෙන් හෝ එසේ නොවන චේතනාවෙන්)විවිධ පිරිස් විසින් සිදු කෙරෙනු දැක ගත හැකි අතර එසේවුවද එය ඉ‍ටුවන බවක් පෙනෙන්නට නැහැ.
ඇත්තටම එය ඉටු නොවන්නේ මන්ද?
ඊට දිය හැකි සරලම පිලිතුර නම් එය කවදාවත් ඉටුකරගත හැකි වර්ගයේ ප්‍රාර්ථනාවක් නොවන නිසා එය ඉටු නොවන බවයි.

දේශපාලන පක්ෂ භේද "අත්හැරීම" ගැන කතා කිරීමට පෙර දේශපාලන පක්ෂ භේද යනුවෙන් දෙයක් ජනිත වූයේ ඇයිද යන්න තේරුම් කර ගැනීම වැදගත්.මෙහිදී අපට ප්‍රතිවිරෝධතා(contradictions) නමැති සංකල්පය අවශ්‍ය වෙනවා.
යම් ප්‍රපංචයක් ගත්තම අපිට ඒ තුල විවිධ ප්‍රතිරෝධතා දකින්න පුලුවන්.සමාජය කියන ප්‍රපංචය ගත්විට එයත් එහෙමයි.එය ගොඩනැගිලා තියෙන්නෙ ප්‍රතිවිරෝධතා සමූහයක ඓක්‍යයක් ලෙසින්.
සමාජයක හරස් කඩක් සලකන විට ජාතිකත්ව කන්ඩායම් අතර ප්‍රතිරෝධතා පවතිනු දැකිය හැකියි.ආගමික කොටස් අතර විසංවාදයන් පවතිනවා.ඒ වගේම සමාජ පංතීන් අතර ප්‍රතිඝතාවයන් තිබෙනවා.ඒ කියන්නේ එකිනෙක‍ට පරස්පර විදිහට හිතන/වැඩකරන එකිනෙකට පරස්පර අභිලාෂයන් සහිත විවිධ විශාල කොටස් ගනනාවක ඒකාබද්ධ සමස්තය තමයි සමාජය.මෙම ප්‍රතිරෝධයන් මූලික/මූලික නොවන,සතුරු/සතුරු නොවන,බාහිර අභ්‍යන්තර වගේ අනු කොටස් වලට විභේදනය කල හැකි අතර කෙසේ නමුත් ප්‍රතිවිරුද්ධතා පද්ධතියක් ලෙසින් සමාජයක් නිර්මානය වන බව පැහැදිලියි.
එසේ නම් ‍දේශපාලන ස්වරූපී සංවිධාන බිහිවන්නේ කොහොමද?දේශපාලනයෙහි හරය යනු බලය.දේශපාලන ස්වරූපී සංවිධාන පැන නැගෙන්නේ අර පරස්පර උවමනා සහිත සමාජ කන්ඩායම් අතර බලය වෙනුවෙන් ඇති වන නොවැලැක්විය හැකි සටන පදනම් කොට ගෙනයි.
මේ සමග අතුරු ප්‍රශ්නයක් එනවා.අර සදහන් කල සියලු ප්‍රතිවිරෝධයන් එක හා සමාන බරක් සහිත ඒවාද?පැටලුනු නූල් බෝලයක් ලෙස මේ සියල්ලම බැලූ බැල්මට එක‍ට වෙලීයි තිබෙන්නේ.
youtube හි කොටි සංවිධානයට අදාල වීඩියෝ පට වලට යට ප්‍රතිචාර තීරයන්හිදී සිංහල හා දෙමල අය උනුනට අසැබි වචනෙන් බැන ගන්නවා.දකුනේ හාම්පුතුන් දවසේ වැඩමුරය වැඩි කල යුතු බවට ආයෝජන මන්ඩලයට යෝජනා කරන අතර වෘත්තිය සමිති ඊට විරුද්ධ සටනකට සූදානමින් සිටිනවා.අම්පිටියේ මුස්ලිම් බැතිමතුන් ප්‍රමානය ඉහල ගොස් තිබෙන අතර මුස්ලිම් බැතිමතුන් පල්ලියක් සාදනු ඇතැයි යන භිතියෙන් බෞද්ධ සංවිධානයක් උද‍්ඝෝෂනයක යෙදෙන්නට සූදානම් වෙනවා.
ජාති ආගම් පංති කුල මල පරස්පරතා එකට පැටලී තිබුනා යැයි පෙනුනත් මේ සියල්ල අතර මූලික වන්නේ කවරක්ද යන්න ගැන විමසුමක යෙදීම නොකල හැක්කක් නොවෙයි.
සියලු ප්‍රතිවිරෝධයන් අතර අතිශය ප්‍රධාන,අනෙකුත් ප්‍රතිරෝධයන්ගේද ස්වරූපය පවා නිශ්චය කිරීමේ තීරක බලය සහිත ප්‍රතිවිරෝධය කවරේද?
මේ ප්‍රශ්නයට උත්තර ගන්න නම් සමාජය නමැති සංවිධානයේ ස්වභාවය ගැන සාකච්ඡාවකට යා යුතුයි.
සාහිත්‍ය කලාව ගැන සංවාද කිරීම,ක්‍රිකට් ගැසීම,විශ්ව විද්‍යාලයට යාම-මෙවැනි ඕනෑම දෙයක් කිරීමට පෙර මිනිසා විසින් සිය මූලික අවශ්‍යතා වන ආහාර පාන වාසස්ථාන ඇදුම් පැලදුම් වැනි දේවල් සපුරා ගත යුතුයි.ද්‍රව්‍යමය නිෂ්පාදනය,හුවමාරුව හා පරිභෝජනය-මේ අනුව ඕනෑම සමාජයක කේන්ද්‍රීය ලක්ෂ්‍යය බවට පත්වෙනවා.නිෂ්පාදනය හුවමාරුව හා පරිභෝජනයට තනි නමක් දෙනවා නම් ඒ වූ කලී ආර්ථිකයයි.ඉතාම නූතන සමාජය ගත්තත් ආදිකල්පික පුරාන ගෝත්‍රික සමාජය ගත්තත් මේ හැම සමාජයක්ම සංවිධානය වෙලා තියෙන්නෙ ආර්ථික ජිවිතය කියන කේන්දූය වටා කවාකාර විදිහට.ආර්ථිකයෙහි/නිෂ්පාදන ර‍ටාවෙහි සිදුවන තීරනාත්මක වෙනසක් මේ අනුව මුලු මහත් සමාජයේම ස්වභාවය කනපිට හරවන තරම් වෙනසක් බවට පත්වීම සිදුවෙනවා.
(1833 සිට වැඩවසම් ආර්ථික සබදතා වෙලද ධනවාදී සබදතා වලින් විස්ථාපනය කිරීම ආරම්භ වීමත් එක්ක ලංකාවේ ජන ජීවිතය,දේශපාලනය,සංස්කෘතිය වගේ දේවල තීරනාත්මක වෙනසක් සිදුවූ අන්දම සලකා බලන්න)
මේ අනුව කවර හෝ සමාජයක වඩාත් තීරක විචල්‍ය වන ආර්ථිකය නමැති සාධකය සමග වෙලී පවතින ප්‍රතිවිරෝධයක් පවතිනවා.ඒ වූ කලී සමාජයේ පංතීන් අතර තිබෙන වෙනස/ප්‍රතිරෝධය.
මේ විරෝධය අතිශය ගැඹුරුයි.අතිශය ප්‍රබලයි.
මේක අපි තරමක් සරල නිදසුනකින් පැහැදිලි කර ගනිමු.
ලිහිල් මූල්‍ය නිති අධීක්ෂනයක් යටතේ ලලිත් කොතලාවල මහතා තමන්ගේ වැඩ කටයුතු කරගෙන ගියා.මූල්‍ය නීති ලිහිල් වෙන තරමට ඒ මහත්තයා ආසයි.මොකද වැඩි වැඩියෙන් විවිධ ක්‍රම හරහා ඉහල ආදායම් වෙත ඔහුට යා හැක්කේ ඒ තුලින් වන නිසා.නමුත් තමන් වෙහෙස මහන්සි ව උපයා අමාරුවෙන් ඉතිරි කරගන්නා මුදල ලලිත් කොතලාවලගේ මූල්‍ය ආයතනවල යොදවන සාමාන්‍ය මිනිසාට වඩා හිතකර කුමක්ද?ශක්තිමත් අධීක්ෂනයක් සහිත මූල්‍ය නීති ආවරනයක් ඔහුට වඩා හිතකර වෙනවා.
කොතලාවලගේ(පංතියෙහි)අවශ්‍යතා සහ එම පංතියට බාහිර සමාජ කොටස්වල අවශ්‍යතා මේ අනුව අන්‍යොන්‍ය වශයෙන් පරස්පර වෙලා.
ගාමන්ට් එකක් දුවවන ප්‍රාග්ධන හිමියා වඩා අඩු වැටුප් තලයක් ලබාදී සිය ලාභය තරකරගැනීම ගැන සිහින මවන අතර ප්‍රාග්ධනයෙහි ලාබ අඩු කිරීම මගින් සිය වේතන වැඩිකරගැනීම වැඩ කරන කාන්තාවට වඩා හිතකරයි.ඒ කියන්නේ අභිලාෂයන් පරස්පරයි.
සමාජ පංති අතර පවතින පරස්පර අභිලාෂයන් විසින් නොවැලැක්විය හැකි ලෙස මේ අභිලාෂයන් අතර ගැටුමක් ඇති කරනවා.යම් කිසි පංතියක් විසින් සමාජය තුල ගොඩනගා ගනු ලබන බලයට සමානුපාතිකව එම පංතියෙහි අභිලාෂයන් වඩා ස්ථාවර කෙරෙනවා.මේ විදිහට සිය බලය ගොඩනගා ගනු වස් එක් එක් පංතින් යොදාගනු ලබන උපකරනය කුමක්ද?
ඒ උපාංගය තමයි අපි "දේශපාලන පක්ෂයක්" ලෙසින් හදුනා ගනු ලබන්නේ.
තමන් "සියලු රටවැසි ජනයා"නියෝජනය කරන බවට කෙතරම් කයිවාරු ගැහුවත් සෑම පක්ෂයක්ම සැම විටම නිශ්චිත සමාජ පංතියක/පංතියක කොටසක අභිලාෂයන් නියෝජනය කරමිනුයි ගොඩනැගෙන්නේ.පක්ෂයක පංති ස්වභාවය තේරුම් ගැනීමට නම් මතුපිට ආටෝප දවටන විනිවිද ගැඹුරට යන්න වෙනවා.නිදසුනක් ලෙස එජාපයට චන්දය දෙන කම්කරුවන් සිය දහස් ගනනින් ඉන්නවා.එසේ වූ පමනින් එය කම්කරුවන්ගේ පක්ෂයක් වෙන්නෙ නැහැ.දෙන ලද පක්ෂයෙහි ආර්ථික දේශපාලන ප්‍රතිපත්තිය,එම ප්‍රතිපත්තිය මූලික වශයෙන් සේවය කරන‍්නේ කුමන සමාජ ස්ථරය වෙනුවෙන්ද යන්නයි මෙහිදී තීරනාත්මක වනුයේ.
කුප්පියාවත්තේ සාගරගේ ඉදල හොරොව්පොතානේ සියදෝරිස් දක්වා සියලු දෙනා බුලත් කොලයට/අලියට කතිරෙ ගැහුවට අදාල පක්ෂ වල තීරන ගනු ලබන්නේ ඔවුන් නොවෙයි වෙනම බලගතු පංතියකි යන්න හොදට ‍සොයා බැලූ විට දැකගත හැකියි.
සිය පංතියෙහි බලය පවත්වා ගෙන යාම වෙනුවෙන් මෙම පක්ෂ ක්‍රියාත්මක වෙනවා.
වර්තමාන සමාජයෙහි බලය සහිත පංතිය වන ධනේශ්වර පංතියෙහි පක්ෂ මෙ අනුව මේ මොහොතෙහි ශක්තිමත්ව පවතින අතර එම පංතියට පිටස්තරව විවිධ පංතින් හා සමාජ ස්ථරයන් අතුරින් විවිධ පක්ෂ පැන නැගිමත් දැක ගත හැකියි.සිය පංතිය තුලම කන්ඩායම් අතර ඇති ප්‍රතිවිරෝධයන් නිසා ධනේශ්වර පක්ෂ උනුන් සමගත්,පංති හා පංති අතර ඇති ප්‍රතිවිරුද්ධතාවය නිසා ධනේශ්වර පක්ෂ එසේ නොවන පක්ෂ සමගත් අඛන්ඩ සටනක වෙලී සිටිනු දැක ගත හැකියි.
(අධිපති පංතියෙහි බලය තීරනාත්මක විදිහට පිටස්තර පංතියක් අතින් අභියෝගයට ලක්වෙන අවස්ථාවකදී නම් අධිපති පංතියෙහි විවිධ පක්ෂ භේද අමතක කර සම්මුතීන් වෙත ගමන් කිරීම සිදුවිය හැකියි.දෙවන ලෝක යුද්ධයට පසු කාලය තුල ඊනියා කොමියුනිස්ට් විරෝධී පනත් ගෙන එමින් වාමාංශික කොටස් මර්ධනය කිරීමට අමෙරිකාවේ ඩිමොක්‍රටික් හා රිපබ්ලිකන් යන දෙපාර්ශවයම ලෝභ නැතිව ඒකාබද්ධ වුනා.ලංකාවේ පීඩිත තරුන කොටස් අතින් 1971දී රාජ්‍ය බලය තර්ජනයට ලක්වන විට විපක්ෂයෙහි සිටි එජාපය හා ආන්ඩුව ඊට මුහුන දෙනු වස් එක පෙලට පෙලගැසුනා.කෙසේ වුනත් සාමාන්‍ය තත්වයන් තුලදී නම් මෙම පක්ෂ මතුපිට තලයේදී උනුන් සමග පරස්පරතාවයන් සහිත භාවිතයක නියැලී සිටිනු දැකිය හැකියි)
තරමක පැරනි නිදසුනකට ගියහොත් 1917 මැද භාගය වනවිට රුසියානු සමාජය තුල පැවැති දේශපාලන පක්ෂ වල භූමිකාව දේශපාලන පක්ෂ වල පංතිමය ස්වභාවය පිලිබද විමසුමකදී යොදා ගත හැකි සාම්පලයක්.එහිදී ව්‍යවස්ථාදායක ප්‍රජාතාන්ත්‍රික පක්ෂය(කැඩේට් පක්ෂය)වැන්නක් රුසියානු ලිබරල් මතධාරී ධනේශ්වරය නියෝජනය කල අතර ධනපති පංතියට පිටින් බොල්ෂෙවික් පක්ෂය හා සමාජවාදි විප්ලවවාදී පක්ෂය ආදී පක්ෂ කම්කරු කොටස් හා ගොවීන් අතරින් පැන නැගී පැවතුනා.කැඩේට් පක්ෂය ධනේශ්වර එකක් ලෙස හැදින්වුනේ ඊට ධනේශ්වර නොවන අය සහය නොදුන් නිසා නොවෙයි.එහි ප්‍රතිපත්තිය සැකසී තිබුනේ ධනේශ්වරයේ අභිලාෂයන්ගේ පදනම මත වුන නිසා.අනෙත් අතට බොල්ෂෙවික් පක්ෂය වැඩකරන ජනයාගේ පක්ෂයකි යන්නෙන් වැඩකරන සියලු දෙනාම ඊට සහය දැක්වූවා යන්න අදහස් වෙන්නෙත් නැහැ.එම පක්ෂයෙහි වැඩපිලිවෙලෙහි හරය පැවතියේ වැඩකරන පංතියෙහි අභිවෘද්ධිය නමැති පදනමෙහි.

ඉතින් බොහෝ අය ප්‍රාර්ථනා කරන විදිහට ලාංකිකයන්ට,යටත් පිරිසෙයින් සිංහල අයට හෝ පක්ෂ භේද අත්හැර එක්සත් විය නොහැක්කේ ඇයි?එසේ විය නොහැක්කේ සමාජය සමගි කල නොහැකි ආකාරයට පංතිවලට බෙදී තිබෙන නිසා සහ ඒ පංතින්ගේ අරමුනු එකිනෙක ගැටෙමින් හැපෙමින් පවතින නිසා.දේශපාලන පක්ෂ වූ කලී මෙම විසංවාදී අරගලයන්හි ප්‍රතිඵලයක් ලෙස පැන නැගෙන සංවිධාන ව්‍යුහයන්.
සිංහල සමාජය තුලම ලාෆ් ගෑස් මුදලාලි මහතා(සහ එවැනි අනිත් අය)ගේ අපේක්ෂාවන් සමග කුප්පියාවත්තේ සාගරගේ යහපත ගැටෙනවා.සිය ආධිපත්‍යය පවත්වා ගනු වස් අදාල මුදලාලි මහත්වරුන්ට සංවිධාන ගත වී සාගරලාව ගොනාට අන්දන්නට සිදුවන අතර මේ බව වටහා ගනු ලබන සාගරගේ පංතියෙහි පුරෝගාමී කොටස් පෙරලා පක්ෂ,වෘත්තිය සංගම් හා සංවිධාන ලෙස සන්විධාන ගත වෙනවා.

බලය සදහා වූ අරගලයේදී නිර්ධනීන්ට සංවිධානය හැර වෙනත් අවියක් නැත
- වී.අයි.ලෙනින්

පංතින් අතර ප්‍රතිඝතාවයට අමතරව වෙනත් ප්‍රතිවිරුද්ධතාවයන් මිනිස් සමාජය තුල යට කී පරිදිම දැකගත හැකියි.මේ අනුව විවිධ ජාතිකත්ව හා ආගමික සටන් පාඨ සහිතවද දේශපාලන සංවිධාන බිහිවන ආකාරය නිරීක්ෂනය කරන්න පුලුවන්.කෙසේ නමුත් එවැනි සංවිධාන පවා පංති බෙදීමේ බලපෑමෙන් වියුක්ත ඒවා නොවේ.
නිදසුනක් ලෙස තමිල්නාඩුවේ ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් වැනි පක්ෂයක් ගතහොත් ඒවා දෙමල අනන්‍යතාවය අවධාරනය කරමින් ගොඩනැගෙන පක්ෂ වන අතරම පංතිමය වශයෙන් ඔවුන් ඉදිරියට දමනුයේ දෙමල ධනපති පංතියේ අභිලාෂයන්.ලංකාවේ TULF වැන්නක් ගත්තත් ඒවා හුදෙක් දෙමල පක්ෂ පමනක් නොවේ.ඒවා දෙමල "ධනපති" පක්ෂ ලෙස හදුනාගැනීමයි වඩා නිවැරදි වනුයේ.කොටි සංවිධානය,හෙල උරුමය-මෙවැනි දේශපාලන ව්‍යාපාර බිහිවීමෙහිලා ජාතිකත්වයන් අතර පරස්පරතා හේතු වී තිබෙන අතරමැ එම ව්‍යාපාර වල අරටුව පංතිමය ස්වභාවයක් සහිත වෙනවා.
සියලු දෙනා පක්ෂ අත්හැර එකතු වීම යනු කවදාවත් ඉටු නොවන වර්ගයේ ප්‍රාර්ථනයකැයි පැවසෙන්නේ මේ පදනම මත.මිනිස් කන්ඩායම් පංතිවලට බෙදී යන ආකාරයට සමාජය සංවිධානය වී පවතින තුරු,පංති අතර ගැටුමත්,එකිනෙකා සමග ගැටෙන දේශපාලන සංවිධාන වල බිහිවීමත් නියතයක් ලෙස පවතිනු ඇති.

7 comments:

  1. අරවින්දApril 23, 2009 at 7:38 PM

    අවසාන නිගමනය ගැන එකඟ විය හැකි වුව අසම්පූර්ණ විශ්ලේෂණයකි. හැම මිනිසාටම පුද්ගලිකවත් වාර්ගික වශයෙන්, පංතිමය වශයෙන් හා ලංකාවේ හා ඉන්දියාවේ නම් කුල වශයෙනුත් වෙනස් අවශ්‍යතා ඇත. මේ වෙනස් අවශ්‍යතා ඔවුන් දේශපාලන පක්ෂ වලට ගොනු කරයි. ධනේශ්වර සමාජයකදී මේ ප්‍රති විරෝධතා සමනය කිරීමට සාර්ථක උපාය මාර්ග ඇත. (උදා: 'තට්ටු මාරු' ක්‍රමය හා විරුද්ධ පක්ෂයේ කාර්යභාරය තේරුම් ගැනීම - එංගලන්තයේ රදළයන් කම්කරු පක්ෂය පිළිගත්තේ නිකම් නොවේ.) වැඩවසම්, අඥාදායක හෝ කොමියුනිස්ට් සමාජ වල එවන් ක්‍රම නැත.

    සිංහලයන් පක්ෂ බේද අතහැර දමා එකතු විය යුතුය කියන්නා 1960දී එසේ කිව්වේ වාර්ගික අවශ්‍යතා වෙනුවෙන් වීමට පිළිවන. අද එසේ කියන්නේ මහින්ද රාජපක්ෂ ලංකාවේ 'රජු' වනු දැකීමේ සිහිනයෙනි. උපක්‍රමිකව විරුද්ධ පක්ෂ (UNP පමණක් නොව JVPද) දියකර හැරීමට උත්සාහ දරණ මහින්ද රාජපක්ෂ පෙන්වන්නේ එක්කෝ දශක ගණනාවක පාර්ලිමේන්තු ජීවිතයෙන් පසුව පවා තවමත් ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ මේ සරල සිද්ධාන්ත අවබෝධ කර ගැනීමට තරම් ඔහු මෝරා නැති බවයි. නැතිනම් අපේ සමාජයේ වැඩවසම් ස්වරූපය ඔහු අන් කිසිවකුට වඩා හොඳින් අවබෝධ කරගෙන ඇති බවයි.

    ReplyDelete
  2. අරවින්දApril 23, 2009 at 7:45 PM

    Correction of factual error: උපරිම අධීක්ෂණය හැමවිටම මූල්‍ය ආයතනයක මුදල් තැන්පත් කරන්නන්ගේ යහපත සඳහා හේතුවන්නේ නැත.

    ReplyDelete
  3. එකිනෙකාට වෙනස් නැති, ඒකම අදහස් ඇති සමාජයක් ගොඩනගන්න, ක්ලෝනීය කරනය බාවිතා කරලා, ඇබයකින් වැසූ පරීක්ශන නලයක් තුල කරන්න යැයී, මම නිර්දේශ කරනවා.

    ReplyDelete
  4. හැටේ දශකයෙද සමගි වීම පිළිබඳ මුල්ම අදහස ඇති වුණේ? ඒ කියන්නෙ දැන් අවුරුදු 50 පි‍රිලා නැත්තං පිරෙන්න ලඟයි.

    අපේ අන්දලා සමගි වෙන එකක් නෑ. ඔය සංසිද්ධිය සැමරීමේ ජාතික මට්ටමේ වැඩසටහනක් තියලා ඕක ප්‍රකාශ කරපු කට්ටියට උපහාරයක් පුදයි ඕනනම්.

    ReplyDelete
  5. සමහරුන්ට මනුස්සකම විශ්වාස කරන්න බැරි වීම ගැන කණගාටුයි.කොහොම වුනත් තවත් හොද විශ්ලේෂනයක්.
    ලෝක වාම කදවුර කඩා වැටීමෙන් පසු රටවල ඇතිවූ විමුක්තිකාමී ව්‍යාපාර ජාති මුලික කරගෙන බිහිවූවා.(ඊට පෙර වාමාංශික දර්ශනයන් විමුක්තිකාමී ව්‍යාපාර වලට මග පෙන්වූවා)එතැනදි තමන්ට වන අසාධාරණයන් ජාතියට ලඝු කිරීම නිසා ව්ශේෂයෙන් තම විමක්තියට වඩා නව යටත්විජිත ප්‍රතිපත්තිවලට සහයෝගය දැක්වූ බව දක්නට පුළුවන්.
    මෙතනදි ඔබ විසින් සදහන් කර ඇති පංතිමය අවශ්‍යතාවනට පක්ෂ ගොනුවීම සත්‍යයක් වුවත් ලංකාව පිළිබද සැළකීමේදී 77න් පසු බිහිවූ බොහෝ පාලකයින් පන්තිමය තත්ත්වයකටද වඩා පහළට බැස වැඩවසම් ලක්ෂන පෙන්වූ බවයි මගේ අදහස. මෙය ‍පේමදාස හා මහින්ද යන නායකයින් දෙපළගේ සෘජුව දක්නට ලැබුනු අතර ඇමතිවරු බහුතරයක් මෙසේ වූ බව දක්නට ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස ඉහළ පංතියකට සෙත සැලසෙනවාට වඩා සිය නෑදෑ පරපුරට සෙත සැලසීමක් සිදුවේ. විශේෂයෙන් නායකත්වය පවුල තුල වරිගය තුල රදවා ගැනීමේ ගෝතික ලක්ෂන පෙන්නුම් කරයි.

    ReplyDelete
  6. @ අරවින්ද
    -ධනේශ්වර සමාජයකදී මේ ප්‍රති විරෝධතා සමනය කිරීමට සාර්ථක උපාය මාර්ග ඇත. (උදා: 'තට්ටු මාරු' ක්‍රමය හා විරුද්ධ පක්ෂයේ කාර්යභාරය තේරුම් ගැනීම - එංගලන්තයේ රදළයන් කම්කරු පක්ෂය පිළිගත්තේ නිකම් නොවේ.)-

    ධනේශ්වර සමාජයකදී(මේක පංතිවලට බෙදිල තියන හැම සමාජයකටම අඩු වැඩි වශයෙන් අදාලයි) ප්‍රතිවිරෝදතා "සමනය"කිරීම කියන්නේ බල සමීකරනය බලයේ සිටින පංතියට වාසිදායක වන විදිහට පවත්වා ගැනීම.එසේ නැතිව ප්‍රතිරෝධය "අහෝසි" කිරීමක් එතනදි වෙන්නෙ නැහැ.ඒ කියන්නේ ප්‍රාග්ධනය විසින් ශ්‍රමය සූරාගෙන කෑම දිගටම පවතිනවා.ඒත් (ඔබ දක්වා ඇති ලෙසම)තට්ටු මාරු ක්‍රමය වැනි ව්‍යාජ උපක්‍රම සුලුතර පංතියක අධිකාරය අනෙක් සමාජ කොටස් මත -අර සූරාකෑම වසන් කරමින්- පවත්වා ගෙන යන්න යොදාගන්නවා.
    -ඒක අපිට අනුව නම් කොහෙත්ම "හොද" දෙයක් නෙමෙයි-

    @ech-ඒ අදහස ඇතිවුනේ 60 දශකයේද දන්නෙ නැහැ.60දශකයේ සගරාවක මම ඒක දුටුවා.ඒ කියන්නේ ඒ කාලෙත් ඒ අදහස තිබිල තියනවා.සමහර විට ඔය අදහස ඊටත් පරන ඇති

    @පාලිත-
    -එතැනදි තමන්ට වන අසාධාරණයන් ජාතියට ලඝු කිරීම නිසා ව්ශේෂයෙන් තම විමක්තියට වඩා නව යටත්විජිත ප්‍රතිපත්තිවලට සහයෝගය දැක්වූ බව දක්නට පුළුවන්.-
    ඇත්ත.කොටි සංවිධානය වැන්නක් වරද්දා ගන්නා තැන ඔතන බවයි මගේ අදහස.ඒක කතාකරන්න වටින මාතෘකාවක්

    ReplyDelete
  7. @ රාමචන්ද්‍ර

    කොමියුනිස්ට් සමාජයක ඔබ දක්නා පරිදි ප්‍රාග්ධන විෂමතා ඉවත් වීම තුලින් පීඩිත පන්තියේ පීඩනය ඉවත් වීමක් ඔබ අපේක්ෂා කරනවා නම් එය හුදු මිථ්‍යාවක් පමණයි. ධනේශවර සමාජයක් තුළ ධනය විසින් බලය ළගා කර දෙන අතර කොමියුනිස්ට් සමාජයකදී බලය විසින් ධනය ලගා කර දෙයි. මේ අර්ථ ක්‍රම දෙකෙහිදීම පීඩිතයාට කිසිම සහනයක් ඇති නොවේ. ධනවාදී අර්ථ ක්‍රමයේ සුපිරි ධවවතුන් ගත් තැන කොමියුනිස්ට් අර්ථ ක්‍රමයේදී ගන්නේ පාලන අධිකාරියේ සුවච කීකරු නිලධාරීන් විසින්. කොමියුනිස්ට් රුසියාවේ සයිබීරියාවේ ගල් අගුරු පතල් වල සීතලේ වැඩ කිරීමට කම්කරුවාට සිදු වුනේත්, ලෙනින්ට තම මැදුරේ කවුළුවෙන් ද්නීපර් නදිය දෙස බලා සිටීමට හැකි වුනේත් බල සාකේන්ද්‍රනයේ අසමතා විසින් ඇති කල ධනයේ වෙනස් කම් නිසායි.

    ReplyDelete