Wednesday, April 29, 2009

මැයි 01 දොරකඩ සිට....


ධනයෙහි උල්පත ශ්‍රමයයි.
මිනිසා අනෙකුත් සත්ව වර්ගයාගෙන් තීරනාත්මකව වෙනස් කරන ලද්දේද ශිෂ්‍ටාචාරයේ ගාමක බලවේගය බවට පත්වූයේද මිනිස් ශ්‍රමයයි.දහඩිය සහ බුද්ධිය විසින් ඉතිහාසය ගොඩනගන ලදී.මානව සංස්කෘතිය නිර්මානය කරන ලදී.
අද්‍යතන ජීවිතයෙහි බලය වූ කලී -අනෙකුත් සියලු විසිතුරු දවටන ඉවතලා බැලූ කල- ශ්‍රමය මිස අනෙකක් නොවේ.
කම්හලෙක මැසිම කරකවන දෑත්,යතුරු පුවරුවක වේගයෙන් ගැටෙන ඇගිලි ස්පර්ශය,දිවා රෑ පුරා රසායනාගාර තුල වෙහෙසෙන දෑස් හා මස්තිෂ්ක සෛල-ධනය හා සෞභාග්‍යය නිර්මානය කිරීමේ පදනම මේ සියල්ලෙහි ඓක්‍යය මිස අන් කවරක්ද?

ඉතිහාසය නිර්මානය කල ශ්‍රමය එසේ වුවද ඉතිහාසය පුරා පාගා දමා තිබුනි.එසේ නැතිනම් සමාජ දේශපාලන ජිවිතයේ කේන්ද්‍රයෙන් ඉවතට පිටවහල් කර දමා තිබුනි.
දුට්ටගාමිනී 'රජු' විසින් රුවන්මැලි සෑය කෙරෙන ලදී යනුවෙන් ඉතිහාස ග්‍රන්ථ වල ලියැවී ඇත.සෑය ගොඩනැගුමට වෙහෙසුනු දෑත්වල හිමිකරුවන් පිලිබද අකුරකුදු එසේ නමුදු සටහන් වී නැත.ටජ්මහල ගොඩනැගුවේ සාජහන් "රජු"ය.චීන මහා ප්‍රාකාරය තව කවුරු හෝ රජෙකුගේ නිමැවුමකි.පිරමීඩ ඉදිකලෝ-ඒත් රජවරුය.කුමාරවරුය.මේවා වෙනුවෙන් සැබැවින්ම වෙහෙසුනු/නිදි වැරුනු/කරගැට මතුවුනු දෙඅත් හිමි හුදී ජනයා අමතක කොට දමා තිබෙන අතර ඔවුහු හුදෙක් මෙහෙකරුවෝ පමනක් වූහ.
වැඩ කරන ජනයා-සමාජයේ තීරන ගැනීමේ බලය ඔවුනගෙන් සැමදාම වෙන් වූ එකක් ලෙස පැවතින.පුරාන රෝමයේ වහලාගේ සිට වර්තමාන ලංකාවේ කය මනස වෙහෙසා වැඩකරන ශ්‍රමිකයා දක්වා සියලු දෙනා දක්වා ඇති සමාන ලක්ෂනය එයයි.බලය සෑම සමාජයකදීම/සමාජ ක්‍රමයකදීම පොදු සමාජයෙන් වෙන්ව උස්ව වැජඹෙන චූල සමාජයක,වරප්‍රසාද ලත් බමුනු කුලයක,පංතියක පරවේනි උරුමයක් විය.
එය අදද එසේමැ වී පවතී.
රාජ්‍ය බලය වරප්‍රසාද ලත් සුපිරි පංතියක් අත රැදී ඇත.එම සුපිරි පංතිය‍ වෙනුවෙන් පේවුන රූකඩයන් නහුතයක් අතරින් රූකඩයන් 225ක් වසර පහකට වරක් රුපියල් පහලොවට පින් බත් ගිලීම උදෙසා පාර්ලිමේන්තුව නමැති කතා සාප්පුවට යැවීමේ "බලය"පමනක් සමාජයට ලබාදි ඇත.මෙම වංචනික ක්‍රියාවලිය "ජනතා පරමාධිපත්‍යය" යන මහාප්‍රාන නාමයෙන් හදුන්වනු ලැබේ.කවර රූකඩයා දියවන්නාවේදී ගරු බුහුමන් ලැබුවත් ලාෆ් ගෑස් මුදලාලි වර්ගයේ ගසා කන්නෝ/මූල්‍ය ධනපතීහු ආන්ඩුව හා විපක්ෂය අතර ඇද ඇති කඹයේ නටති.එහි යෙහෙන් වැජඹෙති.
මැයි පලමු වැනිදා ගැන අප කතා කරන්නට යොමු වනුයේ මෙම සන්දර්භය යටතේය.
මැයි දිනය යනු කුමක්ද?
මැයි දිනය යනු ශ්‍රමයේ දිනයයි.වැඩකරන මිනිසාගේ දිනයයි.සමාජයෙහි කේන්ද්‍රයෙන්, දේශපාලන බලයෙන් ඉවතට පලවා හරින ලද එසේ වුවද ජාතික ධනය බිහිකරන,සමාජ ධනයේ හා බලයේ සැබෑ උරුමකරුවන් විය යුත්තන් වෙනුවෙන් වෙන්වුනු දිනයයි.
හෙට දවස පිලිබද අපේක්ෂා අහිමි කරවනු ලැබ මහ මග අයාලේ යන විරක්ෂාවට ලක්වුන තරුනයාගේ,වතුකරයේ ලැයිම් කාමර තුල සිරවී ගිලී ගිය දෑස් සහිතව දවසරින මැදිවියේ කම්කරුවාගේ,කුලියට ජීවිත කාලයම කඹුරන විශ්‍රාම වැටුපකුදු නොමැතිව දිරා යන ස්ත්‍රියගේ,දිනෙන් දින කප්පාදු කෙරෙන ප්‍රතිපාදන යටතේ අඩු පහසුකම් මධ්‍යයේ සිප් සතර හදාරන ශිෂ්‍යයාගේ-කොටින්ම කිවහොත් පවතින සමාජ ක්‍රමය විසින් පීඩනයට අවමානයට හා සූරාකෑමට ලක්කොට ඇති සියලු පීඩිතයන් උදෙසා වෙන් වූ දිනයක් වේද එය වූ කලී මැයි දිනයයි.
‍මේ අනුව මැයි දිනය අපට දෙන්නේ ශ්‍රමිකයා විසින් -පැය අටක වැඩ දිනය වැනි- දිනාගත් දේ ගැන සැමරීමක් පිලිබද පනිවිඩයක් පමනක් නොවෙයි.එය දිනා ගත යුතු එහෙත් දිනා ගෙන නැති තීරනාත්මක යමක් පිලිබද පනිවුඩයක් ගෙන එයි.
ඒ තීරනාත්මක "යම" යනු අනෙකක් නොව බලයයි.
බලය රහිතව පීඩිතයාට පීඩනය අහෝසි කල නොහැක.
මැයි දිනයෙහි වර්නය රතු වී තිබෙනුයේ ඇයිද යන්න බොහෝ අය දන්නේදැයි නොදනිමු.රත වූ කලී විරෝධයෙහි වර්නයයි.අරගලයෙහි සහ යුක්තියෙහි වර්නයයි.

එජාපය මෙවර මැයි දිනය සමරන්නේ නැති අතර ඒ වෙනුවට ආගමික වතාවත් වල යෙදී එලොවට සරිලන සේ පිනක් දහමක් කොට බන පදයක් ඇසීමට එම පක්ෂය තීන්දු කොට තිබේ.අතීතයේ සිය දාසයන් වලව්වට කැන්දා විශේෂ දවසකට හිනා මූනක් සමග පිලිකන්නේ වාඩි වී බුදින්නට යමක් දීමේ වැඩවසම් සිරිත සිහිපත් කරමින් ජනාධිපති උතුමානෝ රජවාසලෙහි නාඩගමක් නැටීමට මෙවර සූදානම්ව සිටින බව පුවත් පත් වාර්තා කොට තිබුනි.ප්‍රභාකරන්ගේ දුවගේ විභාග සහතික වැනි සංදර්ශන පෙන්වා ලිස්සා යා නොහැකි තරමට පවතින සිස්ටම් එක දෙදරා ගොස් ඇත.ඉනුදු නොනැවත ඉදිරි මාස කිහිපය තුල වඩාත් දරුනු ලෙස එය අර්බුදයට යාමට නියමිතය.ඒ නිසා නාඩගම් නැටිමට හුරු වීම දැන් සිටම එතුමාගේ නුවනට හුරුය.ලංගම වැඩ වර්ජනය ලෙස පසුගිය දිනෙක පුපුරා ගියේ මෝදුවෙමින් තිබෙන අසහනයයි.ජූලි 10 වර්ජනය යටපත් කලා සේ සමාජ විරෝධය මතුවටද යටපත් කිරීම එතරම්ම සනීපදායක වැඩක් නොවනු ඇත.

කෙසේ වෙතත් ප්‍රධාන පක්ෂ දෙකෙහි නායකයෝ වීදියෙන්/මහ පොලොවෙන් ඉවත්ව මාලිගා,පන්සල්වල රැදී මැයි දිනය "සැමරීමට" පටන් ගැනීම ඉතාම හොද දෙයකි.මන්ද පවතින අයුක්තිසහගත දේශපාලන සමාජ ක්‍රමය රැකීමට සිටින මෙවැන්නන්ට එම අයුක්තියටමැ ගොදුරු වූවන්ගේ දිනය සැමරීමට සදාචාරාත්මක අයිතියක් නැති බැවිනි.
කෙසේ වුවද තවද මැයි දිනෙක දොරකඩක සිට-අවධාරනය කල යුත්තේ මෙයයි.
ඉතිහාසය නැවත ලිවිය යුතුය.එය ලියනු වස් පන්හිද අතට ගත යුත්තේ ඉතිහාසය පුරා රැවටීමට භාජනය කරන ලද කය මනස වෙහෙසන්නාය.පීඩිතයාය.


" ස්වකීය අදහස් හා අරමුනු සැගවීම කොමියුනිස්ට්වාදීහු පිලිකෙව් කරති.දැනට පවතින සමාජ තත්වයන් අතරමැද සමාදානයක් රහිතව බිද හෙලීමෙන් පමනක් සිය අරමුනු සපුරා ගත හැකි බව ඔවුහු ප්‍රසිද්ධියේම පවසති.නැගී එන විප්ලව මාලාවක් හමුවේ පාලක පංතීහු බියෙන් වෙවුලත්වා!
ස්වකීය දෑත දෙපය බැදි යදම් හැර පීඩිතයන්ට නැති වීමට දෙයක් නොමැත.නමුත් ඔවුනට දිනා ගැනීමට ලෝකයක් ඇත "

- කොමියුනිස්ට් ප්‍රකාශනය - මාක්ස් / එංගල්ස් -

(සටහනෙහි ඡායාරූපය - ලන්ඩන් නගරයෙහි පැවැති මැයි දින සැමරුමකදී ගන්නා ලද්දකි)

3 comments:

  1. ධනයේ උල්පත ශ්‍රමය නොවෙයී. දැන් ධනයේ උල්පත, "සොයාගැනීම්" (Invention) වේ. ශ්‍රමයේන් ධනය ගොඩ නැගුනු කාලක් තිබුනි. ඒ ධනයේ උල්පත භුමියැයී, පැරනී චීන පඩිවරු කී කාලයට පසු කාලයය. ඉදිරියේදී, ධනයේ උල්පත වෙනත් දෙයක් විය හැක. සමහරවිටක, ඔය ධනයේ උල්පත් ගැන අමතකම කර දමා, සතුටේ උල්පත වාගේ දෙයක් සොයන්නට මිනිසුන් පෙලබෙන්න බැරිකමකුත් නැත.

    ReplyDelete
  2. සොයාගැනීම/නිපදවීම වූ කලී කායික/මානසික ශ්‍රමයේම ඵලයකි.එහි තවත් රූපාකාරයකි.
    කෙසේ ‍වුනත් අදහසට ස්තුතියි

    ReplyDelete
  3. @ Sam,
    ඔබ තව බොහෝ දුරට ඉගෙන ගත යුතුය. කොපමණ දේ කියැව්වත් අවශ්‍ය දේ කියවා නොමැති නම් වැඩක් නැත.

    මැයි දිනය දේශපාලනය සදහා යොදා ගන්නා බව මේ දිනවල කියනා තවත් කතාවකි. සැබැවින්ම කම්කරුවනට දේශපාලනයක් තිබිය යුතු නමුත් එකී දේශපාලනය මතවාදය හො වැඩපිළිවෙල අවසාන වශයෙන් තමන්ට විමුක්තිය උදාකරන්නේද නොඑසේ නම් කම්කරු එක්සත් වීම වළක්වන දේශපාලනයක් දැයි වටහා ගත යුතුය. විශේෂයෙන් කෙදිනක හෝ කම්කරු පංතියට විමුක්තියක් උදා කර දේ දැයි අපේක්ෂා කළ නොහැකි ආගමික වන්දනාවේ යෑමට කම්කරුවන්ට කිසියම් දේශපාලන සංවිධානයක් බලකරයි නම් ඒ තුලම කම්කරු පංතිය විනාශ කිරීමේ බලවේගය ක්‍රියාත්මක වන බව පැහැදිලිය.

    ReplyDelete