Tuesday, March 24, 2009

කුඩු ලාල්ගේ කතාව - he's only a pawn in their game

අවසානයේදී කුඩු ලාල් හෙවත් ලාල් පීරිස්ට ස්වකීය අපේක්ෂකත්වය නොලැබී ගියේය.නාම‍ යෝජනා දීමටත් පෙර කොලඹ හතර අතේ පෝස්ටර් ගැසූ ඔහුට නාම යෝජනා මන්ඩලය අභිමුවට ගොස් නැවත එන්නට සිදුවූයේ තටු හකුලගෙන හිස බිම නමාගෙනය.
ලාල් පීරිස්ගේ අපේක්ෂකත්වය අහිමි වීම ඇතැම් විට දේශපාලන සදාචාරවාදීන්ට අනුව ‍හොද දෙයකි.එය ජනාධිපතිතුමන්ගේ යහපත්භාවයත් රජයේ අවංක හා නිර්මල දේශපාලන භාවිතයත් පිලිබද නිදසුනකි.
රූපවාහිනී සේවයකට සාකචිඡාවක් ලබාදෙන ලාල් පීරිස් පැවසුවේ -රෝහිත අබේගුනවර්ධන වැනි-බොහෝ අය තමන් සමග අවුරුදු ගනනාවක් දේශපාලනය කොට ඇති අතර තමන් නීති විරෝධී ව්‍යාපාර කරන්නේ නම් පසුගිය වසර කිහිපය තුලම විරෝධයක් තමන් වෙත එල්ල නොවූයේ මන්ද යනුවෙනුයි.
මින් පැහැදිලි වන්නේ කුමක්ද?ලාල් පීරිස් නීති විරෝධී වැඩ නොකල බවද?
ඇත්තටම ඉන් පැහැදිලි වන්නේ ලාල් පීරිස් "අහිංසකයෙක්"යන්න නොව ලාල් පීරිස්ගේ "අවිහිංසක"නොවන වැඩ ගැන දැන දැනම ඔහුව වසර ගනනාවක් දේශපාලන අරමුනු වෙනුවෙන් භාවිතා වූ බවය.
ආදායම් උපයන මාර්ගය කුමක් වුවත් ලාල් පීරිස් සතුව සමාජයේ එක්තරා පිරිසකට,ස්ථරයකට අදාලව විශාල බලපෑම් කිරීමේ හැකියාවක් පැවති බව තතු දන්නෝ දනිති.ලුම්පන් සමාජ ස්ථරයන් හා පැවති සබදතා,ඔවුන්ට එදිනෙදා කාරනා වලදී කරන ලද උදව් උපකාර නිසා එම නිශ්චිත සමාජ කොටස අතරේ ලාල්ට ජනප්‍රියත්වයක් පැවතින.මේ අනුව ලාල් යනු එක්තරා අන්දමක ඡන්ද බැංකුවකි.
මේ නිසා -ලාල්ම දක්වන පරිදි-මෙතෙක් කල් සිදුවූයේ පාලක පංති‍ය හා පවතින දේශපාලන යාන්ත්‍රනය විසින් ලාල් නමැති ඡන්ද බැංකුව රිසි පරිදි ගසා කෑමය.ඔහුට තමන්ට කැමති විදිහකට ව්‍යාපාර පවත්වාගෙන යාම නමැති ලැයිසන් එක ලබාදුන් දේශපාලන අධිකාරිය එහි ප්‍රති ක්‍රියාව ලෙස ලාල් පීරිස්ගේ ඡන්ද තමන්ට ඇද ගැනීම ඉතා හොදට කරගෙන ගියේය.රෝහිත අබේගුනවර්ධනලාට පාර්ලිමේන්තු යාමට උපකාරී වූ චන්ද අතර එම චන්ද ද විය.
නමුත් දැන් සිදුවී ඇත්තේ කුමක්ද?දැන් ලාල් නමැති අශ්වයා වයසක එකෙක් බව පාලකයන්ට හැගී ගොස් තිබේ.මෙතෙක් කල් තමන් වෙනුවෙන් දරදිය ඇද්දද දැන් එම අශ්වයා තමන්ට "ඇනයක්"බවට පත්ව ඇත.විරුද්ධ පක්ෂ ආන්ඩුවට පහර දෙද්දී තුරුම්පුවක් ලෙස ලාල් පීරිස්ගේ නම භාවිත කිරීම පටන් ගැනීම සමග මෙම තත්වය තවත් තීව්‍ර වූයේය.
දේශපාලන චෙස් ක්‍රීඩාවේ ජයග්‍රහනය වෙනුවෙන් යොදාගනු ලැබූ ඉත්තෙකු(pawn) වන කුඩු ලාල් දැන් සිය පිලේ යහපත පිනිසම ප්‍රතිපක්ෂයට බිලිදෙන මොහොත පැමින තිබේ.
මේ නිසා කුඩු ලාල්ගේ කතාව දේශපාලන පාරිශුද්ධතාවය පිලිබද රොමෑන්ටික් ආදර්ශ කතාවකට වඩා එක්තරා ආකාරයක ඛේදවාචකයකි.පවතින දේශපාලන ක්‍රමයට මිනිසුන් වැදගත් නැත.එය මිනිසුන් දකින්නේ ඉත්තන් ලෙසිනි.එම ඉත්තන් තම අරමුනු වෙනුවෙන් රිසි ලෙස එහෙ මෙහෙ හසුරුවන දේශපාලන යාන්ත්‍රනය අවශ්‍ය වූ විටක සියලු වස් දොස් ඉත්තා මත පවරා ඔහුව බිලි දී අත පිසදා ගනී.ඇති තරම් වැඩගෙන පිලිකුල් සහගත හපයක් සේ ඉවත දමයි.
අන්තිමේදී කුඩු ලාල් හෙලා දැකිය යුතු අධමයෙකි.
ඔහුට අධම වැඩ කරන්නට ඉඩ දී මෙතුවක් සිය ඡන්ද මලු පුරවා ගන්නා ලද දේශපාලන අධිකාරීන් "දේශපාලන සදාචාරය සුරකින""ප්‍රජාතන්ත්‍රවාදයේ මුර දේවතාවුන්ය".
ඇත්ත වශයෙන්මැ විරුද්ධ විය යුත්තේ ඉත්තන්ටද?ඉත්තන් හසුරුවන දෑත්වලටද?
හෙලා දැකිය යුත්තේ ලාල්-හා එවැනි අනිත් අය-නොවේ.එවැන්නන් නින්දිත ලෙස ස්වකීය පැවැත්ම වෙනුවෙන් භාවිතා කරන/එපා වූ විට බිලි දෙන,එහෙත් සදාචාරවාදීන් ලෙස වැජඹෙන කුහකයන්ය
.

To kill with no pain
Like a dog on a chain
He ain't got no name
But it ain't him to blame
He's only a pawn in their game.

- Bob Dylan

3 comments:

  1. බොහෝම හොද පොයින්ට් එකක්. පුද්ගලයෙක් පාවිච්චි කිරීම හා scapegoat කිරීම. එවිට රජයට අයත් සියළු විවේචනයන් හා ජනතා කෝපය එක් පුද්ගලයෙකු පිටින් යැවිය හැක. මර්වින් සිල්වා, විමල් වීරවංශ මේ ඉරණම අත්වීමට සිටින පුද්ගලයින්ය.

    ReplyDelete
  2. මුනිස්සුන්ගෙ වැරදි දේශපාලකයන්ගේ පිටින් යවන එක හරිම ලේසියී. ප්‍රජාතන්ත්‍රවාදය තුල දේශපාලකයන් කියන්නේ ජනතාවගේ ඉලීලීම්, ඉවසීම් විතරයී. කුඩුලාල්ට ජන්දෙට යන්න අවසර ලැබුනානම් උන්දැට හොද ගානකට චන්දත් හම්බු වෙන්න තිබුනා.

    ReplyDelete
  3. Deshapalanaya karana udawiya ohuuwa iththek karagena weda aran dan thamai BAILA GAHANNE...!!!!

    ReplyDelete