Saturday, March 28, 2009

කර්මය-මානව නිර්මිතයක් ලෙස


කර්මය පිලිබද අදහස පෙරදිග ආගම් වල පොදුවේ දක්නට ලැබෙන ජනප්‍රිය අදහසක්.ජෛනාගම බුදුදහම පමනක් නොවෙයි හින්දු ධර්මය තුල ද කර්මය පිලිබද අදහස් දැක්වීම් දැක ගත හැකියි.යම් භවයක සිදු කරන කුසල් හෝ අකුසල් ක්‍රියාවක ප්‍රතිඵලය එම භවයේම හෝ වෙනත් භවයක පුද්ගලයාට බලපානු ලබන බව මෙම අදහසෙහි ඇති පොදු හරයයි.කර්මයෙහි බලපෑම ස්වභාවිකවම සිදුවන ස්වභාවික ධර්මතාවයක් ලෙසිනුයි හදුනාගැනෙන්නේ.බුදු දහම තුල එය නියාම ධර්ම පහෙන් එකක්.එනම් උතු නියාමය-සෘතු භේදය වගේම ස්වභාවිකව ජීවින්ට බලපාන නියමයක්.මේ අනුව බොහෝ විට කර්ම සංකල්පය පෙරදිග ආගම් බහුතරයක මූලධාර්මික පදනමක් ලෙසින්ම ඉදිරිපත් වනු දැකගත හැකි වෙනවා.
කෙසේ වුනත් කර්මය යනු ස්වභාවික ධර්මතාවයක්ද?නැතහොත් මිනිසා විසින් නිමවන ලද සංකල්පයක්ද ?මේ පිලිබද අදහසක් මතු කිරීම මෙම සටහනෙහි අරමුනයි.
සාමාන්‍යයෙන් අදේවවාදි කොටස් විසින් මතු කරන තරමක් ප්‍රසිද්ධ ප්‍රශ්නයක් තමයි මිනිසා දෙවියන් විසින් මවන නොලදී,මිනිසා විසින් දෙවියන් මවන ලදී කියන මතය.ලෝකය තේරුම් ගැනීමේදී පවත්නා දැනුම සීමාසහිත වන/අසමත් වන මොහොතක් එනවා.අද්භූත හා අධිභෞතික විග්‍රහ කිරීම් බිහිවන්නේ මෙසේ දැනුම සීමාසහිත වන අවස්ථා වලදීයි.පැහැදිලි කර ගැනීමට නොහැකි දෙයට එවැනි පාරභෞතීය සංකල්පයක් හරහා වෙනම අර්ථකතනයක් දෙමින් වෙනත් පැහැදිලි කර ගැනීමක් සාදා ගැනීමට මිනිසා උත්සුක වෙනවා.
නිදසුනක් විදිහට අකුනු ගැසීම,සුලි සුලං ඇතිවිම වැනි ස්වභාවික සංසිද්ධි තේරුම් කිරීමට අවශ්‍ය අවබෝධය අතීත මිනිසාට පැවතියේ නැහැ.ඒවා පැහැදිලි කිරීමට පවතින දැනුම සීමා සහිත වනවිට ඒවා දෙවියන්ගේ කැමැත්තට භාර දෙනු ලැබුවා.වහින එක,පායන එක මේ අනුව දේව කැමැත්ත අනුව සිදු වන දේ යැයි නිර්වචනය වුනා.
දෙවියන්ගේ ප්‍රභවය පිලිබද මේ සමීකරනයම කර්මය නැමැති සංකල්පයෙහි විකාශනයටත් ආදේශ කල හැකියි.
උපත ලබන දරුවෙක් පැහැපත් හා නිරෝගී අයෙක් වීමටත් තවෙකෙක් විරූපී හා අංගවිකල අයෙක් වීමටත් හේතුව කුමක්ද?මේ ගැන උත්තර හොයද්දි ජාන පිලිබද අවබෝධයක් හා දැනුමක් අතීත මානවයාට පැවතියේ නැහැ.දැනුම අසමත් වෙද්දි පැහැදිලි කිරීමක් සොයාගෙන මිනිසා හැරුනේ කර්මය දිශාවට.මේ අනුව පැහැපත් සමට හේතුව ලෙස දැක්වුනේ පෙර භවයක කරන ලද කුසල් කර්ම.අංගවිකල ශරීරයට හේතුව වුනේ එදිනෙදා භාෂාවෙන් කියනවා නම් - පෙර ආත්මයක කරන ලද පවු.
දැන් සමහරෙක් ඉතාම ධනවත් වී තිබෙන්නේ සහ තව සමහරු ඉතාම දුගී ජීවිත ගත කරන්නේ ඇයි?වර්තමානයේ අර්ථ ශාස්ත්‍රය ගැන හැදෑරිමක් සහිත කෙනෙක්ට නම් මෙයට හේතුව දේපල හිමිකමේ වෙනස සමග සම්බන්ධ කොට තේරුම් ගැනීම අපහසු නැහැ.නමුත් අර්ථ ශාස්ත්‍රීය දැනුම වර්ධනය වෙලා නොතිබුන අතීතයේ ආදායම් විෂමතාවය පැහැදිලි කර ගත නොහෙන තැන මිනිසා කර්මය නමැති සංකල්පයේ පිහිටෙන් මෙය පැහැදිලි කරගැනීමට යන්ත දැරුවා.මේ අනුව ලැබුන උත්තරය පෙර භවයක කරන ලද කුසල් සම්භාරය නිසා මේ ආත්මයේ පොහොසත් වුනා යන්නයි.ඇති නැති භේදයට බටහිරදී දේව කැමැත්ත නිසා එය ‍එසේ සිදුවිය කියන පිලිතුර ලැබෙන විට පෙරදිග ආගම් ඊට යෝජනා කල පිලිතුර වුනේ දෙවියන් වගේම අධිභෞතීය සංකල්පයක් වුන කර්මය.
මේ අනුව කර්මය කියන සංකල්පය ඉතිහාසයේ බිහිවුනෙත් තමන් එදිනෙදා මුහුන දෙන ප්‍රශ්න තේරුම් ගැනීමට මිනිසා දරන ලද උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙසයි කියන එක පැහැදිලියි.අවට පවතින දේ පැහැදිලි කරගන්න මිනිසා විසින් සංකල්ප ලෝකයේ නිර්මානය කල දෙවියන් වගේම තවත් අදහසක් කර්මය.මිනිසා විසින් දෙවියන් මවන ලදී කියලා කියන විට මිනිසා විසින් කර්මය වැනි අදහසුත් මවන ලදී කියලා එකතු කිරීමක් ඊට කලොත් එය වඩා නිවැරදි වෙනවා.
කර්මය සහ -මිනිස් නොවන -වෙනත් ජීවින් අතර සබදතාවය ගතහොත් කර්මය ස්වභාවික ධර්මතාවයකි යන අදහස අභියෝගයට ලක්වෙන ආකාරය නිරීක්ෂනය කරන්න පුලුවන්.
දැන් අපි පවු සහ පින් වර්ගීකරනය කරන්නේ කොහොමද?චේතනාත්මකව කරන "යහපත්"ක්‍රියා පිං ලෙසත් චේතනාත්මකව කරන "අයහපත්"ක්‍රියා පවු ලෙසත් බෙදා වෙන් කෙරෙනවා.මම චේතනාත්මකව සතෙක් මැරීම/සොරකම් කිරීම වැනි "වැරදි"දෙයක් කලහොත් එය අකුසලයක්.සිතා මතා දන්දීම,ලෙඩ අයට උදවු කිරීම වගේ "හොද"දෙයක් කලහොත් එය පිනක්.සුසිරිත් පිං ලෙසත් දුසිරිත් පවු ලෙසත් මේ අනුව බෙදා දැක්වෙනවා.සුසිරිත් හා දුසිරිත් කියන්නේ මොනවාද?ඒවා ඇත්තටම මිනිසා විසින් ස්වකීය පැවැත්මට අදාලව සාදා ගන්නා ලද සම්මතයන්.සමාජ සම්මතයන් කියන්නෙ මිනිසා විසින් බිහි කරන දේවල්/මිනිසා නිපදවන දේවල් මිස ස්වභාවික දේවල් නෙමෙයි.මේ නිසා සුසිරිත් හා දුසිරිත්(පින්-පවු)ස්වභාවික නැහැ.ඒවාට තිබෙන්නේ සමාජයීය ප්‍රභවයක්.මානවයා විසින් ඒවා නිෂ්පාදිතයි.
මේ පින්-පවු මිනිස් නොවන වෙනත් සත්වයන්ට බලපාන ආකාරය සලකා බලන්න.දැන් සතෙක් මරාගෙන කෑම "පවක්"ලෙස සැලකෙනවා.මන්ද මිනිසාට සාපේක්ෂව එය වැරදි දෙයක් වන නිසා.නමුත් එය "වැරදි"දෙයකි යන සවිඥානිකත්වය තියෙන්නේ මිනිසාට පමනයි.ගොදුරක් මරා කන හූනෙක්ට ගොදුර මරා කෑම පිනක්වත් පවක්වත් හොද දෙයක්වත් වැරදි දෙයක්වත් නෙමෙයි.ඒවා මිනිස් සංකල්ප මිස හූනාට අදාල සංකල්ප නෙමෙයි.මිනිස් ලෝකයේ සම්මතයන් හූනන්ට අදාල නොවන අතර ඒවා ගැන සවිඥානිකත්වයක් එම සතුන්ට නැහැ.සතෙක් ඩැහැ ගැනීම මේ නිසා හූනාට සිය පැවැත්මේ ආකාරයක් විතරයි.
සතුන්ටත් බලපාන "කර්මයක්" ගැන කතාකිරීම මේ අනුව විහිලුවක්.කර්මය කියන්නෙ චේතාන්විතව කරන යහපත් හෝ අයහපත් දෙයක් නම් සතුන්ට යහපත් හෝ අයහපත් චේතනා නැහැ."යහපත"හා "අයහපත"මිනිසාට සාපේක්ෂ මිනිස් සංකල්ප විනා සියලු සත්වයන්ට පොදු විශ්වීය ‍‍හෝ වාස්තවික සංකල්ප නෙමෙයි.සතුන් මැරීම,කාමයේ "වරදවා"හැසිරීම,මත්පැන් පානය,බොරු කීම වගේ දේවල් "පාපයන්"වෙන්නේ මිනිසාට පමනයි.අනෙකුත් ජීවින්ට ඔය කරුනු යම්තමින් හෝ අදාල වෙන්නේ නැහැ.
අනෙත් අතට සමාජ සම්මතයන් යුගය සමග විචලනය වෙනවා.අද "යහපත්"කියල සැලකෙන දේ වෙනත් යුගයකදී අයපතක් බවට පත්වෙන්න පුලුවන්.සාපේක්ෂකවාදී විධික්‍රමය පිලිබද කතිකාවතෙහි ඇති ජනප්‍රිය ප්‍රකාශයක් අනුව දක්වන්නේ නම් -එක් යුගයක සාවුන් තවත් යුගයක තාරාවුන් බවට පත්වේ-
ඒ කියන්නේ සම්මතයන්,සුසිරිත් හා දුසිරිත් පිලිබද පිලිගැනීම් ස්ථිර නැහැ.
නිදර්ශනයක් ලෙස ලිංගික චර්යාවන් ගත හැකියි.x නමැති ගැහැනිය පිරිමින් දෙදෙනෙක් සමග ලිංගික ජිවිතයක් පවත්වාගෙන යන්නේ නම් එය වර්තමාන සමාජයට සාපේක්ෂව "වරදක්".පාපයක්.කාමයේ "වරදවා"හැසිරීමක්.
නමුත් අවුරුදු හාරසියයකට පමන ඉහත එසේ පිරිමින් දෙදෙනෙකු සමග ලිංගික හවුලක් පවත්වා ගැනීම වරදක් වුනේ නැහැ.(බහු පුරුෂ විවාහ උඩරට සමාජයේ සුලභ ලක්ෂනයක්ව පැවතියා)ඒ ක්‍රියාව අද සමාජයට "පවක්"වුනාට එදා සමාජයට එය "පවක්"නොවෙයි.වැඩවසම් යුගයේ සම්මතය ධනවාදී යුගයේ අසම්මතය/පව බවට පත්වෙලා.
මින් නැවත පැහැදිලි වෙන්නේ කුමක්ද?පින් පවු යනු මිනිසා හදාගත්,සමාජමය සංකල්පයකි සහ එය කිසිසේත් ස්වභාවික ධර්මතාවයක් නොවේය යන්නයි.
යමක් ස්වභාවිකයි නම් එය ආර්ථික/සමාජ ක්‍රමයෙන් ක්‍රමයට වෙනස් වෙන්න බැහැ.සෘතු භේදය වැඩවසම් යුගයේදී එක විදිහකටත් ධනවාදී යුගයේ වෙනත් විදිහකටත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ.වැඩවසම් යුගයේ ඉර නැගෙනහිරින් නැගලා,නූතන යුගයේදී බටහිරින් නගින්නේත්-යම් හෙයකින් ධනවාදී යුගය වෙනත් යුගයක් බවට මිනිසා විසින් වෙනස් කරන ලදහොත් දකුනින් පායන්නට පටන් ගන්නෙත් නැහැ.යමක් සමාජ ක්‍රමයට/යුගයට සාපේක්ෂව වෙනස් වෙනවා නම් එතනින්ම පැහැදිලි වෙන්නෙ එය ස්වභාවික එකක් නොව සමාජයීය නිර්මිතයක් බවයි.මේ අනුව පින් පවු(චේතාන්විත යහපත/අයහපත) යනු විශ්වීය ධර්මතාවයක් හෝ නියමයක් නෙමෙයි මිනිසාගේ ස්වයං නිර්මානයක් යන්න පැහැදිලියි.
දෙවියන්,කර්මය වැනි ව්‍යාජ පැහැදිලි කිරීම් ඇත්තටම අවශ්‍ය වන්නේ මේ සටහන මුලදීම පැවසූ ලෙස දැනුම සීමාසහිත වන අවස්ථාවන්වලදියි.නමුත් නූතන සමාජය එදාට වඩා සෑහෙන දුරක් ඉදිරියට පැමින තිබෙනවා.
ලමයෙක් අංගවිකල වන්නේ ඇයිද කියන ප්‍රශ්නයට උත්තර දීමේදී තවදුරටත් දෙවියන්ගේ කැමැත්ත/පෙර ආත්මයේ පව වගේ මනෝමූලික ව්‍යාඛ්‍යානයන් වෙනුවට ශක්තිමත් පැහැදිලි කිරීමක් කල හැකි මට්ටම‍ට ජාන විද්‍යාව අද දියුනු වෙලා.
ධනයේ විෂම ව්‍යාප්තිය තේරුම් ගන්න අතිරික්ත වටිනාකම වැනි දියුනු සමාජ න්‍යායන් ගොඩනැගී තිබෙන අතර එම සිදුවීම් වෙනත් ඊනියා අධිභෞතික ප්‍රවාදයන් සමග ගැට ගැසීම අවශ්‍ය වෙන්නේ නැහැ.
අවිද්‍යාව නම් අදුර පවතින තැන්වල විඥානවාදය නමැති සත්වයා ඉතා ඕනෑකමින් ලැග සිටින අතර විද්‍යාවේ ආලෝකය වැටෙත්ම තවත් අදුරු තැන් සොයා පලායාම හැර ඊට විකල්පයක් නැහැ.විද්‍යාවේ දියුනුව නිසා ජීව විද්‍යා හා සමාජමය ක්ෂේත්‍රයන්ගෙන් කර්මය,දේව කැමැත්ත වගේ විඥානවාදී අදහස් පලවා හැර තිබෙනවා.දුගීබව ගැන කෙරෙන සංවාදයකදී ඕකට විසදුම මේ ආත්මයේ පිං රැස්කිරීමයි කියල යෝජනා කරන උදවිය මේ වනවිට නැහැ.
නමුත් මෙවැනි ව්‍යාජ පැහැදිලි කිරීම් සහමුලින්ම පරාජය වී ඇති බවක් ඉන් අදහස් වෙන්නේ නැහැ.මිනිස් දැනුම සෑහෙන තරම් වර්ධනය කර ගැනීමට අසමත් වුනු ඇතැම් ක්ෂේත්‍රයන්ට අදාලව මෙවැනි පරන මත තවමත් බලපැවැත්වෙන අතර සමාජ ජීවිතය අනවශ්‍ය ලෙස ආගමිකකරනය කිරීමට අධිකාරීන් දරන උත්සාහයන් නිසා පොදු සමාජය තුලත් බරපතල ලෙස මෙවැනි පැහැදිලි කිරීම් වලට වලංගුතාවයක් ලැබී තිබෙනවා.
පාසැල් තුලදී එක් පසෙකින් ජාන විකාතිවීම්,බැක්ටීරියා,වෛරස් ගැන උගන්වන ගමන් ඊලග පරිච්ඡේදයේදී පින්,පවු/දේව කැමැත්ත ගැන සිසුන්ට ඉගැන්වීම එක්තරා අන්දමක ප්‍රභසනයක්.හැබැයි වර්තමාන සමාජ ජීවිතය කියන්නෙම ප්‍රභසනයක් නිසා ඒ පිලිබද එතරම් පුදුම විය යුතුත් නැහැ
.

9 comments:

  1. හොඳ ලිපියක්.

    මිනිසා නිර්මාණය කරගත් මහ විශාල කතන්දර වලින් අංක එකේ ප‍්‍රබන්ධයක් ගැන වටිනා අදහස් දැක්වීමක්.

    ReplyDelete
  2. නියමයි....
    -දුගීබව ගැන කෙරෙන සංවාදයකදී ඕකට විසදුම මේ ආත්මයේ පිං රැස්කිරීමයි කියල යෝජනා කරන උදවිය මේ වනවිට නැහැ.-

    මෙහෙම උදවිය නම් තවම ඉන්නවා. කොහෙවත් නෙවෙයි. මේ බ්ලොග් ලියන අය අතරම තමයි.
    - කර්මය නම් සංකල්පය බොහෝ ආගම් වල පිලි ගැනෙන්නක්. ඒ අනුව යමෙක් ධනවත් වන්නේ හෝ දුප්පත් වන්නේ පෙර කල කර්මයට අනුවය. මේ අනුවද ධනවතාට ප්‍රතිලාභ ලැබීම යුක්ති සහගතයි.-
    මේක අධ්‍යාපනය පුද්ගලිකරනය ගැන වාදයකදි පරිගණක විද්‍යාවේදී උපාධියට ඉගෙන ගන්න ‍කෙනෙක් දුන්න පිලිතුරක්

    ReplyDelete
  3. thanx
    @ palitha
    ඒකත් ඇත්ත තමයි.කොහොම වුනත් මම අදහස් කලේ විෂයානුබද්ධ සාකච්ඡාවන් ගැන:)

    ReplyDelete
  4. හොඳ විවේචනයක් රාමචන්ද්‍ර. එක්තරා විදියකට බැලුවොත් පෙරදිග ආගම් හා බටහිර ආගම් ගැටීමක් කියලා ගන්න පුලුවන්. බටහිරට උරුම සාධාරණීකරණයත් පෙරදිගට උරුම ආධ්‍යාත්මික භාවයත් ගැටීමක්.

    මම බුදුදහම ගැන විශ්වාස කරන නිසා ඒ වෙනුවෙන් පෙනී ඉන්න උත්සහා කරන්නම්. හැබැයි වාද කරන්න තරම් කරුණු මම දන්නේ නෑ. මේ මම කර්මය පිළිබඳ දැනට දරන මතය.

    ඔබේ ලිපියේ කර්මය අධිභෞතිකවාදී බලවේගයක් ලෙස දක්වලා තියෙනවා. ඒත් බුදුදහමේ කර්මය එලෙස බලවේගයක් කියලා කියලා නෑ. උදාහරණයක් ලෙස පෙර ආත්මයේ (ආත්මය නැමැති සංකල්පයත් බුදුදහමේ නෑ-අනාත්ම. භවය කියලා ගනිමු) කරපු පව් මේ ආත්මයේ පළ දෙනවා කියන එක ගනිමු. එය කර්මය නැමැති බලවේගයක් විසින් කරනවා කියන එකට වඩා පැහැදිලි හේතු සහගත යැයි සිතිය හැකි අදහසක් මම අසා තිබෙනවා. පෙර භවයේ කරපු ක්‍රියා වල මතකයන් කළල අවස්ථාවේදී ඇතුලු වෙන විඥාණයට තිබෙනවා. එම මතක වල බලපෑම නිසා කළලයේ වර්ධනයට බලපෑම් ඇතිවිය හැකියි. උදාහරණයක් ලෙස පෙර භවයේ මිනී මරපු කෙනෙක් කළල අවස්ථාවේ ඒ ගැන නිතර සිතමින් පසුතැවෙනවානම් එම සිතිවිලි කළල වර්ධනයට බලපාන්න පුලුවන්. මානසික ආතතිය ශාරීරිකව බලපානවා කියලා බටහිර විද්‍යාවේත් පිළි අරන් තියෙනවා.

    මේ එක් පැහැදිලි කිරීමක් පමණයි. එයත් සර්වලෝක ලෙස යෙදීමට නොහැකියි. "මේ ආත්මයේ පළදෙනවා" කියන එක පැහැදිලි කරන්න මම දන්නේ නෑ.

    තවත් දෙයක් වෙන්නේ ඉහත පැහැදිලි කිරීම, මරණින් මතු ජීවිතය ගැන විශ්වාස කිරීම මත පදනම් වෙනවා. එතනදී එම පැහැදිලි කිරීම ඔබට ගෝචර නොවෙන්න පුලුවන්.

    ඔබගේ තවත් කාරණාවකට අවධානය යොමු කරන්න කැමතියි.
    "ලමයෙක් අංගවිකල වන්නේ ඇයිද කියන ප්‍රශ්නයට උත්තර දීමේදී තවදුරටත් දෙවියන්ගේ කැමැත්ත/පෙර ආත්මයේ පව වගේ මනෝමූලික ව්‍යාඛ්‍යානයන් වෙනුවට ශක්තිමත් පැහැදිලි කිරීමක් කල හැකි මට්ටම‍ට ජාන විද්‍යාව අද දියුනු වෙලා"

    ඉහත වාක්‍යයට අනුව අංගවිකල වීම ජාන විද්‍යාව මගින පැහැදිලි කරන්න පුලුවන්. විකලාංග ශරීර ලක්ෂණ පහළ වීමට ජාන එක්තරා ආකාරයකට පිහිටනවා යැයි සිතමු. එසේ පිහිටීම හුදෙක් අහඹු ලෙස සිදුවීමක් ද(coincidence)? එතනින් එහාට ගොස් එසේ පිහිටීමට හේතු සෙවීම බුදු දහමේ සිදුවෙනවා. හේතු ඵල දහමක් ලෙස එය හැදින්වෙන්නේත් ඒ නිසා වෙන්න ඇති (මම හරියටම දන්නේ නෑ). ඒ විදියට බැලුවොත් නවීන විද්‍යාව dead end එකකට ඇවිත් නේද?

    හැබැයි මේ හැම විවාදයකම එක කොක්කක් තියෙනවා. මෙතනදී විවේචනයට අරන් තියෙන සියලුම ආගම් කාලයත් එක්කම ඛාදනයට ලක් වෙච්ච ඒවා. නොයෙකුත් මත එකතු වෙලා, මුලින් තිබුන අදහස් සමහර විට නැත්තටම නැතිවෙච්ච ආගම්. ඒ අනුව බලනකොට අපි කර්මය කියලා පිලිගන්න දේ ආගම් වල මුලින් පැහැදිලි කරලා ඇත්තේ වෙන විදියකට වෙන්න පුලුවන්. මිනිසුන්ට තේරුම් ගිය ආකාරයෙන් එය ඔවුන් පරිවර්තනය කර ගන්න ඇති. ඒක නිසා එම ආගම් වල තිබෙන සංකල්ප පුද්ගලයින් විසින් නිර්මාණය කරනු ලැබූ ඒවා කියන එකත් ඇත්ත වෙන්න පුලුවන්.

    ඉහත පාලිතගේ කියමනටත් උඩින්ම මම එකඟ වෙනවා. දුර්වල ජාන කියලා වචන දෙක තුනකුත් එතනදී ඇහුනා.

    ReplyDelete
  5. බුදු දහමේ නම් කියන්නෙ කර්මය කියන්නෙ චේතනාවයි කියල. මම ඔය කියන අනිත් ආගම් නම් දන්නෙ නෑ.

    ඒ නිසා මම හරියටම දන්නෙ නෑ අනෙක් ආගම් වල තියෙන කර්මය කියන සංකල්පය සහ බුදුදහමේ සංකල්පය එකමද කියල.

    හැබයි ජෛනාගමට අනුව නම් තමන් දැනුවත්ව්ව හෝ නොදැනුවත්ව කරන සියලුම ක්‍රියා කර්මය වෙනවා.

    ජෝතිශ්‍යය කියන්නේ ඝ්‍රහ පිහිටීම අනුව සත්වයගෙ කර්මය ස්කස් වෙන හැටි ගැන් කියන විද්‍යාවක් කියලනෙ කියන්නෙ. හබැයි බුදුදමට අනුවනම් කර්මය ක්‍රිය කරන අකරය පෘතක්ජන මිනිස් සිතකින් අවභෝධ කරගන්න බෑ. එතකොට අපට තෙරෙනවා බුදුදහමේ කියන කර්මය ඇරෙන්න වෙනත් කර්ම තියෙන බව. එක හින්ද ඔක්කොම කර්ම එකගොඩකට දාලා බුදුදහමට ගරහන්න එපා.

    ඔයට පව් සිද්ද වේවි.

    ආ... මට අමතක උනා ඔයා පින්පව් දන්නෙත් නෑනේ

    "මින් නැවත පැහැදිලි වෙන්නේ කුමක්ද?පින් පවු යනු මිනිසා හදාගත්,සමාජමය සංකල්පයකි සහ එය කිසිසේත් ස්වභාවික ධර්මතාවයක් නොවේය යන්නයි."

    ඔයාට දැන් තේරිලා තියෙන්න ඔන එකම වචන් අර්ථය තිබුනට බුදුදහමේ තියෙන සංල්ප වෙනම පැහැදිලි කරගතයුතුයි කියා.

    බුදුදහමේ පින් පවු නැත්තම් කුසල අකුසල ගැන පැහැදිලි ලාක්ශනික පැහැදිලි කිරීම් තියෙනවා.

    ත්‍රිපිටකය කියවලා තේරුම් අරගෙන බුදුදහම ගැන ලියන්න.

    ඔයාට තෙරුවන් සරණයි.

    http://www.tipitaka .mahamevna. org/
    http://www.mahamevn a.org/sinhala_ index.htm

    ReplyDelete
  6. @Thilina:
    බුදු දහමට අනුව 'කර්මය කියන්නෙ චේතනාවයි' කියල කියෙවෙනවා. ඒත් ව්‍යාවහාරික බෞද්ධාගම තුල මේ සංකල්පය සමාජගත වෙලා තියෙන්නේ ඔය අරුතින්මද? අපට බුදු බණ කියල සමාන්‍යයෙන් උගන්වන්නේ ඔය විදියටද?

    කර්මය කියන සංකල්පය මානව නිර්මිතයක් වීම නිසාම, විවිධ දර්ශනයන් හා ආගම් වාද තුල ඒ පිළිබඳව විවිධ අර්ථකතන තියෙනවා. ඒත් සමස්ථයක් විදියම සමාජගත වී ඇත්තේ එක් ආකාරයක කර්ම සංකල්පයක්.

    ඊළඟ කාරණය මම දකින විදියට මේ සටහන බුදුදහම ගැන හෝ වෙනයම් ආගමික විග්‍රහයක් නෙමෙයි. කර්මය කියන සංකල්පය ප්‍රභවය හා එහි සමාජගත ස්භාවය ගැන යම් විමසීමක් පමණයි.

    ReplyDelete
  7. ව්‍යාවහාරික බෞද්ධාගම න්‍යායික බෞද්ධාගම දෙක තුනක් නෑනෙ. තියෙන්නෙ ත්‍රිපිටකයෙ තියෙන බුද්ධ වචනය විතරයි.

    කර්මය සංකල්පය සමාජගත වෙලා තියෙන අරුත, අපට බුදු බණ කියල සමාන්‍යයෙන් උගන්වන විදිය මෙතනට අදාල නෑ වගේ නෙද?

    මේ බුදුදහමේ සංකල්ප වැරදි අකාරයෙන් සමජ ගතවී තිබීමට විවිධ හේතු තිබිය හැකියි.ඒවා වෙනත් ආගමික මත හෝ අවබෝධ කරගැනීමේ දුර්වලතා වියහැකියි.

    කසුන් කියන්නේ බුදුදහමේ සංකල්ප වැරදි අකාරයෙන් සමජ ගතවී තිබීම නිසා බුදුදහමේ සංකල්ප වැරදී කියාද?

    කර්මය කියන්නෙ චේතනාවයි කියලා බොහෝමයක් "බෞද්ධයො" දන්නවා.

    මේ ලිපිය කියවන්නේ සිංහල දන්න අය නේ..? එයාල දනනෙ බුදුදහමේ කර්මය විතරයි. මම දන්නෙත් බුදුදහමේ කර්මය විතරයි.

    මේක කියවලා ජෛන ආගමිකයෙක්, හින්දු ආගමිකයෙක් තම ආගමික දර්ශනයේ ඇති කර්මය නම් සංකල්පය වැරදී කියල තේරුම් ගනීවිද?

    අන්න එතනදී තමයි රාමචන්ද්‍ර බුදුදහමට ගරහන්නේ.

    ඉතින් බොරු කියලා එයාට පව් සිද්ද වෙනවා.

    කසුන් ඔයත් පව් කරන්න එපා. අපායෙ යාවි.

    ReplyDelete
  8. අලුත් සිතුවිලි ලස්සනය්, මේ හදන්නේ ඔබේ වැඩේට දිරියක් දෙන්න .මේ පිළිබද තව අද්යනය් කරලා කීවානම් තමය් හොද
    කර්මය කියන එක සමාජ නිර්මිතයක් කියල හිතමු එත් ඔය පදනම මත සමාජය අකිරියවාදී වෙනවනම් ඒ කියන්නේ හොද නරක දෙකම
    අතරල
    ඉන්නටිකේ ඉම්මු සුදෝ ජෝලියදම කියපු විදියට හිටන්න ගත්තොත් සියවස් ගණනාවක් ගොඩ නැගුනු සංකෘතියට යන කල මොකද්ද .
    පව් ය පින් කියන එකට හිද විග්‍රහයක් ටීනවා අම්බල්ට්ටික රාහුලොවඩ් සුත්ත්රයේ .හොදදෙවල් කියන්නේ තමාටත් අනුන්ටත් යහපතක් වෙන දේවල් ඒ කිඅන්නේ පින්
    ඉන්දියාවේ හිටිය මක්කලි ගොසල කියල මන් කෙනෙක් එය කීව් පින් පව් න හෝදනරක නැ.ඉපදෙන්නේ නියමිත කාලයක් ජිත්රය් ඊටපස්සේ ඉබේම නැති වෙනවා කියල .බුධාමුදුරුවෝ එයට කීව මෝග පරිසක් කියල .සමාජය නරකට යවන එයට වැඩි කෙනෙක් නැ කියල .එත් මම නම් ඔයාගේ අදහස් වලට එහෙම කියන්නෙන n
    හැබය් බුදුහාමුදුරුවෝ වැඩ හිටියනම් මොනවා කියද දන්නා යාලුවේ

    ReplyDelete