Sunday, March 8, 2009

න/ණ,ල/ළ - අත්‍යවශ්‍යද?

සිංහල භාෂාව යනු කාලයාගේ සිදුවුන විවිධ වෙනස්කම් වලට අනුව හැඩ ගැසෙමින් මේ දක්වාම ස්වකීය අනන්‍යතාවය පවත්වාගෙන ආ දියුනු භාෂාවක්.ලෝකයේ සංවර්ධිත හා නූතන භාෂා ගනයට සිංහලයත් නිසැකවම වැටෙනවා.ඉන්දු ආර්ය භාෂා පවුලට අයිති සිංහලය එම භාෂා පවුලේ අනෙකුත් බොහොමයක් භාෂා වලින් වෙනස් වෙන්නෙ සිංහලයෙහි යෙදෙන අක්ෂර වල ඇති සුවිශේෂී වෙනස නිසා.වටකුරු හා කලාත්මක ස්වරූපයක් ගන්නා සිංහල අක්ෂර සතුව තිබෙන පෞරුෂය එයටම අනන්‍ය වූ එකක්.බ්ලොග් අවකාශය හරහා සිංහලය අන්තර්ජාලය ඔස්සේ බහුල වශයෙන් යොදා ගැනීමට පටන් ගැනීම මෙම සියවස තුලදීත් සිංහල භාෂාව නොනැසී ඉදිරියටත් පරිනාමය වන බවට සපයනු ලබන ඉගියක්.
නමුත් සිංහල ව්‍යාකරනයෙහි -විශේෂයෙන් සිංහලය ලේඛනය තුල භාවිතා වන ආකාරයෙහි -විවිධ ගැටලුකාරී ස්ථාන නොපවතී යන්න ඉන් අදහස් වෙන්නෙ නැහැ.
භාෂාවක් සුඛනම්‍ය වන තරමට එහි භාවිත වටිනාකම වැඩි වෙනවා.සිංහල භාෂාව ලේඛනය තුල යොදා ගැනීමේදී පවතින ඇතැම් අනම්‍ය හා රලු නීති ව්‍යුහයන් විසින් එය සුඛනම්‍ය බවින් අඩු භාවිතා කිරිම අනවශ්‍ය තරමට සංකීර්න එකක් බවට පත් කොට තිබෙනවා.
මෙවැනි එක් සම්මතයක් තමයි සුප්‍රකට න/ණ,ල/ළ භේදය පිලිබද මාතෘකාව.
ඔබ උසස් විභාග සදහා සිංහල හදාරා තිබේ නම් මූර්ධජ සහ දන්තජ න යන්නත් ල යන්නත් යෙදෙන තැන් අතර වෙනස බේරුම් කර ගැනීම කොයිතරම් සංකීර්න දෙයක්ද යන්න අත්දැක ඇති.ඊට හේතුවක් වෙන්නේ මෙම විභේදනය පැහැදිලි තාර්කික පදනමක් මත පදනම් නොවීම.
බොහෝ විට යම් අක්ෂරයක් යොදා ගැනෙන්නේ නිශ්චිත ශබ්දයක් සලකුනු කරන්න.මේ අනුව ගත්තම "බ" සහ "භ"යන්නෙහි වෙනස පැහැදිලියි."බල්ලා"කියන වචනය කවුරුත් "භල්ලා"කියල ලි‍යන්නේ නැහැ.මොකද මහාප්‍රාන අල්පප්‍රාන බෙදීම ශබ්දය මත පදනම් වුන පැහැදිලි බෙදීමක් වන නිසා.
සඤ්ඤක අක්ෂර සහ එසේ නොවන අක්ෂර ගත්තම එතන තියෙන බෙදීමත් පැහැදිලියි සහ තාර්කිකයි."කොලඹ"කියන වචනය "කොලබ"කියල නොලියන්නේ "ඹ"සහ "බ"අතර නිශ්චිත ශබ්දමය වෙනසක් තිබෙන නිසා.
දැන් මේ කතන්දරය මූර්ධජ හා දන්තජ "න/ල"අක්ෂර වලට ගෙනාවම තරමක සංදිග්ධ තත්වයක් මතු වෙන බව නිරීක්ෂනය කරන්න පුලුවන්.
නිවැරදි වචනය "ලමයා"ද?"ළමයා"ද?මෙතනදී සම්මතව භාවිතා වෙන්නේ "ළමයා"කියන පදය නිසා නිවැරදි එය බව යමෙක් පවසාවි.නමුත් අනෙත් පැත්තට "ලමයා" වැරදි වෙලා "ළමයා"පමනක් නිවැරදි වෙන්නෙ කොහොමද කියන ප්‍රශ්නය මතු කරාම දෙන්න උත්තරයක් නැතිව යනවා.හරි යෙදුම "බන්ඩාරනායක"ද?"බණ්ඩාරනායක"ද?
"බල්ලා"කියන පදය "භල්ලා"කියල ලිවීම වැරදියි.මොකද ඒ අකුරු දෙකෙන් එන ශබ්දයේ පැහැදිලි වෙනසක් තිබෙන නිසා.
නමුත් බන්ඩාරනායක කියන වචනය කුමන "න"යන්න යොදල ලිව්වත් උච්චාරනය කරන ආකාරයේ පැහැදිලි වෙනසක් පෙනෙන්නට නැහැ.න/ණ,ල/ළ භේදය යනු පැහැදිලි නිශ්චිත පදනමක් රහිත බෙදීමකි යන තර්කයට වලංගුතාවයක් ලැබෙන්නේ මේ නිසා.
මේ තර්කය අද ඊයේ මතු වුන එකක් නෙමෙයි.දශක ගනනාවකට පෙර සිටම මෙම බෙදීමේ අවශ්‍යතාවය ගැන විවිධ විද්වතුන් සහ භාෂාව පිලිබද උනන්දු වන්නන් ප්‍රශ්න කොට ඇති ආකාරය දැක ගන්න පුලුවන්.නිසදැස් කාව්‍යයේ පුරෝගාමියෙකු වන සිරි ගුනසිංහ වගේ කෙනෙක් න/ණ,ළ/ල භේදය නොසලකා ලේඛනයෙහි යෙදුනු අන්දම ඔහුගේ "සෙවනැල්ල"වගේ නවකතාවක් පරිශීලනය කරද්දී පැහැදිලි වෙනවා.
කෙසේ වුනත් මේ විෂය ගැන න්‍යායික වශයෙන් බොහොම පොහොසත් මැදිහත්වීමක් සිදු කරන්නේ කෙටිකතාකරුවෙක් වන අජිත් තිලකසේන."21 වන සියවසට සිංහල භාෂාවේ නවීකරන"යනුවෙන් කෘතියක් සම්පාදනය කරන ඔහු සිංහල ලේඛනය තුල ඇති ගැටලු ගනනාවක් පැති කිහිපයක් ඔස්සේ මතු කරනවා.මෙසේ මතු කරන ඇතැම් කරුනු සහ යෝජනා ඉතාම විප්ලවකාරියි.කොහොම වුනත් ඔහුත් න/ණ,ල/ළ බෙදීමේ අවශ්‍යතාවය දැඩි ලෙස ප්‍රශ්න කරනවා.
මෑතකදී මේ ප්‍රශ්නයම කතාබහට ලක්වූ තවත් අවස්ථාවක් නම් ගිය වසරේ රාජ්‍ය සම්මාන දිනූ "අටවක පුත්තු"නවකතාවේ ව්‍යාකරනය ගැන ඇති වුන සාකච්ඡාව.එහි රචකයා වූ ලියනගේ අමරකීර්ති මහතා ඉහත භේදය නොසලකා හැර තිබීම එක්තරා අන්දමක ආන්දෝලනයකට තුඩු දුන්නා.
න/ණ,ල/ළ බෙදීමේ අවශ්‍යතාවය වෙනුවෙන් පෙනී සිටින අය බොහෝවිට ඊට පක්ෂව ගෙනෙන තර්කය වන්නේ එම බෙදීම වචනයක් විසින් මතු කරන අර්ථය පැහැදිලි කරගැනීමට අවශ්‍යයි යන්න.මීට තිබෙන ජනප්‍රියම උදාහරනය නම් තන සහ තණ කියන පද දෙකේ වෙනස.න/ණ නොසලකා "තන"කියල වචනය ලියූවිට එහි අර්ථය අපැහැදිලි බව ඔවුන්ගේ තර්කය වෙනවා.
-ගොන තන කයි-කීවාම එක තේරුමකුත් -ගොනා තණ කයි-කීවාම තව තේරුමකුත් එන නිසා න-ණ,ල-ළ යෙදීම අවශ්‍ය යැයි ඔවුන් පවසනවා.
"මල" සහ "මළ" අතර තියෙන වෙනසත් ඒ වගෙයි.
මේ නිරීක්ෂනය තුල යම් වැදගත්කමක් තිබුනත් මේ ප්‍රශ්නය ඇත්තටම ලේඛන ක්‍රියාවලිය තුල ප්‍රායෝගිකව මතුවෙන ගැටලුවක් නෙමෙයි.මොකද අපි වචනයකට තේරුමක් දෙන්නෙ/වචනයට ඇති තේරුම තේරුම් ගන්නේ ඒ වචනය යෙදිල තියෙන වාක්‍යය තුල ඒ වචනය යෙදිල තියෙන ආකාරය අනුව.බහු අර්ථ-අර්ථ එකකට වැඩි ප්‍රමානයක් තියෙන-වෙනත් සිංහල වචන යෙදෙන ආකාරය මෙහිදී සලකමු.
දැන් "සද"කියන වචනයට විවිධ තේරුම් දෙන්න පුලුවන්.පහත වාක්‍ය කිහිපය සැලකිල්ලට ගනිමු.
1.පුර සද රෑට පායා එයි - මෙහි "සද"යන්න යෙදී තිබෙන්නේ චන්ද්‍රයා කියන තේරුමින්
2.මා ගෙදර ආ සද ඇය ගෙදර නොසිටියාය - මෙතැනදී "සද"යන්න යෙදෙන්නේ වෙලාවේ කියන අර්ථයට
3.සකිසද ඔබ කොහිද?.මෙතනදී "සද"ට ලැබෙන්නේ වෙනම තේරුමක්.
දැන් තේරුම් කිහිපයක් තිබුනත් අපි සද කියන පදය ලියන්නේ එකම විදිහකට."චන්ද්‍රයා"කියන තේරුම හගවන්න වෙනම අකුරකුත්,වෙලාව කියන අර්ථය අගවන්න වෙනම අකුරකුත් ආදී වශයෙන් අපි යොදා ගන්නේ නැහැ.එකම විදිහට ලියන පදයට ලැබෙන තේරුම අපි තේරුම් ගන්නේ ඒ පදය යෙදිල තියෙන වාක්‍යයට අනුව."මා ගෙදර ආ සද ඇය නොසිටියාය"කියන වාක්‍යය කියවද්දි මේ කියන්නේ අහසේ තියෙන සද ගැන නෙමෙයි කියල තේරෙනවා.
ඒ වගේම ගොනා තන කයි කියද්දී මේ කන්නේ මොන තනද -තන කියන එකෙන් මෙහිදී අදහස් කරල තියෙන්නෙ මොකක්ද-කියන එක වටහාගන්න පුලුවන්.ඒකට අමුතුවෙන් මූර්ධජ න අකුරක් අක්ෂර මාලාවට දාලා එහි අකුරු සංඛ්‍යාව වැඩි කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ.වචනයට අර්ථය ලැබෙන්නේ එය යෙදී තිබෙන වාක්‍යය ආශ්‍රයෙන් වන නිසා එහෙම ගැටලුවක් මතු වීම වැලකෙනවා.
තන,මල වගේ නිදසුන් දෙක තුනක් හැරෙන්නට න/ණ,ල/ළ නිසා අර්ථය වෙනස් වීම්වලට අදාල වෙනත් නිදසුන් සොයා ගැනීමත් දුෂ්කරයි.ඔය නිදසුන් පවා ප්‍රායෝගිකත්වය තකා පැන නැගුනු නිදසුන් වලට වඩා හුදෙක් තර්කයට මුහුන දීම උදෙසා අමාරුවෙන් සොයා ගනු ලැබූ නිදසුන් දෙකක් පමනයි.
න/ණ,ල/ළ බෙදීමේ අවශ්‍යතාවය පිලිබද යලි සලකා බැලීමක් අවශ්‍යයි කියන තර්කය මේ නිසා නොසලකා හැර නොහැක්කක්.මෙතනදී බොහෝ විට ගෙනෙන අදහසක් නම් සිංහල භාෂාව ඔයාලට ඕන විදිහට වෙනස් කරන්න ඔයාල කවුද කියන අදහස.අජිත් තිලකසේන මහතා වගේ කෙනෙක් වෙත මේ ප්‍රශ්නය නිතර වගේ දමා ගසනු ලැබුවා.භාෂාවක පරිනාමය ස්වභාවික එකක් විය යුතු බවත් "කාටවත්"ඕනෙ විදිහ‍ට ඒවා වෙනස් කල නොහැකි බවත් මේ සමගම ගෙනෙන ලද මතයයි.
ඊට අජිත් තිලකසේනයන්ම සිත් ගන්නා සුලු පිලිතුරක් ලබා දී තිබුනා.භාෂාවක පරිනාමය ස්වභාවික විය යුතු බව ඇත්ත.නමුත් අවුවට වැස්සට සුලි සුලං වලට භාෂාවක ලේඛන ස්වරූපය වෙනස් වෙන්නෙ නැහැ.එහි පුරෝගාමීත්වය ගන්න ඕනෙ එහි අඩුපාඩු දුබලතා දකින මිනිස්සු.මේ තිලකසේනයන්ගේ පිලිතුරෙහි තිබූ හරය.
"ස්වභාවික වෙනස්වීම" යන්නට මිනිසාගේ සවිඥානිකත්වය කියන එකත් ඇතුලත්.ව්‍යාකරන නීති සංග්‍රහයක් ලෙස සිදත් සගරාව සම්පාදනය කලේ මිනිසෙක්.එතන තියෙන්නෙ භාෂාව හැඩගස්වන්න සිදුවුන සවිඥානික මිනිස් මැදිහත්වීමක්.
නූතන සිංහල හෝඩිය භාවිතයට එන්නට පෙර අක්ෂර මාලාව තුල "ෆ"අක්ෂරය තිබුනේ නැහැ.ඉංග්‍රීසි භාෂාවෙන් සිංහල ව්‍යවහාරයට එකතු වී තිබුන ඇතැම් වචන (නිද- ෆෝන්,ජිරාෆ්)ලියන්න මේ අනුව පුලුවන් කමක් තිබුනේ නැහැ.ඒක ලේඛනය තුල තිබුනු අඩුවක්.ඒ අඩුව හදුනාගෙන එය නිවැරදි කොට නූතන සිංහල හෝඩිය සකස් කලේ මිනිස්සු.අවුරුදු ගනනක් ගතවුනාම අපි ඒක ස්වභාවික පරිනාමයක් ලෙස තේරුම් ගන්න පුරුදු වී සිටිනවා.
භාෂාව අනවශ්‍ය විදිහට සංකීර්න කල බැදි අකුරු භාවිතය අත්හැරියේත්,‍
ඩ් අක්ෂරය අත්හැර "ං"(බිංදුව)භාවිතය ප්‍රවර්ධනය කලේත් මිනිස් මැදිහත්වීම සහිතව මිනිසුන්ම බව තේරුම් ගැනීම වැදගත්.

13 comments:

  1. ඔබේ මතය සමග එකඟයි. නමුත් මම පෞද්ගලිකව කැමතියි ණ-න/ළ-ල භේදය සහිතව ලියන්න. හේතුව ඒක මට පුරුදු ක්‍රමය වීම. මම ඔය රීති එකක්වත් දැඩි සේ පිළිපදින්නෙ නෑ. මම සාමාන්‍යයෙන් පොත පතේ දකින මට පුරුදු විධියට නිදහසේ ලියනවා.

    භාෂාව හැදෙන්නෙ එය භාවිත කරන මිනිසුන්ගෙන්. ඉතින් ඔබේ මතය තවත් අය පිළිගෙන ක්‍රියාවට නැංවූවොත් සිංහළයෙන් ණ/ළ ඉබේම හැලෙයි.

    ReplyDelete
  2. භාශාවක නීතී රීතී රැකෙන්නේ, භාශා පන්ඩ්තයන්ගේ අවශ්‍යතාවය අනුව නොවෙයී. අපිට හවසට බොතලයක් බීලා, සාජ්ජයක් දාන්නවත්, සම්මාන්ය සිංහල විදිහට අකමැති උදවියට අම්මා මුත්තා මතක් කොරල බනින්නවත්, මාටින් වික්‍රමසිංහ මහත්තයාගේ අගනා කතාවක් රසවිදින්නවත් අපිට ඔය දරදඩු නීතිරීතී අවශ‍ය නැහැ.

    නමුත් ඕනෑම රටක් පවතිනිනේ, ඒ රටේ නීතිය පවතිනා ආකාරයටයී. නීතී රීතී පුද්ගලයාගෙන් පුද්ගලයාට, කාලයෙක් කාලයට එකම අදහසෙන් ප්‍රකාශ කොරන්නනම් හොදට පැසුනු භාශාවක් අවශ්යයී.

    මම දන්නා ආකාරයට ලංකාවේ නීතීරීති සකසන්නේ ඉංගිරිසියෙන්, මොකද ජීල් පීරිස් ගොයීයාවත්, උන්දෑට නීතී අවවාද දෙන වතිකානුවත් සිංහල දන්නේ නැති නිසා. භාශා පන්ඩ්ඩිතයන්ට කෘතිමව භාශා නීති රීති පවත්වාගන්න පුලුවන් කාල සීමාව බොහොම දිගයැයී කියලා මම හිතන්නේ නැහැ.

    ශාකුන්තල කියන කතාව සම්පූර්න ඇත්ත. භාශාව පවතිනෙනේ පුද්ගලයන්ගේ පහසුවටයී. නැතුව පුද්ගලයන් පවතින්නේ භාශාව සදහා නොවෙයී.

    ReplyDelete
  3. අනේ මං නම් ඔව්වා ගැන එච්චර දන්නෙ නෑ.

    "ගොනා තන කයි" කියද්දී මේ කන්නේ මොන තනද -තන කියන එකෙන් මෙහිදී අදහස් කරල තියෙන්නෙ මොකක්ද කියන එක වටහාගන්න පුලුවන් උනාට "පිස්සා තන කයි" කියල කිව්වොත් නම් එතනදි අදහස් කරල තියෙන්නෙ මොන තනද කියන එක වටහාගන්න ටිකක් අමාරුයි.

    ReplyDelete
  4. අනිවා..

    පිහිය, ලේන්සුව, පරිගණකය වගේම භාෂාවත් අපේ අවශ්‍යතා සඳහා අපි විසින් නිර්මාණය කරගත් උපකරණයක්.

    යම් උපකරණයක් කල්ගත වන විට, එහි දුබලතා ඇතිවන/මතුවන වන විට ඒවා යාවත්කාල කිරීම එහි නිර්මාතෘ වන මිනිසා සතු කාර්යයක්.

    ආදි කාලීන ව්‍යාකරණ පොත් ලියල තියෙන්නෙ ඒ කාලෙ භාෂාව භාවිතා කරපු හැටි ගැන සටහන් කිරීමට මිසක්, අද ජීවත් වෙන අපිත් ඒවම කරන්න ඕන කියල හිතාගෙන නෙවෙයි.

    කොහොමද ඉස්සකාලෙ කොම්පීටර් බුවෙක් ඇවිත් කිවුවොත් "අපි නං ඉස්සර මයික්‍රොපොසෙසර් භාවිතා කළේ නෑ, රික්තක නල තමයි භාවාති කළේ.. ඒ නිසා ඔයාලත් රික්තක නල භාවිතා කරන්න !" කියලා ? අපි එහෙම කරන්නෙ නැ නේ ? අපි අවශ්‍යතාවයට අනුව යොදාගැනීම් වෙනස් කරනවා නේ ?

    "ස‍ඳේ" උදාහරණය අපූරුයි. කවුරුවත් කියල නෑනේ අපිට එක එක වචන වෙන වෙනම අරං වැකියක් තේරුං ගන්න කියලා.

    මේ හැම එකම වෙන්නේ යමක් සමස්ථයෙන් වෙන් කරල වෙන් වෙන් වශයෙන් තේරුං ගන්න ගියාම.

    ReplyDelete
  5. මම නම් කියන්නේ ණන ළල භේදය තිබ්බට කමක් නෑ. මොකද ඒක භාවිතා වෙන්නේ ලියනකොටනේ. එම නිසා කථා කරන විට එය වෙනසක් දැනෙන්නේ නෑ කියලා‍ වෙනස් කරන්න ඕන නෑ. මොකද හැම විටම ලියන එක්කෙනා විතරක් නෙවෙයිනේ කියවන්නේ. ඉතින් එක්කෙනෙක් ලියන දෙයක් තවත් කෙනෙක්ට වඩාත් හොඳින් තේරෙන්න තමා එහෙම තියෙන්නේ නේද?
    තණ කොළ වලයි තන කොල වලයි වෙනසක් තියෙනවා.

    ReplyDelete
  6. @බන්ඩාර
    මෙහෙමයි.න,ණ/ල,ළ ගැන විවාදය සිරි ගුනසිංහගේ කාලය දක්වා යනවා.දශක පහක් විතර වෙනවා මේ වන විට.හැබැයි ඊට පක්ෂව තර්ක කරන අය මේ දශක පහ පුරාම ගෙනෙන නිදසුන් තියෙන්නේ තන,මල වගේ දෙක තුනක් විතරයි.ඒකෙන් පරිබාහිරව උදාහරනයක් හොයාගන්න බැරි වෙලා තියෙන්නෙ ඇයි?
    න,ණ/ල,ළ අපි භාවිතා කරන්නේ ආචීර්නකල්පික පුරුද්ද නිසා බවයි මගේ අදහස.නමුත් ඒ සම්ප්‍රදායට තාර්කික පදනමක් නැහැ.
    ඔබ න,ණ/ල,ළ නැතිව ලියල බලන්න.ඔය හිතන විදිහෙ ගැටලුවක් ඉන් මතුනොවන බව ඔබටම තේරුම් යාවි.උදාහරනයක් ලෙස මම පෞද්ගලිකව එය අත් හැර තියෙනවා.නමුත් කියන දේවල් වල තේරුම් ගන්න බැරි දෙයක් එහෙම තියෙනවද?
    ඒකයි මම කියන්නෙ -පිස්සා තන කෑම-වගේ උදාහරන ව්‍යවහාරය තුල අතිශය කලාතුරකින් මතුවෙන හුදෙක් තර්කයක් විදිහට ගොඩනගාගත් නිදර්ශන.හැරත් ඒ වගේ ව්‍යතිරේඛ අවස්ථාවක් සමස්තය විදිහට සාමාන්‍යකරනය කරන්න යාම නිවැරදි නැහැ.

    ReplyDelete
  7. First I must thank Ramachandra for going into what I have published and copied the jpg image into your site.

    මූවා = Deer
    even in english we have similar cases
    We do not write
    "My Deer Ramachandra"
    We write as "My dear Ramachandra"
    Likewise without any quibbling we need the න/ණ,ල/ළ in our langugae sinhala.

    ReplyDelete
  8. කැමැති අය කැමැති විදියට ලියත්වා... මා නම් පුද්ගලිකව න-ණ ල-ළ හරියට ලියනවා. මොකද, මා කැමැති ඒ විදියට.. ඒකයි.

    කොහොමත් බොහෝ දෙනා තමන්ගේ බසේ, සිංහළ බසේ වියරණ නීති නො සලකා හැරියට, ඉංග්‍රීසි වියරණ නූලට පිළිපදිනවා... මේ මොකද?

    සිංහළ පමණක් නොව ලොව බොහෝ භාෂාවල එක ම වචනය, එකම ශබ්දය දෙයාකාරයකට(හෝ ඊටත් වැඩියෙන් හෝ) ලියන්න හැකියාව තිබෙනවා. එහෙත් නිවැරදි යි කියා පිළිගන්නේ එක් ආකාරයක් පමණ යි. අපේ භාෂාවෙත් එසේ පැවත ආ නිසා, මා එය පිළිගන්නවා. බොහෝ දෙනා පිළිගනීවි.

    ReplyDelete
  9. @ mr.Donald Gaminithilaka
    When I Google searched for a picture of sinhala script that was an image that i found and i thoroughly regret if the publication of that image has done any violation in copy right terms.Please let me know if you expect to remove the image.
    Concentrating on the fact you have raised you are comparing two complete different structures(sinhala and english)which is not much comparable.But as you have taken an example from english let me take some examples from the same language.
    1.The meaning of "race"as it is in 100 metere race differs from the term race (වර්ගය/ජාතිය).But here though the meanings are different they still use the same spellings
    2.Bat(වවුලා)has a different meaning n contrary with the term bat(cricket).But still the spellings are same.
    Anyway my basic argument was omitting න,ණ/ල,ළ makes the usage of language much easier and in the same way it won't occur any serious problems as many predict.If you go through the work of people such as Ajith thilakasena they have omitted න,ණ/ල,ළ divide but you cannot find not even a single issue/problem regarding the meaning of the text.

    ReplyDelete
  10. මේ නණ ලළ ගැන කාලයක ඉඳන් තර්ක තියෙනවා. නමුත් කවුරුවත් ඒව යෙදෙන විධිය ගැන කියන්න දන්නෙ නෑ. අපේ සිංහල පාඩම් පොත් වල අහලකවත් තිබුණෙ නෑ. නමුත් මගේ වැඩිහිටි මිතුරෙක් වරක් කිව්වා මේ භේදය ඇතිවෙන්නෙ ඒ අක්ෂරය කියවෙද්දි දිව සහ උඩු තල්ල අතර ස්පර්ශය ඇති වෙන විධියට කියල. ඒ විධියට බැලුවම නම් ශබ්දානුකූල වෙනසක් තියෙනව. න කියද්දි දිව නැමෙන විධිය ණ කියද්දි නැමෙන විධියට වඩා වෙනස්. මේ ගැන ජේ. බී. දිසානායක මහත්මයගෙ පොතක් තියෙනව කියලත් කිව්වා.

    නණ ලළ කියන්නෙ අර්ථය වඩා පැහිදිලි කරගැනීම සඳහා පුරාණයේ ඉඳන් පැවතෙන්නක්. ඒ වුණාට ඒක භාවිතා කරන විධිය පරම්පරා අතර සංක්‍රමණය වෙන්නෙ නැත්නම් ඒකෙන් වැඩක් නෑ.

    මමත් ඕක ගැන වැඩිය හිතන්නෙ නෑ. මොකද තාමත් කියවන අය මේ කියන්නෙ මොකක්ද කියල නණ ලළ කෙසේ තිබුණත් කියවනව. අනික එදිනෙදා භාවිතයට අපි හුරු වෙලා ඉන්නෙත් එහෙමනේ.

    දන්න අය ඉන්නවනම් නොදන්න භාෂා වලින් ඇරගන්නෙ නැතිව කියල දෙන්නකෝ අපිටත් :)

    ReplyDelete
  11. මූර්දජ අකුරු මුදුනින් උපදිනව කියලයි කියන්නෙ. පොතේ හැටියට 'න' හා 'ණ' ශබ්ධ වෙන විදිය ටිකක් වෙනස් වෙන්න ඕනෙ. අපිට හ‍රියටම තේරුණේ

    නැතත් ඒකෙ පොඩි හෝ වෙනසක් තියනව.
    ඇතැම් වෙලාවට ඒ වෙනසට බලපාන්නෙ ඊට කලින් හෝ පස්සෙ තියන අකුර.
    මේ ගොඩක් ඒව ගම් යම් නීති-රීති වලා අනුවයි තියෙන්නෙ.
    දැන් බලන්න 'ෂ' යන්නට පස්සෙ 'න' යන්න සාමාන්‍යයෙන් තියෙන්නෙ නෑ. තියෙන්නෙ 'ණ' යන්න. ඒ වගේම මහප්‍රාණ අකුරකට පස්සෙ සාමාන්‍යයෙන්

    තියෙන්නෙත් 'ණ' යන්න. මහප්‍රාණ අකුරකට පස්සෙ තියෙන ශබ්ධයට අදාළ මූර්දජ අකුර තියනව නම් බොහෝවිට තියෙන්නෙ ඒ අකුර (ඝණ,භාෂා) 'බාසා'

    කියල ලිවුවත් හ‍රි. ඒත් 'භාසා' අවුල්.
    මෙහෙම නොවන තැනුත් හොයාගන්න පුලුවන්! (ධනය)

    මේ වගේ දේවල් ඉංග්‍රිසි භාෂාවෙත් මේ වගේ දේවල් තියනව නෙ.
    W,V අකුරු අත‍ර වෙනස!... F, PH දෙකම 'ෆ' ශබ්ධය එනව. K, C දෙකෙන්ම 'ක' ශබ්ධය එනව. SH, CH දෙකෙන්ම 'ශ/ෂ' ශබ්ධය එනව.

    TION, SION දෙකෙන්ම 'ශන්' ශබ්ධය එනව...... :D

    ReplyDelete
  12. තවත් පොඩි ඉල්ලීමක් කරන්න තියනවා....

    ඔය න-ණ, ල-ළ භේදය ගණන් ගන්නෙ නැතුව ඔහේ ලියන අය ඉංග්‍රිසියෙන් ලියද්දිත් ඒක අමතක ක‍රන්න!

    කියවන කෙනාට ඒ කියවෙන විදියෙන් වෙන වචනයක් හැදෙන්නෙ නැත්නම් අවුලක් නෑ කියලනෙ ඔය කට්ටිය කියන්නෙ!
    එහෙනම් මේකෙත් අවුලක් නෑ!

    Cat -> Kat
    Win -> Vin
    Station -> Stasion, Stashan, Steshen, Stayshen
    Physics -> Fisiks
    Pharmacy -> Farmacy, Farmasy, Farmasi, Faamasi

    මේ විදිහට ලියපුව කියවද්දි ඒ වෙනුවට වෙනත් වචනයක් හිතට එන කෙනෙක් ඉන්නවද? එහෙම වෙන වචන මතක් වෙන්නෙ නැත්නම් මෙහෙම ලියන්න....

    ඔය කට්ටිය මේක ක‍රන්න බය තාමත් සුද්දන්ට බය නිසා නෙමෙයි ද???

    :)

    ReplyDelete
  13. Ramachandra,

    Where is that image of the Sinhala alphabet which you have posted? Why do you believe ණ and ළ should be omitted?

    ReplyDelete