Wednesday, March 4, 2009

ශ්‍යාම් සෙල්වදොරෙයි - අමුතු ඉලන්දාරියා

ශ්‍යාම් සෙල්වදොරෙයි නමැති ලේඛකයාගේ Funny boy නවකථාව සුගතපාල ද සිල්වා මහතා අතින් "අමුතු ඉලන්දාරියා" නමින් පරිවතර්තනය වෙලා එලි දැක්වෙන්නෙ 2002 වසරෙදි.සාහිත්‍ය කෘතියක් සහ එලාම් ඔරලෝසුවක් අතර සමානකමක් තියෙනවා.නිදාගෙන ඉන්න පුද්ගලයෙක්ට නිදාගන්න ඉඩ නොදෙන දෙයක් තමයි එලාම් ඔරලෝසුව.එය නිදාගත් පුද්ගලයාට බාහිරව ඉදිමින් ඔහු/ඇය අවදි වන තුරු වද දෙනවා.කෙසේ වුවත් එලාම් ඔරලෝසුවේ හඩට විවිධ අය දක්වන ප්රතිචාර විවිධාකාරයි.සමහරු තමන්ගේ ඇස් ඇරීම පිලිබද ඊට කෘතඥතාවය පල කරනවා සහ සමහරු ඔරලෝසුවට දොස් නගමින් එය ක්‍රියා විරහිත කොට අනිත් පැත්තට හැරිල නිදාගන්නවා.
ශ්‍යාම්ගේ නවකතාව පිටස්තරයෙක් විසින් අපගේ ආත්මාර්ථකාමී අලස නින්දට කරන එක්තරා අන්දමක බාධාවක්.
අර්ජුන් නමැති ලමා චරිතයක ආත්ම කතනයක් ලෙසිනුයි කෘතියෙහි වියමන සකස් වි තිබෙන්නේ.කුඩා කල දෙමව්පියන් සමග ගිය නෑදෑ ගමන් වලින් ආරම්භ වන නවකතාව අවසාන වෙන්නෙ 83 ජූලි කෝලාහල වලින් ඉක්බිති ඔවුන්ගේ පවුලට රට හැර යාමට වන සිදුවීමෙන්.
අර්ජුන්(අර්ජි)ගේ ජිවිතය කුඩා කාලයේ සිට ගොඩනැගෙන්නේ සම්මත ආකෘතියට වෙනස් ආකාරයකින්.සමවයස්කයන්ගේ පුරුෂ ක්‍රිඩාවන්ට වඩා ඔහු ආකර්ෂනය වෙන්නෙ ගැහැනු ලමයින්ගේ ලෝකයට සහ ගැහැනු ලමයින්ගේ ක්‍රීඩාවලට.මෙය ඔහුගේ වැඩිහිටියන්ගේ පැත්තෙන් ගත්තම සාහසික අපරාධයක් ලෙසයි සැලකෙන්නෙ.ඔහු කැමති ලෝකයෙන් ඔහුව පිටුවහල් කොට ආගන්තුක ලෝකයක ඔහුව හිර කිරීමේ මෙහෙයුම් ඇරඹෙන්නෙ මේ අනුව ජීවිතයේ ඉතාම මුල් අවදියේදී.
වයසින් පරිනාමය වනවිට ඔහුගේ පැවැත්ම හැඩ ගැසෙන්නෙ සමලිංගික නැඹුරුවක් සහිතව.සමකාමීත්වය යනු සම්මත සමාජය තුල "විකෘති"දෙයක්.මේ නිසා ආදරය වගේ විෂයකදී ත් පිටස්තරයෙක් ලෙස පිටුවහල් වීමේ ඉරනමට ඔහු ලක්කෙරෙනවා.
සමලිංගික ආදරය කියන්නෙ බහුතරය දෙනා සිතා ඉන්නා/සිතන්නට පුරුදු කොට තිබෙන ආකාරයේ අසභ්‍ය දෙයක් නොවෙයි එයත් ආදරයේ තවත් පැතිමානයක්.මේ අදහස බොහොම අව්‍යාජ අත්දැකීම් ප්‍රමානයක් ඇසුරින් නවකතාවේ ඉස්මතු වෙන අන්දම දකින්නට පුලුවන්.මෙවැනි තේමාවන් ලංකාවේ සමාජය තුලත් අපමන පවතින නමුත් ඒ ගැන විවෘතව කතා කෙරෙන අවස්ථා ඉතාම අඩුයි.විශේෂයෙන්ම සාහිත්‍ය වැනි ක්ෂේත්‍රයක පවා මෙවැනි අත්දැකිම් නිර්මානයන්ගේ අනුභූතීන් බවට පත් වුන අවස්ථාවන් දුර්ලභයි.අමුතු ඉලන්දාරියා හි එක් වැදගත්කමක් නම් ස්වයං වාරනයකට ලක්කොට තිබෙන ජිවිතයේ එක් පැතිකඩක් සාකච්ඡාවේ වේදිකාව මතට රැගෙන ඒම.කෙනෙකු අදහන ආගම එසේ නැතිනම් දේශපාලන අදහස/වරනය මත කෙනෙක් මත හිංසනය යෙදවිම,ඔහු හෝ ඇයව ආන්තිකකරනය කිරිම "වැරදි"දෙයක් ලෙස පිලිගන්නා තරමට වර්තමානයේ මිනිස් සමාජය දියුනු වී තිබෙනවා.එසේ නම් කෙනෙකුගේ ලිංගික ජීවිතයේ වරනය මත එම පුද්ගලයාව වෙන් කිරීම,එම පුද්ගලයා මත බලහත්කාරය යෙදවීම කෙතරම් නිවැරදිද?
සමකාමී ආදරය බොහෝ අය සිතා ඉන්නා ආකාරයේ fashion එකක් නොවෙයි.එයට එක්තරා අන්දමක ජීව විද්‍යාත්මක පසුබිමක් තිබෙනවා.අනෙත් අතට එය එවැනි නැඹුරුව සහිත ගැහැනුන්ගේ සහ මිනිසුන්ගේ ජීවන රටාව.ඔවුන්ට එය ජීවත් විමේ,ජීවිතය ගත කිරීමේ විදිහක්.ඉන් තෙවන පාර්ශවයක‍ට හිරිහැරයක් සිදු නොවේ නම් එය "අපරාධයක්"ලෙස සැලකීමේ පදනම කුමක්ද?
මග හැර යා නොහැකි විදිහට මේ ප්‍රශ්නය නවකථාවේ සිදුවීම් තුලින් මතු වෙන ආකාරය නිරීක්ෂනය කල හැකියි.
ශ්‍යම් සෙල්වදොරෙයි යනු පුද්ගලිකවම 83 ජූලි කෝලාහාල වලට හසු වූ අයෙක්.එහිදී සිය පවුල සමග රට හැර යන ඔහු වර්තමානයේ කැනඩාවේ ජීවත්වෙනවා.
ඔහුගේ නවකතාව තුල එන අර්ජුන් යනු එක්තරා ආකාරයකට ශ්‍යම්ගේම චරිතයේ නිරූපනයක් ලෙස දැක ගත හැකියි.අර්ජුන් දෙමල ජාතිකයෙක් වන අතර මේ අනුව කුඩා අවදියේ සිටම වාර්ගික දේශපාලනයේ බලපෑම් ඔහුගේ ජිවිතය මත පතිත වෙනවා.
ඔහු ඉතා ප්‍රිය කල නැන්දා කෙනෙක් සිංහලයෙක් වන අනිල් සමග ප්‍රේම සම්බන්ධයක් ඇති කර ගන්නවා.වාර්ගික අරගල ගැන කිසිම දෙයක් නොදත් හත් හැවිරිදි අර්ජුන්ට මේ සම්බන්ධතාවය ඉතාම උත්කෘෂ්ට එකක්.නමුත් දෙපාර්ශවයේම දෙමව්පියන් මෙම ප්‍රේම සම්බන්ධය වෙත දක්වන විරෝධය සම්මුති විරහිතයි.ප්‍රේම සම්බන්ධය කැඩීම සදහා රාධා නැන්දාගේ මව්පියන් ඇයව යාපනයේ ඥාතියෙකු වෙත පිටත් කොට හරිනවා.ඒ දින කිහිපයක නිවාඩුවක් උදෙසා.නිවාඩුවෙන් පසු යාපනයේ සිට යලි එන ගමනේදී රාධා නැන්දා ආ දුම්රිය වාර්ගික කෝලාහාලකරුවන් පිරිසකට මැදි වෙනවා.(මෙය 1970 දශකයේ අග සිදුවූ කෝලාහාල ලෙස උපකල්පනය කල හැකියි)අන්තවාදීන්ගෙන් රාධා නැන්දා පහර කෑමට ලක් වෙනවා.මේ නිසා ඇතිවන ආතතිකාරී වාතාවරනය විසින් අනිල්ව අත්හැර දැමිමේ තිරනය කරා රාධාව තල්ලු කරනවා.ඇයට දෙමව්පියන්‍ යෝජනා කරන වෙනත් පොහොසත් දෙමල තරුනයෙක් සමග විවාහ වීමට සිදු වෙනවා.

"මුලුතැන්ගෙහි ජානකි මොනවාදෝ මෝල් ගසමින් සිටියාය.මෝල් ගහ පාත් වන රිද්මයට කන් දුන් මට ඇගේ ආදර චිත්‍ර කතා ගැන මම ඒ කෙරේ කෙතරම් විශ්වාසයක් තැබුවේදැයි මෙනෙහි කලෙමි.දෙදෙනෙකු ඔවුනොවුනට ආදරය කලේ නම් කල නොහැකි දෙයක් නැතැයි සියල්ල ජය ගත හැකි යැයි මම විශ්වාස කලෙමි.එය එසේ නොවන බව මම දැන් දනිමි"
- අමුතු ඉලන්දාරියා පිටු.99

වාර්ගික දේශපාලනයේ බලපෑම එදිනෙදා අත්දැකීමක් විදිහට ඔහුගේ ජිවිතය මත ප්‍රක්ෂේපනය වෙන්නෙ ඒ ආකාරයට.
මේ ප්‍රක්ෂේපනය ඔහු වයසින් මුහුකුරා යත්ම තවත් ප්‍රබල වෙනවා.දැන් බොහෝ සිංහල අය දේශපාලනය ගැන කතා කරද්දී දෙමල අයට වෙලා තියෙන ප්‍රශ්නය මොකක්ද කියල අහනවා අපිට දකින්න පුලුවන්.ජූලි කෝලාහල වගේ දෙයක් ගැන සදහන් කලාම "ආ ඒක එක සිද්දියක් විතරනේ"කියල උත්තර ලැබෙනවා.ඒක "එක සිද්දියක්"පමනක් වෙන්නෙ ඒ එක සිද්ධියට බාහිරව ඉන්න අයට.එවැනි සිදුවීම් වලට මුහුන දෙන කෙනෙක්ගේ ප්‍රතිචාරය කවර වර්ගයේ එකක් වනු ඇත්ද?එවැනි සිදුවිමකට මුහුන දුන් අයෙකුත් "ආ ඒක එක සිද්දියක් විතරනෙ"කියා ප්‍රතිචාර දක්වනු ඇත්ද?දෙමල ජනයාට අතිතයේ පාලකයන් අතින් සිදු වුනු අසාධාරනකම් වූ කලී ඔවුන්ගේ ජීවිතය හා මරනය පිලිබද ප්‍රශ්නයක්.ඒ කරුනු බොහෝ අය සිතා ඉන්නා පරිදි "සරල"දේවල් නොවේ.
එක් අතෙකින් ශ්‍යාම්ගේ පොත තුලින් එලියට එන්නෙ සහෝදර දමිලයාගේ හඩ.ඔහුගේ හෘද සාක්ෂිය.මේ හඩ‍ට අපි ඇහුම්කන් නොදෙන තුරු සමාදානකාරී බේරුමක් ඇත්තටම යතාර්ථයක් වේවිද?
නවකතාවේ එක් තැනෙකදී අර්ජුන් ආශ්‍රය කල තරුනයෙකු වන ජෙගන්(ඔහු කොටි සංවිධානයෙන් පලා ආ අයෙක්)මෙසේ පවසනවා.

"අපේ තාත්තා කියනවා වගේ අපි අපි උපන්න රටේ දෙවැනි පන්තියේ පුරවැසියො වෙලා.කුනු ඇපල් ගොඩෙන් හොද ඒව තෝර තේරා කනවා වගේ ඉන්න වෙලා.අර කියන්න වගේ මෙහෙ හිටියොත් සිංහලයන් අතින් මැරුම් කන්න වෙනවා.එහාට ගියොත් ‍පොලිසියෙන් නැතිනම් කොටින්ගෙන් මැරුම් කන්න වෙනවා"
- අමුතු ඉලන්දාරියා පිටු.166

කොටි සංවිධානය වැනි අන්තවාදයක බිහිවීම හුදු ත්‍රස්තවාදී මනෝ විකාරයකට වඩා වැඩි යමකි යන්න ඉතාම දැනෙන සුලු ආකාරයකට මෙවැනි කාතියක් තුලින් මතු කෙරෙනවා.
මට මුන ගැසුනු මගේ මිතුරෙක් වරක් අපූරු ප්‍රකාශයක් කලා.-ඔහු විද්‍යා විෂයන්හි ප්‍රවිනයෙක්-.දේශපාලනය ගැන කතා කරද්දි ඔහු පැවසූ දෙය නම් ලංකාවේ ප්‍රශ්නයට තියෙන්නෙ ඉතාම සරල උත්තරයක් බව.ඒ කුමක්දැයි විමසූ විට ඔහුගේ පිලිතුර වුනේ පරමානුක බෝම්බයක් නිපදවිම.
-දෙමලු ටික සේරම නැති කරාම පස්සෙ මේ කිසි ප්‍රශ්නයක් නැහැනේ-ඔහු ගේ පිලිතුරෙන් මම විශ්මයට පත්වුනා.මන්ද සමකාලිනයන් අතර උගත් අයෙක් යැයි සැලකුනු ඔහු වැන්නෙක්ගෙන් මෙවැනි උත්තරයක් මා කොහොමත් අපේක්ෂා නොකල නිසා.
සාහිත්‍යය වැදගත් වෙන්නෙ මෙතැනදී.ශ්‍යාම්ගේ කෘතිය වැන්නක් කියවා තිබෙනවා නම් එවැන්නෙක් කවදාවත් "දෙමල අයට තිබ්බ ප්‍රශ්නෙ මොකක්ද" වගේ ප්‍රශ්න පන්ඩිතමානීව ඉදිරිපත් කරන්නේ නැහැ.මිනිස් සමාජයේ මතු වන ප්‍රශ්න වල මානුෂීය පැතිකඩයන් පිලිබද අවම සංවේදිතාවයක් හෝ තිබෙනවා නම් කිසිවෙකු පරමානු බෝම්බ නිපදවා මිනිසුන් වාර්ගික වශයෙන් සංහාරය කිරීමක් පිලිබද යෝජනා කරන්නේ නැහැ.
දේශපාලනය යනු බලය සදහා වන සටන.මිනිස් සමාජයේ හැම සම්බන්ධතාවයක්ම බල සම්බන්ධතාවයක්.ආදර සම්බන්ධයක් ගත්තම එතනත් බලයක් ක්‍රියාත්මක වෙන ආකාරයක් තියෙනවා.පාසල,පවුල,විශ්ව විද්‍යාලය,පන්සල,පල්ලිය - මේ හැම එකක් ඇතුලෙම දේශපාලනය තියෙනවා කියල කීමේ අරුත එයයි.මේ අනුව දේශපාලන ද්වි ආකාරයි.
1.මහා පරිමාන දේශපාලනය (macro politics)
පාර්ලිමේන්තුවේ රාජ්‍යයේ යුද භූමියේ අපි අත් දකින්නේ මේ දේශපාලනය.සාමාන්‍යයන් ව්‍යවහාරය තුල "දේශපාලනය"ලෙස අර්ථකතනය කෙරෙන්නේ මෙම මහේක්ෂ දේශපාලන ක්‍රියාකාරිත්වය
2.ක්ෂුද්‍ර මට්‍ටමේ දේශපාලනය(micro politics)යනු දේශපාලනයේ අනෙත් ආකාරයයි.ඒ කියන්නෙ මිනිස් සම්බන්ධතා වල දේශපාලනය.එදිනෙදා ජීවිතය තුල බලය අත්හදා බැලෙන ක්‍රියාත්මක වෙන ස්වරූපය ඒකෙන් අදහස් වෙනවා.
අමුතු ඉලන්දාරියාහි සන්දර්භය මේ දේශපාලනයන් අතර දෝලනය වෙමින් ඒ දෙක අතර ඇති අන්‍යොන්‍ය සම්බන්ධතාවය ස්පර්ශ කරනවා.වාර්ගික අසාධාරනය දේශපාලනික එකක් වනවා වගේම දෛනිකව පවතින සමලිංගික භීතිකාව සහ විෂම ලිංගික ඒකාධිකාරයත් අතිශය දේශපාලනිකයි.
ප්‍රභාකරන්ගේ මරනය=සදාකාලික සෞභාග්‍ය කියල රාජ්‍යය විසින් නිමවා දී තිබෙන සිහිනය දකිමින් නිදාගෙන සිටින වර්තමාන මධ්‍යම පංතික මිනිස් ශරිර වල නින්දට බාධා කරන එලාම් එකක් ශ්‍යාම්ගේ නවකතාව.
සමහරු එලාම් එකේ හඩට අවදි වී වටපිට බලා හිරු එලියට ඇස් අරීවි.
ඒ වගේම සමහරු නින්ද කැඩුවා කියන චෝදනාව සමග ඔරලෝසුවට දොස් නගමින් හැකි නම් ඔරලෝසුව පොලොවේ ගසා විනාශ කල යුතුයි යනුවෙන් ගෝරනාඩු කරාවි.

5 comments:

  1. මම Funny Boy පොත කියෙව්වා ඕක ආපු කා‍ලේ. ඒ කාලේ තේරුනේ නෑ ඔච්චර දෙයක්. මට තේරුනේ ඒක එයාගේ ජීවිතේ කියලා විතරයි. හැබැයි 83 කලබල වලින් මිනිසුන්ගේ ජීවිත වලට ඇතිවෙච්ච බලපෑම නම් යම් තරමකට තේරුම් ගන්න පුලුවන් වුනා. ඒ කාලේ මගේ හොඳම යාලුවන් අතරේ දෙමල යාලුවොත් හිටියා. (අර්ජූන් කියලා එකෙකුත් හිටියා =D ඌ නිකන්ම ඊට පස්සේ ආජී වුනා). අපි මේ පොතේ තියෙන දේවල් ගැන කතා වුනා. ඇත්තටම දෙමළ සිංහල භේදයක් නැතුව ඉස්කෝලේ කාලේ අපි හිටියා. කෑවේ බිව්වේ ඔක්කොම එකට. උසස් පෙළ ඉවර වෙලා ගල් බෝතලෙත් අරන් සෙට් වුනෙත් එකට. මට හිතාගන්න බැරි එහෙම වෙද්දී අර වගේ කලබල ඇතිවෙන්නත් මග පෑදුනේ ඇයි කියලා.
    කොහොම වෙතත් ඔබ කරලා තියෙන විමසුම නම් හොඳයි. සමලිංගිකත්වය පිළිබඳ තවත් හොඳට කතා කරන චිත්‍රපටියක් තමයි Brokeback Mountain.

    ReplyDelete
  2. සටහනට තුති. මේ පොත ඉංග්‍රිසියෙන් කියවා හමාර වනවාත් සමග මට ඇතිවූ සිතුවිල්ල නම් මෙහි සිංහල පරිවර්තනයක් තිබේ නම් කොපමන හොඳඳැයි යන්නයි. ඔබ කියන්නේ ඇත්තයි. ජනප්‍රිය මතවාදය ... නැතිනම් යුද්ද කිරීමෙන් සියල්ල විසඳිය හැකියයි සිතන අයට දෙමල ජනයා මුහුණදුන් ගැටලු ගැන නව මානයකින් බලන්නට මේ පොත ඉඩ සලස්වාවි (ඒ අය ස්වාඩීනව පොත කියවූවොත්) ..

    මේ පොත දෙමල ජනයා දෙස මා බැලූ කෝණය වෙනස් කරන්න සමත් වුන පොතක්... මම නොදන්නා ජනවාර්ගික අර්බුදයේ අප්‍රකට ඉතිහාසය මේ කතාව තුල තිබුනා...

    ReplyDelete
  3. yes . i like the book very much. I'm eager 2 read its translation..It discusses the above themes....
    As sinhalese we should accept them....

    ReplyDelete
  4. 'funny Boy' by Shyam Selvadurai is indeed a great novel. The most capturing part of the novel to me is neither his depictions of the Black July nor the human relationships submitted to the hegemonic laws. I think it is Shyam's ability to take the reader to each touching incident where the reader could just feel every incident without becoming the character or without experiencing the experience. The reader does not need to be a Tamilian to feel the agony during the time of Black July or even the reader does not need to be gay to feel human emtions between two human beings. Thanks for the post!

    ReplyDelete