Sunday, February 22, 2009

නතර වීම

මම ඇගේ අත ගනිමි
ඇගිලි අතරින්
ඇගිලි යවලා
ඇගිලි තුඩුගෙන පිරිමදිමි.
බලන්නේ තොප මොනවාද?

ඔලුව ගිනිගෙන දුවන අය මෙන්
මලු අතින් ගෙන උනුන් මැඩගෙන
පාර පැනැගෙන දුවනවා
යුගය අවසන හමන සුලගේ
ඔත්තුවක්වත් ලැබිලදෝ සැක සිතේ
දත් හපාගෙන තරගයෙක මෙන්
ගැටෙනවා බිම වැටෙනවා
නැගෙනවා යලි දුවනවා

ඇගේ නෙත් මා සිත් අදී
පතුල නොපෙනෙන නිල් සයුර වැනි
හිරු ගැටී බබලන
නිල් සයුර තුල කිමිදෙමි

තරගයට දුවන්නෝ තැනින් තැන ගිමන් ලා
මධු විතෙන් නැහැවිලා
දෙතොල් කිති කැවෙනවා
උදම් රල සේ උදම් බස් නැගෙනවා
මම දොස්තර
ඔබ කවුරුද?
නව විස්තර
තව ඕනෙද?
MBBS
ලන්ඩන්
BSC
මොස්කව්
HSBC
කැලි‍‍ෆෝනියා
APRC
මට්ටක්කුලිය
දුව?
එයාට නම් අනේ බැරි උනා
ඉංග්ලිෂ් මීඩියම් ලෝ කරනවා
එක අතකින් මොකද නේ
දොස්තරල රටේ කොච්චරද?
උදම් රල කැලඹෙමින් නැගෙනවා
ඇය සමග මම පසෙක බලාගෙන ඉන්නවා

නිකමෙක්ය අර බලන්
කෑ ගසනු ඇසේවි
සරදමක හීය හද සිදුරු කර ඇදේවි
අත ගන්න තව තදින් බලන් අත ඇරේවි
උදම් රල කොතෙක් නම් බිහිසුනුද සිතේවි

තරගයේ තැනක් නැති අයයි අප කියාවි
කිය කියා තව තවත් හතිලමින් දුවාවි
දුවනු මිස වෙන යමක් නොදත්තෝ හැම තැනම
ඒ වුනත් එකතැනක
නැවතීම කොයිතරම්
සුන්දරද අපිට මිස උන්ට නොම දැනේවි


2 comments:

  1. අධ්‍යාපනය අද තවත් එක් බ‍්‍රෑන්ඩ් කරණයට[brand] ලක් වෙච්ච ව්‍යාපාරයක් විතරයි.

    අපට ඉන්න තරමක් ඉන්නේ ඔය වගේ එක එක අකුරුවලින් තමා නැවත නාමකරණය කරගත් බ‍්‍රෑන්ඩ්මය [branded]මිනිස් ශරීර.

    නියම කවියක්.

    ReplyDelete
  2. ඇත්තටම මේ අධ්‍යාපන ක්‍රමයේ විකාරාදිය මම පිලි ගන්නවා. ඉගෙන ගැනිමට වඩා එයින් ලැබෙන නාමය හෙවත් ඔය අකුරු කිහිපය බලන බොහෝ තැනැත්තන් සිටිනවා නොවැ? තාත්වික කවියක්, තවත් ලියන්න අයියේ.

    ReplyDelete