Sunday, February 15, 2009

අතීත ශ්‍රී විභූතිය - පෙනුම හා හරය එකක්ද?




පුරාන රජ දරුවන්ගේ පාලන කාලය යන්න ඇසූ සැනින් ඔබේ සිහියට එන්නේ මොනවාද?
බොහෝ චිත්ත රූප ප්රමානයක් ඒ සමග මැවෙනු ඇති අතර බොහෝ විට ඒවා ගැන පොදු එකගතාවයක් ඇති කරගැනීමද අපහසු නොවිය හැකියි.වැව -දාගැබ-ගම -පන්සල,මේ එසේ මැවෙන චිත්ත රූප වල බොහෝ විට අඩංගු වීමට ඉඩ තිබෙන දේවල්.සාහිත්‍යය තුල කුඩා කල සිටම ව්‍යවහාර වූ ඒ නිසාම කට පාඩම් වන තරමට සුලබ වූ යෙදුම් මේ සම්බන්ධයෙන් පවතිනවා.මහ සයුර පරදන වැව්,සහලින් ස්වයංපෝෂිත වූ අතීතය,ධර්මද්වීපය වැනි මෙවැනි යෙදුම් ඔබටත් අසීරුවකින් තොරව මතක් කර ගැනීමට හැකියාව ඇති.
එම ඉතිහාසය පිලිබද විවිධ ප්රවාදයන්ද අප අතර තිබෙනවා.පන්ඩුකාභය කතාවේ සිට ගජබා රජු සොලී දේශය ආක්රමනය කිරීම දක්වා විවිධ ප්රවාද අප අතර තිබෙන අතර මේවා සියල්ල යලිත් අපව ගෙන යන්නේ අතීතය වූ කලී ශ්‍රී විභූෂිත එකකි යන උපන්‍යාසය වෙත.අඩුම තරමින් හොද සහ ධාර්මික රජවරුන්ගේ යුගයන් වලදී හෝ එකී යුගයන් හොදය යන මතය කරා උක්ත මූලාශ්රයන් අපව මෙහෙයවනවා.
මෙයට තවත් එකතු කිරීම් පවතිනු දැකගත හැකියි.ඒ අනුව සියල්ල කෙලවීම ආරම්භ වූයේ බටහිර ජාතිකයන්ගේ ආගමනයත් සමගින්.ඊට පෙර මෙරට ජනයා සාරධර්ම රැකගෙන හොදින් කල දවස ගෙවමින් සිටියා.මෙම අදහස ධර්මපාලතුමා විසින් ප්රකාශ කෙරෙන්නේ මේ විදිහට.

"බුද්ධාගම නිර්මලව පැවතුනු කාලයේ ලංකාව සශ්‍රීක උද්‍යානයක් මෙන්ද මංගල ගෘහයක් මෙන්ද පැවතුනේය.ප්‍රානනඝාතය අදත්තාදානය කාම මිථ්‍යාචාරය මුසාවාදය සුරාපානය යන පව් නොකොට මෛත්‍රීය පතුරවමින් අන්‍යොන්‍ය මිත්‍ර ධර්මය පෙන්වමින් සිංහල ජනකාය ලංකාභූමියේ විසූහ.මිථ්‍යාදෘෂ්ටික පාපතරයන්ගේ පැමිනීමෙන් පසු සිංහලයන්ට අන්තරාය පැමිනියාහුය"
- අනගාරික ධර්මපාලතුමා
සිංහල බෞද්ධයා පුවත්පත 1912

ඉතිහාසයික වීරයන් පිලිබද අවධානය අප යොමු කරන විට අප දන්නා ඉතිහාසය තුල වීරයන් ලැයිස්තුගත කරද්දී සිත් ගන්නා සුලු චරිත ගනනාවක්ම අපට මුන ගැසෙනවා.රාවන රජු වීරයෙක්ද නැද්ද යන විවාදය පසෙක තැබුවත් දුටුගැමුනු රජුගේ සිට රාසිං දෙවියන් දක්වා විවිද වීරයන් පිලිබද ප්‍රවාදයන් පවතිනවා.නිරීක්ෂනාත්මක වන අයෙකුගේ අවධානය වහා දිනා ගන්නා කරුන නම් මෙකී විරුවන් එක් හෝ වෙනත් ආකාරයකින් රාජ්‍යත්වය හා සම්බන්ධ අයවලුන් වීම.එක්කෝ ඔවුන් රජවරුන් හෝ රැජිනියන්.නැතිනම් කුමරුවන් හෝ කුමරියන්.ඉන් බැහැර උදාහරන අතිශයින් දුර්ලභයි.
මේ අපගේ රටේ පමනක් නොවෙයි අන් සමාජවලත් ඉතිහාසය අරභයා දක්නට ලැබෙන පොදු නිරීක්ෂනයක් බව මතක තබා ගැනීම වැදගත්.
එය එසේ සිදු වී තිබෙන්නේ ඇයි?මේ තමයි අපි විමසා බලන්න ඕනෙ එක කරුනක්.
එය සිදු වනුයේ ඉතිහාසය වූ කලී රජවරුන්ගේ දෘෂ්ටියට අනුව ගොඩනගන ලද නිර්මිතයක් වන නිසා.මෙතැනදී අප සමාජයේ බලය දරන ප්‍රභූ පිරිස් සහ ප්‍රභූ නොවන ජනයා යන බෙදුම් ඉර තේරුම් ගැනීම වැදගත් වෙනවා.පැහැදිලි කරුන නම් අප ඉතිහාසය ලෙස තේරුම් ගන්නා/ඉගෙන ගන්නා/උගන්වන ඉතිහාසය යනු ප්‍රභූ කන්ඩායම් වල ඉතිහාසය මිස නිර්ප්‍රභූ කොටස් වල ඉතිහාසය නොවන බව.ආධිපත්‍යය හෙබවූ සීමිත ප්‍රභූ පිරිසකගේ ඉතිහාසය "ඉතිහාසය" ලෙස තේරුම් ගැනීම කෙතරම් නිවැරදිද යන ප්‍රශ්නය මෙහිදී මතුවෙනවා.
පුරාන රජ දවස ඒ කියන්නේ ජූර්ව යටත් විජිත යුගය සශ්‍රීක එකක් යැයි කියැවුනත් එය සශ්‍රීක එකක් වන්නේ කාටද?නිෂ්පාදනයට අවශ්‍ය කරන මෙවලම් සාතිශය දුබල හා ප්‍රාථමික ඒවා වූ සන්දර්භයක නිෂ්පාදනය වෙනුවෙන් සිය සකල ශක්තිය දිය කොට හල රජුගේ ඉඩම් වල වගා කල ගොවියා එම යුගය සශ්‍රීක එකක් ලෙස හගින්නට ඇත්ද?කුලයෙන් උසස් අයෙක් දුටු සද හිස බැදි ලේන්සුව අතට ගෙන පාර අද්දරට පසු බැසීමේ ඉරනමට ලක් කරන ලද කුල පීඩිතයා තමා ජීවත් වූ යුගය සශ්‍රීක එකක් ලෙස නිර්වචනය කරගන්නට ඇද්ද?
ඇත්ත වශයෙන්ම ඉතිහාසයේ සශ්‍රීක අවධීන් ලෙස අර්ථකතනය වී ඇත්තේ රාජ්‍ය බලය දරන්නන්ට සරුසාර වූ අවධීන් මිස අනෙකක් නොවෙයි.බලය දරන්නන්ගේ බලය අභියෝගයට ලක් වෙන අවධීන් වූ කලී අයහපත් අවධීන්.එලාර නම් පිටස්තරයාට බලය හිමිවන කාලය නරක කාලයක් වෙන්නෙ මේ අර්ථයෙන්.බලය දරන්නාගේ ආධිපත්‍යය ගැටලුවක් රහිතව ගෙන යා හැකි කාලවල් හොද කාලවල්.සපුමල් කුමරු වීරයෙක් වන්නේ ඒ අර්ථයෙන්.ආර්ය චක්රවර්තීට බලය තිබුනත් නැතත් සපුමල් කුමරු බලයේ සිටියත් නැතත් රජ වාසලෙන් මෙපිට ජීවත් වෙන ශ්‍රමය වගුරන ජනයාගේ ජීවිත අරභයා ඉන් කවර හෝ වෙනසක් සිදු වන්නට ඇත්ද?බල සෙනගින් සහ යාපා පටුන් ගෙන සපු කුමරු වැඩියත් කායික ශ්‍රමය වගුරවන එම ජනතාවගේ පීඩාකාරී පීවන කොන්දේසිවල අංශු මාත්‍රයක හෝ වෙනසක් සිදු වන්නට ඇත්ද?රජු සපුමල් වුවත් වෙනෙකෙක් වුවත් රදල අධිපතීන් වෙනුවෙන් කැඹිරීම නමැති විය ගහට බදින ලද සාමාන්‍ය මිනිසාගේ ජීවිතය තුල කැපී පෙනෙන වෙනසක් කිසිසේත්ම සිදු වුනේ නැහැ.
රජවරුන්ගේ දෘෂ්ටියෙන් නොව පොදු මිනිසාගේ දෘෂ්ටියෙන් ඉතිහාසය ලියැවුනා නම් ඇත්තටම අපට ලැබෙන්නේ අප දැන් දකින චිත්රයට වඩා හාත්පසින්ම වෙනස් චිත්රයක්.
එම ඉතිහාසය දහඩිය ලේ කදුලු හා දුක් සුසුම් වල චිත්රයක්.
ප්රභූ අනුග්රහය යටගේ ලියැවුනු සම්භාව්‍ය සාහිත්‍යය නොවෙයි ඊට සමාන්තරව ගලා ආ ජන සාහිත්‍යය ආශ්රය කරන විට පැරනි සමාජයේ පොදු ජනයා ගෙවන ලද ඇත්ත ජන ජීවිතය පිලිබද යම් අවබෝධයක් ලබාගැනීමට පුලුවන්.පැල් කවි,පාරු කවි වැනි නිෂ්පාදන ජීවිතය සමග දැඩිව බැදුනු කලා ප්රකාශනයන‍්ගේ සුලභව ගැබ්ව ඇති ශෝකී රිද්මය අපට කුමක් පවසයිද?අතිශය අව්‍යාජ ලෙස ඒවායින් ප්රකාශ වෙන්නේ සාමාන්‍ය ජනයා භෞතික ජීවන අරගලය තුල විදින ලද වේදනාත්මක වෙහෙස මිස අනෙකක් නොවෙයි.එක් අතෙකින් නියං අවු වැසි සමග අඛන්ඩ අරගලයකට අතීත මිනිසා මැදිව සිටියා.සොබාදහමේ බලවේග ඉදිරියේ තාක්ෂනයෙන් නොදියුනු ඔහු සිටියේ ඉතා අසරන අඩියක.අනෙත් අතින් භූමියේ අයිති‍ය තිබුනේ රජු ප්රමුඛ රදලයන්ට.අස්වැන්නේ විශාල පංගුවක් රජතුමාට පිදීමේ වැඩවසම් කොන්දේසියටත් ඔහු බැදී සිටියා.
පිටස්තරයෙක් වන රොබට් නොක්ස්ගේ සටහන් පැරනි සමාජ ජීවිතය ගැන සාපේක්ෂව ආසන්න වූත් විශ්වසනීය වූත් කරුනු ගනනාවක් සපයනවා.
අනෙත් අතට සමාජය තුල කුල ‍විභේදනය උග්ර ලෙස බලපැවැත්වුනා.එම කුල ධූරාවලිය ජීවි‍තයේ සෑම අංශයකටම බලපෑම අනිවාර්යයක්ව තිබුනා.

"ඇතැම් ඇදුම් ආයිත්තම් ඇදීම පහල කුලවල අයට තහනම් වූ අතර පදිංචි වාසස්ථානද රදලයන්ගේ වලව්වේ සිට රොඩී ගුබ්බෑයම් දක්වා විවිධ විය.තම නිවෙස්වල සුදු පිරියම් කිරීමට අවසර තිබුනේ ඉහල කුලවල අයට පමනි."
- කුලය පංතිය හා ලංකාවේ සමාජ ගැටුම්
මහාචාර්ය කාලිංග ටියුඩර් ද සිල්වා

දැන් මතු කල යුතු ප්රශ්නය වන්නේ රදල අධිපතීන් අභිමුව බලු ගැත්තා යැයි තමාවම හදුන්වා ගැනීමේ ඉරනමට ලක් කරන ලද අතීත මහා සමාජයට අයත් පොදු මිනිසා එම සමාජය මංගල ගෘහයක් මෙන් සශ්‍රීකය යන ධර්මපාලතුමන්ගේ උපන්‍යාසය සමග කෙතරම් එකග වේද යන්නයි.

"පලමුවන ශක වර්ෂයේදී මහා යුද්ධයක් විය.ශක රාජයෝද ආරන්‍ය සේනාපතීහුද බිහිසුනු සේ යුද වැදුනහ.ඔවුන්ගේ අශ්ව කුරයෙන් සියලු කෙත් වතු පාලු විය.
ඉන්පසු ගොවීහු මෙසේ ඇසූහ
-කවුරුන් සදහා වන්නේද මෙම මහා යුද්ධය?
-ඔබ සදහායයැ-දෙගොල්ලම හඩ නගා පිලිතුරු දුන්හ
-අනාගතයේද අප වැනි වීර පුරුෂයන් ඔබ සදහා නියතයෙන්ම බිහි වන්නෝය
(ශක රාජාවලිය)

ඇත්ත වශයෙන්ම ඉතිහාසයික වීරයන් "වීරයන්" වන්නේ රාජ්‍යත්වයට සාපේක්ෂව මිස කායික ශ්රමය වගුරන මහා සමාජයට සාපේක්ෂව නොවන බව ඉහත උපුටනය සිත් කා වදින ලෙස පෙන්වා දෙනවා.ඒ වගේම අතීත සමාජය "මංගල ගෘහයක්"වන්නේත් රාජ්‍යත්වයට සාපේක්ෂව මිස පොදු සමාජයට සාපේක්ෂව නොවන බව වටහා ගත යුතු කරුනක්.

අතීතය පිලිබද (කිසිසේත් කවදාවත් යථාර්ථයක් ලෙස නොපැවැති)සුන්දර චිත්රයක් අප ඉදිරියේ මැවිලා තිබෙන්නේ ඇයි?අතීතය විභූතිමත් එකක් ලෙස අප සාමාන්‍යයෙන් කල්පනා කිරීමට පුරුදු වී තිබෙන්නේ ඇයි?ඉතිහාසය ගැන පවසන විට මහා වැව්, විශාල මස්පිඩු සහිත රාජ්‍ය වාංශික කුමාරවරුන් මතක් වන්නේ සහ කුඹුරු වල නැහුනු ගොවියන්ව මතක් නොවන්නේ ඇයි?
මීට පිලිතුරු සාකච්ඡා කරන විට දෘෂ්ටිවාදය-ideology-පිලබද අදහස වැදගත් වෙනවා.විභූතිමත් අතීතය පිලිබද මිථ්‍යාව සමාජයේ දේශපාලන බල පිරමීඩය ඇතුලේ ආයුදයක් ලෙස ක්රියාත්මක වෙන ආකාරය ගැන විමසීමකට ලක් කිරීමට
ඉදිරි ලිපියකින්අපි උත්සාහ දරමු.

12 comments:

  1. ඔබ මෙවැනි විග්‍රහයක් කරපු එක නම් ඉතාමත් හොඳයි. ලංකාවේ හැම දෙයක්ම ඒ ඇති විදියටම පිලි ගන්න පුරුදු වෙලා තියෙන අපේ අයට මේ ටිකවත් ඇස් ඇරගන්න උදව් වෙනවානම් කොච්චර හොඳදද?
    ඇත්තටම රොබට් නොක්ස් ගේ පොත ඉතාම වටිනවා ඔහුගේ කාලයේ ලංකාවේ ඇත්ත තත්වය දැන ගන්න. මට හොඳට මතක එක දෙයක් ගිබ්බා ඒ පෙතේ. ලංකාවේ ගෑනු අයගේ පර සැමි සේවනය ගැන. මේ ගැන වැරදියට හිතන්න එපා. ඒත් ඒ එලිදරව්වම ඇති නේද ඒ කාලේ ලංකාවේ සමාජයත් යථාර්ත විදියට රොබට් නොක්ස් පෙන්නලා කියන එකට. මොකද මටනම් හොඳටම විශ්වාසයි ඔය දැන් කියන විදියට සැම අතින්ම ධාර්මික සමාජයක් තිබ්බේ නෑ කියලා ඒ කාලේ. මොකද හැම මනුස්සයෙක්ම එකම විදියේ නෙවෙයි නිසා.
    ඔබ හැමදෙයක්ම නොපැකිලවම විවේචනය කිරීම ගැන සතුටු වෙනවා.
    ආගම සහ ආගම් වල මූලාරම්භයේ සිට ඒවා මිනිස් ජීවිත වලට බල පෑ හැටි, ඒවා සමාජයන් එක්ක වෙනස් වෙච්ච හැටි ගැන ඔබ දරන මතයත් දැන ගැනීමට කැමතියි

    ReplyDelete
  2. ඇත්තකින්ම මේ ගැන සති අන්තයේ මගේ නෑ කෙනෙක් එක්ක කතා කලා එක්ක. මම ඔබේ මතයට සම්පුර්ණයෙන් එකඟයි. අනික මියන්මාරය, ඇෆ්ගනිස්ථානය (එදා හැදුන්වු නාමය මට මතක නෑ) ඇල්ලු සොලී හමුදාවන් නැව් කරපින්නාගෙන අපේ රට ආක්‍රමණය කරන්න හැදු විට එය අසාර්ථක විමත් නැව් දෙකකින් පැමිණි පරංගින් අපේ රට ඇල්ලිම සම්බන්ධයෙනුත් උඩරට රාජධානියේ බිද වැටිමටත් මෙය හේතු වුණා (ඉන් පසුයි අපේ රටේ දැනුත් තිබෙන දෙමළ සිංහළ විරසකය උහග වුණේ ). මේ ගැන කතා කලාට බොහොම ස්තුතියි. තවත් කියන්න දෙවල් තිබුනත් එවා කියා ඔබ ඉදිරියේ සදහන් කරන ලිපි වලට බාධා කරන්න කැමැත්තක් නෑ.

    ReplyDelete
  3. අප ඉතිහාසය ලෙස තේරුම් ගන්නා/ඉගෙන ගන්නා/උගන්වන ඉතිහාසය යනු ප්‍රභූ කන්ඩායම් වල ඉතිහාසය මිස නිර්ප්‍රභූ කොටස් වල ඉතිහාසය නොවන බව
    -Well Said

    ReplyDelete
  4. ඇත්ත ඇත්ත.. ඔය ඉතිහාසය ලියවිලා තියෙන පොත් පත් කීපයම රජතුමාගෙ තෛෂී අයනෙ ලියල තියෙන්නේ. තව අවුරුදු ගාණකින් අද පවතින තත්ත්වය වුණත් වාර්තා වෙන්නේ රට එක්සේසත් වුණ සශ්‍රීක කාලයක් විධියටයි.

    ReplyDelete
  5. සියලු දෙනාගේ ප්රතිචාරයන්ට බොහොම ස්තුතියි.මේ ලිපිය ලියද්දි ඇත්තටම මම බලාපොරොත්තු වුනේ තරමක් රලු ප්රතිචාරයන්.විශේෂයෙන් මේ විචාරාත්මකව නෙමෙයි ආවේගවාදීව සහ ආචීර්නකල්පිකව යමක් දිහා මිනිසුන් බලන්නට පුරුදු වී සිටින වකවානුවක් වන නිසා.
    කොහොම වුනත් ගතානුගතික මතයන්ට යට නොවුනු සැලකිය යුතු පිරිසක් අපි අතර සිටිනවා යන්න සතුට දනවන කරුනක්.
    anonymous 1-ආගම ගැන මතු කලාට ස්තුතියි.ඒ ගැන යම් අදහස් ප්රමානයක් ඉදිරියේදී ගොනු කරගන්නට උත්සාහ ගන්නම්

    ReplyDelete
  6. සැබැවින්ම ඔබෙ සටහන හරි අපුරුයි. සුභ පැතුම් දිගටම ලියන්න.

    ReplyDelete
  7. ප්‍රශ්ණයක් - ඔබ සදහන් පරිදි බහු පුර්ෂ විවාහයට ප්‍රධාන හේතුව දේපල බෙදි යෑම පිළිබද ප්‍රභුන්ගේ තණ්හාවෙන් ඇති වුවෙක් නොවේද, තනිකම ලිංගික හේතුන්ද??

    ReplyDelete
  8. බහු පුරුෂ විවාහයට ලිංගික පදනමක් නැහැ යයි කියන්නට බැහැ.නමුත් වැඩවසම් යුගයේ බහු පුරුෂ විවාහය හැඩගැස්වීමෙහිලා ප්රබලම සාධකය ලෙස ක්රියා කලේ දේපල පිලිබද සාධකයයි යන්නට මම එකගයි.දේපල රදවාගැනීම පිලිබද උවමනාව විසින් බහුපුරුෂ විවාහය නමැති පවුල් සංවිධාන රටාව බිහි කලා.
    කොහොමත් ඒක භාර්යා විවාහය,පවුල,පුරුෂමූලිකත්වය වගේ දේවල ඉතිහාසය හොයාගෙන යද්දි ඒව මිනිසුන්ගේ නිෂ්පාදන ජීවිතයත් එක්ක තදින් ගැටගැහිල තියෙන ආකාරය නිරීක්ෂනය කරන්න පුලුවන්.

    ReplyDelete
  9. එළකිරි. මම මේ BLOG කියවීමට කෝඩුකාරයෙක්. අතිවිශිෂ්ටයි. දිගටම යන්න. සමාජමෙහෙවරක්. දිගටම යන්න.

    ReplyDelete