Thursday, February 19, 2009

අතීත ශ්‍රී විභූතිය -පෙනුම හා හරය එකක්ද? - 2




මීට පෙර සටහනින් අපි ඉතිහාසය යනු ඉතාම පවිත්ර එකකි යන අදහස ව්‍යාජයක් බව සදහන් කලා.ඉන්පසුව මතුවුන ප්රශ්නය වුනේ එහෙම මිථ්‍යාවක් -අපි- සාතිශය බහුතරය පිලිගෙන ඉන්නේ ඇයිද කියන කාරනය.
මෙයට පිලිතුර සමාජ දෘෂ්ටිය පිලිබද මාතෘකාව සමග සම්බන්ධ වන බව මා සදහන් කරනු ලැබුවා.දැන් එතනින් ඉදිරියට යාමට අපි වෑයම් කරමු.
සමාජයක තිබෙන අදහස් පද්ධතීන් හා මතවාදයන්ගේ එකතුව දෘෂ්ටිවාදය-ideology- යන පදයෙන් අදහස් වෙනවා.
සරලවම ගතහොත් ඔබත් මමත් ලෝකය දකිනවා.ලෝකය ගැන විවිද මතයන් දරනවා.දැන් මේ අදහස් අපගේ ස්වාධීන නිර්මල අදහස්ද?මේ අදහස් මතු වන්නේ කොතැනින්ද?
බැලූ බැල්මට අපේ අදහස් අප තුලින්ම එන ඒවා බවයි පෙනෙන්නෙ.මම දරන්නෙ මට ඕන අදහස මිස වෙන කුමක්දැයි ඕනෙම අයෙකුට සිතේවි.
නමුත් තරමක් බරපතල විදිහට කල්පනා කලහොත් ඇත්ත තත්වය ඊට වඩා‍ වෙනස් බව තේරුම් ගත හැකියි.
අපගේ සිතීම ඇත්ත වශයෙන්ම අපගේ පරම නිමැවුමක් නොව සමාජයීය නිර්මිතයක්.තනි තනිව කිසිම පුද්ගලයෙක්ට පවතින්න බැහැ.මිනිසාගේ පැවැත්ම ආරක්ෂා වෙන්නෙ හා ගොඩනැගෙන්නේ ඔහු සමාජයක් ලෙස සංවිධානය වී සිටින නිසා.මිනිසා හුදෙක් ජීව විද්‍යාත්මක සතෙක් පමනක් නොවෙයි සමාජ සත්වයෙක් ලෙස හදුන් වන්නේ ඒ නිසා.අප සිතන පතන ආකාරය අපි ජීවත්වෙන නිශ්චිත සමාජ තත්වයන් හා කොන්දේසි විසින් හැඩගස්වනු ලබනවා.උපන්දා සිට විවිධ මත අප තුලට කැවෙනවා.පවුල් සංස්ථාවෙන් සරලව පටන් ගන්නා මේ ක්රියාවලිය ලමයෙක් ‍උස් මහත් වෙනවිට අනුක්ර‍මයෙන් ක්රමානුකූල ස්වභාවයක් ගන්නවා.පාසල,අධ්‍යාපන ක්රමය වැනි ස්ථාපිත ව්‍යුහයන්ට ලමුන් ඇතුලු වූ තැන් සිට ඔවුන්ගේ හිස තුලට විවිධ මතවාදයන් ඇතුල් කෙරෙනවා.අනෙත් අතට ආගම,ජනමාධ්‍ය වගේ ස්ථාපිතයන් විසිනුත් අපගේ දෘෂ්ටිය මහා පරිමාන විදිහට පාලනය කරනවා සහ හැඩ ගස්වනවා.
මේ අනුව අ‍පගේ දෘෂ්ටිය යනු අප තුලින්ම එන පරම වශයෙන් ස්වාධීන වූ එකක් නොවෙයි එක්තරා අන්දමකට සමාජයීය තත්වයන් හා බලවේගයන් විසින් අප තුල උපදවාලන්නක් බව පැහැදිලියි.
අපගේ දෘෂ්ටිය හැඩගස්වන අධ්‍යාපන ක්රමවේදය,මාධ්‍ය වැනි දේවල් දෘෂ්ටිවාදයේ වාහකයන්(instruments of ideology)ලෙස හදුන්වනවා නම් එම දෘෂ්ටිමය වාහකයන් හැසිරෙන්නේ කොහොමද?
ඉතාම පැහැදිලිව සමාජ‍යක බලය සහිත පිරිස් විසින් මෙම වාහකයන් හසුරවනු ලබනවා.
උදාහරනයක් ලෙස ජනමාධ්‍ය හැසිරවීම සිදුවන්නේ ඊට ප්රාග්ධනය ආයෝජනය කල ප්රාග්ධන හිමියාගේ අභිලාෂයන්ට යටත්ව.අධ්‍යාපන විෂය පද්ධති ගොඩනැගෙන්නේ රාජ්‍යයේ නිල පාලකයන්ගේ අභිප්රායන්ට යටත්ව.

යම් යුගයක රජයන අදහස් වූ කලී එම යුගයේ පාලක පංතියේ අදහස් වේ
- කාල් මාක්ස්

මේ අනුව සමාජයේ බලය සහිත පිරිස්වලට සමාජ දෘෂ්ටිය මෙහෙයවීමේ තීරනාත්මක බලය හිමිවෙනවා.මේ අනුව සාමාන්‍ය තත්වයන් යටතේ සමාජයක අධිනිශ්චය වෙන්නෙ අධිපති පංතියේ මතවාදය.
(සමාජ ක්රමයක් තවත් සමාජ ක්රමයක් දක්වා මාරු වෙන විප්ලවකාරී තත්වයක් යටතේ මෙය වෙනස් විය හැකියි.එනම් පවත්නා සමාජ ආකෘතිය තුල සමාජ ජීවිතය තවදුරටත් පවත්වාගෙන යන්න බැරිව අධිපති පංතිය අර්බුදයට ගිය විට,සමාජ පදනම අධිපතීන්ට අවාසිදායක විදියට වෙනස්වෙන්න පටන්ගන්නා විට අධිපති මතය ක්රමයෙන් පරාජිත මතය බවට පත්ව පල්ලම් බැසීම සිදු වෙනවා.ලංකාව වැඩවසම් යුගයෙන් ධනවාදී යුගයට මාරු වෙද්දී රදල අධිපතීන්ගේ තිබුන ඇතැම් අදහස් නිද-කුල පාරිශුද්ධතාවය යටපත් වූ අන්දම සැලකිල්ලට ගන්න.කෙසේ වුනත් සාමාන්‍ය තත්වයක් තුල ඒ කියන්නෙ අධිපති පංතියේ පාලනය අවුලක් නැතිව ගෙනයනු ලබන අවස්ථාවලදී රජකරන්නේ අධිකාරියේ අභිලාෂය.වැඩවසම් ක්රමය සාමාන්‍ය මට්ටමේ පවතින කාලයේ රජකලේ කුල පාරිශුද්ධතාවය පිලිබද අදහස)
මෙහි අදහස අධිපති මතවාදයට අමතර වෙනත් අදහස් සමාජයක නැත යන්න නොවෙයි.ඕනෑ තරමක් විකල්ප අදහස් සමාජයක් තුල පැවතිය හැකි වුනත් මූලික මතවාදය ලෙස අනසක පතුරවාගෙන සිටින්නේ අධිපති පාංතික මතවාදය.
යුද්ධය පිලිබද මේ ‍මොහොතේ තිබෙන කතිකාවතම සලකමු.-යුද්ධය ඉවර වෙනතුරු ඉවසගෙන ඉන්න.ඊට පස්සෙ හොද කලදසාවක් ඔයාලට අපි ලබාදෙනවා-මේ තමයි බලය සහිත පංතිය පැත්තෙන් මතු කෙරෙන අදහස.මේ පෙත්ත සමාජයේ අනිකුත් හැම‍දෙනෙක්ටම ගිල්ලවීමේ විශාල හැකියාවක් බලය සහිතවුන්ට පවතිනවා.ඒ අරමුන වෙනුවෙන් මාධ්‍ය ආගම වැනි දේවල් මෙහෙයවෙන අන්දම නිරීක්ෂනය කලොත් මේ බව තේරුම් ගැනිම අපහසු නැහැ.
දැන් අපි කතාකරන ඉතිහාසය සම්බන්ධ සාකච්ඡාවත් එහෙමයි.ඉතිහාසය ඉතාම සමෘද්ධිමත් එකකි යන මතය අධිනිශ්චය වී තිබෙන්නේ ආධිපත්‍යය හොබවන්නන් එම සිතුවිල්ල තුල ගිලී සිටින නිසා.
බලය හොබවන ප්රභූ පංතිය එවැනි අපේක්ෂාවක සහ අදහසක ගිලී සිටින්නේ ඇයි?
මෙයට යටත් පිරිසෙන් පැහැදිලි කිරීම් දෙකක් යෝජනා කල හැකියි.
පලමුවැන්න අපේ සමාජයේ ප්රභූ පංතිය සතු බරපතල හීනමානී හැගීම.
අපි දන්නවා අපේ රටේ ධනේශ්වර පංතිය කියන්නෙ යුරෝපයේ ධනේශ්වරය වගේ වැඩවසම් ගර්භය පුපුරුවාගෙන මතු වූ ප්රචන්ඩ විප්ලවයන් හරහා බිහිවුන සුජාත එකක්‍ නොවෙයි.අපේ රටේ ධනේශ්වරය බිහිවෙන්නෙ අධිරාජ්‍යවාදයට ගැතිකම් කල එවකට උන් රදල අධිපතීන් හරහා.රජ යටතේ සිටි ඉඩම් හිමි රදලයන් සුද්දන් ඉදිරියේ නගුට වැනීමේ පිනෙන් මාලු රේන්ද අරක්කු රේන්ද ලැබ ධනපතීන් බවට පත්වුනා.ඩී.එස්.සේනානායක නමැති ධනේශ්වර නායකයා ධනේශ්වර නායකයෙක් වන අතරම ඩී.එස්."හාමුගේ" චරිතයත් රගපෑවා.අපේ රටේ දේශපාලනයේ ප්රබල සංකේතයන් වුනේ වැඩවසම් සංකේත වන හොරගොල්ල වලව්ව,බෝතලේ වලව්ව,මැදමුලන වලව්ව වැනි දේවල්.
රදල පවුල්වලට පිටින් ධනවත් වුන සෙසු පිරිස් පවා මේ වැඩවසම් මානසිකත්වයෙන් යුක්තයි.
යුරෝපයේ ධනේශ්වරයට වගේ අලුත ධනවත් වුන මේ පිරිසට ස්වාධීන අනන්‍යතාවයක් තිබුනේ නැහැ.මේ නිසා ඔවුන් අනන්‍යතාවය සොයාගෙන හැරුනේ නැවතත් වැඩවසම් මුල් දිහාවට.නන්දා තමන්ව එකසිය ගානට කිච කොට දමද්දීත් පියල් නැවත නැවතත් ඇය පසුපස සිගමන් යැදීමේ ගම් පෙරලියේ සිද්ධිය ඇසුරෙන් මෙය තේරුම් ගන්න පුලුවන්.නමට හෝ රදල පවුලකට සම්බන්ද වීමෙන් අනන්‍යතාවයක් සාදා ගැනීමේ හීනමානයක් මෙරට බිහිවූ අවජාත ධනේශ්වරයට පවතිනවා.
මේ අනුව ඔවුන් පැරනි සමාජයේ ලක්ෂන වර්තමානයටත් අරගෙන ඇවිත් තිබෙනවා.පැරනි සමාජය "මාර" එකක් ලෙස උත්කර්ෂයට නැගීමේ එක් උල්පතක් එවැනියි.
ප්රංශය වගේ රටක ධනපති පංතිය බලය ගත්තෙ රදල වංශිකයන්ට එරෙහි මාරාන්තික සටනකට පසු.මේ නිසා ප්රංශ ධනපති පංතියට හිටපු රදලයන් හෝ තිබුන සමාජය කියන්නෙ රොමෑන්ටික් එකක් නොවෙයි.නමුත් අපේ රටේ ධනපතීන් වුනේ හිටපු රදලයන් සහ රදලයන් සමග පෑහීමේ හීනමානය තිබුන සමාජ කොටස්.මේ නිසා ඔවුන්ට පැරනි සමාජය,වලව්ව,අතීතය කියන්නෙ ඉතාම සුන්දර සහ ඉතාම පරමාදර්ශී දේවල්.
දෙවෙනුව ඉතිහාසය පිලිබද යථාර්තවාදී විග්රහයකට ආධිපත්‍යය දරන්නන් තුල ඇති අවිඥානික/සවිඥානික නොකැමැත්ත ඔවුන්ගේ පංතියේ බලය පිලිබද කාරනය සමග සම්බන්ධ වෙනවා.
සමාජයක නිෂ්පාදනය බිහිකරන ශ්‍රමය හෙලන මහා සමාජය සහ සමාජයේ බලය පවත්වාගෙන ගිය පාලක කොටස් අතර හැමදාම පරතරයක් තිබුනා.සමාජයීය නිෂ්පාදනය බිහිවුනේ ඉහත කී පලමු පිරිස අතින්.ආසියාතික වැඩවසම් යුගයේදී නිෂ්පාදනය බිහිකලේ ගොවීන් සහ වෙනත් ශිල්පීන්.නමුත් සමාජයේ බලය තිබුනේ ඔවුන්‍ට නොවෙයි.ඊට පිටින් සිටි රදල ස්තරයකට.සමාජය මෙහෙයවීම සැමවිටම මහා සමාජයෙන් වෙන්ව සිටි සීමිත පිරිස‍කගේ වරප්රසාදයක් වුනා.තීරන ගැනීමේ ක්රියාවලියෙන් මහා සමාජය හැම විටම බැහැර කරනු ලැබව පැවතුනා.මේක අදත් එහෙමයි.සමාජ බලය අදත් සංකේන්ද්රනය වෙලා තියෙන්නෙ ප්රාග්ධන බලය සහිත සීමිත පිරිසක් අතේ.සමාජ ධනය බිහිකරන වතුකරයේ කම්කරුවා,ඇගලුම් කම්හලේ සේවිකාව,කාර්යාල ලිපිකරුවා,අම්පාරේ ගොවියා-මේ අය කේවල් කිරීමේ හැකියාව අහිමි කරවනු ලැබ දේශපාලන වෘත්තයේ පරිවාරයට තල්ලු කොට දමා තිබෙනවා.
ඇත්ත වශයෙන්ම මෙතෙක් බිහිවූ කිසිදු සමාජයක් ඊනියා ධර්මිෂ්ට හෝ සමෘද්ධිමත් සමාජයක් වුනේ නැහැ.මහා සමාජයෙන් පිට වැජඹෙන වරප්රසාද ලත් චූල සමාජයක් ආධිපත්‍යය දරන තුරු සැබෑ සමෘද්ධියක් පිලිබද කතාකිරීමත් හුදු මායාවක් පමනයි.
මේ යථාර්තය පිලිගැනීමට අධිපතීන් අකමැති වීම සහ බහුජනයා එය තේරුම් ගන්නවාට ඔවුන් ඊටත් වඩා අකමැති වීම පුදුමයක් නොවෙයි.
ඉස්සර අපේ රට හතර පෝයට සිල් ගත්ත රටක්,සුද්ද ආපු නිසා තමයි ඇනුනෙ(මෑත කාලිනව නම් කොටින්ටත් ඒ වගකීම යනවා),දැන් අපි නිදහස් රටක් හින්ද ආයෙත් හොද ධාර්මික රටක් හදමු-මේ තමයි ආධිපත්‍යයික තර්කනය.ඒ අනුව විවිධ දේ සිදු කෙරෙනවා.රූපවාහිනියේ සිගරට් එකක් පෙන්වූ සැනින් කොටු දැමෙනවා.සදාචාරයට පටහැනි නිසා උන්මාද චිත්රා හා දීඝගාමිනි පිලිබද පුවත මග හැර පොඩි ලමයින්ගේ ඉතිහාස පොත් සකස් වෙනවා.අපේ චින්තනයට නොගැලපෙන නිසා චිත්රපට තහනම් කෙරෙනවා.මේ වගේ තව නහුතයක් දේවල් සිදු වෙනවා.මේ සියල්ල සිදුවී අපේ සමාජයට යලිත් පන්සිල් රකින පැරකුම්බා යුගයක් උදාවන තුරු ජනයා බලාගෙන ඉන්නවා.සමාජය මේ ඉන්ද්රජාලික හාස්කම් දෙස කට අයාගෙන බලා ඉද්දී සිදුවිය යුතු ආර්ථික දේශපාලන ප්රතිසංස්කරන නොසිදුවීම තුල සමාජයේ ජීවිතය අරටුව දක්වා කුනු වී ගද ගසමින් තිබෙනවා.
මේ අනුව කිව යුත්තේ අතීතය විභූතිමත් එකකි යන අධිපති මතය යනු සරල මිථ්‍යාවක් නොවන බවයි.එය අධිපති පංතියේ අරමුනු තුලින් පැන නැගෙන සමාජය මත ආරෝපනය කොට පවත්වා ගනු ලබන අතිශය දේශපාලනික මිත්‍යාවක් බවයි.
මිථ්‍යාවෙන් විද්‍යාව වෙන්කොට දකින්නෙනි,ඔබ වැඩ වර්ජනයකද?


7 comments:

  1. ඉතාමත් හොඳයි

    ReplyDelete
  2. ඔබ මෙහිදි මතු කරන කාරණා විස්තර මා පිලි ගන්නේමි, අවසන් ලෙසට ඔබ පෙන්වා දෙන සිදුවිම් හුදෙක් අපේ සංස්කෘතිමය ලක්ෂණ දේශපාලකයන් විසින් ජනතාව ඇන්දවිම හුදෙසා කෙරෙන්නෙකි, එනමුත් ඒකී දේ ඔවුනුත් ඔවුන්ගේ දරුවනුත් කැඩිමේ විපාකයක් නැත්තේයලු? මෙවැනි දේ ඔබ කියන බොහෝ දේට අදාල වෙයි.

    ReplyDelete
  3. ඇත්ත.... අපි යමක් කියන්නෙ සමාජය හරහාම අපි තුල ගොඩ නැගුනු දේවල් නිසයි. ඒ දේවල්ම තමයි අපි කරකවන්නේ. යමෙක් තමන්ට හිතෙන දේ ඔස්සේම නොයා ඉන්නව නම් එයාට තේරෙණව මේක. තමන් යන්නෙ සමාජය තමාව යවන මාර්ගයේය කියල. මේක ගැන මට මෑත උදාහරණයක් විධියට අපේ වෘත්තීය සමිතියෙ සභාපති මහත්තය කියපු කතාව කියන්න පුළුවන්. මේ දවස්වල වෘත්තීය ක්‍රියා මාර්ග ගත්තොත් කෙලින්ම ලේබල් වදිනවා කොටි කියලා.

    ReplyDelete
  4. අපූරුයි! බ්ලොග් අවකාශයට මෙතෙක් නොවූ ප්‍රවේශයක්.

    ඒ ඒ කාලවලදී අධිපති සමාජ මතවාදය වෙන්නේ පාලක පන්තියට අදාල දෘෂ්ඨිවාදය බවට ලංකාව තුලින් ඕනෑ තරමේ උදාරහණයන් හොයා ගන්න බැරි කමක් නැහැ.

    ReplyDelete
  5. අතීත මූලාශ්‍ර බලලා අතීතය ගැන අනාවැකි කීම හරියට ජාතික රූපවාහිනිය බලලා රජය විවේචනය කරනවා වගේ වැඩක්. මම එකගයි H සමගත්

    ReplyDelete
  6. ලිපි දෙකම කියවා බැලූ විට
    ඔබගේ උත්සාහය හොදයි.
    නමුත් ඔබ දක්වා ඇති කරුණු දෙස බලන විට ඇතැම් එවා සමග කිසිසේත් එකගවිය නොහැක.

    මේ සදහා මාගේ මතය දැක්විය යුතු වුවත් මේ දිනවල අධික කාර්ය බහුල සතිකිහිපයක් ගතකරණ බැවින් ඉදිරියේදී ඔබ සමග සම්බන්ධ වීමට අපේක්ෂා කරමි.

    ReplyDelete
  7. This comment has been removed by the author.

    ReplyDelete